සිංහ ධජයේ උතුම් පණිවුඩය

ක්‍රි.පූ. 623 වන වසරේදී අභිමානවත් ශාක්‍ය වංශයට සිද්ධාර්ථ ගෞතම කුමරු, වත්මන් නේපාලයේ ඉංදියානු දේශසීමාවෙහි පිහිටි කපිලවස්තු නම් පුරවරයේදී උපත ලද්දේය. සියලු යස ඉසුරු මධ්‍යයේ වැඩුණු කුමරා සොළොස් වන වියෙහිදීම සිය ඥ‌ාති සොහොයුරිය වූ යශෝධරාව හා සරණ වී වසර ගණනක් මුළුල්ලේ ආරක්ෂිත දිවියක් ගත කළේය. එහෙත්, ජරාව, ව්‍යාධිය, මරණය යන දර්ශන මෙන්ම, උදාර තාපස ලීලාවක දර්ශනයද ඔහු අභියස හදිසියේ අනාවරණය විය. මින් මුල් දර්ශන තුන ජීවිතයේ අනියත ස්වභාවය සහ මනුෂ්‍යත්වයට පොදු වූ දුක කුමරු හට ප්‍රත්‍යක්‍ෂ කොට දුන් අතර, සතරවැන්න ජීවිතයේ පීඩා මැඩපවත්වා ශාන්තවූත්, සැනසිලි දායක වූත්, තත්ත්වයක් සාක්ෂාත්කොට ගැනීමේ මාර්ගය ඇඟවිය. මෙම දර්ශන සතරද ඉන්ද්‍රියන් පිනවීමෙන් ලැබෙනුයේ හුදු තාවකාලික ප්‍රීතියක්. යනුවෙන් ඉන්ලත් අවබෝධයද, අභිනිෂ්ක්‍රමණය කොට සත්‍ය හා නිත්‍ය සැනසීම සෙවීමට ගෝතම කුමරුන් පෙළඹවීය.

වෙහෙසකාරී සාවුරුදු කාලයක් කුළ දරණ ලද විශ්මය ජනක පරිශ්‍රමයකින් අනතුරුව, කිසිදු ඍද්ධිමය බලවේගයක ආධාරයක්, මග පෙන්වීමක් නොමැතිව තිස්පස්වන වියෙහිදී ගෝතම තවුසා සම්බුද්ධත්වයට පත්වූ සේක. ස්වකීය පරිශ්‍රමය සහ බුද්ධිය මත පමණක් විශ්වාසය තැබූ උන්වහන්සේ සියලු කෙලෙස් පහකොට, සියලු ඇලීම් අවසන් කොට, සියල්ලෙහි යථා ස්වභාවය අවබෝධ කරගත් සේක.

ඉන් අනතුරුව සර්වඥයන් වහන්සේ තමන් වහන්සේ අවබෝධකරගත් ධර්මය පතුරුවාලීම ආරම්භ කළ සේක. එතැන් පටන් මේ උදාර ධර්මය මිනිසුන් අතරට පැමිණවීම හා පැහැදිලි කරදීම සිදුවූ අතර, ශ්‍රී ලංකාද්වීපයට එම ධර්මය පැමිණවීමේ දූත මෙහෙවරෙහි යෙදුණ උත්තමයා වූයේ, අශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාකර පුත් මිහිදු  මහරහතන්වහන්සේයි (ක්‍රි.පූ. 3 වන සියවස)

වර්ෂ 2500 කට අධික කාලයක් මුළුල්ලේ, ආගමික – සංස්කෘතික සාරධර්ම පදනම් කොටගත් සමාජ – ආර්ථික සංස්ථාවක් බිහිකිරීමෙහිලා ශ්‍රී ලාංකික ජන සමාජය හැඩ ගැස්වීමට ශිෂ්ටසම්පන්න කිරීමට, බුද්ධ ධර්මය ක්‍රියා කරන ලදි.

මෙසේ ගුණ ධර්ම පිරි සමාජයක් ආරම්භ වූ අවධියේ මිනිසාගේ ජීවිතයේ පදනම් සහිත භාවය සංකේතවත් වූ එමෙන්ම එම සමාජ ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් වැළඳගත්තා වූ, ශ්‍රේෂ්ඨතම නිර්මාණයක් විය. එනම් සිංහ කොඩියයි. අති විශිෂ්ට සංස්කෘතික සංකේතයක් වූ මෙම ශ්‍රී ලංකා සිංහ කොඩිය තුළ ධර්මයේ ගැඹුරු සංකල්පය හා ආදර්ශය කලාත්මක ලෙස ගැබ්වී ඇත. අනාදිමත් කලක සිට ගෞරවයට පාත්‍ර වෙමින් ආ මෙම ශ්‍රී ලංකා ධජය, එහි දැක්වෙන බොහෝ සලකුණු තුළින් ජිවමාන ධර්මය විදහා පායි.
ශ්‍රී ලංකා සිංහ කොඩිය, විමුක්තිය නම් වූ සමාප්තිය දිනා ගැනීමේ මාර්ගය වන බුද්ධිමත් දිවි පැවැත්මේ සංකේතයකි. විමුක්තිය යනු ඇලීමෙන්, ගැටීමෙන් සහ මුලාවෙන් මිදී පරිත්‍යාගය, අවබෝධය සහ ප්‍රඥාව සාක්‍ෂාත් කොට ගැන්මයි. එසේම ආගමික සංස්කෘතික සාර ධර්ම මත ගොඩනැගුණා වූ චර්යා ධර්ම සංග්‍රහය පිළිගෙන පිළිපැදීමෙන් ලෞකික ජීවිතයේ සමාජ – ආර්ථික ගැටලු වලින් මිදීමයි.

සලකුණු රාශියකින් හෙබි සිංහ කොඩිය කහ, රතු යන වර්ණ දෙකින් යුක්තවේ. කහ පැහැයෙන් ප්‍රඥාවද, රතු පැහැයෙන් ජීව රුධිරයද, සංකේතවත් වන අතර කොඩියේ ඇති විවිධ සලකුණු තුළට මෙම දෙවර්ණයේ වැදගත්කම කලාත්මක ලෙස ගොතා ඇත.

කඩුව සහ එය ඔසවා සිටින සිංහයා ප්‍රධාන සලකුණ ලෙස කොඩියේ මධ්‍යයේ කහ පැහැයෙන් පිහිටුවා පසු තලය රන් පැහැයෙන්ද, කොඩියේ රාමුව ප්‍රඥ‌ාව සංකේතවත් වන කහ පැහැයෙන්ද දක්වා ඇත. රත් පසු තලයේ සිවු කොනෙහි කහ පැහැති බෝපත් සතරකි.

මූලික සලකුණේ ශෛලිගත සිංහයා බුදුරජාණන් වහන්සේ හෙවත් ශාක්‍ය වංශයට සිංහයා වූ ශාක්‍ය සිංහයාගෙන් අනුග්‍රහය ලබයි. එක් එක් පුද්ගලයාගේ සමස්තයක් වශයෙන් ජාතියේත් සිත ගත දෙකෙහි උදාර භාවයේ ශක්තියේ සහ ධෛර්යයේ ප්‍රාණවත් භාවය සිංහයා විසින් සංකේතවත් කරනු ලබයි. ආරක්‍ෂාවේ සාධකය කඩුවෙන් දැක්වෙයි. කඩුව සහ සිංහයා විසින් එය ඔසවා ගෙන සිටින සේ මූලික සලකුණු යෙදීමෙන් ජීවත් කරවීමේ ආධිපත්‍යය දරා සිටින පුද්ගලයාගේ ගත සිත දෙකෙහි ශක්තිය හා ධෛර්යද ජීවිතය සුරකින් සාරධර්ම මනාව විදහා පායි.

රත් පැහැති පසුතලය තුළ එහි කොන් සතරෙහි පිහිටා ඇති කහ බෝපත් සතර උතුම් වූත්, සත්‍යවූත්, ප්‍රඥ‌ා සතර එනම්, දුක නම් සත්‍ය පිළිබඳ ප්‍රඥ‌ාව, දුක ඉපදීමට ​හේතුව නම් සත්‍ය පිළිබඳ ප්‍රඥ‌ාව, දුක නැති කිරීම නම් සත්‍ය පිළිබඳව ප්‍රඥ‌ාව සහ දුක නැති කිරීමෙහි මාර්ගය නම් සත්‍ය පිළිබඳව ප්‍රඥ‌ාව සංකේතවත් කරයි.

සිංහ කොඩියේ කඩුව තුළ දැක්වෙන නොයෙක් සලකුණු තුළ ජිවත්වීමේ අයිතිය ආරක්‍ෂා කිරීමේ සහ ආරක්‍ෂා කරවීමේ අයිතියද, එසේම සිංහ රූපය තුළ දැක්වෙන නොයෙක් සලකුණු තුළ ජීවනෝපාය, විමුක්ති මාර්ගය සහ විමුක්තිය සංකේතවත් කොට ගැන්මද ගැබ්ව ඇත.

කඩුව  

කහ පැහැයෙන් දක්වා ඇති කඩුව ජීවත්වීමට ඇති අයිතියේ ආධිපත්‍යය සංකේතවත් කරන්නාවූ ආරක්‍ෂාවේ සාධකය වේ. කඩුව නිශ්චිත කොටස් සතරකින් දැක්වේ. එනම් මිටි, අත්හසුර, අත් ආරක්‍ෂාව සහ කඩු තලයයි. මේවායින් පිළිවෙලින් ජීවත්වීමට ඇති අයිතිය, චතුරා‌ර්ය සත්‍ය දර්ශනය ආරක්‍ෂා කිරීමේ අයිතිය සහ ආරක්‍ෂාවීමේ අයිතිය සංකේතවත් වෙයි.

මිට, ජීවත්වීමට ඇති අයිතිය සංකේතවත් කරයි. ජීවත්වීමට ඇති අයිතිය යන සංකල්පය හේතුඵල න්‍යාය හෙවත්, පටිච්චසමුප්පාදය පදනම් කොට ගෙන පවතී. ‘‘පටිච්ච’’ යනු නොයෙක් හේතුන් සම්බන්ධවීම මත රදා සිටීමටයි. ‘‘සමුප්පාදය’’ යනු මෙකී හේතුන් සම්බන්ධවීමෙන් පැන නගින්නාවූ නොයෙක් තත්ත්වයයි. හේතුඵල න්‍යාය වනුයේ බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම නියම ලෙස අවබෝධ කොටගෙන සාක්‍ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය තත්ත්වය සාදන්නා වූ සියලු භෞතිකවූත් මානසිකවූත් සිද්ධීන් සකස්වීමේ ධර්මයයි. සම්මත වශයෙන් ආත්මය, මිනිසා හෝ සත්වයා යයි කියනු ලබන නිරන්තරයෙන් ගලා යන්නාවූ විවිධ භෞතිකවූත්, මානසිකවූත්, සැකසීම හා හේතුව මත ඵලයක් නැවත එම ඵලය හේතුවක් වීමේ පරායත්ත ස්වභාවයත් මින් දැක්වෙයි.

මෙම සත්වයාගේ භෞතික සංකීර්ණය හෙවත් රූපය මූල්‍ය ධාතු සතරකින් හෝ මහා භුත සතරකින් සෑදී ඇත. එනම්, පඨවි හෙවත් තද ස්වභාවය, අපෝ හේවත් වැගිරෙන, ද්‍රව ස්වභාවය, තේජෝ හෙවත් ශීත උෂ්ණ ස්වභාවය සහ වායෝ හෙවත් පිම්බෙන, සෙලවෙන ස්වභාවයයි.

භෞතික අවස්ථා සම්බන්ධවීමේ හේතුවෙන් සිත හෝ චෛතසික සංකීර්ණය හට ගනී. මෙම චෛත්‍යසික කායික සංකීර්ණය තුළ නාම සහ රූප ඇත.

චෛතසික – කායික සංකිර්ණය තුළ නාම රූප දෙක හේතුවෙන් (සළායතන) හෙවත් ෂඩෙන්ද්‍රියන් හටගනී.

සළායතන හේතුවෙන් (ඵස්ස) හෙවත් ස්පර්ශය හටගනී.
ඵස්ස හේතුවෙන් (වේදනා) හෙවත් දැනීම හටගනී.
වේදනා හේතුවෙන් (තණ්හා) හෙවත් ආශාව හටගනී.
තණ්හා හේතුවෙන් (උපාදාන) හෙවත් තදකොට අල්ලා ගැනීම හටගනී.
උපාද‌ාන ​හේතුවන් (භව) හෙවත් පැවැත්ම හටගනී.
භව හේතුවෙන් (ජාති) හෙවත් ඉපදීම හටගනී.
ජාති හේතුවෙන් (ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස හටගනී. මෙපරිද්දෙන් පුනර්භවය සහ දුක හටගනී.

ශ්‍රී ලංකා ජාතික උරුම සංවිධානයේ 

සී. උපාලි සේනානායක විසිනි.   

පටිච්ච සමුප්පාද යනු ඉපදීම හා මරණය සිදුවීම පිළිබඳ සූත්‍රයකි. එය දුකට සහ පුනර්භවයට ඇති හේතු පැහැදිලි කරන අතර, එක් අවස්ථාවක් ඊට ඉහත අවස්ථාව හේතුකොට හටගන්නාවූ සරල පිළිවෙළ විස්තර කරයි.

ජීවත්වීමට ඇති අයිතිය සංකේතවත් කරන්නාවූ කඩු මිට, යටිකුරු කොට සැකසූ ශෛලිගත පියුමකින් කලාත්මත ලෙස දක්වා ඇත. පියුම් ගැබේ ඇති තුඩු තුන ජාති, ජරා, මරණ යනුවෙන් නොකැඩී පවතින ක්‍රියාදාමය සංකේතවත් කරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන පොළව, ජලය, ගින්න සහ වාතය සංකේතවත් කරන්නාවූ පෙති සතර පියුම් ගැබ තුළින් පැනනගී. මෙම මූලධර්ම සම්බන්ධවී හටගත් සකස්වීම හේතු කොටගෙන ශරීරය හෝ භෞතික සංකීර්ණය හටගනී. ඒ තුළ සිත හෝ චෛතසික සංකීර්ණය පවතී. චෛතසික – කායික සංකීර්ණයේ නාම රූප දෙක හැඳින්වීම පියුම මධ්‍යයේ ඇති පෙති සතරේ කොන් දෙකෙන් සිදුවේ. චෛතසික – කායික සංකීර්ණයේ නාමරූප තුළ ඉදුරන් සය ගැබ්ව ඇත. මෙම ඉඳුරන් සය තුළින් පැන නගින්නාවූ ස්පර්ශය, තණ්හාව, උපාදානය පියුමේ නටුවෙන් සංකේතවත් කරයි. පියුම් ගැබින් නොකැඩී දිවෙන රේඛාව ඉපදීම, ජීවය, ජරාව හා මරණය යන නිරතුරු පවතින ක්‍රියා දාමය පෙන්නුම් කරයි.

පොළව, ජලය, ගින්න හා වාතය යන මූලධර්මයන්ගෙන් ජීවිතය සෑදී ඇති හෙයින් එහි පැවැත්මට ඒ මත සාපේක්‍ෂ වශයෙන් පරායර්ථ වෙයි. මෙසේ පොළව, ජලය ගින්න සහ වාතය කරා බාධක නොමැතව ලඟාවීමට ඇති හැකියාව ජීවත්වීමට ඇති අයිතියයි.

අත්හසුර – චතුරාර්ය සත්‍ය දර්ශනය 

සිංහයා කඩුව අල්ලාගනිමින් අත මිටමොළවා සිටීම ජීවිතයට ඇති ඇල්ම පෙන්නුම් කරයි. මිටිමෙළ වූ ඇඟිලි සතරෙන් ආර්ය සත්‍ය සතර සංකේතවත් කොට දැක්වෙයි.
පළමුවන ආර්ය සත්‍යය – (දුංඛ) හෙවත් දුක වේ.

එනම්, උසුලා සිටීමට දුෂ්කර දෙයකි. ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුංඛ, දෝමනස්ස, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රිය අය හා එක්වීම, කැමති දේ නොලැබීම යන මේ සියල්ල දුක්වේ.

දෙවන් ආර්ය සත්‍ය – දුකට මුල හෝ හේතුවයි. (දුක්ඛ සමුදය ආරියසච්ච) දුකට හේතුව තණ්හාවයි. එනම්, ඉඳුරන් පිනවීමේ ආශාව වූ (කාම තණ්හා) පැවැත්මට ඇති ආශාව වූ (භව තණ්හා) සහ නිරුද්ධ වී යාමට ඇති ආශාව වූ (විභව තණ්හාවයි)

තුන්වැනි ආර්ය සත්‍යය – දුක අවසන් කිරීමයි.

(දුංඛ සමුදය ආරියසච්ච) තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිව යයි. ඒ හේතුවෙන් ඉපදීම ජීවය මරණය පුණර්භවය අවසන් වෙයි. පුණර්භවය අවසන් වීම තුළින් ජරාව, මරණය, ශෝක, පරිදේව ආදිය නැතිවී යයි. දුක කෙළවර වන්නේ මේ අයුරෙනි. පුණර්භවය සහ දුක කෙළවර කිරීම නිරාවරණය නම් වෙයි.

සතරවන ආර්ය සත්‍යය – දුක නැතිකිරීමේ මාර්ගයයි.

(දුංඛ නිරෝධ ගාමිණී පටිපදා ආරියසච්ච) එනම් අට වැදෑරුම් ආර්ය මාර්ගය හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. දුක නැතිකර ගැනීම සඳහා පිළිපැදිය යුතු මාර්ගය මෙයයි.
අත් ආරක්‍ෂාව – ආරක්‍ෂා කිරීමට ඇති අයිතිය.

අත් ආරක්ෂාව ආරක්‍ෂාකිරීමට ඇති අයිතිය සංකේතවත් කරයි. එය හරස් පොල්ලකින් හා ඒ දෙපස ඇති රවුම් හැඩයේ අන්ත දෙකකින් දක්වා ඇත. හරස් පොල්ලෙන් භාරකාරත්ව ක්‍රමයද, රවුම් කොටස් දෙකෙන් අන්ත දෙක ද නිරූපනය කරයි. නිතර මාරුවන සුළු භාරකරු, තම අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ ඇලී ගැලී සිටීම හා ඒවා මුළුමනින්ම අතහැරීම යන අන්ත දෙකෙන් වැලකී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරයි. මෙම ක්‍රමය, ජීවත්වීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ අයිතිය තහවුරු කරයි.

කඩුතලය – ආරක්‍ෂාව 

කඩුතලය ආරක්‍ෂාව සංකේතවත් කරයි. ආරක්ෂාව යනු පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ නීති පිළිපැදීමකි. එනම්, සමාජ ආර්ථික හා සදාචාර සාරධර්ම මත පිහිටි දශ රාජධර්ම වේ.

දසරාජධර්ම යනු භාරකාරක්‍රමයේ යුතුකම්, බැදීම් සහ වගකීම්ය – එනම්,

දානය – ත්‍යාගවන්තකම නිර්ලෝභීකම සහ දක්‍ෂිණ්‍යයයි.

සීලය – පරපන නැසීම, වංචාව, සොරකම, අනුන් සූරාකෑම, කාම මිථ්‍යාචාරය, මුසාවාදය සහ සුරාපානය යන මෙයින් වැලකී සිටීමයි. එනම්, සදාචාරයයි.
පරිත්‍යාගය – නිපුණත්වය හඳුනාගැනීම හෝ පිළිගැනීමයි, එනම් ප්‍රශංසාව හිමි තැනට එය දීම සහ අනිසිලෙස ප්‍රශංසා ලබානොගැනීමයි.

ඍජුකම – අවංක භාවයයි. තම යුතුකම් ඉටුකිරීමේදී භය, පක්‍ෂග්‍රාහීබව යන දෙකෙන් තොරවීමයි. තම ක්‍රියාවන්හි අව්‍යාජත්වයෙන් හා අප්‍රයෝගකාරී තත්ත්වයෙන් යුක්තවීමයි.
මෘදුකම – ආචාරශීලි භාවයයි. සියළු කල්හි පවතින කරුණාව හා අනුකම්පාසහගත භාවයයි.
තපස – සංයමයයි, ආත්ම දමනයෙන් යුක්තව චාම් දිවිපෙවෙතක් ගෙනයාමයි.

අක්‍රෝධය – ද්වේෂයෙන්, ක්‍රෝධයෙන්, සතුරුබවින් වැලකී සිටීමයි. කිසිවකු කෙරෙහි අමනාප බවක් නොමැතිවීමයි.
ක්ෂාන්තිය – ඉවසීමයි, අගතියෙන් තොර එකඟත්වයයි, සම්මතයයි.

අවිරෝධය – පලිනොගන්නා සුළු බවයි, අන්‍යයන්ගේ යහපතට තුඩු දෙන්නාවූ කිසිදු වැඩපිළිවෙළකට එරෙහි නොවන බාධා නොපමුණුවන බවයි.
දසරාජ ධර්මයන් ජීවත්වීමට ඇති අයිතිය ආරක්‍ෂා කිරීමේ අයිතිය තහවුරු කරයි.

සිංහයා 

කහ, රතු වර්ණ වලින් දක්වා ඇති ශෛලිගත සිංහයා සිත, කය දෙකෙහි නිර්භීතකම හා ශක්තිය යන උදාර ගුණාංග නිරූපණය කරයි. ශෛලිගත සිංහයා සෑදී ඇති නොයෙක් සලකුණු වලින් දක්වා ඇති ජීවනෝපාය, විමුක්ති මග, විමුක්තිය කරා ළඟාවීම යන මෙම කරුණු ආරක්ෂා කරන සාරධර්ම හා ශික්‍ෂණය, එකී උදාර ගුණාංගවලින් තහවුරුවෙයි.

ජීවනෝපාය – සමාජ ආර්ථික හා සදාචාර පදනම

ශෛලිගත සිංහයාගේ පා සතර, සමාජ – ආර්ථික සැලැස්මේ සැනසීමට හා ආර්ථික ස්ථාවර භාවයට හිතකර වූ අංශ සතරක් නිරූපනය කරයි.

1. උට්ඨාන සම්පදා – උත්සාහ සම්පත්තිය හෙවත් ජීවිකාව සම්බන්ධ සදාචාර පැවැත්ම.
2. ආරක්‍ඛ සම්පදා – ආරක්‍ෂා සම්පත්තිය හෙවත් ජීවිකාවේ සදාචාර හා ආර්ථික සාරධර්ම ආරක්‍ෂා කිරීම.
3. සමජීවිකතා – තම වත්කම්වලට සරිලනසේ ජීවත්වීම.
4. කල්‍යාණමිත්තතා – භක්තිමත්, ගුණවත් මිතුරන් ඇසුරුකිරීම (ව්‍යග්ග පජ්ජ සූත්‍රය)

අෂ්ඨලෝක ධර්ම ස්වභාවයෙහි අභිමත, අනභිමත යන ප්‍රතිවිරුද්ධ යන දක්වන පා නිය දෙකක් මත එක් එක් පාදය පිහිටා ඇත. අෂ්‍ඨලෝක ධර්ම වනුයේ, ජීවත්වීමේදී ලැබෙන ලාභ සහ අලාභ, හැසිරීම සම්බන්ධව ලැබෙන ප්‍රශංසා සහ නින්දා, ආරක්‍ෂාව පිළිබඳ වූ කීර්තිය (යස) සහ අපකීර්තිය (අයස), ඇසුර පිළිබඳ වූ සැප හා දුකය.

ශෛලිගත සිංහයාගේ එක් පාදයේ එක බැගින් ඇති උස්නිය ජීවිකාවේ විපුලත්වය (ත්‍යාග), පැවැත්මේ ශිෂ්ඨත්වය (ශීල), ආරක්‍ෂාවේ පාණ්ඩිත්‍යය (පඥ‌ා), ආශ්‍රයේ භක්තිය (සද්ධා) යන ගුණවත්කම් සතර නිරූපණය කරයි.

සිංහයාගේ ශරීරයෙන් පිළිබිඹුවන සමාජ සැලැස්ම තුළ සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන හැසිරීම් සංග්‍රහය නිරූපනය කරන්නා වූ “V” හැඩයේ සලකුණු විසිහතරක් ඇත “V” හැඩයේ සෑම සලකුණක රේඛා හැසිරීම් සංග්‍රහයට අයත් ක්‍රියාව (කම්ම) සහ ප්‍රතිඵලය (විපාක) සංකේතවත් කරයි.

මුසාවාදය, ප්‍රාණඝාතය, කාම මිථ්‍යාචාරය සහ අදත්තාදානය යන සතර කර්ම ක්ලේශයන් දුරු කිරීම, ආශාව, ක්‍රෝධය, භය, මුලාව යන සතර අගතියෙන් වෙන්වීම, මත්පැන්බීම, නුසුදුසු ස්ථානවල හැසිරීම, නැටුම් ගැයුම් යනාදියට අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම, දූ කෙළිය, පාප ධර්ම සහ අලස බව යන ධනය පිරිහීමේ දොරටු සේවනය නොකිරීම යන කරුණු හැසිරීමේ සංග්‍රහයෙහි අන්තර්ග වෙයි.

තවද සමාජයේ සය කොටස​ක් අතර සාපේක්‍ෂ වශයෙන් පවතින දාන, ප්‍රියවචන, සාමානාත්මතාවය, අර්ථචර්යාව (සතර සංග්‍රහ වස්තු) පදනම් කොට ගත් සදිසා නමස්කාරයද එහි ඇතුළත් වේ. ඒ මෙසේය,

1. මවුපියන් – දරුවන්
2. ගුරුවරුන් – ශිෂ්‍යයන්
3. ස්වාමියා – භාර්යාව
4. මිතුරන් – මිතුරන්
5. ස්වාමිවරුන් – සේවකයින්
6. පැවිදි පක්‍ෂය – ගිහි පක්ෂය

හැසිරීම් සංග්‍රහය පිළිගෙන පිළිපැදීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමට යොමුවේ.

(මතුසම්බන්ධයි)

දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ බාලපුතණුවන් වූ චන්ද්‍ර උපාලි සේනානායක මහතා ලියූ ලිපියකිනි.   

පරිවර්තනය
කේ.කේ. සමරකෝන්  



22 Viewers