සියලුම කුණු බුද්ධි අංශයට ද?

දශක තුනක යුද්ධය නිමා කිරීමට බොහෝ මිනිසුන් දර දිය ඇද්දේ ඉන් පසු රටේ ඇතිවන සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන අටියෙනි. හතරවැනි ඊළාම් යුද්ධය නිමා වි වසර 13කට ආසන්න වෙමින් තිබියදී අපට ලැබි ඇත්තේ ලොව බංකොලොත්ම රටවල් අතර ආර්ථික අර්බුදයෙන් තෙරපුන ආහාර අර්බුදයක් ගැන කතා කරන ජාතියක් බවට පත්වීමයි.

යුද්ධය තිබිය දී පවා රට මෙවැනි බංකොලොත් තත්ත්වයකට ඇද වැටුණේ නැත. ඒ නිසා ඊට වගකිවයුතු සියලු දේශපාලන පාර්ශව අද පවතින මේ අර්බුදයට වගකිව යුතුය. දැන් කරළියේ ප්‍රධාන මාතෘකාවක් වී ඇත්තේ යුද හමුදා සාමාජිකයන් සංඛ්‍යාව අඩු කිරිම හා බුද්ධි අංශවල නොහැකියාවයි.

එදා යුද්ධය පැවැති සමයේ වැඩිවන හමුදා සාමාජික සංඛ්‍යාව ගැන ප්‍රවෘත්ති මැවුණු පරිද්දෙන්ම අඩුවන හමුදා සමාජිකයන් ගැන ද ප්‍රවෘත්ති මැවෙයි. එදා හමුදා සාමාජිකයන් වැඩිවන වන තරමට ෆීල්ඩ් මාර්ෂල් ඇතුළු ත්‍රිවිධ හමුදාවට එවැනි සමාන නිලයන් හඳුන්වා දීමට එය පාරා වළල්ලක් විය.

අලුත්ම තොරතුරු අනුව 200783 යුද හමුදා සාමාජිකයන් සංඛයාව ලබන වසර වනවිට 135000 දක්වාත් තවත් වසර කිහිපයක් යනවිට 100000 දක්වාත් අඩු කිරීමට නියමිතය. එමගින් සංඛ්‍යාත්මකව අඩුවන හමුදා සාමාජිකයන් වෙනුවට නවීන තාක්ෂණයෙන් හෙබි ශක්තිමත් හමුදාවක් සකස් කර ගැනීම යුද හමුදාවේ අරමුණයි.
ආර්ථික අර්බුදය හමුවේ රට කබලෙන් ලිපට වැටෙනවිට මෙතරම් විශාල හමුදාවක් රටට බරක් නෙවේදැයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කළහ. ජිනිවා මානව හිමිකම් යෝජනාවලියේ ඇතැම් යෝජනාවල සැඟවී තිබුනේ ද මෙම අර්ථයම බව ඇතමෙක් කීහ. ඒ කෙසේ වෙතත් රටට සේවයක් නොගෙන තරුණ ජවය කඳවුරකට කොටු කිරිමෙන් ප්‍රතිඵලයක් නොමැත.

ආර්ථික අර්බුදය හමුවේ යුද හමුදා ප්‍රමිතිය රැක ගැනිමට නොහැකි නම්, ඒ අර්බුදය සුළු කොටසකට නොව සමස්තයටම එල්ලවීම ද වළක්වනු බැරිය. ඒ අනුව ගත්විට යුද හමුදාවේ මෙම තිරණය සාධාරණය කිරීමට පවතින තත්ත්වය අනුව හැකියාව තිබේ. ඒ කෙසේ වෙතත් ෆීල්ඩ් මාර්ෂල් වැනි නිලයන් තවදුරටත් එවැනි හමුදාවක පවත්වාගෙන යාමට හැකි ද යන්න ගැනත් අමතර සාකච්ඡාවක් ඒ තුළින්ම මතුවනු ඇත.

බුද්ධි අංශ සම්බන්ධයෙන් දැන් වෙනදාට වඩා උනන්දුවකින් කතා කරන බොහෝ පිරිසකි. ඊට හේතුවී ඇත්තේ දිය බොරවනවිට මාලු බාන්නෝ වැඩ පටන් ගන්නා නිසාය. එහි ආසන්නම සිදුවීම වූයේ කංජිපානි ඉම්රාන් නැමැති පාතාලයා උසාවියෙන් ඇප ලබා සිටිය දි රටින්ම පැනයාමයි.

මෙවැනි සිදුවීමක් වූ වහාම බුද්ධි අංශ වැඩක් නැහැ යැයි කියන කතාව පළමුවෙන්ම එළියට එන්නේ දේශපාලඥයන් තුළිනි. මෙවර බුද්ධි අංශ පමණක් නොව රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරාල් සුරේස් සලේ සම්බන්ධයෙන් ද තීන්දුවක් ගත යුතුය යන්න ගැන හා හෝවක් නැගුනේ දේශපාලන උවමනාවන් තුළය.

කංජිපානි ඉම්රාන් පැන යන්නේ බුද්ධි අංශ උදව්වෙන් නොවුනත් ඔහුට බුද්ධි අංශ නොවන රාජ්‍ය ආයතනවලින් ලැබි ඇති සහය ගැන කිසිවෙකුටත් සිහියට ආවේ නැත. පොලිසිය, නිතිපති දෙපාර්තමේන්තුව කංජිපානි සම්බන්ධයෙන් නිද්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන්නට කංජිපානි ට ඇප ලබා පැන යා හැකි වාතාවරණයක් උදාවන්නේ නැත.

ඩුබායි හි දි හරක් කටා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුවූයේ ද මෙවැනි ම නිද්‍රශීලී ප්‍රතිපත්තියකි. අත්අඩංගුවට ගත් හරක් කටා මෙරටට පිටුවහල් කර ගැනීමට අවශ්‍ය ලිපි ලේඛන දින දෙකක් තුළ ඉදිරිපත් කරන්නැයි ඩුබායි රාජ්‍ය ආරක්ෂක අංශ මෙරට නිල වශයෙන් දන්වා තිබුණ ද, එවැනි කාර්යක්ෂමතාවක් පෙන්වීමට අධිකරණ හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රජය අපොහොසත් විය.

මෙම ආයතනවල සිටින නිලධාරින් මේ ආකාරයෙන් හැසිරෙන්නේ කුමන දොලපිදේනියක් නිසා දැයි දන්නේ ඔවුන්මය. අවසානයේ හරක් කටා පැන ගිය පසු නැවත ඉස්තාලය වසා දැමුවේය.

ලංකාවේ බුද්ධි අංශ නිලධාරින් බොහෝ දෙනෙකුට සිය රාජ්‍ය සේවය නිසි ලෙස ඉටු කිරීමට නොහැකිවි ඇත්තේ දේශපාලන හැලහැප්පීම් හා ඒ හා බැඳි පිපාසයන් බබට විශ්වාස කළ හැකි කරුණු රැසක් තිබේ. බලයට පැමිණීමටත්, බලයේ රැදීමටත් ආසා කරන දේශපාලඥයන්ගේ ස්වභාවය නම් බලයට පැමිණි පසු බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය අමතක කර දමා, අදාළ උපදෙස් පිළි නොගැනීමයි.

බලය තිබෙන විට තමන්ගේ දේශපාල හෙංචයියන්ගේ උවමනා එපාකම් ඉටු කිරිමට යාමෙන් බොහෝ පාලකයන්ට තමන් කළ යුතු දෑ පවා අමතක වෙයි. ගෝඨාභය රාජපක්ෂට සිදුවූයේ ද එවැනකි. මෛත්‍රිපාල සිරිසේන ආරක්ෂක මණ්ඩලය කැඳවන්න අත්‍යාවශ්‍ය දැයි නොදැන සිටියා වැනි කතා හිරිකිතයක් නැතිව එළියට එන්නේ ඒ නිසාය.

රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රමුඛ කාර්යය වනවිට ඔවුන් 14000 තරම් පුද්ගල ගවේශනයක නිරන්තරයෙන් යොමුව සිටියි. කංජිපානි හෝ හරක් කටා යනු ඉන් දෙදෙනෙකු පමණි. එපමණක් නොව රට තුළ ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්විම, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම ඇතුළු එකී නොකි මෙකි දේවල් රැසක් රාජ්‍ය බුද්ධි සේවය ඔස්සේ ඉටුවෙයි. ඇතුම් කරුණු රාජය මුල් කරගත් දේශපාලන ස්ථාවරත්වයට ද අයත් නොවේ යැයි කිව නොහැකිය.

කෙසේ වෙතත් දේශපාලඥයා ලෙහෙසියට බුද්ධි අංශ වැඩකට නැති ගාණට දමන්නේ නම්, එහි අරමුණ වෙන එකකි. ඕනෑම සෛවරී රටක බුද්ධි අංශ කාර්ය භාරය පොළ දවසට පොළේ යනවා වැනි හෝ ළිඳ ලඟ සංගමයේ වැඩක් ලෙස හෝ කළ හැක්කක් නොවේ. බුද්ධි අංශ මොනවද කළේ අසා විමසන බොහෝ පිරිස් ඔවුන්ට එරෙහිව නඩු නොපරවන්නේ ඒ නිසාය.
ජනතාව අන්දවමින් බුද්ධි අංශ වැඩකට නැතැයි කියන අය බුද්ධි අංශ ප්‍රසිද්ධ මාධ්‍යට පැමිණ බොහෝ දේ නොකියන බව ද හොඳින් දනියි. ඒ නිසා ඔවුන් ජනතාව ඉදිරියේ ඇතැම්විට වීර හැව දා ගනියි. පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය වැටලිම් ගත්ත ද රාජ්‍ය බුද්ධි සේවයේ කාර්ය භාරය තේරුම්ගත හැකිය. කොවිඩ් වසංගතය තිබියදී ආරක්ෂක අංශ ඇසට වැලි ගසමින් ගෙන ඒමට ගිය හොරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණදැයි ඔබට පහත ප්‍රස්ථාරයෙන් බලාගත හැකිය. ඉතිහාසයේ වැඩිම මත්කුඩු තොග අල්ලාගත් මෙහෙයුම් ඒ අතරවනවිට ඒ මත්ද්‍රව්‍ය රට තුළට ආවේ නම් මෙම තොගය තවත් පස් ගුණයකින් සාන්ද්‍ර කොට, එය තවත් දහ ගුණයකින් පමණ වැඩි වී මත් ලෝලීන් වෙත පැමිණීමට ඉඩ තිබිණි.

මෙතරම් හොඳ බුද්ධි අංශ ගැන ජනතා විරෝධයක් ඇත්නම් ඒ, මේ මහා ජාවාරම් පිටුපස සිටින දේශපාලඥයන් හෙළි නොවන්නේ ඇයි ? ද යන ප්‍රශ්නාර්ථය තුළය. තවත් පැත්තකින් අරගලය පාලනය කිරීමට බුද්ධි අංශවලට නොහැකි වූයේ ද යන්න ගැන තවත් විවෘත සංවාදයක් මතුවෙයි. මේ සියලු ක්‍රියා බුද්ධි අංශ නෙත ගැටුණේ වුවද එම උපදෙස් නොතැකිමෙන් සිදුවූ විනාශය කුමක්දැයි අද බොහෝ දෙනෙක් දනිති. එහෙත් ඒ ගැන ජනතාවට විශ්වාසයක් නැත. එහෙත් දුම්රිය අවලංගු කර තිබිය දි දුම්රිය ධාවනය විය, ඇදිරි නිතිය පනවා තිබිය දි ජනතාව ගමන් කළේය.

හමුදා සාමාජිකයන් ද ඔවුන්ගේ පවුල් ද ආර්ථික අර්බුදය තුළ ඇලී සිටියේය. ඒ නිසා සෑම විටම වරද බුද්ධි අංශ අත නොවේ. රටේ ආර්ථිකය හසුරවා ගැනිමට නොහැකි දේශපාලන යාන්ත්‍රණය, උද්ධමනය පාලනය කළ නොහැකි රාජ්‍ය යාන්ත්‍රණය විසින් ඇති කරන බොහෝ දේ ට බුද්ධි අංශ දෙස පමණක් වරද පැටවිමෙන් පමණක් සියල්ල සාධාරණීය වන්නේ නැත. ඉන් ජනතාවට ඉටුවන සාධාරණයක් ද නැත.



20 Viewers