සෙන්පතිතුමනි සුබ ගමන්..!

එතුමා හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ 1988-1991 කාල සීමාව තුළදී ය. එම යුගය දෙකොන විලක්කුවක් ඇවිළී තිබුණු යුගයක් විය. උතුරේ එල්ටීටීඊ සංවිධානය රට බෙදා වෙන් කර ගැනීම සඳහා යුද්ධයක නියුතු වූ අතර දකුණේ ජනතා විමුක්ති පෙරමුණ පැවති ආණ්ඩුව පෙරළා දමා සමස්ත රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම සඳහා යුද්ධයක් ආරම්භ කොට තිබුණි. හමුදා අණ දෙන්නෙකු වශයෙන් උතුරේ සහ දකුණේ කැරලිකරුවන් මැඬලීම ඔහුට එතරම් සුන්දර අත් දැකීමක් නොවන්නට ඇත. නමුත් ඔහු ඊට නොපසුබටව සහ සාර්ථකව නායත්වය දුනි.
එතුමා 1993 සිට 1995 දක්වා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන ලදි. ඒ යුගය තුළ සන්නද්ධ හමුදා සඳහා නව්‍යතාවයන් එක් කිරීමට ඒ මහතා මැදිහත් විය.
හැමිල්ටන් වනසිංහ මහතාගේ අඩි පාරේ යමින් ඒ මහතාගේ පුත්‍රයා (සංජය වනසිංහ), ඒ මහතාගේ වැඩිමහල් සොයුරාගේ පුත්‍රයා (පණ්ඩුක වනසිංහ) සහ ඒ මහතාගේ මස්සිනාගේ පුතුන් දෙදෙනා (භාතිය ජයතිලක හා නලින් ජයතිලක) හමුදා සේවයට එක් විය. ඒ මහතාගේ දියණිය හා විවාහ වූයේද එකී ඔහුගේ මස්සිනා හෙවත් බිරියගේ සොහොයුරාගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙක් වූ භාතිය ජයතිලක සමගිනි. මේ සියලු තරුණ නිලධාරීන් ඉදිරි පෙළ මෙයුම්වල සේවයේ නිරත වෙමින් වික්‍රම දැක්වූවන් විය. යුද්ධයේ බිහිසුණු අවස්ථාවලදී පවා සිය පුත්‍රයා සහ ඥාති පුතුන් යුධ පෙරමුණෙන් පසු පසට ගැනීම සඳහා තමා සතු බලතල පාවිච්චි කොට මැදිහත් වීම් සිදු කිරීමට වනසිංහ මහතා කටයුතු නොකළේය.
1993 පුනරින් සටන් බිමේදී පණ්ඩුක වනසිංහ දිවි පිදීය. භාතිය ජයතිලක අලිමංකඩ සටනින් දිවි පිදූ අතර නලින් ජයතිලක යාල්දේවි මෙහෙයුමේදී දිවි පිදීය. සංජය වනසිංහ මහතා මේජර් ජනරාල්වරයෙකු වශයෙන් විශ්‍රාම ගත් අතර අවසන් මානුෂීය මෙහෙයුමේදී ස්නයිපර් බළකායට ඒ මහතා නායකත්වය ලබා දුනි. ස්නයිපර් බලඝනය හමුදාවට එක් කරනු ලැභූයේ ජනරල් වනසිංහගේ මග පෙන්වීම් යටතේය.
ජනරල් වනසිංහ මහතා බෙදුම්වාදය යුධමය වශයෙන් පරාජය කළ හැකි, පරාජය කළ යුතු ජාතිය හමුවේ පවතින අභියෝයක් වශයෙන් විශ්වාස කළ හමුදා නායකයෙකු විය.
වයස අවුරුදු 91 ක් වයසැති, අද දැයෙන් සමුගත් වීරෝධාර සෙන්පතියාට අපගේ උත්තමාචාරය.
36 Viewers