• Home »
  • Sinhala Articles »
  • හාමුදුරුවරු නොකියන බණ ගිහියෝ අහන්නේ කොහොමද..?

හාමුදුරුවරු නොකියන බණ ගිහියෝ අහන්නේ කොහොමද..?

පසුගිය දිනයෙක අගනුවරට ආසන්න උප නගරයක පිහිටි මගේ හිතවතකුගේ නිවසේ පැවැත්වූ ‘මතක බණ’ පින්කමකට සම්බන්ධ වීමට මට අවකාශ ලැබිණ. රාත්‍රී හතට ආරම්භ වූ එම ධර්ම දේශනය පැයක පමණ කාලයක් පැවැතුණි. නමුදු ඒ වන විට ධර්ම ශ්‍රවණය පිණිස එම පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් හැරුණු කොට එක් රොක්ව සිටියේ තවත් විස්සක් විසි පහක පමණ පිරිසකි.

සාමාන්‍යයෙන් යමකු ගෙන් මෙවන් පින්කමක් සඳහා සහභාගී වන ලෙස ඇරැයුමක් ලද හොත් ඒ අනුව එම මුඛ්‍ය කාරියට එක්වීම වශයෙන් එම ධර්ම දේශනයට සවන් දීම මා කවදත් අනුගමනය කරන පුරුද්දකි. නමුදු එම දම් දෙසුම නිමා වී ඊට වැඩම කළ ස්වාමීන් වහන්සේ එම නිවසින් පිටතට වැඩම වන මොහොත වන විට එහි ගෙමිදුලේ දෙසීයක පමණ පිරිසක් එක් රැස්ව සිටියහ. ඊට ආසන්න ප්‍රමාණයකින් යුතු ඔවුන් පැමිණි වාහන ද ගෙවත්තේත් මඟ දෙපසත් නතර කොට තිබෙනු දක්නා ලදී. ඉන් හැඟවෙන ලද්දේ එම නිවසට පැමිණි පිරිසෙන් වැඩි දෙනකු එම ධර්ම දේශනාව “මඟ හැර” එහි පැමිණ ඇති බවකි.

ස්…ස්…ස්… තාම බණ ඉවර නෑ..
නාගරික ඉහල මධ්‍යම පාන්තික සේම එම සමාජ තරාතිරමට අයත් නොවන ගම්බද සමාජයේ ද මෙබඳු ධර්ම දේශනාවක් අවසානයේ සාමාන්‍ය ජන වහරට අනුව කිවහොත් “ඇට් හෝම්” ගණයේ රාත්‍රී භෝජන සංග්‍රයක් සූදානම් කෙරේ. අද බොහෝ විට එම භෝජනය විවිධ ‘මෙනු පත්’ වලට අනුව ‘කේටරින් සර්විස්’ නමින් හැඳින්වෙන රට පුරා පැතිර ඇති භෝජන සේවාවන් ගෙන් ඇනවුම් කෙරේ. අනේක විධ මස් මාංශ ඇතුළු රස මසවුළින් සපිරි එම භෝජන සංග්‍රහ සඳහා ඇතැම් විට මත් පැන් ද එක් කෙරෙන අවස්ථා තිබේ. එසේ මත්පැන් නොමැති ධර්ම දේශනාමය පින්කම් වලට පැමිණෙන පිරිස් පෞද්ගලිකව ඒවා රැගෙන විත් ඒවා වාහන තුළ තබා ගෙන කණ්ඩායම් වශයෙන් එක්ව ‘කෑමට පෙර’ වශයෙන් හඳුන්වමින් පානය කරති. ඇතැම් විට ඒ බව එම පවුලේ සාමාජිකයකුට රහසිගතව දන්වා සිටිය හොත් ඊට අවශ්‍ය අවුළු පත් ද ඒ වාහන වලට රහසින්ම ගෙන්වා ගත හැකි ය. එසේ නිවසේ සාලයේ ධර්ම දේශනාව පැවැත්වෙන අතරේ ගෙමිදුලේ හා ඒ අවට සිදු කෙරෙන මත්පැන් සාදවලින් වරින් වර නැගෙන කොක් හඬ තැලීම් වලින් එම දම් දෙසුමට බාධා වන අවස්ථා ද මා ඉඳහිට අත්දැක තිබේ. එවිට බොහෝ විට එම පිරිස් වෙත යන එම පවුලේ සාමාජිකයකු “තාම බණ ඉවර නෑ” යනුවෙන් එම පිරිස් වෙත ගොස් රහසිගතව ඔවුන් දැනුවත් කිරීම සාමාන්‍ය තත්වයකි.

“අපි බණ අහන්න; හාමුදුරුවරු බණ කියන්න එපායැ”
පසුගිය දිනයේ මා සහභාගී වූ එම ධර්ම දේශනාමය පින්කම අවසානයේ ගෙමිදුලට පැමිණි මට මානව ශාස්ත්‍ර විෂයන් සම්බන්ධ වැදගත් පර්යේෂණ කිහිපයක් සිදු කොට ඇති මගේ හිතවත් සරසවි ආචාර්යවරයකු දකින්නට ලැබිණ.

“දැන් ද ආවේ” සාමාන්‍ය පරිදි මම ඔහුගෙන් ඇසීමි.

“ඔව් විනාඩි පහක් වගේ ඇති” මගේ හිතවතා කීය.

“ඇයි බණ අහන්න කලින් ආවේ නැත්තේ” ඔහු ද මා මෙන් එම ගෙහිමියා ගේ සමීප මිතුරකු වූ බැවින් මම නිකමට මෙන් ඇසීමි.

“අපි බණ අහන්න; හාමුදුරුවරු බණ කියන්න එපායැ” ඔහු කීයේ මුවට නංවාගත් උපහාසාත්මක සිනාවකින් යුතුව ය.

මතුපිටින් නිකම් ආවාට ගියාට කියූ දෙයක් සේ හැඟෙන එම වදන් කිහිපය ඒ මොහොතේ යළි යළිත් අවධාරණය කළ මට එහි මතුපිටට නොපෙනෙන අමුතුම ගැඹුරු අරුතක් ඇති බව කෙමෙන් වැටහෙන්නට විය. ඒ මා එදා මෙදා තුර සහභාගී වූ ගෘහමය ධර්ම දේශනාමය පින්කම් සිය දහස් ගණනක ස්මරණයන් ද සමඟිනි.

‘සුහද හමුවක්’ සඳහා වූ නිමිත්ත ‘මතක බණ’..
මූලික බුදු සමයට කිසිදු සබැඳියාවක් නොමැති මෙම ආකෘතියේ ‘මතක බණ’ සම්ප්‍රදාය මහනුවර  රාජධානී සමයේ ආරම්භ වූ බවට පිළිගත හැකි ඓතිහාසික සාධක බොහොමයකි. ඒ අනුව එදා මෙදා තුර බෞද්ධ ජන සමාජයේ අඛණ්ඩව පැවැති මෙය හුදෙක් පින්කමකට වඩා ළංවනුයේ චාරිත්‍ර සම්ප්‍රදායකට ය. නමුත් පසුව මෙම ‘මතක බණ පින්කම’ නම් වන චාරිත්‍ර සම්ප්‍රදාය ලෞකිකත්වය අසීමාන්තිකව ඉහළ නැංවුණු නූතන සමාජයීය අවශ්‍යතා පෙරදැරිව විවිධාංගී කරණයෙන් යුතු ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් ව තිබේ.

ඒ අනුව අද වන විට එය සාම්ප්‍රදායික චාරිත්‍රයට වඩා තම තමන්ගේ පවුල් වල ඥාති හිතමිත්‍රාදීන් එක් වන “සුහද හමුවක්” බවට පත්ව ඇත. මතක බණ හෙවත් ධර්ම දේශනාමය පින්කම ඒ සුහද හමුව සඳහා යොදා ගන්නා නිමිත්ත පමණි.

බුදුන් හඳුන්වාදුන් ‘බෞද්ධ ධර්ම සන්නිවේදනය’ මතක බණේ නැත..
මුලික ධර්ම විනයට අනුව කිසිදු භික්ෂුවක් අනිවාර්යයෙන් ධර්ම දේශනා පැවැත්විය යුතු බවට කිසිදු නියෝගයක් නියමයක් පැනවී නැත. එමෙන්ම ආර්ය මාර්ගය සහ දහම් දැනුම අතර සෘජු සම්බන්ධයක් ද නැත. ත්‍රිපිටකානුගත කරුණු අනුව චතුරාර්ය සත්‍යය සඳහා පදනම් වන සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන සහ කෘත ඥාන යන ත්‍රිපරිවට්ටය සඳහා අසවල් ප්‍රමාණයක් දහම් කරුණු දැන සිටිය යුතු යැයි බුදු දහමේ කිසිදු තැනක සඳහන් නොවේ. “යථා භූත  ඥාන දස්සනං” යනුවෙන් බුදු දහමේ විස්තර කෙරෙන තත්වය හුදෙක් ප්‍රඥාව මත මිස දැනුම මත පදනම් නොවන්නක් බව ඒ සම්බන්ධ විමසුම් වලදී පෙනී යයි. නමුත් ධර්ම සන්නිවේදන කටයුතු වලදී භික්ෂුන් විසින් අනුගමනය කළ යුතු ආචාර විචාර සම්ප්‍රදායක් බුදුන් වහන්සේ විසින් හඳුන්වා දී තිබේ.  බෞද්ධ ධර්ම සන්නිවේදනය යනුවෙන් හැඳින්වෙන එම විෂය පථය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද ඇතුලත්ව ඇත. එමෙන්ම ඒ  සම්බන්ධයෙන් සිදු කරන ලද ධර්ම ශාස්ත්‍රීය විමර්ශන ඇසුරින් බොහෝ පොත පත ද ලියැවී ඇත. නමුදු වත්මන් භික්ෂු පරපුර ස්වකීය ධර්ම දේශනා  වලදී ඒවා ප්‍රායෝගික ලෙස භාවිතා කිරීමේ සම්භාවිතාව අතිශය පහළ අගයක් ගන්නා බව කිව යුතුම ය.

නිකම් චාරිත්‍රයක් පමණි..
ඉහත සඳහන් මතක බණ පින්කම් බොහෝ විට සිදු කෙරෙනුයේ නිශ්චිත කාල සීමාවක් තුළ ඉටු කළ යුතු චාරිත්‍රයක් සේ සළකමිනි. ඒ සඳහා බොහෝ දෙනකු සිදු කරනුයේ තමන් පදිංචි ප්‍රදේශයට ආසන්නම විහාරස්ථානයට ගොස් එම ධර්ම දේශනාව සඳහා එහි වැඩ වසන විහාරාධිපති හිමියන්ට ආරාධනා කිරීම ය. එහෙත් ඒ සෑම මතක බණකටම එක් වීමේ ප්‍රායෝගික අපහසුවක් එම විහාරාධිපති හිමියන් තුළ පැන නැඟිය හැක. අනෙක් කරුණ අප රටේ විහාරාධිපති පදවිය ධර්මධර විනය ධර හෝ සුපේශල  ශික්ෂාකාමී යන ආධ්‍යාත්මික සුදුසුකම් මත හිමිවන්නක් ද නොවේ. බොහෝ විට එය පාරම්පරික උරුමයක් වන අතර ඇතැම් විට එම විහාරාධිපති පදවිය අනියමින් හිමිකර ගන්නා භික්ෂුහු ද සිටිති. එමෙන්ම ප්‍රායෝගික තලයෙන් විමසා බැලූ විට විහාරාධිපති තනතුර අධ්‍යාත්මික හෝ ධර්ම ශාස්ත්‍රීය පදනමක් මත ස්ථාපිත වූවක් නොවේ. හුදෙක් එය ආදායම් කළමණාකරණය මත පදනම් වන විහාරාරාම පරිපාලනය හා සම්බන්ධ වූවකි. එමෙන්ම මෙම ආරාමික පරිපාලන ව්‍යුහය තුළ ඒ සඳහා පූර්ණ හිමිකාරත්වයක් නොමැති භික්ෂුන් වර්තමානයේ “විහාරාධිකාරී” වරුන් ලෙස ද පත් කොට තිබේ.

පෞද්ගලික ගුණ කථන..
මේ සියළු තත්වයන් යටතේ වුව ද එම විහාරාධිපති භික්ෂුන් මතක බණ පින්කම් සඳහා වැඩම කිරීමේ දී එම මියගිය පුද්ගලයා සහ ඔවුන් ගේ පවුලේ ඥාතීන් ගේ සමාජ ආර්ථිකය, ඔවුන් සමඟ පවත්වනු ලබන සමාජමය හා පෞද්ගලික සම්බන්ධතා ආදිය කෙරෙහි  ද අවධානය යොමු කරති. එමෙන්ම ඒ අනුව එවන් නිවෙස් වලට පිවිසෙන එම භික්ෂුන් ඉහත සඳහන් සාධක මත පදනම්ව තම දේශනාමය ආකෘතිය පවා වෙනස් කර ගැනීම සුලබ සංසිද්ධියකි. ඒ අනුව එවන් මතක බණ මූලික ධර්ම දේශනාමය ආකෘතියෙන් සපුරාම බැහැර වූ පෞද්ගලික ගුණ කථන ස්වරූපයක් ගන්නා බව ද පෙනෙයි. ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට සමීපතම නෑ හිතමිතුරන්ට හැරුණු කොට සෙස්සන්ට කිසිදු ප්‍රයෝජනයක් නොමැති එබඳු දෙසුම් ද මතක බණ ලෙස ප්‍රකාශයට පත් වීම ධර්ම ගෞරවයට සිදු කරන නිගරුවක් බව ද කිව යුතුම ය.

ධර්මය නැති කාලීන ‘ධර්ම’ දේශනා..
මේ අතර තවත් භික්ෂූන් පිරිසක් ධර්ම දේශනාවේ මුවා වෙන් සම කාලීන සමාජ තත්වයන් පිළිබඳව තම මතය ගෙන හැර දක්වති. නමුදු ඒ සම්බන්ධ බෞද්ධ අර්ථ දැක්වීම් කිසිත් නැත.බොහෝ විට “කාලීන ධර්ම දේශනා” යනුවෙන් හැඳින්වෙනුයේ මේවා ය. එහෙත්, ඒවා කාලීන බව ඇත්ත ය. නමුත් ධර්ම දේශනා නම් නොවේ.

ඒ හැරුණු කොට ඇතැම් විහාරාධිපති හිමිවරුන් තමන් වෙත ලැබෙන එවන් මතක බණ ඇරැයුම් හමුවේ විහාරස්ථානයේ සිටින කවර හෝ හිමිනමක් පිටත් කොට යවා නාමික වශයෙන් එම යුතුකම ඉටු කරන අවස්ථා ද තිබේ. ඇතැම් විට ඒ හිමිනම ප්‍රමාණවත් ධර්ම ඥානයක් නොමැති සාමනේර භික්ෂුවක් වීමට ද පුළුවන. එවිට බොහෝ විට සිදුවන්නේ එම නිවසේ සාලයේ පනවා ඇති ධර්මාසනාරූඪ වන හිමි නම තමන් දන්නා කරුණු මොන මොනවා හෝ කියා එතැනින් නික්ම ඒම ය.

පැලෑනේ වජිරඥාන හිමි හඳුන්වාදුන් බණ ආකෘතිය..
භික්ෂුන් ගේ ධර්ම දේශනා සම්බන්ධ ආචාර විචාර සම්ප්‍රදායන් හඳුන්වා දුන් බුදු හිමියන් ඒ ධර්ම දේශනා වලින් ඉටු විය යුතු අරමුණු මිස පැවැත්විය යුතු නිශ්චිත ක්‍රමවේදයක් හෝ එහි සන්දර්භයක් හඳුන්වා දී නැත. ඒ අනුව ධර්ම දේශනාවක් සඳහා නිශ්චිත කාලයක් ද දක්වාලිය නොහැක. නමුත් විසි වන සියවසේ මුල් භාගයේ දී පැලෑනේ වජිරඥාන හිමියන් විසින් එම ධර්ම දේශනා සඳහා නවතම ආකෘතියක් හඳුන්වා දීමෙන් විප්ලවීය මෙහෙවරක් සිදු කොට තිබේ. ත්‍රිපිටකාරූඪ මූලාශ්‍ර අතුරින් නිශ්චිත කරුණක් තෝරා ගෙන ඒ සම්බන්ධ අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කිරීමේ එම ධර්ම දේශනාව පැයක කාලයකට සීමාවන්නකි.

නමුදු වර්තමාන මතක බණ චාරිත්‍රයක් තුළ එසේ විධිමත් ලෙස හැසිරවිය යුතු පැයේ කාලය ඵලදායකත්වය අතින් පහලම අගයක් ගන්නා ආකාරයට අසංවිධිත ලෙස හැසිරවීම වත්මන් භික්ෂු සමාජය විසින් නිබඳව ම සිදු කරනු දක්නට ලැබේ.

“අපි බණ අහන්න; හාමුදුරුවරු බණ කියන්න එපායැ” යනුවෙන් මගේ විද්වත් මිතුරා පළ කළ එම සරල වදන් කිහිපය තුළ ගැබ් වූ ගැඹුරු අරුත එයයි.

-මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගේ විග්‍රහයක්

-මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මහාචාර්යතුමන්ගේ  ලිපිලිපි එකතුවක්



14 Viewers