13 පූර්ණ ලෙස ක්‍රියාත්මක කරතිබේද? නැත්ද?

කළමනාකරණ පද්ධති න්‍යාය (the System Theory) ප්‍රකාෂ කරන්නේ ඕනෑම සංවිධානයක් යනු තනි, අන්තර් සම්බන්ධිත කොටස් හෝ උප පද්ධතිවල, ඒකාබද්ධ පද්ධතියක් බවයි. සමස්ත පද්ධතියේ සෑම කොටසක්ම අනෙක් ඒවා මත රඳා පවතින අතර ඒවා නොමැතිව ප්‍රශස්ථ ලෙස ක්‍රියා කළ නොහැක. මෙම කළමනාකරණ පද්ධති න්‍යාය සමස්ත ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල වන්නේ කෙසේදැයි සළකා බැලීමෙන් අද අළුතෙන් උද්ගතව ඇති 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම යන ගෝශාවට ආදේශ කිරීමෙන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කර ඇත්ද නැත්ද යන පැනය විසඳා ගත හැකිවේ.

රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයනු එම රටේ ආණ්ඩුක්‍රමය කළමනාකරණය කරන නීති රීති පද්ධතියයි. 1978 ටේ ව්‍යවස්ථාවට මේ වනවිට උප පද්ධති විසි එකක් ඇතුලත්ව ඇත. ඉන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 1978 ජනරජ ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය වන අතර එය සමස්ථ පද්ධතියේ තවත් උප පද්ධතියක්වේ. මෙම 13 න්වන උප පද්ධතියේ අන්තර් සම්බන්ධිත කොටස් (ලයිස්තු) තුනක් ඇත. එනම් පලාත් සභා ලයිස්තුව, සංවෘත ලයිස්තුව හා සමගාමී ලයිස්තුව වශයෙනි. ඒ වගේම තවත් ඇමුණුම්ද එහි අන්තර්ගතවේ. 13 වන ව්‍යවස්ථා සංශෝධනය යන්න මෙම සමස්ථ පද්ධතියම බව පලමුවෙන්ම අවබෝධ කර ගත සහ පිළිගත යුතුවේ.

ඒ අනුව එක් ලයිස්තුවක තිබෙන එක දෙයක් ක්‍රියාත්මක කිරීම සඳහා අනෙක් ලයිස්තු හෝ ඇමුණුම් නොසළකා හැරීම කළ නොහැක. එසේ එක් උප පද්ධතියක් පමණක් ක්‍රියාත්මක කරනවිට සමස්ථ පද්ධතියම ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක නොවේ.

ඒ අනුව පලාත්බද පොලිසිය පලාත් සභා ලයිස්තුවෙ තිබෙන බැවින් එම කොටස පමණක් ඇමිණුමේ කොටසක් ක්‍රියා විරහිත කරමින් ක්‍රියාත්මක කළ නොහැක. පලාත්බද පොලිසිය ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඇමිණුමේ තිබෙන කාරණා වලට හෙවත් තිරිංග බලට යටත්ව හා අනුකූලව වේ. තිරිංග ගලවා හෝ අඩපණ කර වාහනයක් ධාවනය වන්නේනම් ඉන් සිදුවෙන අනතුරු පිළිබඳව පසුගිය දිනවල සිදුවූ මාරක මාර්ග අණතුරු සළකා බැලීමෙන් අවබෝධ කර ගත හැක. යම් හෙයකින් එම තිරිංග වෙනස් කිරීමට අවශ්‍ය වන්නේනම් සමස්ථ තිරිංග පද්ධතියම වෙනසකට භාජනය කළ යුතුවේ. එනම් 13 න් වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇමුණුම්වල පවතින කාරණා වෙනස් කිරීමට අවශ්‍ය වන්නේනම් සමස්ථ 13 වන සංශෝධනයම සංශෝධනය කළ යුතුවේ. එනම්, දැනට පවතින තත්ත්වය අනුව එය 22 වන ව්‍යවස්ථා සංශෝධනය වනු ඇත.

ඒ අනුව, දැනට පවතින 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කර ඇති බව පැහැදිලි විය යුතුය. එසේනම්, විද්වතුන්ද පවසන මේවනවිට 13 පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම වශයෙන් නගන ඝෝෂාව නිවැරදිදැයි ඔවුන් විසින් යළි සමාලෝචනයක් කළ යුතුවේ.

තවද 1987 දී ගෙනෙන ලද 13 වන සංශෝධනය ලෙසම 2022 දී ගෙනෙන ලද 21 වන ව්‍යවස්ථා  සංශෝධනයද රටේ අත කරකවා සම්මත කරගන්නා ලද දේශ ද්‍රෝහී සංශෝධන ලෙස හැඳින්විය හැක. 13නේ සඳහන්කර තිබුන පලාත්බද පොලිස් බලතල නැවත 21 වන සංශෝධනයෙන් කූට ලෙස බලගන්වා ඇත. 21කේ රචකයින් සමස්ත දේශමාමක පිරිස් රවටා ඔවුන්ගේ සිතැඟි ඉටුකරගෙන ඇත. 21 ට අත එසවූ කිසිවෙකුට තමුන් සිදුකළ පාපයෙන් ගැලවීමට පහසු නොවනු ඇත.

– යසස් ධර්මදාස
ලේකම්, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව

 



27 Viewers