ඉන්දියා පකිස්ථාන්
ඉන්දියා පාකිස්තාන් රාජ්‍යයන් දෙක අතර යුද උණුසුමක් මතුවෙමින් පවතින දින කිහිපයක් පසු කරමින් සිටිනවා….
අප කුඩා කාලයේ 1971 වසරේ පමණ බංග්ලාදේශය බිහිකිරීම වෙනුවෙන් වූ අර්බුදයේදී පකිස්ථානය සහ ඉන්දියාව අතර යුදමය තත්ත්වයක් පැන නැගුනා..
අවසානයේ එය යුද්ධයක් බවටම පත්වුණා..
ඒ යුගයේ ඉන්දියාව අද මෙන් ප්‍රබල යුධ ශක්තියෙන් යුත් රටක් නෙවෙයි..
ඒ කාලයේ ඉන්දියාව කෙලින්ම රුසියාව සමග සහයෝගීතා ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර පාකිස්ථානයේ සහායට ඇමරිකාව සිටියා..
මම නිවැරදි නම් එවිට පාකිස්ථාන ජනාධිපතිවරයා හමුදා නායකයෙකුවූ යහියා ඛාන්…
එවැනි අවස්ථාවක එවකට ඉන්දියන් අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා..
එහිදී පාකිස්ථානය අරභයා ඉන්දියාවේ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසට ඇමරිකානු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරියට බලපෑම් සහගත ලෙස ප්‍රකාශ කරනවා…
ඉන්දියාව පාකිස්තානයට බලපෑම් කරන්න ආවොත් ඇමරිකාව අහක බලාගෙන ඉන්නේ නැති බවත්,
එසේ වුවහොත් ඉන්දියාවට එහි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවත්,
ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්ද්‍රියා ගාන්ධි මැතිනියට පවසන්නේ..
ඉන්දීය අග්‍රාමාත්‍යවරියගේ පිළිතුර ඒ මොහොතේදීම ලැබෙනවා..
ඉන්දියාව විසින් ඇමරිකාව සලකනු ලබන්නේ මිත්‍රයෙක් ලෙසට මිස තමාගේ බොස් කෙනෙක් ලෙසට නොවන බව ඉන්දීය අගමැතිනිය එහිදී කියනවා…
ඉන්දියාවට ඉන්දියාව සම්බන්ධ ප්‍රශ්නවලදී තීරණ ගැනීමට සහ ඒ තීරණයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන බවත් ඇය පවසනවා..
ඇය එම සාකච්ඡාවෙන් පිටත්වී යන විට එවකට මෙරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කී සිංජර් එතුමිය සමග කතා කරමින් පැමිණෙනවා..
එසේ පැමිණෙන ගමන් ඔහු අග්‍රාමාත්‍යවරියට පවසනවා
” මැඩම් ඔබතුමිය ට වඩා වෙනස් විදියකට අපේ ජනාධිපතිතුමා සමග කතා කරනවනම් හොඳ නැද්ද” ලෙසින්….
ඔහුට ඉන්දීය අගමැතිනිය දෙන පිළිතුර ු ඊටත් වඩාත් තද එකක්..
” කී සිංජර් මහත්මයා අපි දියුණු වෙමින් පවතින රටක්..
හැබැයි අපට දැනටමත් හොඳ දියුණු කොන්දක් තිබෙනවා..
අපිට ධෛර්යය තිබෙනවා..
ඒ වගේම අපේ සම්පත් පිළිබඳ විශ්වාසය තිබෙනවා..
කවුරුන් හෝ සිතා සිටිනවා නම් තමා ඉතා බලවත් තමාට වඩා සැතපුම් දහස් ගණනක් ඈත රාජ්‍යයක් වුණත් තමන්ට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියලා,
ඒක එහෙම නෙවෙයි කියන එක ඉන්දියාව ඔප්පු කරලා පෙන්වනවා..”
හෙන්රි කීසිංජර් යනු එවකටලොව ප්‍රබලම පෙලේ රාජතාන්ත්‍රික නිලධාරියෙක්..
ඉන්දියා ගාන්ධි මැතිනිය සිය රට පැමිණි ගමන් හමුවන්නේ එවකට ඉන්දියාවේ විපක්ෂ නායක අතල් බිහාරි වජ්පායි මහත්මයව..
ඔවුන් දෙදෙනා අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙනවා..
ඉන් අනතුරුව සියලු දෙනාටම දැනගන්නට ලැබෙන්නේ.ඒ ආසන්නයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමිමේලනය ඉන්දියාව වෙනුවෙන් එවර අමතන්නේ විපක්ෂ නායක අතල් බිහාරි වජ්පායි බවයි…
බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවය ඒ සමගම වජ්පායි මහතාගේ අසනවා
” ඔබ ඉන්දියානු ආණ්ඩුව දැඩිව දැන් විවේචනය කරනවා ..
එතකොට ඔබ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ගිහිල්ලා ඉන්දීය අගමැතිනිය ඇතුළු රජය කරන දේ හරි කියලා කියන්නේ කොහොමද..?” කියලා..
අතල් බිහාරී වජ්පායි එයට දෙන පිළිතුර මේ වගේ එකක්..
” උද්‍යානයක රෝසමල් තිබෙනවා.. ඒවගේම ලිලී මල් තිබෙනවා..
රෝස සහ ලිලී මල් අතරේ තරගයක් තියෙනවා.
රෝස කියනවා අපි ඉන්නකොට තමයි උද්‍යානයේ ලස්සන කියලා..
ලිලී කියනවා අපි ඉන්නකොටයි උද්‍යානය ලස්සන කියලා..
හැබැයි දැන් උද්‍යානයට ප්‍රශ්නයක් ඇවිල්ල තියෙන වෙලාවක්..
ඒ වෙලාවට රෝස මල් ලිලීමල් දෙවර්ගයම තමන්ගේ අතර තියෙන තරගය පැත්තකට තියලා උද්‍යානය බේරගන්න මුල් තැන දෙනවා..
දැන් වෙන්නේ ඒකයි කියලා..
ඒක තමයි ඉන්දියානු ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ..”
ඇමරිකාව මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ ඇමෙරිකාව සතු එවකට තිබුණු නවීන යුධ ටැංකි දෙසිය හැත්තෑවක් එකවරම පකිස්ථානයට ලබාදෙමින්..
ඒවා ඉතාමත් ප්‍රබල ඒවා කියලා ලෝකයටම කියලා..
ඒවා පාකිස්ථානය විසින් ඉන්දු පකිස්තාන් බෝඩරය විතරගෙන එනවා..
ඒවගේම ඉන්දියාවට ඒ අවස්ථාව වන විට ඉන්ධන සැපයීම ප්‍රධාන වශයෙන් කරපු
“බර්මා ෂෙල්” කියන සමාගමට ඉන්දියාවට තෙල් සැපයීම නතර කරන ලෙසට ඇමරිකාව බලපෑම් කරනවා..
ඒ අනුව එම සමාගම තෙල් සැපයීම නවත්වනවා..
නමුත් ඉන්දියාව රුසියාව වෙතින් ක්ෂණිකව තෙල් මිලදී ගැනීමට කටයුතු කරනවා..
පකිස්තානු බෝඩර් එකට ගෙනා ඉන්දියාවේ ඇමරිකන් යුද ටැංකි , ඉන්දියානු ප්‍රහාර වලින් විනාශ වෙනවා..
දින දහ අටකින් යුද්ධය අවසන් වෙනවා..
ඉන්දියාව ජයගන්නවා.
බංග්ලා දේශය බිහිවෙනවා…
අර ඇමෙරිකාව පාකිස්ථානයට ආධාර පිණිස දුන්න යුද්ධ ටැංකි ඉන්දියානු හමුදාව ඉන්දියාවට ගෙනල්ල ජනතාවට ප්‍රදර්ශනය කරනවා …
ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන්ට ඉන් වසර දෙකකට පමණ පසු වෝටර්ගේට් සිද්ධිය නිසා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවෙනවා.
ඉන්දියාව එදත් අදත් හැමදාම ජාතිකත්වය කියන එක පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පවත්වාගෙන යන රටක්…
එදා ඉන්දියාවෙන් අපට මේ වගේ බලපෑම් තිබුණු යුගයක් නෙවෙයි..
අනිත් එක හැත්තෑවේ දශකයේ මුල ඉන්දියාවත් අපත් රටවල් දෙකම රුසියාව සමග සුවදත්වය වත්වගෙන යාමට වඩා ප්‍රවණතාවයක් දැක්වුවා..
එනිසා ඉන්දීය ජයග්‍රහණ පිළිබඳ අපටත් තිබුණේ ආශ්වාදජනක හැඟීමක්..
අද වන විට ලෝක තත්ත්වය වෙනස් වෙලා..
අද ඇමෙරිකාව ඉන්දියාව මිතුරන් වෙලා.
එදා පකිස්තානයට ඇමෙරිකාවෙන් ලැබුණු සහය දැන් ලැබෙන්නේ නෑ…
හැබැයි තමන්ගේ රටට ආදරය කරන එකේදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කටයුතු කරන එක පිළිබඳව නම් ඕනෑම කෙනෙකුට ඉන්දියාවෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..
ඒ වගේම තමන්ගේ රටට අහිතකර නොවන විදියට,
අවාසි නොවන විදිහට අනෙක් රටවල් එක්ක
කටයුතු කරමින් රට පාලනය කරන එක පිළිබඳවත් ඉන්දියාවෙන් හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..
මේ සිදුවීමට වසර අටකට විතර කලින් එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය දැරූ ලාල් බහුදූර් ශාස්ත්‍රී මැතිතුමා අතර ඉන්දු ලංකා පුරවැසි ප්‍රශ්නය පිළිබඳ ගිවිසුම සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කිරීමේදී,
බණ්ඩාරනායක මැතිණිය සහ එවකට මෙරට විපක්ෂ නායකවරයා ඩඩ්ලි සේනානායක මහතා සමගින් ඉතාම සහයෝගයෙන් මෙලෙස කටයුතු කල මතකය….
ගිවිසුම අත්සන් කිරීමට පෙරදා රාත්‍රියේ ඉන්දියාවේ සිට ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමතිවරයා අත එය විපක්ෂ නායක ඩඩ්ලි සේනායක මහතා වෙත එවීමට අගමැතිනිය කටයුතු කළ අතර ,
එලෙස එවීම අවශ්‍ය නොවන බවත් බණ්ඩාරනායක මැතනිය රට වෙනුවෙන් නිවැරදිව එම කටයුත්ත කරන බව තමාට විශ්වාස බවත්,
තමන්ට කළ නොහැකිවූ දේ එතුමිය කිරීම පිළිබඳව තමා සතුටු වන බවත් විපක්ෂ නායකවරයා එදා පවසා ඇත..
TV and Radio YouTube channel එකේ වීඩියෝවකින් අමතක තොරතුරු බොහොමයක් නැවත මතක් වුණා.. ස්තුතියි ඒ වෙනුවෙන් ඔවුනට…
.. ලාල් ද අල්විස්…
3 Viewers