කුරුණෑගල මලියදේවයෙන් බිහිවූ විශිෂ්ඨතම රණවිරුවා
රත්නායක මුදියන්සේලාගේ දයා රත්නායක හෙවත් ආර්.එම්. ඩී. රත්නායක 1958 පෙබරවාරි මස 22වැනිදා උපත ලද්දේ කුරුණෑගල පිහිටි සුන්දර ගම්මානයක් වන සියඹලන්ගමුවේ දීය.ඔහුගේ දෙමාපියන් වූයේ මුතුබණ්ඩා රත්නායක මහතා සහ රන්මැණිකා හේරත් මහත්මියයි.සහෝදරියන් තිදෙනකුගෙන් සහ සහෝදරයෙකුගෙන් සැඳුම්ලත් මේ පවුලේ බඩපිස්සා වුණේ දයා රත්නායක නම්වූ මේ සුරතල් කොලු පැටියා යි.
දයා රත්නායක දරුවා මුලින්ම අධ්‍යාපනය ලැබූයේ උඩබදලව මහවිදුහලෙනි.පොල්රුප්පා අතරින්, කිරිවැදුණු බණ්ඩිගොඩයම සිනා තළන වෙල්යාය මැදින්, ඇලේ දොළේ පනිමින් ඔහු පාසලට ගියේ හරිම අපූර්ව ආශ්වාදයක් විඳිමින්ය.
“මගේ ගම සෑම දෙයකින් ම අනූන, සුන්දර පරිසරයකට උරුමකම් කිව්ව ගම්මානයක්. මේ ගම හරිම විශාලයි. ඉහළ සියඹලන්ගමුව, පහළ සියඹලන්ගමුව, මැදගම සියඹලන්ගමුව කියලා මේ ගම්මානය කොටස් තුනකට බෙදිලයි තිබුණේ. ලංකාවෙ සිව්වැනි රාජධානිය වුණු කුරුණෑගල ප්‍රදේශය් පිහිටි මේ ගම, එම රාජ යුගයේ ඉඳන්ම පැවත එන එකක්.”
“මගේ කුඩා කාලය ගෙවීගියේ සොබාදහමේ අපූර්වත්වය කැටිවුණු මේ ප්‍රදේශයේයි. අනෙක් ළමා ළපටින් වගේම මමත් ඒ කාලෙ වෙල් ඉපනැල්ලෙ දුව පැන නැටුවා. ලඳු කැළෑවල දුව පනිමින් ගඩාගෙඩි කෑවා. ඔය අතරේ දඩබ්බර වැඩත් කළා. ගුටි කෑවා. බැණුම් ඇහුවා, කොහොම වුණත් මේ හැම දෙයකින් ම මං අපූරු සතුටක් ලැබුවා. මං ගෙවූ මගේ පුංචි කාලය හරිම සුන්දර, විනෝදජනක එකක් වුණා.”
1972 වසරේදී කුරුණෑගල මලියදේව විදුහලට ඇතුළත්ව ඔහුගේ අධ්‍යාපන කටයුතු ඇරබීය.මලියදේව විද්‍යාලයේ දීප්තිමත් සිසුවකු බවට පත්ව සිටි දයා රත්නායකට, පාසලේ සිසුන් මෙන්ම ගුරුවරුන්ගේත් අවධානය දිනාගැනීමට හැකිවිය.රත්නායක ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටද හපන්කම් දැක්වූවාය.මීටර් 100, මීටර් 400 ධාවන ඉසව්වලින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගැනීමට සමත්විය.
අපොස (සා.පෙළ) ඉහළින්ම සමත් වූ ඔහු උසස් පෙළ සඳහා විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබා වෛද්‍යවරයකු වනවාටවඩා, හමුදා සේවයට එක්වීමට බහෙවින්ම ඇල්මක් දැක්වූවාය.උසස් පෙළ හමාර කර පාසලෙන් ඉවත්වුණු ඔහු, 1980 පෙබරවාරි මස 06 වැනිදා කැඩෙට් නිලධාරීයෙකු ලෙස යුධ හමුදා සේවයට එක්විය .පාබල හමුදාවේ කනිටු නිලධාරියකු ලෙස සේවය අරම්භකල ඔහු ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරියා ලෙසට ද පත් විය .
1985 දී ජනරාල් දයා රත්නායක කොටි සැඟවී සිට කළ පහරදීමකින් දිවි ගලවා ගත්තේ ත්‍රස්තවාදීන් සමග මාරාන්තික සටනක් කිරීමෙන් අනතුරුවය. යාපනයේ සිට අරියාලෙයි හරහා නාවක්‌කුලි වෙත හමුදා වාහන තුනකින් ගමන් කරන අවස්‌ථාවේ LTTE නායක ප්‍රභාකරන්ගේ ඥතියකු වූ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්‌ටු ප්‍රමුඛ ත්‍රස්‌තයන් පිරිසක් එල්ල කළ ප්‍රහාරයෙන් සෙබළුන් දෙදෙනකු මියගොස් සිව් දෙනෙක් තුවාල ලැබූහ. මෙම අවස්‌ථාවේ දයා රත්නායක ප්‍රමුඛ භට පිරිස පාරෙන් ඉවතට පැන සැඟවී සිටි ත්‍රස්‌තයන්ට ප්‍රහාර එල්ල කර ඇත. පැයකට අධික කාලයක් තිස්‌සේ කොටි සමග සටන් කළ මෙම හමුදා භට පිරිස කොටි 37 ක් මරා දමනු ලැබීය.
මෙම LTTE ත්‍රස්තවාදී ප්‍රහාරය ජනරාල් දයා රත්නායකගේ මුල්ම යුධ බිමේ අත්දැකීමයි. කිට්‌ටුගේ ප්‍රහාරක කණ්‌ඩායම වැනසීම නිසා දයා රත්නායකට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විසින් රණවික්‍රම පදක්‌කම ප්‍රදානය කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද හමුදාව සිය ඉතිහාසයේ ප්‍රථම වරට කළ මහාපරිමාණ මෙහෙයුම වුණ ඔපරේෂන් ලිබරේෂන්, හෙවත් ‘විමුක්ති’ මෙහෙයුමට ඔහුගේ දායකත්වය නොඅඩුව හිමිවිය.
1995 ඔහු යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබියදී නිර්වේලිහි කොටි ආරක්‍ෂක වළල්ල බිඳ දැමීමට දියත් කළ මෙහෙයුමේදී සෙබළුන් 100 කට අධික පිරිසක් මරුමුවට පත් වූ අතර දයා රත්නායකගේ ඒකකයේ භටයන් 24 ක් ද දිවි පිදුහ.එම ප්‍රහාරයේදී කොටින්ට කොටු වූ හමුදා භට පිරිස බේරා ගැනීමට ජනරාල් රත්නායක අණදුන් කන්ඩායමට හැකිවිය.
එතැන් සිට ආරම්භ වුණ ‘යාල්දේවි’, ‘රිවිරැස’, ‘ජයසිකුරු’, ආදී සෑම මෙහෙයුමකදීම ඔහු රට වෙනුවෙන් කළහැකි උපරිම සේවය ඉටුකරනු ලැබුවා සේම රිවිරැස මෙහෙයුම පැවැති සමයේ දී ඔහු සෙබළුන්ගේ අවශ්‍යතා සපුරාගැනීම සඳහා අවැසි දේ ලබාගැනීමට සෘජුව මැදිහත්ව නිර්භයව ක්‍රියාකළේය.
1994 වසරේදී බලයට පත් වූ පොදු පෙරමුණු ආණ්ඩුව යාපනය අල්ලා ගැනීමට තීන්දුවක් ලබා දුන් මොහොතේදී, යාපනය පලාලි කඳවුරේ හමුදා නිලධාරීන් සමග රැස්වීමක් පැවැත්වුණි.එවකට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එම රැස්වීමේදී ඔහු ප්‍රකාශ කළේ තෙමසක් ඇතුළත යාපනය අල්ලා ගතයුතු බවයි.
ඔහුගේ එම කතාව අවසානයේදී, තම ප්‍රකාශය සම්බන්ධයෙන් ගැටලු පවතීනම් ඒවා කතාබස්කර විසඳාගන්නට අවස්ථාවක් ලබා දෙන ලදී.එවකට කර්නල්වරුන් ලෙස සිටි සුමේධ පෙරේරා, රාජ් විජේසිරි හා දයා රත්නායකයන් ඉදිරිපත්වී ප්‍රකාශ කරනු ලැබුවේ මෙහෙයුමට පෙර සෙබළුන්ගේ සුබසාධන කටයුතු සම්පූර්ණ කළයුතු බවයි. ඔවුන්ගේ අදහසට සවන්දුන් රත්වත්තේ මහතා මෙහෙයුමට පෙර එම අවශ්‍යතා සම්පූර්ණ කිරීමට ක්‍රියා කරනු ලැබීය.
මේ ආකාරයට තමන්ගෙන් රටට, තමා යටතේ සිටින සෙබළුන්ට ඉටුවියයුතු දේ පිළිබඳ නිතර අවදියෙන් සිටි බ්‍රිගේඩියර් දයා රත්නායකට තම හමුදා සේවා කටයුතුවලදී සංවේදී මෙන්ම ත්‍රාසජනක සිදුවීම්වලට ද මුහුණ දීමට සිදුවුණා.
“ජීවිතය නැතිවෙන්න ගිහින් බොහෝ අවස්ථාවලදී මං බේරුණේ අනූනවයෙන්. එක දවසක් මං ඇතුළු පස්දෙනෙක් යුද ටැංකියකින් ගමන් ගනිමින් හිටියා. මං එක අවස්ථාවකදී යුද ටැංකියෙන් එළියට එන්න උත්සාහ ගනිද්දීම යුද ටැංකිය බිම්බෝම්බයකට හසුවුණා.ඇතුළෙ හිටිය හතරදෙනාම මියගියා. මාව බේරුණා. මාව මියගිය බව නිලධාරීන් රේඩියෝ මගින් කතාබස් කරගන්නවා මට ඒ මොහොතෙ ඇහුණා.”
“තව දවසක් අපි යුද්ධය පැවැති ප්‍රදේශයක ගමන් කරද්දි, අප සිටිය ස්ථානයට ටිකක් දුරින් ඉඳන් කොටි ත්‍රස්තවාදීයෙක් වෙඩි තිබ්බා. ඊට කලින් මං ඒ මිනිහට වෙඩි තිබ්බා. ඒ මිනිහා මැරුණා. මං ඉක්මන්වුණ නිසා එදා මං බේරුණා.”
“අපි අලිමංකඩ ප්‍රදේශය අල්ලාගත් වෙලාවෙදි රාත්‍රියෙ ඒ ගමේ පිහිටි නිවෙසක නතරවුණා. ඒ වෙලාවෙ අපි නතරවුණේ වටපිට පරීක්ෂා කරලයි. මේ ගෙදර පෝටිකෝව සහ වහලය අතර පිහිටි ඉඩේ පාර්සලයක් තියෙනවා අප දැක්කා. අපි හිතුවෙ ඒ බෝම්බයක් කියලයි.
අපි බෝම්බ නිෂ්ක්‍රීය අංශය ගෙනත් බැලුවා. බලනකොට ඒකෙ තිබුණෙ පොත්. අපි හැමෝටම ඒ සිදුවීම හරිම සංවේදී අවස්ථාවක් වුණා. ඒ නිවෙසෙ හිටිය දරුවො තමන්ගෙ පොත් හංගලා තිබුණෙ සුරක්ෂිතම තැනකයි.”
“ඒ වගේ අත්දැකීම් අපේ සිත් සසල කිරීමට සමත්වුණා. මං පහුවදාම ඒ අය රැඳී සිටි අවතැන් කඳවුර හොයාගෙන ගිහින් පොත් බෑගය සහ තෑගි පාර්සල් බාර දුන්නා.”
මේ වගේ තමන්ගෙ ජීවිතයේ විවිධ සංවේදී මෙන්ම ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණ දුන් ඔහු, 2004 ඔක්තෝබර් 24 වැනිදා සිට 2005 සැප්තැම්බර් 24 වැනිදා දක්වා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේය.
එමෙන්ම යුද හමුදාවේ ප්‍රබලතම සේනාංකයක් ලෙස ප්‍රකට 53 වැනි සේනාංකය යටතේ තිබූ 532, 533, 534 යන බළ සේනාවල බළ සේනාධිපති ලෙස ද කටයුතු කරනු ලැබුවාය.
සිව්වැනි ඊළාම් යුද්ධය නැඟෙනහිර පළාතෙන් ඇරැඹෙද්දී බ්‍රිගේඩියර් තනතුරකට උසස්වීම් ලැබ සිටි රත්නායක මහතා, වැලිකන්ද 23 වැනි සේනාංකාධිපතිවරයා බවටද පත් විය. වාකරේ තොප්පිගල සටන් ඇවිළ යන විට මඩකළපුව තිබුණේ ඔහු අණදුන් 23 වැනි සේනාංකය යටතේ වීම විශේෂත්වයක්.
වාකරේ ප්‍රදේශයේ කොටි කඳවුරු 26 ක් ද මි. මී. 122 සහ 152 වර්ගයේ කාලතුවක්‌කු ඒකක දෙකක්‌ද ස්‌ථානගත කර තිබූ බව හෙළි විය. එහෙත් දයා රත්නායක මෙහෙයවූ හමුදා සේනාංක උතුර සමග මුහුදු මගින් සබඳකම් පැවැත්වීමේ කොටි කේන්ද්‍රස්‌ථානය වූ වාකරේ අල්ලා ගැනීමත් සමඟ ම බරපතළ ප්‍රශ්නයකට මුහුණපෑ කොටි තොප්පිගලට පැන ගියේය. වාකරේ මෙහෙයුම දියත් කරන අවස්‌ථාවේ කොටි 3000 කට අධික පිරිසක් වාකරේ ස්‌ථානගතව සිටි බව හෙළි විය.
මෙම කොටි කණ්‌ඩායම වැනසීම සඳහා පනහකගෙන් සමන්විත කුඩා ප්‍රහාරක කණ්‌ඩායම් යෑවීමට දයා රත්නායක පියවර ගත්තේය. චීන යුද විශේෂඥයකු වූ සුත් ක්‌ට්‌සුගේ උපාය මාර්ග අනුගමනය කළ මෙම හමුදා නිලධාරියා වාකරේ අල්ලා ගන්නාවිට කොටි 718 ක පිරිසක් මරුමුවට පත් වී සිටියහ. ගැටුම්වලදී සෙබලු 36 ක් ද දිවි පිදූහ. තවත් 100 කට අධික කොටි ත්‍රස්තවාදීන් පිරිසක් යටත් වූහ. 2007 ජනවාරි 19 දා වාකරේ නගරය ආරක්‍ෂක හමුදාව විසින් මුදාගනු ලැබීය.
මෙහිදී කොටි සතු කාලතුවක්‌කු බතරෝයි හතරක් ද අල්ලා ගැනීමට දයා රත්නායකගේ හමුදා සේනාංකවලට හැකි විය. මෙලෙස නැගෙනහිර කොටි කේන්ද්‍රස්‌ථාන වූ වාකරේ සහ තොප්පිගල මුදාගැන්මට ජෙනරල් දයා රත්නායකගේ මෙහෙයවීමෙන් හැකිවිය.
ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා අතර වාර්තාවක් තබමින් ඔහු සටන් බිමේදී වීර පදක්කම් දිනාගත් අභීත රණවිරුවෙක් බවට පත්විය. ඔහු එම වීර පදක්කම්වලට හිමිකම් කියනු ලැබුවේ වැඩිම වාර ගණනක් වීර පදක්කම් දිනාගත් නිලධාරියා බවට පත්වෙමිනුයි.මෙරට ජනාධිපතිවරුන් වූ ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී. බී. විඡේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපතිවරුන්ගෙන් පදක්‌කම් ලැබූ එකම හමුදා නිලධාරියා වන්නේද මේජර් ජෙනරල් දයා රත්නායක වේ.
මේ වනවිට ඔහු රණවික්‍රම (RWP) පදක්කම හතර වතාවක් ද, රණශූර (RSP) පදක්කම හතර වතාවක් ද දිනාගෙන තිබේ. ඒ අනුව වීර පදක්කම් අට වතාවක් දිනාගත් එකම හමුදා නිලධාරියා බවට ඔහු පත්ව තිබේ.
එසේම උත්තම සේවා (USP) පදක්කම මෙන්ම යුද බිමේ දී සතුරා සමඟ නොබියව සිටිමින් කළ සටනේදී තුවාල ලැබීම නිසා දේශ පුත්‍ර (DPP) පදක්කමද හිමිකර ගත්තේ ය.2010 වසරේ ජනවාරි පළමු වැනි දින යුද හමුදාවේ දෙවැනියා වන මාණ්ඩලික ප්‍රධානී තනතුරට ඔහු පත් කරන ලදී.
2013 පෙබරවාරි මස 21 වැනි දින සේවයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබුණද, ඔහුට සේවා දිගුවක් ලබා දෙමින්, ජනාධිපති විසින් ඔහු මෙරට 20 වැනි හමුදාපතිවරයා බවට පත්කරනු ලැබුවේය. ඒ 2013 වසරේ අගෝස්තු පළමුවැනිදා සිටයි.2015 පෙබරවාරි 22වන දින ලුතිනන් ජෙනරල් දයා රත්නායක යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබීය.
නිර්මාණශීලී හැඟීම්වලින් පිරිපුන් ඔහු යුද හමුදාවේ ලාංඡන මෙන්ම ධජ පතාකවලින් අති බහුතරයක නිර්මාණකරුවා ද විය. දමයන්ති රත්නායක සමඟ විවාහ වී සිටින ලුතිනන් ජෙනරල් දයා රත්නායක රත්නායක මහතා, යසස්, විනුර යන පුතුන් දෙදෙනාගේ සහ විනායා දියණියගේ ආදරණීය පියාය.
58 Viewers