නවම් පුර පසළොස්වක පොහෝ දින පණිවිඩය.

2026 ක් වූ පෙබරවාරි මස 01 වැනි පුර පසළොස්වක පුන් පොහෝදා
ත්‍රිකුණාමල බන්ධනාගාරයේදී ය.
ලක්වැසි ලෝවැසි සියලුම බොදුනුවන්ට සීල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂාවන් පූර්ණය වන උතුම් පුර පසළොස්වක පුන් පොහෝ දිනයක් වේවා යැයි පතමි. ශ්‍රී ලංකා ධරණී තලයට සියම් දේශයේ සිට උපාලි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහ සඟරුවන අධිශීල සංඛ්‍යාත උපසම්පදාව රැගෙන වැඩම කළ පුණ්‍ය භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කොට බුද්ධ ආවරණයක් නිර්මාණය කරනු වස් මංගල ශික්ෂාවන් ස්ථාපිත කිරීමේ වරදට, පිරිත් සජ්ඣායනා කිරීමේ වරදට, එම පුණ්‍යකර්මයට සහභාගී වීමේ වරදට අද වන් පුන් පොහෝ දිනයකත් මා ඇතුළු භික්ෂූන් වහන්සේලා සිව් නමක් හා උවැසි උවැසියන් බන්ධනාගාර ගතව නොයෙක් පීඩාවන් විඳිති. එකී උපසම්පදාවෙන් අභිෂේක ලැබූ භික්ෂූහු අස්ගිරි, මල්වතු ආදී පාර්ශ්වයන් ලෙස ලංකාවේ මෙන්ම විදෙස්ගතව ද නොයෙක් විහාරස්ථානයන්හි දී සකල ලෝකවාසීන්ට උතුම් බුදු බණින්,අර්ථ රසයෙන්, ධර්ම රසයෙන් අනුශාසනා කොට වැඩ වදාරම්හ.
තථාගත සම්බුද්ධ ශාසනයේ අති උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්ධනය කරනු වස් අග්‍රශ්‍රාවක පදවි ප්‍රධානය කරන ලද,”විනයෝ නාම සාසනස්ස ආයු – විනය නම් ශාසනයේ ආයුෂයයි” එකී විනයෙන් සුපෝෂිත වූ භික්ෂු පරම්පරාවක් තනනු පිණිස ප්‍රාතිමෝක්ෂ විනය දේශනාවන් සිදුකරන ලද, සාරා අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරාවට පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී පුරා තුන්ලෝකයටම උතුම් නිර්වාණ ඔසුව බෙදා දුන් අසහාය ශාස්තෘන් වහන්සේ චාපාල චෛත්‍යයේදී ආයු සංස්කාරය අත් හරින ලද, ආදී සුවිශේෂී කරුණු ගණනාවක් සිදු වූ උතුම් නවම් පුර පසළොස්වක පුන් පොහෝ දිනය අදයි.
“සිරිමත් බඹසිරසෙහි පා පිසිනා – සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා – මුදුනත් බැඳ නමදිමු බැති පෙමිනා”
පූජනීය මහා සඟරුවන ත්‍රිකුණාමල බන්ධනාගාරයේ රැඳවුම් ලබා සිටින පුන් පොහෝ දින අප සමග බන්ධනාගාර ගත කරන ලද උපාසකයෝ පෙහෙවස් සමාදන් වූහ. එකී උපාසකයන් අනුව ගමන් කළ ඇතැම් රැඳවියෝ ද නවම් පුර පසළොස්වක පුන් පොහෝ දින පෙහෙවස් සමාදන් වූහ. පෙහෙවස් සමාදන් කරන ලද්දේ ත්‍රිකුණාමලයේ නන්දවංශ තිස්ස ස්වාමීන් වහන්සේ විසිනි. පොහෝ දිනය පුරාවටම ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන්, ත්‍රිකුණාමලයේ සුඛිතවංස තිස්ස හිමියන්, බලන්ගොඩ කස්සප හිමියන් අර්ථයෙන් ධර්මයෙන් බොදුනුවන් හට අනුශාසනා කරති. අද බන්ධනාගාරය පන්සලකි. සිල් සුවඳ දසත පැතිරේ. බුදුබණින් සිත් සතන් නිවී ගොසින්ය. අපගේ පැතුම නම් නොකල වරදකට මහ සඟරුවනත්, බොදුනුවනුත් සිරගත කරන්නට චෝදනාපත් සකස් කළ ජාතික ජන බලවේග පොලිසියත්, අපව සිරගත කරන ලෙස අණදුන් වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නොයෙක් අයුරින් අපට නින්දා අපහාස කරන සියලු දෙනාටත් උතුම් පුර පසළොස්වක පොහෝ දිනයේ දී සියලු යහපත උදාවේවා! උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනසෙත්වා! අපට අපගේ මවුපියන්ට ඥාතීන්ට නිකරුණේ ලබා දුන් මෙකී මානසික ශාරීරික පීඩා අපට එරෙහි වූ ජනපති ඇතුළු කිසිවෙකුට නොලැබේවා!!!
6 Viewers





