• Home »
  • Articles »
  • මේජර් ජෙනරාල් ජානජානක පෙරේරා

මේජර් ජෙනරාල් ජානජානක පෙරේරා

ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි අද්වීතීය සෙනෙවියකු වු මේජර් ජනරාල් ජානක පෙරේරා 2008 ඔක්තෝබර් 6 වැනිදා අනුරාධපුර නගරයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයක් හේතුවෙන් දැයෙන් සමුගත්හ. ඒ අවස්ථාවේදී ඔහුගේ බිරිඳ වජිරා පෙරේරා මහත්මිය සහ තවත් අහිංසක සිවිල් වැසියෝ 30 දෙනෙකු මරනයට පත්විය.

බොහෝ දෙනා මේජර් ජනරාල් ජානක පෙරේරා දුටුවේ රාජකාරී අකුරට ඉටු කරන විනීත, විශ්වාසනීය මෙන්ම ගෞරවනීය පෞරුෂයකින් හෙබි පුද්ගලයෙකු ලෙසිනි. තිස් වසරක යුද්ධ ඉතිහාසය තුළ රන් අකුරින් ලියවී ඇති නාමයකි, ජානක පෙරේරා යන නාමය.

විශේෂයෙන්ම වැලිඔය ජනපදය ඇතුළු රජරට ජනතාවගේ හදවත් තුළ ජීවමාන වීරයෙකි, ජානක පෙරේරා. මනුෂ්‍යත්වයෙන් අපිරිමිත හමුදා නිලධාරියෙකු වූ එතුමාගේ මනුස්සකම් ගැන වැලිඔය ජනාව අදටත් සාක්ෂි දරයි.

කැඩෙට් නිලධාරියෙකු වශයෙන් 1966 දී යුධ හමුදාවට බැඳුනු ජානක පෙරේරා 1968 දී දෙවන ලුතිනන් නිලයට උසස් වීම් ලැබීය. මේ අයුරින් උසස් වීම් ලබමින් ඉහලට ගිය ඔහු විශ්‍රාම යන විට වසර 35 ක සේවා කාලයක් රාජකාරි සිදුකර තිබුනේය. මෙසේ දශක තුනකටත් අධික කාලයක් රට වෙනුවෙන් සේවය කළ එතුමා විශ්‍රාම ලබන අවධිය වන විට හමුදාවේ ලැබිය හැකි ඉහළම තනතුරක්වන මේජර් ජනරාල්වරයෙක් වශයෙන්  ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්ව සිටියේය.

03 වන ඊලාම් යුද්ධයේදී යාපනය මුදා ගැනීමේ අරමුණින් සිදු කළ ” රිවිරැස ” මෙහෙයුමට බ්‍රිගේඩියර්වරයෙකු වශයෙන් තම දායකත්වය ලබා දුන් ඔහු මෙහෙයුම සාර්ථකව නිමා කළේ. රණ වික්‍රම, රණශූර, විශිෂ්ට සේවා විභූෂණ හා උත්තම සේවා පදක්කම් වලින් පුද ලබමිනි. ත්‍රස්තවාදීන් 503 කට මරු කැඳවමින් ජයග්‍රාහිව අවසන් කළ ඵෙතිහාසික 1997 ජූලි 27 වනි දින වැලිඔය මුදාගැනීමේ සටනේ ගරුත්වය හිමිවන්නේද ජානක පෙරේරාටය. කොටි ත්‍රස්තවාදීන් ජානක පෙරේරා යන නමට වෛර බැඳීමටද හේතුව මෙම සටනය. ත්‍රස්තවාදීන් 503 ක් ඝාතනයක කළ මේ සටනේදී අහිමි වුයේ සෙබළුන් දෙදෙනෙකු පමණි.

එතුමා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ දැරූ තනතුරු රැසකි. ඒවා නම්, දිවතලාව යුධ හමුදා විද්‍යා පීඨයේ ප්‍රධාන පුහුණු උපදේශක, පළමු කාර්ය ඉංජිනේරු රෙජිමේන්තුවේ අණ දෙන්නා, අතිරේක ප්‍රහාර බලකායන්හි ප්‍රධාන අණ දෙන්නා, වැලිඔය ප්‍රදේශ ආඥාපති, කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති, 53 සේනාංකාධිපති, 51 සේනාංකාධිපති, මින්නේරිය 23 සේනාංකාධිපති ආදියයි.

ඔහුගේ ශක්තියෙන් පෑ පෙළහර එතනින් කෙළවර නොවේ. 1993 නැගෙනහිර බලය යලි අත්පත් කරගැනීම සඳහා ජනරාල් ලකී අල්ගම හා සටනට පෙරමුණ ගත්තේ ජානකය. නැගෙනහිර ජයග්‍රහණයෙන් පසු යාපනය ජයගැනීමට සිදු කළ රිවිරැස මෙහෙයුමේදී, හමුදාවේ ප්‍රබලම ප්‍රහාරක සේනාංකය වන 53 සේනාංකයට අණ දුන්නේ ජානකය. ඒ බ්‍රිගේඩියර්වරයෙකු වශයෙනි. ඔහුගේ නායකත්වයෙන් 95.12.02 යාපනය අත්පත් කරගන්නේද 53 සේනාංකයය.

ජානකගේ අවසන් මෙහෙයුම ගැනත් සඳහනක් නොකර බැරිය. මිනිස් ප්‍රහාර එල්ල කරමින් කොටි අලිමංකඩ 54 සේනාංකය වනසා දමා යාපනය සිටි තිස්පන්දහසක සෙබළුන් ජීවිතක්ෂයට පත්කිරීමට සැලසුම් කළ මොහොතේ, එවකට ජනාධිපතිනියගේ මතකයට ආවේ ජානකය. හමුදා මූලස්ථානයේ පසෙකට කර සිටි ජානක යළි කරළියට එන ලදී. මොහොතකින් ඔහු ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති බවට පත් කෙරුණි. ඒ සමගම යාපනය ආඥාපති ලෙස සරත් ෆොන්සේකා මහතා පත් කෙරුණි.

” අපි එකා මෙන් නැගිට සටන් කරමු. එසේ නැතිනම් මාගේ ඇටකටුද යාපනය පොළොවට පොහොර වීමට ඉඩ දෙමි ” යයි ඔහු සිංහනාද කළේය. ජානක පෙරේරා, සරත් ෆොන්සේකා සුසංයෝගයෙන් බලගැන්වුණු හමුදා සෙබළු කොටි මුහමාලේට පලවා හැර යාපනය රැක ගත්හ. ඔහු කොමාන්ඩෝ පුහුණුවද ලැබූ කොමාන්ඩෝ භටයෙකු ද විය.

1980 දශකයේ මුල් භාගය වන විට පදවිය, වැලිඔය, ශ්‍රීපුර වැනි මායිම් ගම්මාන කොටි ත්‍රස්තවාදයේ අඛණ්ඩ තර්ජනයට ලක්ව තිබුණි. කෙන්ට් සහ ඩොලර් ෆාම් සමුල ඝාතනයන් හරහා මායිම් ගම්මාන වල කොටි ත්‍රස්තයින් තම අණසක පතුරුවමින් තිබුණු අතර “මායිම් ගම්මාන ” වල සිංහල පදිංචිකරුවන් රැසක් සිය ගම්බිම් අතහැර යාමේ ඒමේ අවාසනාවන්ත ප්‍රවණතාවක් උද්ගත වෙමින් තිබුණි. මෙම තත්වය මැඩ පැවැත්වීම උදෙසා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තෝරා ගත්තේ එවක ලුතිනන් කර්නල් නිලයේ කටයුතු කළ ජානක පෙරේරාවය.

අඛණ්ඩව පැවැති කොටි තර්ජන හමුවේ ” මායිම් ගම්මාන ” සුරකමින් පමණක් නොව අස්වද්දමින්, දේශපාලනඥයන් යුධ බිය නිසා පා නොතබන ” මායිම් ගම්මාන ” වලට නායකත්වය සපයමින් ඒ ප්‍රදේශ වල අසරණ ජන්‍තාවට ඔහු පිළිසරණක් විය.

නිතර දෙවේලේ ජන්‍තාව අතරට යමින් බිය සැක දුරු කළ සෙන්පති ජානක ප්‍රදේශයේ පුජ්‍ය පක්ෂය, ගුරුවරුන්, ඉංජිනේරුවරු, සෞඛ්‍ය සේවකයින්, වැඩිහිටියන් සමඟ තම කුඩාරමේදී ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වූයේ ප්‍රදේශයේ සංවර්ධනය අරමුණු කරගෙනය. ජානක පෙරේරා නිතරම මායිම් ගම්මාන වල ජනතාවට ” මගේ මිනිස්සු ” කියා ආමන්ත්‍රණය කිරීමෙන් ඔහු තුල ජනතාව කෙරේ තිබූ භක්තියාදරය මනාව පිළිඹිබු වේ. මීට කෘතගුණ දැක්වීමක් ලෙස ඒ ප්‍රදේශයේ ජනතාව ” ජනකපුර” නමින් ගම්මානයක් නම් කර සංවර්ධනය කරනු ලැබුයේ තමන් කොටි ග්‍රහණයෙන් මුදා සෞභාග්‍යය කරා පාර පෙන්වූ ඔහු කෙරේ ඔවුන් තුල පැවති භක්තිය නිසාය.

වැලිඔය සංග්‍රාමික මෙහෙයුම හමුදාවන්ට සුවිශේෂී විජයග්‍රහණයක් විය. උතුරත් නැගෙනහිරත් කොටි ක්‍රියාකාරකම් සම්බන්ධ වූයේ වැලිඔය හරහාය. උතුරින් නැගෙනහිරටත්, නැගෙනහිරින් උතුරටත් කොටි සෙබලුන් ගමන් ගන්නේ වැලිඔය හරහාය. එම ගමන් මගට වැලිඔය කඳවුර සහ ජානක පෙරේරා බාධාවක් වුණි. එම බාධාව ඉවත් කිරීමට එල්ල වූ ප්‍රහාරයෙන් කොටින් ලැබුයේ සුළු පටු පරාජයක් නොවන වග නම් පැහැදිලිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු මෙන්ම හිටපු කැබිනට් ඇමැතිවරයකු වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කොටි ත්‍රස්ත නායකයකු ලෙස සැලසුම් කළ ප්‍රහාර අතුරින් ඔහු අන්ත පරාජයක් ලැබූ අවස්ථාව 1996 වැලිඔය ප්‍රහාරයේදී සනිටුහන් වූයේ මේජර් ජෙනරාල් ජානක පෙරේරා අතිනි. ජානක පෙරේරා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනයට ලක්වන දිනයේදීම කරුණා අම්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම කෙතරම් දෛවෝපගත සිදුවීමක්ද යන්න සිතන්න ?

යාපනය මුදා ගැනීමට මත්තෙන් පලාලි කඳවුර අවට භූමිය අත්පත් කරගැනීමේ ඉදිරි පිම්ම මෙහෙයුම් අසාර්ථක වී තිබුණි. යාපනය නැවත අත්පත් කරගැනීමේ අරමුණට වැදගත් වූ පලාලි අවට භූමිය දිනා ගැනීම උදෙසා නැවත වරක් බ්‍රිගේඩියර් ජානක පෙරේරා යටතේ ” අකුණු පහර ” මෙහෙයුම ක්‍රියාවට නැගුණු අතර එය මල්ඵල දැරීම යාපන අර්ධද්වීපයේ විජයග්‍රහණයට ප්‍රධාන සාධකයක් වුවාට සැක නැත.

1995 දියත් කෙරුණු යාපන අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ අභිලාෂයෙන් යුතු වූ ජයග්‍රාහී “රැවිරැස” මෙහෙයුමේ ප්‍රධාන භූමිකාවක් ඒ වන විට බ්‍රිගේඩියර් නිලයට උසස් වී සිටි ජානක පෙරේරා විසින් සිදුකරන ලදී.

එවක බ්‍රිගේඩියර් ජානක පෙරේරා සුප්‍රකට 53 වන සේනාවේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළේය. යාපන කොටුව කොටින්ගෙන් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුම් මෙහෙයවන ලද්දේ බ්‍රිගේඩියර් ජානක පෙරේරා විසිනි. අතිශය උද්වේග කර සටනකින් පසුව යාපන කොටුව හමුදා ග්‍රහණයට නතු කර ගැනීමට ජානක පෙරේරා ප්‍රමුඛ 53 වන සේනාංකය සමත් විය.

ජයග්‍රහණයෙන් උද්දාමයට පත් අනුරුද්ධ රත්වත්තේ එවකට ආරක්ෂක නියෝජ්‍ය ඇමති යාපනයේ ජාතික කොටි ඔසවන විට ඔහු – ” අපි කොඩි උස්සන්න ඕනෙ අපේ නොවන භූමියක් ඇල්ලුවම, මේන් අපේ භූමියමනෙ ” කියා ඇති බව වාර්තා වේ. මෙවැනි කියමන් වල සැබෑ ගැඹුරතර අරුතක් තිබුණද බොහෝ දේශප්‍රේමීන් යැයි ලේබල් අලවා ගන්නා උදවියට නම් මේවා නොරුස්සනවා විය හැක.

ජානක පෙරේරාගේ ”අවංකත්වය ” ඔහුගේ හොඳට මෙන්ම නරකට ද හේතු සාධකයක් වූ බව තතු දත්තෝ පවසති. මේ ජයග්‍රහණයට පරම වීර විභූෂණයෙන් පුද ලද බළලත් නිලධාරී පසන් ගුණසේකර ඇතුළු සෙබලුන් විරුතිව් දූපතේ සිට කොටි බෝට්ටු සැපයුම් දාමය කඩා බිඳලීමට කළ කැප කිරීමද ප්‍රධාන හේතුකාරකයක් වූ අතර එය ද අප අමතක නොකළ යුතුය.

එතුමා විසින් රණ වික්‍රම (R.W.P), රණශූර (R.S.P), විශිෂ්ට සේවා විභූෂණ (V.S.V), උක්කම සේවා පදක්කම (U.S.V), පුර්ණ භූමි පදක්කම, රිවිරැස පදක්කම, විඩමාරච්චි පදක්කම, උතුරු නැඟෙනහිර මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා හමුදා සේවා පදක්කම් (1972), ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම් පදක්කම, දීර්ඝ සේවා පදක්කම් (1979), ජනාධිපති ප්‍රදානය (1978) ඇතුළු යුද හමුදා පදක්කම් රැසක් දිනා ගැනීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ එතුමාගේ අතිවිශිෂ්ඨ සේවයයි.

ලංකාවේ සිවිල් යුද්ධයේ අසීරුතම් කාලයේදී එල්. ටී.ටී.ඊ යට එරෙහිව සිදු කල සටන් කිහිපයක ඉටු කළ කාර්ය භාරය සම්බන්ධයෙන් ඔහු ඇගයීමට ලක් විය.

යුද හමුදාවෙන් විශ්‍රාම යෑමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ද ඉන්දුනීසියාවේ තානාපතිවරයා ලෙසද ඔහු කටයුතු කළේය. අනතුරුව පසුව උතුරු මැද පළාත් සභාවේ විරුද්ධ පක්ෂ නායකයා ලෙස තේරීපත් වූ ජානක පෙරේරා මහතාගේ කෙටි දේශපාලන ජීවිතය ත්‍රස්ත ප්‍රහාරයකින් අවසන් වූයේය. නිර්භීත නිලධාරියකුගේ සේවය අකාලයේ අහිමි වීම රටට දැයට මිල කල නොහැකි පාඩුවකි.එතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමි…



27 Viewers