යුද ජයග්‍රහණය සැමරිය යුත්තක්මද?
ඔව් …ඒකාන්ත වශයෙන්ම..
යුද්ධයෙන් නරක අත්දැකීම් අත්විඳපු අවසාන පරම්පරාව අපි..
පහළ ඡායාරූප අතර මාධ්‍ය ජීවිතයේ අමතක නොවෙන දවසක ගත් ඡායාරූප කිහිපයකි.
යාපනයේ පැවැත්වෙන උද්ඝෝෂණයක් ආවරණය කිරීම සඳහා යන්න පුළුවන්ද කියා එදා අහන්නේ සාරංග අයියා.මතක විදියට 2009 වසර මුල.අපේ මාධ්‍යවේදීන් බොහොමයක් යුධ පුවත් වාර්තාකරණය සඳහා ක්‍රියාන්විතයන් පැවැති ප්‍රදේශවලට යොමු කරල තිබ්බ කාලයක්.
වයස 26 ක් විතර වෙච්චි මට සාරංග අයියා (එවකට ප්‍රවෘත්ති නිශ්පාදක) සහ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂක උන ශෙහාන් බරණගේ මහතා දුන්න අභියෝගය ටිකක් විතර බරපතල බව දැනුනෙ ,යුද්ධෙ තිබ්බ කාලයක් නිසා වගේම, ගමන සඳහා දුන්න පූර්ව සූදානම නිසා.
අභියෝග කියන ඒවට හැමදාම ආස කරපු නිසාම වැඩේ බාර අරගෙන උදේ පාන්දර හතර වෙනකොට ලෑස්ති වෙලා හිටියෙ ගුවන් හමුදාව සමග යාපනයට යන්න.අපේ කැමරා ශිල්පීන් එක්ක රත්මලාන ගුවන් තොටුපළට ගියපු මට බීබීසී පුවත් සේවය සමග කටයුතු කරපු Mr.පලිපාන( පලිපාන අංකල්ව) මුණගැහෙන්න එතනදි.තවත් මාධ්‍ය ආයතන ගණනාවක නියෝජිතයින් එතනට ඇවිත් හිටියා.ඒ සියලු දෙනා අතර හිටපු එකම ගැහැණු ළමයා වෙච්ච මට පලිපාණ මහත්මයාගෙන් ලැබුණු ගුරුහරුකම් ගැන මම හැමදාමත් මතක් කරන්නේ හරිම ගෞරවයෙන්.
ටික වෙලාවකින් අපේ කණ්ඩායමට තවත් කාන්තාවක් එක් වුනත් ඇය බොහොම අත්දැකීම් බහුල වෙනත් විදේශීය මධ්‍ය ආයතනයක නියෝජිත වරියක්.මං හිතන්නෙ ඒ ගමනේ අත්දැකීම් අඩුම තැනැත්තිය වුනේ මම.
ගුවන් හමුදාවට අයත් ගුවන් යානයට ගොඩවුණාට එහි ඇතිවූ කාර්මික දෝෂයක් නිසා අපිට නැවත ගුවන් තොටුපළේ තවත් වෙලාවක් ප්‍රමාද වෙන්න සිද්ධ වුණා.අවසානයේ පැය කීපයක ප්‍රමාදයකින් පසු අපි පලාලි ගුවන්තොටුපල බලා පිටත් උනේ හිතේ චකිතය,වගේම වාර්තාකරණයේ උද්‍යෝගයත් එක්ක.ඒ වෙනකොටත් 360 වැඩසටහනේ නිවේදිකාව වූ මට ගුවන් හමුදාවෙ සමාජිකයන්ගෙන් විශේෂ සැලකිල්ලක් ලැබුණ බව මතකයි.💐 තරුණියක් වීමත් රූපවාහිනී නිවේදිකාවක් වීමත් කියන දෙකම ඊට හේතුවෙන්න ඇති.
ගුවන් නියමුවා සිටි ස්ථානයටම මාව කැඳවා ගෙන උඩු ගුවනේ සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඇතුලු විශේෂ ස්ථාන ඔවුන් මට පෙන්වූ සැටි අදත් මට මතකයි.
ඒ සියල්ලට වඩා පලාලි ගුවන්තොටුපලේ ගුවන් යානය නතර කරනවිට දුටු දසුන කිසිදාක අමතක නොවන කම්පනයක්. ගුවන් යානයෙන් බසින අපිට ඉදිරියට මුණ ගැහෙන්නෙ ජාතික දජයෙන් ආවරණය කරන ලද ගෞරවණීය ලෙස අප ඉදිරියට රැගෙන එන රණවිරුවෙකුගේ දේහයක්.අපි පැමිණි ගුවන් යානයේ එම දේහය කොළඹට රැගෙන යාමට නියමිතයි.ඒ මොහොත කිසිම දවසක අමතක නොවන කම්පනයක්…අදටත් ඒ හැඟීම හරියටම අකුරු කරන්න බැරි බව මට විශ්වාසයි.
අපේ ගමන් කටයුතු සඳහා යුද්ධ ටැංකියකට සමාන වන අයුරින් නිර්මාණය කරපු CTB බස් රථයක් ඒවන විටත් එම ස්ථානයට පැමිණ තිබුණා.වට පිටාව කිසිවක් අපට බලන්න පුලුවන් උනේ නෑ.යුධ හමුදාව ඉතාම ආරක්ශා සහිතව අදාල ස්ථාන වලට අවශ්‍ය රාජකාරිය සඳහා අපව රැගෙන යන බව සහතිකයි.ශරීරයට දැනුන විදිහට අපි ගියේ ඉතාම වේගයකින්.මාධ්‍යවේදීන් විස්සක් පමණ යුද්ධ ටැංකියක් වැනි බස් රථයේ ප්‍රවාහනය කල බව මතකයි. ස්ථාන කිහිපයක වාර්තා කරන කටයුතුවලින් පසුව නැවතත් අපි පලාලි ගුවන්තොටුපලට රැගෙන ආවෙත් පෙර තිබ්බ ආරක්ශාව යටතේමයි.
ගුවන් තොටුපලේ සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහය අතරතුර පලිපාන මහත්තයා මොකක්දෝ කාරණාවක් සම්බන්ධව මාව සූදානම් කරන බවක් මට දැනෙන්නෙ ඉඟියකින් වගේ.එය මට අවබෝද වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.”ඩිල්කා සමහරවිට අපි කොළඹ යන ෆ්ලයිට් එකේ අපිත් එක්ක හමුදාවෙ කීපදෙනෙක් ගෙනියන්න ඉඩ තියනව.ඔයාට ඒකට මූණදෙන්න වෙනව පුතා..”ඔහු එහෙම කිව්වට ඒක ඒතරම් අමාරු කටයුත්තක් බව මට හරියටම අවබෝද උනේ පසුව.
ඔහු කිව්වා වගේම තුවාල ලැබූ අපේම ආදරණීය සහෝදරයන් කීප දෙනෙක් දැඩි බරපතල තුවාල සහිතව අප සමඟම කොළඹට ගෙනයාමට සූදානම්.අප ගුවන්හමුදා යානයේ අසුන්ගත් පසු අපේ පාමුල බිම අතුරා ඇති රඳවන මත මේ ආදරණීය සහෝදරවරු වේදනාවෙන් වැතිරී කෑගැසූ හැටි කිසිම දවසක යලි අසන්නට නොලැබේවායි මම මටම කී වතාවක් කියාගත්තාද?
අත් පා වල බරපතල දරුණු තුවාල සහිතව සැත්කම් සඳහා ගෙනයන මේ ආදරණීය සොහොයුරන් වතුර ඉල්ලමින් කෑ ගසන විට අතේ ගුලි කරගෙන සිටි වතුර බෝතලයෙන් දිය බිඳක් හෝ දෙන්නට පුලුවන් කමක් නැතුව අසරණ උන හැටි අදටත් හදවත පුපුරා හරින මතකයක්.(සැත්කම් සඳහා රැගෙන් එන බැවින් ජලය ලබා දීම සිදු නොකරන එක සාමාන්‍ය ක්‍රරමයයි) අනේ මේ වේදනාව ඔවුන් දරාසිටින්නෙ අපිට ජීවත් වෙන්න රටක් ඉතුරු කරන්න නේද? මේ විලාපය රඟපෑමක් නොවේ.කාටවත් පේන්නට කාගෙන්වත් ලකුණු දමා ගැනීමට, facebook වීරයන් වීමට නොවේ.මා වෙව්ලන්නට විය.මාවම පාලනය කර ගැනීම සඳහා මා දෑස් පියා ගත්තෙමි.
මගේ සිතිවිලි මගේ සොහොයුරාගේ පාසිංඅවුට් එක දක්වා දිව ගියේය.නාවික හමුදා සෙබළකු ලෙස ඔහු හමුදාවට එක් වූ දිනයේ ඔහුගේ වැඩිමහල් සහෝදරිය ලෙස පුංචි අම්මාද සමග මමද ගුවන් හමුදා කඳවුරට ගියෙමි.යංතං වයස 18 ක් වූ මගේ මල්ලී මේ වගේ අත්දැකීම් කොපමණකට මුහුණ දෙන්නට ඇත්ද? මට සිතුණි.
ඒ අත්දැකීම සමඟ මා ඒ මොහොතේ විඳි අපහසුව තේරුම් ගත් ගුවන් හමුදා ගුවන් නියමුවා ඔහු පිටුපස ඇති ආසනයට මා කැඳවාගත්තේ අපිට නම් පුරුදු වෙලා, ඒ උනාට ඔයාලට පුරුදු නෑ නෙ කියමිනි.
රත්මලානට එනතුරුම නොකඩවා ඇසුනු ආදරණීය සෙබල සොහොයුරන්ගේ වේදනාව අදටද දෙකන් වලට තිත්ත මතකයකි.අපි රත්මලානට පැමිණෙන විට යුධ හමුදාවෙ තුවාල ලැබූවන් රැගෙන යාමට පැමිණි ගිලන්රථ කිහිපයක්ම විය.අනේ මේ අයියල මල්ලිලාට ඉක්මනට සනීපවෙන්න.මේ කාලකණ්නි යුද්ධය ඉක්මනට අවසන් වෙන්න,අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනයාට නිදහසෙ ජීවත් වෙන්න පුලුවන් දවස ඉක්මනට උදාවෙන්න….
ඒ ප්‍රාර්ථනය එදා සිදු කල කිසිවෙකුට මෙදා රණවිරුවන් සැමරීම හෝ විජයග්‍රහණයේ දිනය සැමරීම සිදු නොකර සිටිය නොහැක.මර බියෙන් තොර දේශයක් ප්‍රාර්තනා කල සියළුදෙනා අද විජයග්‍රහණයේ දිනය සැමරීම මඟ නොහරී.
යුද්ධයේ අවසාන මොහොත සනිටුහන් කිරීමෙන් වසර කීපයකට පසු ඇතැම් දේශපාලකයින් මාධ්‍ය ඉදිරියේ යුද්ධය සම්බන්ධව වහසි බස් දොඩන අයුරු පිළිකුලෙන් යුතුව නැරඹූ වාර අනන්තය. යුද්ධය කා සමගද? වෙනත් රටක් සමගද? නැතිනම් රට බේරා ගැනීම සඳහාද? එකම රටේ ජනතාව අතර නේද යනුවෙන් සඳහන් කරන පණ්ඩිත උද්දච්ච කුහක කතා කියන දේශපාලන චරිත මට නම් කවදත් පිළිකුල්ය. යුද්ධෙන් බැට කාපු දෙමළ වැසියන් පවා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට දක්වන ගෞරවය සමහර ප#රසිංහලයන්ට නැතිවීම ගැන පුදුම විය යුතු නැත. මොකද පරගැති සිංහලයන් කියන්නේ ලංකාවට අලුත් සත්ව කොට්ඨාශයක් නෙවෙයි.
ජනතා විමුක්ති පෙරමුණ ඉල්මහවිරුවන් නමින් තමන්ගේ විරුවන් සමරයි. කුමක් සඳහාද?ඒ මියගිය විරුවන් යැයි කියන පිරිස් කුමක් වෙනුවෙන් මිය ගියේද?ඒ තරුණයන් විරුවන් ලෙස පෙනෙන ඇතැම් දේශපාලන නායකයින්ට ,ලොව දරුණුතුම ත්‍රස්#තවාදී සංවිධානය ලෙස ලෝකයක් නම්කළ එල්*ටී*ටී*ඊ ත්‍රස්#තවාදය පරාජය කළ ශ්‍රී ලංකා රජයේ නිල ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අංශ නියෝජනය කළ ආරක්ෂක නිලධාරීන් විරුවන් ලෙස නොපෙනේනම්, ඔවුන් ලබාගත් ඒ විජයග්‍රහණය විජයග්‍රහණයක් ලෙස නොපෙනේ නම් එවැන්නවුන් දෙස බලා පිළිකුල් කරනවා හැරෙන්න වෙන කුමක් කරමුද.?
ඔබට ඇත්තේ කලවම් නොවූ ශ්‍රී ලාංකීය ලේ නම් මියගිය රණවිරුවන්ට උපහාර පුද කිරීමට කාගේවත් බල කිරීමක් අවැසි නැත.අපේ රට , උතුරේ අපේ වැසියන් ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයේ ග්‍රහණයෙන් මුදාගත් දිනය අපේ විජයග්‍රහණයේ දිනයයි ….👍
අප සැමට ජීවත් වන්නට රටක් ඉතිරිකර, දකින්නට දෑස්,ඇවිද යන්නට දෙපා,අහිමි කරගත් තමන්ගේ ජීවිත පූජා කළ සියලූම ආරක්ෂක අංශ නියෝජනය කරන විරෝධාර රණවිරුවන්ට අප සදා ණය ගැතිය.අපට අපේ සහෝදරයන් දෙමව්පියන් දරුවන් සමඟ ජීවත්වන්නට අවැසි පරිසරය නිර්මාණය කොට තම දෙමාපියන් දරුවන් සහෝදරයින් අහිමි කරගත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ටද අප සදා ණයගැතිය💐 ඔබ සැමට අපගේ උත්තමාචාරය.💐💐💐💐
ඩිල්කා සමන්මලී
2025/05/19
5 Viewers