• Home »
  • Sinhala Articles »
  • විග්නේෂ්වරන්ට පිළිතුරක් – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

විග්නේෂ්වරන්ට පිළිතුරක් – උතුරු නැගෙනහිර මිථ්‍යාව අනාවරණය

උතුරු නැගෙනහිර දෙමළ නිජභූමියක් පිළිබද ඊනියා ප‍්‍රවාදය මෑත අවස්ථා කිහිපයක දී විග්නේෂ්වරන් විසින් මතු කරන ලදි. ඒ මෙරට උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළදීය. මෙතෙක් පවත්වාගෙන එන ලද ඉතිහාසය මිථ්‍යාවක් බවත්, යල් පැන ගිය එකක් බවත් ඔහුගේ අදහසයිx තවදුරටත් ලෝකයේ පිළිගනු ලබන ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් ඇතුළත් කමිටුවකින් මෙරට ඉතිහාසය සොයා පාදා ගත යුතු බව ද යෝජනා කර තිබේ. ප‍්‍රභාකරන් ජිවතුන් අතර නොමැති බැවින් ඔහුව එකියන විද්වත් කමිටුවේ සභාපති ලෙස පත් කිරීමේ මාහැගි අවස්ථාව විග්නේෂ්වරන්ට මග හැරී ගොස් ඇත. ඉතිහාසය හෝ පුරාවිද්‍යාව හදාළ අතළොස්සක්වත් මෙරට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බැවින් ද, වගකිව යුතු අනෙකුත් විශ්වවිද්‍යාල උගතුන් මුනිවත රකින බැවින්ද විග්නේෂ්වරන්ගේ පරවාද ඛණ්ඩනයට මැදිහත් වීම අපගේ යුතුකමක් වෙයි.

ප‍්‍රවේශයක් ලෙස විග්නේෂ්වර ප‍්‍රවාදයේ පදනම සලකා බලමු. ඔහු දෙමළ ජනතාවගේ පාරම්පරික නිජභූමිය ලෙස නිශ්චිත භූ ඛණ්ඩයක් අපට අභිමුඛ කරවයිx ඒ උතුරු හා නැගෙනහිර පළාත් ය. ඒ අනුව ‘සිංහලයන්ට බොහෝ කලකට පෙර සිට දෙමළ ජනයා උතුරු නැගෙනහිර පළාත්වල ජිවත් වූහ. ඔවුන්ගේ භාෂාව ලොව පැරැණිත ම භාෂාව ද විය’. තමන් එවැනි නිගමනයකට පැමිණියේ කුමන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක මත දැයි විග්නේෂ්වරන් අපට නොකියයි.
එම සාධක පරීක්ෂා කර බැලිය හැක්කේ කුමන ප‍්‍රාථමික මූලාශ‍්‍රයක් භාවිතයෙන් දැ යි හෙළි නොකරයි.
එහෙත් ඒ ‘නොදක්වන සාධක’ මගින් කියැවෙන කථාව පිළිගත යුතු යැ යි ගර්ජනා කරයි .

වර්තමාන උතුරු නැගෙනහිර පළාත් බෙදීම ඇති වූයේ බි‍්‍රතාන්‍ය පාලන ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. එතෙක් එවැනි සීමාකරණයක් මෙරට පැරැණි භූ දේශපාලන ඉතිහාසය තුළ නොපැවතියේය. විග්නේෂ්වරන්ගේ මතවාදය පරීක්ෂා කළ යුත්තේ ද මුල් අනුරාධපුර අවධියේ සිට මිස බි‍්‍රතාන්‍ය පාලන කාලය තුළ සිට නොවේ. ක‍්‍රිස්තු පූර්ව අවධියේ පටන් ලංකාව උත්තර පස්ස, දක්ඛිණ පස්ස, පාචීන පස්ස හා පැළ පස්ස යනුවෙන් කලාපකරණයකට ලක් කොට තිබිණි. එහි උත්තර පස්ස හා පාචීන පස්ස යනු උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ යි. නමුත් ඉන් අදහස් කරන ලද්දේ වර්තමාන උතුරු නැගෙනහිර සීමාකරණය නොවන බව සැලකිය යුතු ය. පැරණි බෙදීම නිරතුරුව ම පාහේ අනුරාධපුර නගරයට සාපේක්ෂව දැක්වීම සම්ප‍්‍රදාය විය. එම නිසා අනුරාධපුරයෙන් උතුරු කොටස උත්තර පස්ස වූ අතරම, ඉන් නැගෙනහිර භූ ඛණ්ඩය පාචීන පස්සය විය. රුහුණු, පිහිටි හා මායා යන කලාපකරණය භාවිතයට පැමිණීම සමග වර්තමාන උතුරු හා නැගෙනහිර පළාත්වලට අයත් භූ කොටස පිහිටි හා රුහුණු රටවල්වලට අන්තර්ගතව පවත්වාගෙන එන ලදි. මේ අනුව විග්නේෂ්වරන් අපට කියනුයේ දෙමළ ජනතාවගේ ජනාවාස යාපනයේ සිට අනුරාධපුර දක්වාත්, දීඝවාපියේ සිට අනුරාධපුර දක්වාත් පාරම්පරිකව පැවත ආ බව ද? නැතහොත් වර්තමාන උතුරු නැගෙනහිර පළාත්කරණය ක‍්‍රිස්තුපුර්ව යුගයේ සිට පැවත ආ බව ද? නොපැවැති භූසීමාවක් තුළ ‘පැවැතියා වූ ජනාවාසකරණයක්’ පිළිබද කථා කිරීම ඓතිහාසික සංගතභාවයකින් තොර දේශපාලනික හිතලූවක් පමණි.

මහනුවර රාජධානි සමය තුළ මෙරට භූ දේශපාලන සිතියම නිරන්තර චල්‍යතාවලට ලක් විය. පෘතුගීසි හා ලන්දේසි බල ප‍්‍රදේශ නිර්මාණය වීමත් ඔවුන්ගේ ආක‍්‍රමණශීලී කටයුතුත් නිසා දකුණු, බටහිර හා ඇතැම්විට වයඹදිග ප‍්‍රදේශවල බලය ද මහනුවර රජුට තාවකාලිකව අහිමි ව ගියේය. එහෙත් උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශ ඔහුට නතු වූ අතර ඒවා අයත් කලාපය ‘උඩරට රාජධානිය’ ලෙස හදුන්වන ලදි. විශාල ප‍්‍රදේශයක බලය අහිමි වුව ද රජු ‘ත‍්‍රිසිංහලාධීශ්වර’ යැ යි කියැවිණි. ඒ වඩුග රජවරු පවා දෙමළ නිජභූමියක් නොදැන සිටියහ. එවැනි සාවද්‍ය මතවාද සමාජය තුළ ජනනය කරවීමට තැත් නොකළහ. විගනේෂ්වරන්ට වඩුග ගුණයක් හෝ පිහිටා නොතිබිම කණගාටුවට කරුණකි.

තුන් සිංහලය තුළ වෙනත් ජන කොටස් නොවිසූහ යි අපි කිසි විටෙකත් නොකියමු. එහෙත් එපමණකින් සිංහලය ‘දෙමළ නිජභූමියක්’ බවට පරිවර්තනය නොවෙයි. ගොටුකොළ, හාතවාරිය ආදී වෙනත් ශාක තිබූ පමණින් යමෙකු රබර් වත්තට ‘ගොටුකොළ වත්ත’ හෝ ‘හාතවාරිය වත්ත’ යැ යි කියන්නේ නම්ය එය ඔහුගේ අඥානභාවය පෙන්වීමකට වැඩි යමක් නොවේ. වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් ද තුන් සිංහලයට අයත් භූමිය නියෝජනය කළා මිස, වෙනම ජනාවාස කලාපයක් හෝ ජන අනන්‍යතා කලාපයක් ලෙස කිසි විටෙකත් නොපැවතියේ ය. එසේ පැවතියේ යැයි කියන්නේ නම් ඊට තුඩු දෙන පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක මතු කර පෙන්වීම ද ඒ යෝජකයන්ගේ යුතුකමෙකි වගකීමෙකි



85 Viewers