සුද්දගෙ නීතිය අපිට එපා

කලම්බු ටෙලිග්‍රාෆ්, රාජන් පිලිප්ස්, ජෙහාන් පෙරේරා, දයාන් ජයතිලක, පාකියසෝති, සේපාල් අමරසිංහ, සුදත්ත තිලකසිරි, සුදර්ශන් හඳුගොඩ, නාගානන්ද, අයිලන්ඩ් පත්තරේ, ජේවීපීකාරයින් යනාදියෙන් පටන්ගෙන මුළු ලෝකයේම, ජනාධිපති ගෝඨාභයට හා ඥානසාර හිමියන්ට විරුද්ධව කරණ මඩ ගැසීම් ලංකාවේ සිංහල බෞද්ධයින්ට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයේම කොටසකි.

69 ලක්ෂයක් චන්දය දුන්නේ මහින්ද නම් දේශපාලකයාට නොව, ගොඨභය නම් නිලධාරියාටය.

වයිට් මෑන්ස් බර්ඩන්

ලංකා කොලනියේදී සුද්දාගේ උරචක්‍රමාලය වූයේ පන්සල හා ගැමියා අතරවූ ගහට පොත්ත වැනි බැඳීමය. ඔවුන්ගේ බර්ඩන් එක එය කඩාකප්පල් කරන්නේ කෙසේද යනුය.

‘සුද්දගෙ නීතිය අපිට එපා’ යන්න විශාල අර්ථයක් ඇති කියමනකි. එය බිඳහෙලිය නොහැකි මතවාදයකි. එය පදනම් කරගෙන මෑත ලංකා ඉතිහාස කතාව වුවද ලියන්නට හැකිය. මෙම කියමන නිල වශයෙන් හෝමාගම මැජිස්ට්‍රේට් රංග දිසානායක  මහතාට ඉදිරිපත් කලේ බොදු බල සේනාවේ ගල්බොඩ අත්තේ ඥානසාර හිමිඳුන් විසින්ය. එය, එක රටක්, එක නීතියක් නමැති කාසියේ අනිත් පැත්තය. මේ නිසා එක රටක්  එක නීතියක් සඳහා පත්කල ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස ඥානසාර හිමියන් පත්කිරිම දිවයිනේ සිංහල බෞද්ධ ජනයාට ලබාදී ඇති අගනා අවස්ථාවකි, ජයග්‍රහණයකි. 1956 දී අගමැති බණ්ඩාරණායකට සිංහල භාෂාව සම්බන්ධයෙන් ගන්නට සිදුවූවා මෙන්, මෙය 1815 න් පසුව දිගටම වරින් වර මතුවී යටවී ගිය ජාතික ‘නිදහස්’ සටනක ප්‍රතිපලයක් ලෙස, කයිරාටික පක්ෂ දේශපාලක බිස්නස්කාරයෙක් නොවූ ජනාධිපති ගෝඨභයට ප්‍රමාදවී නොව කල්තියාම, රුවන් වැලි මහාසෑය අබියස දීම 2018 දී ගන්නට සිදුව තිබූ තීරණයක් විය. ඔවුන් දෙන්නාම පිළිවෙලින් යුග දෙකක, ජාතික අරගල අවස්ථා දෙකක, වින්නඹුවන් පමණය. 1505 ට කලින් ලංකා ඉතිහාසය පසෙකට තබා, 1798 න් පසු කාලය ගත්තොත්, එය එක් අතකින් රටේ පන්සල් හා අනිත් පැත්තෙන් සුද්දන්-කළුසුද්දන් අතර ඇතිවූ සනාතන අරගලයක කතාන්තරයකි. මේ නිසා මෙම ජාතික රාජ්‍යපාලන කාරිය සඳහා මතවාදී නායකත්වය දීමට සුදුසුම පුද්ගලයා පත්කර ඇත. සියළු සත්වයෝ (මිනිසුන් පමණක් නොව) නිදුක්-නිරෝගී-සුවපත් වේවා යන්න සිංහල බෞද්ධයින්ගේ පුද්ගලික හා පොදු අභිලාශයය. ගස් ගල් වලට පවා කෘතගුණපූර්විකවීම බුදු දහමින් දෙන ආදර්ශයයි.

සිංහල බෞද්ධ අන්තවාදය

මේ දිවයිනේ පැවති සිංහල බෞද්ධ රාජ්‍යය තුල දෙමළ, මුස්ලිම් හෝ හින්දු ඉස්ලාම් භේදයක් නොවීය. සිංහලේ රට තුල දමිල හා මුස්ලිම් ජනයා හා 1551 ට පසුව සිට බිහිවූ ක්‍රිස්තියානි ජනයා සමානයන් සේ ජීවත් විය. සිංහලේ රජු පෘතුගීසීන් හා ලන්දේසීන් විසින් ඝාතනයට ලක් කල ඉස්ලාම් හා කතෝලික සරණාගතයින්ට පිහිට විය. මුහුදුබඩ තීරයෙන් පිටත රට තුල දැන් තිබෙන කතෝලික හා මුස්ලිම් ගම්මාන එහි ප්‍රතිපලයකි. පොලොන්නරුව සමය වනවිට ගවයා සඳකඩ පහණින් ඉවත් කලේ හින්දු භක්තිකයින්ට ගරු කිරීමක් වශයෙනි. 1883 කොටහේන කතෝලික-බෞද්ධ ගැටුම හා 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය හා ජී. ජී. පොන්නම්බලම්ගේ කට කැඩිච්ච කතාවක් නිසා ගම්පොල ඇතිවන්නට ගිය සිංහල-දමිල ගැටුම හැර ලංකා ඉතිහාසයේ,  යුරෝපයේ මෙන් ජාති-ආගම් ගැටුම් සිදුවී නැත. එය 1832 දී ඇරඹුණ කෝල්බෲක් කොමිෂමේ ජාතිවාදී නියෝජන ක්‍රමය තුලින් මතුවූ බෙදා පලනය කිරීමේ න්‍යායයේ නිෂ්පාදනයකි. ත්‍රිපිටකයේ හෝ ධම්මපදයේ හෝ පන්සිය පනස් ජාතක පොතේ හෝ ජාතික වාදයකට මිස ජාති වාදයකට ඉඩක් නැත. බුදු දහමේ කියන්නේ එව බලව මිස, එව අදහව (come and examine, not come and believe) කියා නොවේ. මෙම ලිපිවලදී සිංහල බෞද්ධයින් ගැන සඳහන්  කරන්නේ සුද්දගෙ නීතියෙන් අසාධාරණයක් සිදුවූයේ ඔවුන්ට නිසා මිස සෙසු ජනවර්ග වලට නොවන නිසාය. ධර්මපාලතුමාවත්, සෝම හාමුදුරුවන්වත්, බොදු බල සේනාවවත්, සිංහල බෞද්ධ නොවන අයට වෙනස්කම් කරන්නට යෝජනා කර නැත.

මේ ආකාරයට රටේ ඉතිහාස කතාව දෙස බලන විට, දිවයිනේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයට, උරුමයට, හතුරුව, රට කැබලි කිරීමේ ව්‍යාපාරයට දැන හෝ නොදැන මුක්කු ගහන පිරිස්, දේශීය හා විදේශීය බලවේග, ඥානසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලා 2012 මැයි මාසයේ සිටම බෙරිහන්දුන් පිරිස්, වෙඩි වැදුන ඌරන් මෙන් දැඟලීම පුදුමයට කරුණක් නොවේ. මේ වනවිට එම පත්කිරීමට පක්ෂව ලියූ එකම පුද්ගලයා මහාචාර්ය නලින් ද සිල්වා පමණය.  මෙහිලා සෙනාලි වඩුගේ විසින් ලංකාවෙබ් වෙබ් අඩවියට ඔක්තෝබර් 27 දා ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියකින් අසා ඇති ප්‍රශ්ණ එහි සිංහල අනුවාදයක් ලෙස පලකලොත් එය සිංහල බෞද්ධ ජනයාගේ ඇස් අරවනවා නිසැකය LankaWeb – Regime Change & Constitutions – Is Sri Lanka ready? . මෙවැනි පසුබිමක් යටතේ සුද්දගෙ නීතිය අපිට එපා යන මාතෘකාව, නීති විද්‍යාව- භූගෝල විද්‍යාව-බුද්ධාගම යන ත්‍රිකෝණය (ත්‍රිත්වය) තුල  විමසා බැලීම සුදුසු යයි මට සිතේ. මෙම ලිපිය එහි පලවෙනි කොටසය.

එවැනි කාර්ය සාධක බලකායක් (1 ) අනවශ්‍යය (2 ) එයට පත්කර ඇති සාමාජිකයින් හෙවත් එහි සංයුතිය, දෝෂ සහිතය (ව්‍යවස්ථා නීති ව්ශාරදයින්/දමිළයින්/කාන්තාවන් නැත) (3 ) ඥානසාර හිමියන්ට එය භාරදීම නුසුදුසුය යනුවෙන් නඟන අදෝනා, නහයෙන් ඇඬීම් අතරින්, කර්කශ, දුෂ්ට, කුහක, අපහාසාත්මක හා අසාධාරණම  වන්නේ 3 වැන්නය. මෙහිදී අපට වැදගත් හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලීමේ ඇති කෙටි ඉතිහාස කතාව හා එහි අසාධාරණ කමය. වෛරයෙන් අන්දවූ අඳබාල පිරිස් මැද සිටින න්‍යායාචාර්ය පඬිතුමා දයාන් ජයතිලකය. පුදුමය නම් සේපාල් අමරසිංහ, සුදත්ත තිලකසිරි හා නාගානන්ද කොඩිතුවක්කු වැනි අය පවා වලිගේ පාගා ගෙන තිබීමය. විග්නේශ්වරන්, ඒබ්‍රහම් සුමන්තිරන් ශිවාජිලිංගම්, රාවුෆ් හකීම්, ජෙහාන් පෙරේරා, පාකියසෝති, රාසමානික්කම් කොළුවා හෝ අලි සබ්‍රිගේ  ක්ෂණික විලිරුදා තේරුම් ගත හැකිය.

හිත හොඳ ගෑණු

සුද්දන් සමඟ එකතුව අනාගාරික ධර්මපාලතුමාට වටකරගෙන පහරදුන්නේ බෞද්ධ යයි කියාගත් දේශපාලක සිංහල කළු සුද්දන්ය. ඩී. ඇස්. සේනානායක පමණක් නොව ඩී. බී ජයතිලක පවා මෙම පාප කර්මයට හවුල්කාරයෙක් විය. 2003 දෙසැම්බර් 12 දා රුසියාවේදී සැකකටයුතු ලෙස අපවත්වූ සෝම හාමුදුරුවන් විසින් සිංහල බෞද්ධයින්ගේ අභිමානය හා දේශාණුරාගය ගොඩ නැංවීමේ ප්‍රතිපලයක් ලෙස මතුවූ සීහල උරුමය හා ජාතික හෙළ උරුමය ඒවා තුලට රිංගාගත් හතුරන් විසින්ම කඩාකප්පල් කර දමන ලදී. 2009 මැයි 18 දා උතුර හා නැඟෙනහිර නිදහස් කරගැනීමට සිංහල බෞද්ධ ගැමි තරුණ-තරුණියන් දායක වූයේද සෝම හිමියන් ගෙන් ලැබුණු දායාදයේ මහිමයෙනි. එසේ වුවත් යුද ජයග්‍රහණයෙන් සිංහල බෞද්ධයින් බලාපොරොත්තුවූ වෙනස්කම් සිදු නොවීම හේතුවෙන් ඇතිවූ අසහනයට පිළිතුරක් වශයෙන් 2012 මැයි මාසයේදී බොදු බල සේනාව බිහිවිය.

එතෙක් පැවති සිංහල බෞද්ධ සංවිධාන හා බොදු බල සේනාව අතර තිබූ වෙනස නම් එය බෞද්ධ කළුසුද්දන් විසින් ඇතිකල රාමුව/කොටුව නමැති වැට කඩාගෙන යාමය. සිංහල බෞද්ධයින්ට නායකයෙක් නැත යන ඥානසාර මතවාදය සිංහල පක්ෂ දේශපාලකයින් හා අනිකුත් නොයෙක් දේශීය හා විදේශීය ඩොලර් ඒජන්තලාට එල්ලවූ මරු පහරක් විය. මේ නිසා කළු සුද්දන්ගේ එකී නොකී සමස්ත රාජ්‍ය පාලන සංස්ථාවම/සංහතියම ඥානසාර විරෝධී  ව්‍යාපාරයක් දියත් කලේය. ඊට එක් නොවූ එකම ප්‍රසිද්ධ පුද්ගලයාවූයේ ගෝඨාභය රාජපක්ෂ පමණයයි මට සිතේ (මේ යුද්ධය දිණන්න පුළුවන් යයි කී එකම උසස් රාජ්‍ය නිලධාරියා වූයේද ඔහුය).

ධර්මපාලතුමාට සුද්දන් වත් නොකල අන්දමේ දීන කුමන්ත්‍රණ මඩ ව්‍යාපාරයක් හැම මට්ටමෙන්ම ක්‍රියාත්මකවිය. නොර්වේ රටේ ඒජන්ත කෙනෙක් යන මුසාවට මහින්ද රාජපක්ෂ, රජීව විජේසිංහ වැන්නන්ද හවුල් විය. එහි උග්‍රම අවස්ථාව වූයේ ලඟදීම බල සේනාව බලුකූඩුවේ දානවා යයි මිසිස් චන්ද්‍රිකා මුස්ලිම් රස්වීමකදී කල ප්‍රකාශයය. මහ රෑ ඈත කැලෑපාරකදී ඥානසාර හිමියන් අත්ඩංගුවට ගැනීමට පොලිස් බලඇනියක් කල සැලැස්ම මහජනයා මැදිහත්ව වලක්වන ලදී. දේශපාලකයින්, පොලිසිය, බාර් ඇසෝසියේෂන් හා නීතිපති දෙපාර්තමේන්තුව එකතුව ඥානසාර  හාමුදුරුවන් කොටුකර ගත්තේ හෝමාගම මැජිස්ට්‍රේට් හරහාය.

මෙම විස්තරය ලිවිය යුත්තේ උසාවියට අපහාස කර හිරේ ගිය අයෙක් ඉන් පසු ජනාධිපති සමාව ලබා ඇවිත් එක නීතියක් හදන්නේ කෙසේද යනුවෙන් ගොබෙල්ස් න්‍යාය අනුව ගිරවුන් මෙන් ලියන, කියන අයට සත්‍ය කතාව මතක් කර දීමටය. බොරු කාරයින් නිරුවත් කිරීමටය. නඩුකාරයින් යනු ලෝභ-ද්වේශ-මෝහයෙන් පිරි පංචස්කන්ධමය. ඔවුන්ගේ නඩුතීන්දු බයිබල් හෝ කෝරාන වාක්‍ය නොවේ. නඩු තීන්දු සද්භාවයෙන් විවේචනය කිරීම ලෝකය පුරාම සිදුවන දෙයකි. එය නීති විද්‍යාවට කරණ සේවයකි. මේ අනුව යමින් ඥානසාර හිමියන්ට රටේ උසාවි ක්‍රමය-නීතිපති දෙපාර්තමේන්තුව කල නීතිවිරෝධී ක්‍රියාවලිය මා විසින් විග්‍රහ කර එය ලංකාවේ සුප්‍රිම් උසාවියට, ඇපැල් උසාවියට, නීතිපතිට, බාර් ඇසොසියෙෂන් එකට, කොළඹ  නීති පීඨයට, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට හා වෙනත් බොහෝ අයට ඊමේල් මඟින් යවන ලදී.

2019 ජනවාරි 22 ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවූ එම වාර්තා ලිපියට ලින්ක් එක පහතින් ඇත.

LankaWeb – Six lawyers and a monk: importance of impotence

එහි විස්තර කර ඇති අන්දමට මෙම ඥානසාර නඩුව හා නඩු තීන්දුව මුළු ලෝකයේම නිග්‍රහයට පාත්‍ර විය යුතු අධිකරණ විකෘතියක් යයි මම සිතමි (වාර්තාවට අමුණා ඇති විඩියෝ කොටස් අසා බලන්න).  එය හුදෙක් නීතීඥයින් හය දෙනෙක් හා සුප්‍රීම් උසාවියේ දෙන්නෙක් එකතුව, ඥානසාර නම් පංචස්කන්ධයට කල හානියක් නොව, සිංහල බෞද්ධ ජනයාගේ සර්වාධිපත්‍යය කොල්ලකා ගැනීමක් වන්නේය. මුළු නඩුවම බොරුව මත ගොඩ නැඟුණකි. ස්වාභාවික යුක්ති ධර්මය යන රීතිය අමු අමුවේ ගිල දැමීමකි. එක උදාහරණයක් පමණක් මෙසේය. රට බේරාදුන් සිංහල රණවිරුවන් වෙනුවෙන් සාධාරණ ලෙස මැදිහත්වූ හාමුදුරුනමකට  බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬුවමක් දුන් විට ඊට විරුද්ධව සුප්‍රීම් උසාවියට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සුප්‍රිම් උසාවියට ආයාචනයක් ගොනුකරණ ලදී. එහි නඩුකාරයින් තුන් දෙනාගෙන් දෙන්නෙක් එය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කලේය. ඒ දෙන්නාගෙන් එක් අයෙක් තමන් බාර් ඇසෝසියේෂන් එකේ සිටියදී ඥානාසාර හිමියන්ට හා බොදු බල සේනාවට විරුද්ධව බලවත් ලෙස ක්‍රියාකල අයෙක් විය. මොහු එම ආයාචනය ඇසීමෙන් ස්වකැමැත්තෙන්ම ඉවත් විය යුතුව තිබුණි. එසේ නැත්නම් ඥානසාර හිමියන්ගේ නීතීඥයා එය පෙන්වා දිය යුතුව තිබුණි. ලංකාවේ නීතීඥයෝ නඩුකාරයින්ට බය බව  රටම දනී.

කොසොල් රජතුමා දුටු සීන දාසැය

සිංහල බෞද්ධ විරෝධී පිරිසගේ අමන්දානන්දයට හේතුවූ මෙම විකෘති අධිකරණ තීන්දුව, ලඟදීම අපි බල සේනාව බලු කූඩුවේ දානවා යන මිසිස් චන්ද්‍රිකාගේ ප්‍රකාශයට අනුකූල විය. මෙම විකෘති පිරිසගේ හැසිරීම් රටාව උසාවියට පරිබාහිර යම් කාරණාවලින් සක්සුදක්සේ තහවුරුවේ. පසුකාලයක රන්ජන් රාමනායක නම් අන්දමන්දවූ පුද්ගලයා කලා මෙන් ඥානසාර හිමියන් තමන්ට සමාව දෙන ලෙස කාටවත් බැගෑපත්වූයේ නැත. තමන් ජාතිය වෙනුවෙන් කරණ ක්‍රියා වරදවල් ලෙස උන්වහන්සේ සළකන්නේ නැත. ඒවා සුද්දගෙ නීතිය යටතේවත් වැරදි නොවේ. එසේ නැතිනම් නම් ධර්මපාලතුමා සිටිය යුතුව තිබුණේ මහජනයා අතර දේශනා දෙමින් නොව හිරගෙදරය. හාමුදුරුවන් නිදහස් කරණ ලෙස ඉල්ලා සිටියේ අසාද් සාලි, හිස්බුල්ලා, (හකීම්?) යන අයත් රවි කරුණානායකත්ය. ඒ පාස්කු ප්‍රහාරයට පසුව හාමුදුරුවන් තවදුරටත් හිරේ තබන්නට හැකි ආත්ම ශක්තියක්, රනිල්ට, චන්ද්‍රිකාට හෝ මෛත්‍රීපාලට නොතිබුණු නිසාය.

ඊට කලින් හාමුදුරුවන් නිදහස් කරන්නට එපාය යන පෙත්සමට මුලින්ම අත්සන් කලේ රනිල්ගේ බිරිඳ මෛත්‍රීය! මාක්ස්වාදය, ඉස්ලාම්, ක්‍රිස්තියානි ලබ්ධි වලින්  කරන්නේ අනුගාමිකයින් බිහිකිරිම මිස එව බලව යන ස්වාධීන, විචක්ෂණ මනසක් වර්ධනය කිරීම නොවේ. බුද්ධාගමට පහරදීමේ ව්‍යාපාරයෙන් හදන්නේ එවැනි පඹයින්, රොබාට්ලා, එහෙයියන් ගෙන් පිරි රටක් කරා හෙමින් හෙමින් මිනිසුන් දක්කාගෙන යාමය. එසේ නැත්නම් ලෝකයේ ප්‍රථම වරට තමන්ගේ රටට විරුද්ධ යෝජනාවට පක්ෂවු මංගල සමරවීර මියගියවිට ඔහුට ස්ත්‍රෝත්‍ර ගයන්නේ කවුද? සුනිල් පෙරේරා කරේ තියාගන්නේ කවුද? මේවාට කියන්නේ කොසොල් රජතුමාගේ හීන සැබෑවෙනවා කියාය.

ජනාධිපති ප්‍රේමදාස මියගිය විට රතිංඥා පත්තුකල පිරිස දැන් පුතානෝ පිටුපසින් යමින් සිටී. සජිත්ට අනුව රංජන්ට සමාව දීමට අවශ්‍ය ඔහු හිරේ සිට උපාධියකට පාඩම් කරන නිසාය! රන්ජන් රාමනායකට සමාව දෙන ලෙස කියන අය ඔහුට දුන් අවුරුදු 4 සිර දඬුවම අසාධාරණ හා මානව අයිතිය කඩකිරීමකැයි කියමින් නීතිය වෙනස් කිරීමට හෝ අළුත් නීතියක් ගේන්නට කියයි. උසාවි තීන්දුව දුන් පසුව උසාවි භූමියේ සිටම මුන් හොරු යයි වහසිබස් දෙඩවූ රංජන් වෙනුවෙන් ඉදිරිපත්වූ පිරිස්, ඥානසාර හිමියන්ට අවුරුදු 19 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් දීම ගැන නිහඬව සිටියේ හාමුදුරුවන්ගෙන් පිළිඹිඹුවන සිංහල බෞද්ධ උරුමයට ඔවුන්ගේ ඇති දැඩි, දුෂ්ට වෛරය නිසාද? පොසොන් කියන්නේ ලංකාවට එල්ලවූ පලවෙනි ආක්‍රමණය යයි කිව හැක්කේ සටන් විරාම ගිවිසුමකින් රට පාවාදුන්, රට කැබලිකිරීමට සූදානම් අයෙකුට පමණය. රනිල්, රාජිත, අනුර කුමාරලාගේ හා උලමා සභාවේ ඩබල්ගේම් රටට එළිකලේ ඥානසාර හාමුදුරුවෝය. නිලධාරීන් රට කොට උඩ යවන්නට සදන බව නිර්භයවම කියන්නේද උන්වහන්සේ පමණය.

කතෝලික රදගුරු සමුළුව, දෙමළ මුස්ලිම් දේශපාලන පක්ෂ හා, සිංහල-දෙමළ ක්‍රිස්තියානි හා මාක්ස්වාදී පංචස්කන්ධ වනාහි මේ යුද්ධය නම් කවදාවත්ම දිණන්න බෑ කියූ පිරිස්ය. ඥානසාර හිමියන් දඩමීමා කරගෙන ඔවුන් නඟන   චෝදනාවලට  වලට යටින් ඇත්තේද 1815 න් පසු ක්‍රියාත්මකවූ සිංහලයගේ රට කැබලිකිරීමේ න්‍යායපත්‍රය මය. මුලතිව් ගුරුකන්ද විහාරයේ ආදාහන ප්‍රශ්ණයේදී මුළු රටේම හාමුදුරුවරු අසරණවී තුෂ්ණිම්භූතව සිටියදී එයට මැදිහත්ව, දැන් සුද්දගෙ නීතිය යටතේ චූදිතයෙක් වී සිටින්නේද ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු ඥානසාර හිමියන්මය. තමන්ට භාරදුන් රාජකාරිය හාමුදුරුවන් විසින් කිරිගහට ඇන්නා මෙන් ඉටුකරණ බව සිංහල බෞද්ධ විරෝධී පිරිස් හොඳින්ම දනී.

සුද්දගෙ නීතිය අපිට එපා – දෙවෙනි කොටස

ඕ මයි ගෝඩ් බෞද්ධයින් හා බුදු අම්මෝ බෞද්ධයින්

ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ට අනුව සිංහල බෞද්ධයින් වර්ග දෙකකි. යම් ත්‍රාසජනක ඇබ්බැද්දියකට මුහුණ දුන් විට ඕ මයි ගෝඩ් යයි කියන අය හා එවිට ඉබේටම බුදු අම්මෝ යයි කියවෙන අය යනුවෙනි. මේ දෙවන කොටස සොහොනක් ලඟින් රෑට යනවිට හෝ බල්ලෙක් එලවාගෙන එනවිට ඉතිපිසෝ ගාථාවද මතුරන අයමය. 1551 දොන් ජුවන් ධර්මපාල සමඟ බිහිවූ ක්‍රිස්තියානි සිංහල කොටසට අමතරව ක්‍රමයෙන් වර්ධනයවූ මෙම බෞද්ධ මයි ගෝඩ් පිරිස් සිංහල කළුසුද්දන් යයි අනාගාරික ධර්මපාලතුමා විසින් ප්‍රථම වරට නම් කලේය. ගම්වල චන්ද ගැනීම සඳහා ඩොනමෝර් බෞද්ධයින් වූයේ එතෙක් සිංහලෙන් කතා කිරීම හා බුද්ධාගම කුස්සියට සීමාකල මේ අයමය. ඔවුන්ට ඕල්කොට් බෞද්ධයින් යයි කියන්නේ මොවුන් ඕල්කොට් හඳුන්වාදුන්  බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපන ක්‍රමයෙන් ඉංග්‍රීසි කටගාගෙන තෙම්පරාදු වූවන් නිසාය.  1880 ට පෙර තිබූ පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය හා පන්සල 1940 දශකය වනවිට පිළිකන්නට තල්ලුව තිබුණේ සුද්දගෙ නීතිය යටතේය. දැන් කාලයේ කඹ වැනි පිරිත් නූල් අතේ බැඳගෙන අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ  කියන පක්ෂ දේශපාලකයෝ මොවුන්ගේ දූ දරුවන්ය.

සුද්දගෙ නීතිය යටතේ සංඝ සංස්ථාවට සිදුවූ හානිය, 1988-89 කාලයේ ජේවීපී මරණ තර්ජන නිසා ලන්ඩන් වලට පලාගොස් දිවි බේරාගත් ප්‍රින්ස් ගුණසේකර මහතා විසින් 1958 දී ලියන ලද විහාර නීති විත්ති නම් කුඩා පොතේ විස්තර කර තිබේ. රටේ හාමුදුරුවරුන් උසාවි කොරිඩෝර් වල රස්තියාදු කිරීම නුසුදුසු බවත් ඔවුන් සඳහා වෙනම උසාවියක් පිහිටුවිය යුතු බවත් එක් සුදු නඩුකාරයෙක් විසින් යෝජනා කල බව ඒ පොතේ සඳහන්වේ. මෙය 2021 අගදීවත් ඉටු නොවුනත් 1950 වනවිට කාති උසාවි ලබාදීමට ඕ මයි ගෝඩ් බෞද්ධයින් ක්‍රියාකලේය. ආණ්ඩුවේ රක්ෂාවක් කරණ මුස්ලිම් කාන්තාවක් වැන්දඹුවක් වුනොත් ඇයට විශේෂ නිවාඩු කාලයක් ලැබෙන නීතියක් තිබේ යයි මා අසා ඇත!

සිවුර නමැති වනාන්තරය

කාගම සිරිනන්ද හාමුදුරුවන් විසින් ජනාධිපතිට හා අගමැතිට යූටියුබ් හරහා දුන් දීර්ග උපදේශ කතාව 2021 ඔක්තෝබර් 24 ලංකාවෙබ්  වෙබ් අඩවියේ පලවිය. උන්වහන්සේ නිතරම කියන කතාවක් නම් සිවුර කැළෑවක් වගේය යනුය. ඕනෑම හොරෙකුට එය තුල සැඟවී සිටිය හැකිය. පැරිසියේ පන්සලේ හාමුදුරුවන් ලඟකදී කියා සිටීයේ හොරට සිවුරු දාගෙන භික්ෂූන් වශයෙන් පෙනීසිටිමින් ඇතුලින් බදු සසුන විනාශ කිරීම අරමුණු කරගෙන පුහුණුවන අය යුරෝපයේ රටවල ඉන්නා බවය.  නිදසුනක් වශයෙන්, එවැන්නෙක් පාරේ ස්ත්‍රියකගේ අතින් අල්ලාගෙන ගියොත් ඉන් නිග්‍රහයට ලක්වන්නේ දලයි ලාමා නොව  ලංකාවේ සංඝ සංස්ථාවය. මෙය පුදුමාකාරයේ සංසිද්ධියකි. ඊට හේතුව මියගිය ස්ටැන්ලි තම්බයියා හා ගනනාත් ඔබේසේකර, එච්. එල්. සෙනෙවිරත්න වැනි අය ඇමෙරිකාවේ සිට  ලියූ පොත් වලින් බටහිර රටවල ජනයාට ලංකාවේ බෞද්ධයින් ගැන වැරදි පින්තූරයක්  දීමය.

බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ට දේශපාලකයින් කෙතරම් බයද යන්න උන්වහන්සේ පාර්ලිමේන්තුවට ඒම වලක්වන්නට රතන හිමියන් සමඟ එකතුව පොහොට්ටුවේ අහසින් පාත්වූ ලේකම් විසින් කලා යයි එලිවන කුමන්ත්‍රණයෙන් පෙනී යයි. දිස්ත්‍රික් තුනකම නාම යෝජනා පත්‍ර වැරදියට පිරවීම හා ලැබුණ එක් මන්ත්‍රීධූරය වංචාකර ගැනීම යනුවෙන් එහි අදියර දෙකක් විය. බෙදා පාලන න්‍යාය කෙතරම් ශූක්ෂම ලෙස සුද්දන් විසින් ක්‍රියාත්මක කලාද යත්, විද්‍යාලංකාර පිරිවෙන අධිරාජ්‍ය විරෝධී මඟක් ගත් නමුත් විද්‍යොදය පිරිවෙන එංගලන්ත මහරජුගේ උපන්දිනයට ස්ත්‍රෝත්‍ර ගී ලියන, ගයන තැනක් විය! සුද්දගෙ නීතිය මඟින් විහාර දේවාලගම් ටතු වගා සඳහා උදුරා ගැනීම, මුඩුබිම් පනත් මඟින් උඩරට ගැමියාගේ ඉඩම් කොල්ලකා ගැනීමට සමානය. බුද්ධ සාසනයේ ඇති සිතීමේ හා හැසිරීමේ නිදහස අනුව ක්‍රිස්තියානි ආගම්වල මෙන් උඩින් එන සංවිධානාත්මක පාලනයක් නොවීය. මේ නිසා සෑම ගමේ පන්සලක්ම විහාරාධිපති කෙනෙක් යටතේ පවතින ස්වාධීන ඒකක විය. ආඥාදායක මාක්ස්වාදී ක්‍රමයේ හා ප්‍රජාතන්ත්‍රවාදී යයි කියන සමාජ ක්‍රමය අතර ඇති වෙනස මෙන් පන්සල් වල ඇති මෙම එව බලව නිදහස නිසා සුද්දන්ට විරුද්ධව  එකමුතු බලවේගයක් පන්සල් වලින් වර්ධනය වුනේ නැත. මෙම ‘දුර්වලකමින්’ සුද්දන්, කළුසුද්දන්, ඕ මයි ගෝඩ් බෞද්ධයින්, පක්ෂ දේශපාලකයින් හා කෙලෙස් පිරි හාමුදුරු කොටස්ද ප්‍රයෝජන ලබාගත්තේය. යම් යම් හාමුදුරුවරු ඥානසාර හාමුදුරුවන්ට එරෙහිව කතාකිරීම තුල තිබෙන්නේ මෙම පසුබිමේ ආනිසංසය.

ජාති, කුල, ආගම්, භාෂා වශයෙන් සුද්දන් කල බෙදා පාලනය ක්‍රමය කළු සුද්දන් විසින් 1931 සිටම පක්ෂ දේශපාලනය අනුව අළුත් බෙදා පාලනයකට කරකවා ගත්තේය. මේ වනවිට කොල, නිල්, රතු වශයෙන්, ගෙදර, පවුල, ඥාතීන්, කන්තෝරුව, ගම, වෘත්තීය සමිති, සමූපාකාර සමිති, දායක සභා, කලාකරුවන්, පන්සල්වල හාමුදුරුවරු යනාදී කුලල්කා ගන්නා පංචස්කන්ධ ඒකක ලෙස බෙදුණු මෝඩ රටක්, පන්සල්  ගොඩක් බවට පත්වී දුක් විඳිමින් සිටී.  කතෝලික සභාවේ කාදිනල්තුමා සමඟ සසඳන විට මල්වතු-අස්ගිරි මහානායක හිමිවරු නිකම්ම තැපැල් පෙට්ටි දෙකක් වැනිවිය. බල බලා සිටියදීම බුද්ධ ශාසනය පිරිහීමට වැටෙන්නට විය. බුද්ධ සාසන කොමිෂන් වාර්තා දේශපාලකයින්ගේ සෙප්පඩවිජ්ජා විය. සීහල උරුමය හා ජාතික හෙල උරුමය ඒවායේ හෙළුව ප්‍රදර්ශණය කලේය. යුද ජයග්‍රහණය දියාරුවී ගියේය. බොදු බල සේනාව මතුවී ආවේ මෙවන් පසු බිමකය. එහි අරමුණ වූයේ බුදු සසුන නමැති අභාවයට යමින් සිටි වත්ත සුද්දකර ගැනීමය. සුද්දගෙ නීතිවලින් රටත් සාසනයත් බේරා ගැනීමය.

ලංකාවේ මෑත ඉතිහාසය  පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, නිදහස්, වශයෙන් බෙදා හැදෑරූ කළු සුද්දන්ගේ ප්ලෑනට අනුව නොව, එය පන්සල හා සුද්දන්-කළුසුද්දන් අතරවූ අරගලයක  කතාවක් ලෙස සළකන විට, එහි එකිනෙක හා බැඳුන අවධි හඳුනා ගත හැකිය. උදාහරණයක් වශයෙන් 1798 සිට 1873  පානදුරා මහාවාදය දක්වාම පැවති දීර්ග කාලයේ ලක්ෂණය වූයේ බුද්ධාගම කියන්නේ බොරුවක් යන විවෘත හා සැඟවුන මතය හෙවත් ප්‍රතිපත්තියය. මේ අවධිවලට දායකවූ කැපීපෙනෙන එක් ප්‍රධාන හාමුදුරුනමක් හෝ කීප නමක් සිටියේය. 1978 න් පසුව ලංකාවේ බුද්ධ සාසනය බලවත් සේ දේශපාලකයින්ගේ හිරිහැර වලට පාත්‍ර විය. පොලිසියේදී පැමිනිලිකාර පාස්ටර්ව පුටුවේ වාඩිකරවා, විත්තිකාර ගමේ හාමුදුරුවන්ට හිටගෙන සිටීමට සිදුවූ කාලයක් 2001 වනවිට උදාවිය. 2015 යහපාලනකාරයින් විසින් රංජන් රාමනායක ලවා හාමුදුරුවරුන්ට එලි පිට නිග්‍රහ කරන්නට විය. 2012 බිහිවූ බොදු බල සේනාව, ඊට පෙර අවධි වලින් වෙනස් වූයේ ඥානසාර හිමියන් ඇමෙරිකාවේ මාටින් ලූතර් කිං හා ඊට පෙර ඉන්දියාවේ ගාන්ධි විසින් දියත් කල මිලිටන්ට් සටන් ක්‍රමය උන්වහන්සේ අනුගමණය කල නිසාය. අවිහිංසාව, දැඩි විනය හා ජීවිත පරිත්‍යාගය මෙහි ලක්ෂණය.

බොරුව මත ගොඩනැඟුණ ඥානසාර විරෝධය යනු ලංකාව 1956 ට පෙර තිබූ සිංහල බෞද්ධයින් යටපත් කරගෙන තිබූ පාලන ක්‍රමය, අළුත් උපක්‍රම හා වෙස් මුහුණු දමා 2021 දී පවත්වා ගෙන යාමට, මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ කිව් පිරිස් වල බොල් ඝෝෂාවය. ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපයේ ඇති දුර්වලකම් හා අකාර්යක්ෂමතා මොනවා වුවත්, මෙම කාර්ය සාධක බලකාය පත්කිරීම හා එය ඥානසාර හිමියන්ට භාරදීම 69 ලක්ෂයේ බලාපොරොත්තුව ඉටු කිරීමක් පමණය. ජනාධිපති ගෝඨාභය එහි වින්නඹුවා පමණය. වෙන කිසිම දේශපාලන බිස්නස්කාරයෙකුට මෙවැනි  එඩිතර පියවරක් ගැනීමට ශක්තියක් නැත. එය යමෙකුගේ බොක්කෙන්ම පැන නඟින්නකි.

ලංකාවේ අගමැති හා ජනාධිපතිධූර දැරෑ හැම පංචස්කන්ධයක්ම රටට හානිකර තීරණ ගත් අයය (සමහරවිට දහනායක හා විජේතුංග යන දෙදෙනා මීට අයත් නොවේ). පෘතග්ජනයින් වශයෙන් එසේ හැසිරීමට ලංකාව ඉන්දියාව වැනි රටවල ඇති එකම දඬුවම ඊළඟ චන්දයෙන් පැරදවීම පමණය. මේ අය යම් යම් හොඳ තීරණද ගෙන තිබෙන්නේ යුද්ධයකින් වුවත් හොඳ දේවල් සිදුවිය හැකි පරිදිමය. ජනාධිපති ගෝඨාභය අතින්ද අතපසුවීම් සිදුවන බව පෙනේ. තවද, කේන්තියාම යම් පාලක නායකයෙකුට නුසුදුසු වුවත්, හිතට එකඟව ක්‍රියාකරණ අවංක පුද්ගලයෙකුට, කයිරාටික දේශපාලකයෙකු මෙන් එය ආයාසයෙන් සඟවා ගත නොහැකිය. ජේ ආර් උතුමාණෝ යන පට්ටමක් ගසා ගත්තේය. ගෝටා අතිගරු කතාව තහනම් කලා යයි කියුවත් දැන් එය යර්ස් මෑන්ලා විසින් හැමතිස්සේම භාවිතා කරණවා පෙනේ. ඔහුට පෙර අය රටට කල පව් සියල්ලම ඔහුගේ ගිණුමට බැරකර, රෙජීම් චේන්ජ් සෙල්ලමක් සඳහා සිංහල බෞද්ධ විරෝධී දේශපාලකයින් හා විදේශ බලවේග දඟලමින් සිටිනවා නොවේද? ඔහු ලංකාවේ  දුෂ්ඨ ත්‍රිකෝණයට (දේශපාලකයා-නිලධාරියා-එන්ජීඕ/බිස්නස්කාරයා යන මාෆියා වර්ග තුනට) මැදිවී, තනිවී සිටීද කියා වරෙකට සිතේ.

බළලා මල්ලෙන් එලියට පැනීම

ඥානසාර හිමියන්ට දක්වන විරෝධය, ලංකාවේ සිංහල බෞද්ධ පදනමට හතුරන්වූ, මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ යන බලාපොරොත්තුව කඩවීම නිසා මානසික ව්‍යාධියෙන් පෙලෙන  බලවේගවල හෙළුව එලිවීමක් බව, අලි සබ්‍රිගේ , අගරද ගුරු සම්මේලනයේ  (කතෝලික සභාව?) හා බාර් ඇසෝෂියේෂන් යන  ආයතන තුනේ  හැසිරීම් ආශ්‍රයෙන් තේරුම් ගත හැකිය. ඔවුන්ගෙන් ඇසිය හැකි ප්‍රශ්ණයක් නම්, ඔබ/ඔබලා, ඥානසාර හාමුදුරුවන් වෙනුවට යහපාලනකාරයින්ට කඩේ ගිය කටකාර දඹර අමිල හිමියන්ව පත් කලා නම්, ඒ උන්නාන්සේගේ නමටත් විරුද්ධ වනවාද යනුය.

1.අලි සබ්‍රි

අධිකරණ ඇමති වශයෙන් අලි සබ්‍රිගේ ක්‍රියාකලාපය, රටේ 69 ලක්ෂයේ ජනතා අපේක්ෂාවන්ට පටහැනිය. ඔහු නීතිඥයෙක් වුවත් තමන්ගේ එදිනෙදා උසාවි නඩුවලට අදාළ නීතිය හැර ඔහු නීති විශාරදයෙක් නොවේ. විජේදාස රාජපක්ෂ වැනි අයෙක් සමඟ සසඳන විට මේ බහුශ්‍රතභාවයේ වෙනස පැහදිලි වන්නේය. එක රටක් එක නීතියක් යන විෂයයට අදාලව ඥානසාර හිමියන්ට වඩා වැඩි දැණුමක් ඔහුට තිබෙන්නේ කෙසේද?  ඔහු හැමදාම එකම වර්ගයේ නඩු සඳහා උසාවියට බඩගෑ අයෙක් පමණක් නොවේද? සමාජ විද්‍යාව හෝ දේශපාලන විද්‍යාව අමතක කලත්, අඩුතරමින් නීති විද්‍යාව (jurisprudence) සම්බන්ධයෙන් වත් ඔහු එක ශාස්ත්‍රීය ලිපියක් හෝ ලියා තිබේද? මෙම කොමිටියට පත්කරණ පුද්ගලයින් කවුදැයි ඇසීමට ඔහුට ඇති විශේෂ දැණුම කුමක්ද?  ඔහු  ඇතැම් මුස්ලිම් ජනකොටස් වල ප්‍රාණ ඇපකාරයෙක්ය යන කතාවක්  ඔහුගේ හැසීරීම් රටාව නිසා ද්වනිතව තිබේ. ඔහුගේ පියා මාක්ස්වාදී දේශපාලනයේ යෙදී සිටීම හැර ලිස්ට් එකෙන් මිස චන්දයෙන් පාර්ලිමේන්තුවට යන්නට ඔහුට විභවයක් තිබේද යන්න සක සහිතය. ඔහුට ලබාදුන් තනතුරට ගෞරවයක් වශයෙන් ඔහු විසින් කලයුතුව තිබුණේ ඥානසාර වාර්තාව ලැබුණ පසු ඒ ගැන ඔහුගේ අදහස් ඉදිරිපත්කර, අවශ්‍යනම් ඇමතිකමෙන් ඉල්ලා අස්වීමය.

උදාහරණයක් වශයෙන්  1977 දී පකිස්ථානයේ බලය අල්ලාගත් අල් අක් ෂියා රට ඉස්ලාම්කරණය කිරීම සඳහා මද්‍රසා පාසැල්  ව්‍යාපාරය ආරම්භකලේය (National Geographic, Sept 2007, p. 59). මෙම මද්‍රසා පාසැල් නමැති විෂබීජය, කාති උසාවි, ප්‍රසිද්ධ ස්ථානවලදී  මුළු මූණම රෙදි කැබල්ලකින් වසා ගැනීම, ළමා විවාහ හා බහු විවාහ වලට විරුද්ධද යන්න අලි සබ්‍රි විසින් කෙළින්ම ප්‍රකාශකර නැත. උලමා සභාව හා ඔහු අතර ඇති සම්බන්ධකම කුමක්ද?

  1. අගරදගුරු සම්මේලනය

සිංහල බෞද්ධ ජනයාට සුද්දන් විසින් අහිමිකල උරුමය නැවත ලබාදීමේ අරගලයේදී ක්‍රිස්තියානි සංවිධාන හැමවිටම ඊට විරුද්ධ විය. ප්‍රභාකරන් ඔවුන් බොහෝ දෙනෙකුගේ සුරතලෙක් විය. ප්‍රභාකරන් මානව හිතවාදී පුද්ගලයෙක් යයි එක් ක්‍රිස්තියානි නායකයෙක් කියුවා දැන් ඔවුන්ටම අමතකය. කතෝලික සභාවේ කාදිනල් මැල්කම් රන්ජිත්තුමා ලංකාව සිංහල බෞද්ධ රටක් යයි පිලිගත්තත් සමහර දමිළ පියතුමන්ලා ගේ හා මූලධර්මවාදී පාස්ටර්වරුන්ගේ ඊලම් ක්‍රියා හා සදාචාරාත්මක නොවන බෞද්ධ හා හින්දු ආගමිකයන් විවිධ අන්දමේ අල්ලස් හා දූෂණ මඟින් ක්‍රිස්තියානිකරණය කිරීමට විරුද්ධව හඬක් නැගුවේ නැත. එක රටක එක නීතියක් මඟින් කතෝලික හෝ ක්‍රිස්තියානි ජනයාට සිදුවන හිරිහැරය කුම්ක්දැයි ඔවුන් පෙන්වාදී නැත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කාදිනල්තුමාටද වරදක් පැටවෙන්නේ වහාබ්-ශාරිය උවදුර ගැන ඥානසාර හිමියන් ඔහුට දැණුම් දුන් විට ඔහු ඒ ගැන දැක්වූ උදාසීන ආකල්පය නිසාය. යටින් මොන අදහසක් දැරුවත් උඩින් ඇඟ බේරාගෙන ක්‍රියාකිරීමේ විපාක එතුමාට දැන් වැටහී ඇති බව නිසැකය. ලංකාවේ දුප්පත් නොවන ක්‍රිස්තියානි ප්‍රජාව සුද්දගෙ නීතියෙන් වාසි ලැබුවේය. කටුනායක ගුවන් තොටුපලේ සිට එන විදේශිකයින් පාර දෙපැත්තේ දකින්නේ  ලංකාව තවත් රෝමයක් ලෙසය. ලැකාවේ සෑම පුරාණ සිද්ධස්ථානයකට අල්ලා ක්‍රිස්තියානි හා සමහරවිට ඉස්ලාම් පල්ලි තිබුණත්, පල්ලි භූමි අසල පන්සල් තිබෙනවාද?

තවත් බොරු කොමිෂමක් වෙනුවට ඥානසාර හිමියන්ට භාරදී ඇති කාරිය දැන් කාටවත් නතර කල නොහැකි, ආපසු හැරවිය නොහැකි ගමනකි. අලි සබ්‍රි මෙන් ක්‍රිස්තියානි සංවිධාන වලටද කල හැකි හොඳම දේ වන්නේ යෝජනා ඉදිරිපත් කිරීම හා වාර්තාව පිටවූ පසු එය විමර්ශණයට ලක්කිරීමය. සදාචාර විරෝධී ලෙස අන්‍යාගමිකයන් ක්‍රිස්තියානීකරණය කිරීම එක රටක් එක නීතියක් යටතේ තහනම් කලයුතු නැද්ද?

3.බාර් ඇසෝසියේෂන් එකේ නම්බුකාර මහත්තුරු

ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය ගැන මහ ඉහළින් කතාකරණ බාර් පිරිස යමෙකුට  සිහිපත් කරන්නේ නමින් කපුරුහාමි, නමුත් කට ගඳයි යන ආප්තෝපදේශයය. මෙම නීතිඥයින්ගේ වෘත්තීය සමිතිය කෙතරම් සවුත්තු තැනක්ද යන්න නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් එංගලන්තයේ උදාහරණ දවමින් පෙන්නා දුන්නේය. මේ සමිතිය, සේවාදායකයින්ට වංචාකරණ, දික්කසාද නඩුවකදී එහි ස්ත්‍රී පාර්ශවයෙන් ලිංගික අල්ලස් ගන්නවා යයි කියන, තම සංගමයේ සාමාජිකයින්ට දඬුවම් කරණවාද?  නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් වෙනම පන්තියක් වශයෙන් එගොඩවී ඇති දූෂිතවු බොහෝ නීතීඥ, දොස්තර, ඉංන්ජිනේරු හා අනිකුත් වෘත්තිකයින් එක නීතියක් යන සංකල්පය දකින්නේ වංගෙඩිය මිනීමැරෑ, ගොයම් කොළයට සැඟවීම වැනි පුස් නීති තර්කවලට ඉඩදෙන සුද්දගෙ නීතියේ ආවරණයය.

වෛද්‍ය හෝ ඉජිනේරු ක්ෂේත්‍රයේ මන් නොව නීති අංශයේදී සාමන්‍ය ව්‍යවහාරික ඥානය ඇති අයෙකුට වුවද නීතිඥයෙක් නැතිව උසාවි යා හැකිය. ඉදිරි ලිපි වලින් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ නීති සැදීම සාමන්‍ය ජනයාගේ උවමනාවලට අනුව මිස, පාලක කළු සුද්දන්ගේආ අවශ්‍යතා අනුව සිදු නොවිය යුතු බවය. නීති සැදීම, නීති විවරණය කිරීම, නීති ක්‍රියත්මක කිරීම, යුක්තිය පසිඳලීම මේ සියල්ලම දැනට පතින්නේ නීතිඥයින්ගේ ග්‍රහණයට අසුවීය. ලංකාවේ  මහ නීතිය (ව්‍යවස්ථාව ) සදා/ලියා තිබෙන්නේ නීතීඥයින් රංචුය. ඇළුතින්ම ලියන්නට යන එකට දැමූ කොමිටියේ ඉන්නේ ලෝයර් අටකට, එකම එක නන්-ලෝයර් කෙනෙක් පමණය. මෙම සුද්දගෙ ක්‍රමය කඩා දමා නීති සැදීම මහජනයාගේ අතට යායුතුය. ඊට හේතුව උපතටත් පෙර සිට හා මරණයෙන් පසුවත් යමෙකුගේ ජීවිතය පාලනය කරණ නීති හා රෙගුලාසි වියයුත්තේ මොනවාදැයි හොඳින්ම දන්නේ ජනයාම මිස ලෝභ-ද්වේෂ-මෝහයෙන් පිරි ලෝයර්ලා සෙට් නොවන නිසාය.

ඥානසාර හිමියන් හෝ දඹර අමිල භික්ෂුව හෝ මොහම්ඩ් රාජිතව හෝ රටට සුදුසු නීති සකස් කිරීම සඳහා පත්කිරීම අවුලක් කරගත යුතු නැත්තේ මේ නිසාය. බාර් එකේ කට්ටියට රටේ නීති ගැන කැක්කුමක් තිබෙනවා නම් නඩු වවාගෙන කන, නඩු හරහා මහජනයා සූරාගෙන කන ක්‍රමය නවත්වන්නට නීතියක් යෝජනා කරන්නට බැරිද? නීති සැදිය යුතු එංගලන්තයේ හෝ ඇමරිකාවේ පොත් වලට අනුව නොව රටේ සමාජ-දේශපාලන-ආර්ථික භූගෝල විද්‍යාවට අනුකූලවය. පොතේ නීතිය හා ඇත්තවශයෙන් මහපොලොවේ ක්‍රියාත්මක නීතිය. කැළෑ නීතිය, යම් නීතියක් නිසා ඇතිවූ බලාපොරොත්තු නොවු අළුත් ප්‍රශ්ණ, නීතිය ජන කොටස් සූරා කෑම සඳවා භාවිතය යනාදිය  තේරෙන්නේ බාර් සංගමයේ අයට පමණක් නොවේ.

කලම්බු ටෙලිග්‍රාෆ්, රාජන් පිලිප්ස්, ජෙහාන් පෙරේරා, දයාන් ජයතිලක, පාකියසෝති, සේපාල් අමරසිංහ, සුදත්ත තිලකසිරි, සුදර්ශන් හඳුගොඩ, නාගානන්ද, අයිලන්ඩ් පත්තරේ, ජේවීපීකාරයින් යනාදියෙන් පටන්ගෙන මුළු ලෝකයේම, ජනාධිපති ගෝඨාභයට හා ඥානසාර හිමියන්ට විරුද්ධව කරණ මඩ ගැසීම් ලංකාවේ සිංහල බෞද්ධයින්ට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයේම කොටසකි. ඒ අය ලියන කියන දේ අසත්‍ය, අර්ධ සත්‍ය හෝ කරුණු නොදන්නා කම නිසා වෙන දේය. එහෙත් බාර් සංගමය වැනි තැනකින් බලාපොරොත්තු වන්නේ සදාචාරාත්මක හැසිරීමකි. ඥානසාර හාමුදුරුවන් හිරේ දැමු නඩු තීන්දුව නීතිවිරෝධී තීන්දුවක් බව බාර් එක දනී. අළුත්ගම-දර්ගා ටවුන් සිදුවීම ගැන කොමිෂමක් දමන ලෙස ඥානසාර හිමියන් ඉල්ලා සිටින්නේ රාජිත (මොහම්ඩ්) සේනාරත්න විසින් කාලයක සිටම බේරුවල-අළුත්ගම  ප්‍රදේශයේ මුස්ලිම්/ශාරියා ආධිපත්‍යයකට  ඉඩකඩ සළසා දීම නිසාය.

ශාරියා ක්‍රමය අනුව යම් ප්‍රදේශයක් මුස්ලිම් බලය වැඩිවූ විට ඔවුන් සෙසු ජනයාට පුස්පාට් දමා, හිරිහැර කර එලවා දමා ඒ ප්‍රදේශ මුස්ලිම් බලකොටු කර ගනී. රාජිත සේනාරත්න චන්ද පෙරේතකමට කෙතරම් මුස්ලිම් මිනිසුන්ට නීතිය අතට දුන්නාද යත් ඉතිරිවී තිබෙන එකම පන්සල ඉදිරියේ හරක් ඔළු දැමීමටත්, හෙල්මට් නැතිව යාමටත්, අන්තිමේදී පන්සලේ හාමුදුරුවන්ට පහරදීමත් ශාරියා තරුණයෙන් උඩඟු විය. පොලිසිය නපුන්සකවූයේ රාජිතගේ බලපෑම හා ජරාව කෑමද නිසාය.  බොස්ටන් ටීවී සාකච්චාවකදී තමන්ට මොහම්ඩ් රාජිත කියනවාට කැමතිය කියන තරමට රාජිත සිය හෙළුව පෙන්වූයේය.

පල්ලියක සිට නිවෙස් බලායන සිංහල පිරිසට මුස්ලිම් පිරිස් ගල් ගසනවා වීඩියෝ පටිවල තිබුණත් මුළු ලෝකයේම ප්‍රචාරය වුයේ බෞද්ධයින් මුස්ලිමුන් මරණවා යනුය. මෙම සත්‍ය කතාව බාර් සංගමය නොදන්නවා නොවේ. බාර් සංගමය දේශපාලනය කරණ, ඇමෙරිකන් ඩොලර් ආධාර ලබන, රට බෙදීමට උඩගෙඩි දෙන පිරිස් සහිත තැනක් බව රහසක් නොවේ. කලින් බාර් සංගමයේ සිටියදී බොදු බල සේනාවට විරුද්ධව දැඩිලෙස ක්‍රියාකල එක් නීතීඥ පංචස්කන්ධයක් පසුව සුප්‍රිම් උසාවියේ දී ඥානසාර හිමියන් ඉදිරිපත්කල ආයාචනයට විරුද්ධව තීන්දුවක් දීමට හවුල් විය!

යළි යළි ලියවෙන එකම ඉතිහාස කතාව

1956 දි බණ්ඩාරනායක වින්නඹුවාට දරුවා හදාගන්නට කළු සුද්දන් ඉඩ දුන්නේ නැත. ගමේ සිට අපේ ආණ්ඩුව බලන්නට ආ අයට පාර්ලිමේන්තුවට ඇතුල්වීමට ඉඩදෙන ලෙස අගමැති පොලිසියට අණ කලේය. ඔවුන් ගොස් කතානායක පුටුවේ පවා ඉඳගෙන එහි රශ්මිය විඳගත්තේය. කළු සුද්දන් ඒ බලාපොරොත්තු දියාරු කර දැම්මේය. සමසමාජකාරයින් අවුරුද්දේ දින ගණනටත් වඩා ස්ට්‍රයික් කරවා ඔහුව නොමරා මැරුවේය. ජේ ආර්ලා, ඩඩ්ලිලා දෙමළ භාෂා සාධාරණ පණතට විරුද්ධව පෙලපාලි ගොස් ඉඹුල්ගොඩ වීරයෙක් බිහිකලේය. මේ දෙන්නාම පසුව ඒ පණතම ගෙනාවේය.

1970 දී ස්ටැන්ලි තිලකරත්න, ලෙස්ලි ගුණවර්ධන වැනි අය තරුණයින්ට බොරු බලාපොරොත්තුදී චන්දයෙන් පසුව ඔවුන් ධනපතියින්ගේ ඉඩම් වල පදිංචිවු විට පොලිසිය දමා ඔවුන්ව එලවා දැම්මේය. මේ තරුණයින් 1971 දී විජේවීරට ගොඳුරු විය. ෆිලික්ස් ඩයස්ලා හා මාක්ස්වාදීන් මිසිස් බී ව අතරමං කලේය. 2018 දී සිදුවූයේ 1815 න් පසු සිදුවූ ලොකුම ප්‍රාතිහාර්යය. වනවාසි හාමුදුරුවරු ප්‍රථම වරට සිය චන්දය පාවිච්චිකලේය. තරුණ පිරිස් තාප්පවල, ගොඩනැඟිලිවල දේශාභිමාණී චිත්‍ර ඇන්ඳේය. වගා කටයුතුවල නියැළුනේය. 2019 දී තවත් බලය දුන්නේය. 20 සංශෝධනයද ගෙනාවේය. එහෙත් නුසුදුසු පුද්ගලයින්ට තනතුරු ලැබුණේය. අනිසි තීරණ ගැනීම ලෙඩක් බෝවෙන රෝගයක් වැනිය. තරුණ පිරිස් මැදට කළු සුද්දන් රිංගා ගෙන ඔවුන් සෝඩා බෝතල්  කලේය. දැන් අවුරුදු දෙකකට පස්සේ ජනාධිපතිට හා අගමැතිට චිත්‍ර ඇඳි තරුණයින් මතක් වී තිබේ. මීටත් වඩා වැදගත් ඊට පෙර ජනාධිපති විසින් ඥානසාර කොමිටුව පත් කිරීමය. එය මීට පෙර බණ්ඩාරනායක අගමැති හා මිසිස් බී ට සිදුවූ දෙය තමන්ටද සිදුවීම වළක්වා ගත හැකි මාර්ගය බව මේ ජනාධිපතිට ප්‍රමාදවී හෝ වැටහීමය.

69 ලක්ෂයක් චන්දය දුන්නේ මහින්ද නම් දේශපාලකයාට නොව, ගොඨභය නම් නිලධාරියාටය. පරණ සිංදුවම නැවතත් ගායනය කිරීමට නොවේ.  මරණ තුනක් මැද පැණි කන්නට හදනවා වෙනුවට රටට නියම ලෙස ආදරය කරණ පුද්ගලයින්ට ඉඩක් ලබාදී, භගවත් ගීතාවේ අර්ජුන මෙන් බොරු ඥතීන් හා බොරු මිතුරන් ගෙන් ගැලවීම ඔහුට ඇති එකම මාර්ගයය. උදාහරණයක් වශයෙන්, ගාර්වින් කරුණාරත්න නම් මිසිස් බී ගේ කාලයේ සිට රටට සේවය කල ගාර්වින් කරුණාරත්න නම් හිටපු සිවිල් සේවකයා කරණ යෝජනා ලංකාවෙබ් වෙබ් අඩවියේ නිතරම පලවේ. මේවා ජනාධිපතිගේ අවධානයට යොමු නොවන්නේ ඇයි?

වනැස ටීවී වැඩසටහනේ පෙන්වන පරිදි මේ රට දෙකඩ වීමෙන් බේරාගන්නට සිංහල හා සමහර මුස්ලිම් භට පිරිස් කර ඇති ජීවිත පූජා නිසා දන් සේපාල්ලා, සුදත්තලා දර්ශන්ලා වැනි අයට කාඩ්බෝඩ් ධර්මපාලතුමාලා මෙන් සීමාවද ඉක්මවමින් කහ කුරුල්ලන් යයි සංඝ සංස්ථාවට අපහාස කරන්නට ඉඩ ලැබී තිබේ. මොවුන්ගේ මාක්ස්වාදී ලේ ඔවුන්ව අන්ද මන්ද කරවන්නේය. පොසොන් කියන්නේ ලංකාවට ආ ප්‍රථම ආක්‍රමණය යයි කිව හැක්කේ ක්‍රිස්තියානි ලේ නහර ඇති අයෙකුට පමණය. එවැනි අය කැළණියේ, කෝට්ටේ රජමහා විහාර වල ප්‍රධාන දායකයා කරන්නේ දේශපාලකයින්ට ගැත් හාමුදුරුවරුන්ම වීම රටේ අවාසනාවය.

චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D.



78 Viewers