සෝම හිමියන්ගේ “කහ විප්ලවය” නැවත ඇරඹීමට කාලය පැමිණ ඇත.
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 21 වැනි ගුණ සමරුව මේ මස 12දාට යෙදී ඇත. සෝම හිමියන් අපවත් වන විට 56 වැනි වියේ පසුවිය. සෝම හිමියන්ගේ ගුණ සැමරීම නිමිත්තෙන් දිවයින පුරා පින්කම් හා ගුණසමරු වැඩසටහන් සංවිධානය කර ඇත.
ගංගොඩවිල සෝම හිමියෝ ධර්ම දේශකයකු හා සමාජ ශෝධකයකු වශයෙන් පමණක් නොව විශේෂයෙන්ම අපගේ මාතෘ භූමියේ ඒකීයභාවය සහ සිංහල ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ පිළිබඳ මතකය බෞද්ධ සමාජය තුළ තවමත් රැඳී පවතී. සෝම හිමියන් දෙසූ වදන් බොදු ජනතාවගේ සිත් සතන් තුළ තවමත් රැව් පිළිරැව් දෙයි.
2003 දෙසැම්බර් 12 වැනිදා සෝම හිමියන් රුසියාවේ පීටර්ස්බර්ග් නුවරදී හදිසියේ අපවත් වූයේ මෙරට සිංහල බෞද්ධයන් සෝ සයුරක ගිල්වමිණි. තිස් අවුරුදු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමා කිරීමේ ලාවූ සිංහල බෞද්ධ ප්‍රබෝධයේ මූලිකයා වූ උන්වහන්සේ පිළිබඳ මතකය මෙරට දෑ හිතකාමී ජනතාවට ලෙහෙසියෙන් අමතක කළ නොහැක.
අද වන විට නැවත වතාවක් සෝම හිමියන්ගේ අඩුව රටේ ඒකීයභාවය අගයන සිංහල බෞද්ධ ජනතාවට බොහෝ සෙයින් දැනෙමින් පවතී. කුරිරු ත්‍රස්තවාදී බෙදුම්වාදය යුද්ධයෙන් පරාජය කිරීමට උන්වහන්සේගේ උත්තේජනය මහත් පිටුවහලක් විය. ( 2004 මහ මැතිවරණයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දයෙන් ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් සංඝයාවහන්සේලා නව නමක් පාර්ලිමේන්තුවට වැඩීමත්, උන්වහන්සේලාගේ සහයෝගයෙන්, 2004 පාර්ලිමේන්තුවේ කතානායක වරයා ලෙස වී.ජ.මූ ලොකුබණ්ඩාර පත් කිරීමට හැකිවීමත්, එම සහයෝගයෙන් මහින්ද රාජපක්ෂ සිංහල බෞද්ධ නායකයකු ලෙස අග්‍රාමාත්‍යවරයා බවට පත්වීමත්, ජාතික හෙළ උරුමය ඇතුළු ජාතික කඳවුරේ බලවේග විසින් 2005 වසර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ හයවන විධායක ජනාධිපතිවරයා බවට පත්වීමත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් 2006 වසරේ සිවුවන ඊලාම් යුද්ධය ආරම්භ කිරීමටත් 2009 වසරේ එය අවසන් කිරීමටත් අවශ්‍ය දේශපාලන නායකත්වය, වීරෝධාර රණවිරුවන් හට ලබාදීම)
නමුත් උන්වහන්සේ අපවත් වී වසර විසි එකක් ගතවන කල්හි නැවත වතාවක් කුරිරු ත්‍රස්තවාදී බෙදුම්වාදය ආයුධ වලින් නොව සහ සූක්ෂම උපක්‍රම භාවිතා කරමින්, ලක් පොළොව මත, සිංහල දේශයට හා එහි ඒකීයභාවයට එරෙහිව සටන් කරමින් ඇත.
එම සටනද මහ පොළොව මත පරාජය කිරීමට සිංහල බෞද්ධයාට නුදුරේදීම සිදුවනු ඇත. සිංහල බෞද්ධයා එයින් පරාජය වුවහොත් එදා එල්ටීටීඊ ත්‍රස්ත්වාදයට එරෙහිව තම ජිවිත 26000 ක් පරිත්‍යාග කල, තමන්ගේ අත් පා පරිත්‍යාග කල, සදාකාලිකව ආබාධිත වූ 60000 සිංහල තරුණ රණවිරුවන්ගේ කැප කිරීම් නිසා, යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය බෙදා වෙන් කොට ඊලාම් රාජ්‍යයක් තැනීමේ බෙදුම්වාදී ත්‍රස්තවාදී සිහිනය සැබෑවනු ඇත.
මේවර සෝම හිමියන්ගේ විසි එක්වන අනුස්මරණය කේන්ද්‍ර කරගෙන උන්වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ධර්ම දේශනා පැවැත්වූ ශ්‍රී ලංකාවේ සෑම විහාරස්ථානයකම මෙන්ම අනෙකුත් විහාරස්ථානවලද උන්වහන්සේගේ ගුණ සිහිකර අනුස්මරණ උත්සව පවත්වමු. උන්වහන්සේගේ දේශනා තරුණ පරම්පරාවට නැවත ඇසීමට සලස්වමු.
සිංහලයිනි “කහ විප්ලවය” නැවත අරඹමු!.
දුලාර ගුණතිලක – සම කැඳවුම්කරු, සිංහල සංවිධාන එකමුතුව
44 Viewers