1990 ඔක්තෝබර් 30 දින මෙරට ඉතිහාසයේ තවත් එක් අදුරු දිනයකි.
එදා එල්.ටී.ටී.ඊ සංවිධානය උතුරේ ජීවත්වූ 75,000 ක් පමණ මුස්ලිම් ජනතාව (නිල ගනනය කිරීමක් නොවේ) උතුරු ප්‍රදේශයෙන් පිටුවහල් කල බව කියැවේ. (මීට පෙර ප්‍රදේශයේ විසූ සිංහල ජනතාව 35,000 ක් පමණ පිටුවහල් කොට තිබුණි) මෙසේ පිටුවහල් කල බොහෝ මුස්ලිම් ජනතාව තම ඇදිවත පමණක් ගෙන උතුරු ප්‍රදේශයෙන් පිටත්වී සරණාගතයන් ලෙස ප්‍රධානවශයෙන් මන්නාරමේ හා නගෙනහිර ප්‍රදේශවල ස්ථානගත විය. ඒ දිනයේ උතුරේ බොහෝ තැන්වල මුස්ලිම් ජනතාවට විවිධ හිංසා පීඩා කිරීම් සිදුවූ අතර දේපල මංකොල්ල කෑම හා විවිධ අපචාර සිද්ධීන් වාර්ථා වී තිබිණි.
මෙසේ දශක කිහිපයක් ගතවූ අතර උතුරු නැගෙනහිර මිශ්‍රව විසූ සිංහල දෙමළ හා මුස්ලිම් ප්‍රජාව විවිධ ප්‍රදේශවල ජනවාර්ගික පදනමින් වෙන්ව විසීම ආරම්භ විය. උතුරු පලාත තුල අති බහුතරය දමිළ ජනතාව ලෙස ජන සංයුතිය වෙනස්වූ අතර මෙම පිටුවහල් කිරීම හේතුවෙන් උතුරින් පලා ආ මුස්ලිම් ජනතාව කේන්ද්‍රගතවූ මන්නාරමේ ජන සංයුතියද විශාල වෙනස්කමකට ලක්විය. නැගෙනහිර තත්වයද මෙසේම විය. සංහිදියාව ගොඩනැගීමටනම් ජනවර්ගයන් මිශ්‍රව ජීවත්විය යුතුය. මෙරට අගනගරයේ වෙසෙන බහුතර සිංහල ජනතාව සමග මුස්ලිම් හා දමිළ ජනතාව ඉතා සුහදව ජීවත්වීම මෙයට කදිම උදාහරණයකි. නමුත් උතුරේ ජීවත්වන සුළු ජාතිය වන සිංහල ජනතාවට එහි සාමකාමී ජීවිතයක් උරුම නැත. පසුගිය කාලය පුරා නැගෙනහිරදී ඔවුන්ට මුස්ලිම් අන්තවාදී තර්ජන වලට මුනුණදීමට සිදුවී ඇති අතර උතුරේදී දමිළ අන්තවාදී බලපෑම් වලට නතු වීමට සිදුවී ඇත. මේ තත්වයන්ට මූලික වූ සිද්ධිය වන්නේ උතුරේ ජන සංයුතියට එල්.ටී.ටී.ඊ සංවිධානය එදා සිදුකල බලපෑමයි.
අද දක්වා මෙසේ අවතැන්වූ මුස්ලිම් ජනතාව වෙත ඔවුන්ගෙන් බලහත්කාරයෙන් අත්පත්කරගත් දේපල නැවත ලැබූනේ නැත. ඒ වෙනුවට ඔවුන් නැවත පදිංචි කිරීමක් ලෙස මුස්ලිම් ගම්මාන ඉදිකරමින් (විල්පත්තුවේ සිදුවූයේද මෙයයි) සිදුකරන ක්‍රියාදාමය හුදකලා වූ ජාතීන් ලෙස වෙන්වූ අන්තවාදී සමාජයක් බිහි කිරීමේ වැඩපිළිවෙලකි. කිසිම ජාතියකට වෙන්වූ ගම්මාන හෝ ප්‍රදේශ පැවතිය යුතු නොවේ. මෙරට සමස්ථ ජන සංයුතිය අනුව ගම්මාන ඉදිවිය යුතුය. මක් නිසාද යත් මෙරට ඇවිළුනු කෝලහල හා යුධ ගිණිදැල් හේතුවෙන් මෙරට ප්‍රධාන ජාතීන් තුනම අඩු වැඩි වශයෙන් අවතැන් වී තිබීමයි.
එදා පිටුවහල් කෙරුනු මුස්ලිම් ජනතාවගෙන් කොටසක් 2009 යුද්ධය නිමාවත් සමග උතුරේ නැවත පදිංචි වී නැවත ව්‍යාපාර කටයුතු සිදුකරන අතර නමුත් සිංහල ජනතාවට කිසිදු සාධාරණයක් ඉටුවී ඇති බවක් පෙනෙන්නට නැත. සමස්ථයක් වශයෙන් යුද්ධය හේතුවෙන් තම මුල් ගම්බිම් අහිමිවූ මුස්ලිම් හා සිංහල ජාතීන් දෙකටම දැඩි අසාධාරණයක් සිදුවී ඇත.
2024 වසර යනු මෙරට දේශපාලන පෙරළි සිදුවන වසරක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ප්‍රධාන මැතිවරණ දෙකක් බොහෝදුරට පැවැත්වෙනු ඇත. එහිදී මෙම ගැටළුවට තිරසාර විසදුමක් ලබාදෙන පාර්ශවය කුමක්දැයි ජනතාව අවදියෙන් විමසා බැලිය යුතුය. එම විසදුම මෙරට අවතැන්වූ සිංහල දෙමළ මුස්ලිම් ජනවර්ග තුනටම සාධාරණය ඉටුවන අන්තවාදී බෙදුම්වාදී අරමුණු පරාජය වන ආකාරයේ එකක් විය යුතුය. මෙරට අවතැන් ජනතාව දේශපාලන උවමනාවන්ට නැටවීම නතර විය යුතුය.
1990 ඔක්තෝබර් 30 සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම මෙරට මුස්ලිම් ප්‍රජාව විසින් වසරක් පාසා සමරනු ලැබේ. මෙම වසරේ 2023 ඔක්තෝබර් 29 -30 දෙදින මඩකලපුවේදී පැවැත්වෙන සමරුවේ දේශනයක් සදහා මා වෙත ආරාධනා කල නමුත් නොවැලක්ව්ය හැකි හේතුවක් නිසා එයට සහභාගී වීමට නොලැබුනි. නමුත් යුද්ධය හේතුවෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාවට සාධාරණය ඉටු වේවායි ප්‍රාර්ථනා කිරීමටත් ජාති ආගම් බේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස තම තමන්ගේ ජාතීන්වල අනන්‍යතාවන් රැකගනිමින් ඉදිරියට යෑමට සියළු ජාතීන්ට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කිරීමටත් මෙය අවස්ථාවක් කරගනිමි.
අරුන් සිද්ධාර්ථ්
17 Viewers