• Home »
  • Sinhala »
  • මුලතිව් කුරුඳුමලෙයි විහාරයේ සංරක්ෂණයට බාධා කළ දෙමළ මන්ත්‍රිවරුන්ට එරෙහි නඩුව ලබන පළමුවැනිදාට කල් තබයි

මුලතිව් කුරුඳුමලෙයි විහාරයේ සංරක්ෂණයට බාධා කළ දෙමළ මන්ත්‍රිවරුන්ට එරෙහි නඩුව ලබන පළමුවැනිදාට කල් තබයි

kudira

මුලතිව්හි පිහිටි ඓතිහාසික කුරුඳුමලෙයි (කුරුන්දාවශෝක) විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතුවල දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් ඇතුළු පිරිසක් බාධා කිරීම සම්බන්ධයෙන් වන නඩු විභාගය ඔක්තෝබර් 1 වැනිදා දක්වා කල් දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් එම්.එස්. සම්සුදීන් මහතා ඊයේ (27දා) නියෝග කළේය.

පුරාවිද්‍යා ස්ථානයක් ලෙස 2013 වසරේදී ගැසට් මඟින් ප්‍රකාශ කොට ඇති එම ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව එම දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක්ද සමඟ මුලතිව් සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ පසුගිය 4 වැනිදා ගොස් ඇත. ඒ එම ස්ථානය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ ලිඛිත අවසර පත්‍රයද සමඟින්ය.

එම අවස්ථාවේ එම පුරාවිද්‍යා ස්ථානයට උතුරු පළාත් සභාවේ ධීවර ඇමැති කේ. ශිවනේශ්වරන් සහ පළාත් සභා මන්ත්‍රි රවිහරන් ඇතුළු පිරිසක් පැමිණ ප්‍රතිසංස්කරණ කටයුතු නතර කරන ලෙස බලපෑම් කොට තිබේ. එම අවස්ථාවේ ඔඩ්ඩුසුඩාන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පොලිසිය විසින් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට තිබේ.

ඒ පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ඊයේ සිදු කෙරුණු අතර එම ස්ථානය සංරක්ෂණය කරන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ලේඛන සැලකිල්ලට ගෙන ලබන 1 වැනිදා කරුණු වාර්තා කරන ලෙස ඔඩ්ඩුසුඩාන් පොලිසියට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

ක්‍රි.ව. දෙවැනි සියවසේදී ඉදිකරන ලද කුරුන්දාවශෝක විහාරය සංරක්ෂණයේදී අගතියට පත්වූ පාර්ශ්වය වෙනුවෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ අධිකරණයට ඉදිරිපත් වූහ. එම පාර්ශ්වය වෙනුවෙන් ජාතික හිමිකම් තොරතුරු කේන්ද්‍රය නියෝජනය කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ ශ්‍රී ලංකා නියෝජිත නුවන් බැල්ලන්තුඩාව, පියමි බැල්ලන්තුඩාව සහ සමිත් ලියනගේ යන නීතිඥවරු පෙනී සිටියහ.



726 Viewers