හසලක වීරයා
යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ල වීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය තම ජීවිතය පූජා කරමින් වළක්වා සහෝදර සෙබළුන් 1000කට කිට්ටු ප්රමාණයකගේ ජීවිත බේරාදුන් හසළක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන 2020 ජූලි 14 ට විසිනව වසරක් සපිරේ.
1966 වසරේ සැප්තැම්බර් මස 22 වැනි දින හසළකදී උපත ලද හසළක වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්දෙනකුගෙන් සමන්විත පවුලක දෙවැන්නා විය. හසළක ප්‍රදේශයේ ගොවියකු වූ ඔහුගේ පියා ඔහු කුඩා කාලයේදී මිය ගොස් ඇති අතර, වයි. බී. ජූලියට් නැමැති සිය මෑණියන් සහ සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමඟ ගාමිණී ජීවත්වූයේ හසළක ප්‍රදේශයේ කුඩා නිෙවසකය.
මුලින් සාමාන්‍ය සෙබළෙකු ලෙස හමුදා සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මියයන විට ලාන්ස් කෝප්රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය. සිද්ධිය වූ 1991 වසරේ ජූලි මස 14 වැනි දින ඔහු සේවය කළේ අලිමංකඩ යුද හමුදා කඳවුර අසල ආරක්ෂක සෙබළෙකු ලෙසය. බෝම්බ පුරවාගත් කොටි බුල්ඩෝසරයක් අලිමංකඩ හමුදා කඳවුර පුපුරවා විනාශ කර දමන්නට ළඟ ළඟම එමින් සිටින බවට හදිසි තොරතුරක් ඔහු වෙත ලැබුණේ මේ අතරවාරයේදීය. ඒ වන විට කඳවුරේ සිටි සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත විනාශ වන්නට යන ආකාරය ඔහුට මැවී පෙනෙන්නට ඇත. වහා ක්‍රියාත්මක වූ ගාමිණී කුලරත්න සෙබළා බෝම්බ පුරවාගත් බුල්ඩෝසරය වේගයෙන් තමා පසු කර යන්නට සැරසෙනවාත් සමඟම අත තිබූ ග්‍රෙනේඩ් බෝම්බ දෙකක් ද සමඟ වහාම කොටි බුල්ඩෝසරයට පැනගත්තේ තම ජීවිතය ගැන ද නොසිතමිනි. මොහොතකින් එහි තිබූ බෝම්බ සියල්ල පුපුරා ගොස් බුල්ඩෝසරය ද විනාශ වූයේ ගාමිණී කුලරත්න වීර සෙබළාගේ ජීවිතය ද අහිමි කරමිනි.
මේ ශෝචනීය සිද්ධිය සිදු වූ අවස්ථාවේ දී මා කටයුතු කළේ බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන, මහාමාර්ග, නිවාස හා ඉදිකිරීම් කටයුතු භාර ඇමැතිවරයා ලෙසය. මේ සිද්ධිය සැල වූ වහාම මා ගාමිණී කුලරත්න වීර සෙබළාගේ හසළක නිවස වෙත ගොස් ඔහුගේ මව සහ සහෝදර, සහෝදරියන් මුණගැසී කතා බහ කරන්න මට අවස්ථාව ලැබිණි. ඒ වන විට ඔවුන් පදිංචි වී සිටි නිවස වරිච්චි බිත්ති සහිත පොල් අතු සෙවිළි කොට තනාගත් කුඩා නිෙවසක් වූ අතර, වීර ගාමිණී සෙබළාට උපහාරයක් වශයෙන් එම පවුලේ උදවියට නව නිවසක් තනාදීමට මම කටයුතු කළෙමි.
හසළක ගාමිණී කුලරත්න රණවිරුවාගේ මේ වීර ක්‍රියාවට උපහාරයක් වශයෙන් මහජන නියෝජිතයන් තම මාසික වැටුපද, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් හා මහත්ම මහත්මීන් තම දෛනික වැටුපද රණවිරු අරමුදලට උපරිම වශයෙන් පරිත්‍යාග කරමින් තම උපහාරය දැක්වූ ආකාරය අපට අද වගේ මතකය.
එසේම අප තරුණ තරුණියන් ඔහුගේ ජීවිත කැප කිරීමෙන් ලැබූ උද්යෝගය ත්‍රිවිධ හමුදා පොලිස් සහ සිවිල් ආරක්ෂක බළ ඇණි තර කිරීමට ද ඉවහල් විය.
1945 දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී ජපනුන් අමෙරිකාවේ පර්ල් වරායේ නවතා තිබූ යුද නැව් විනාශ කිරීමට ජපන් සොල්දාදුවන් ක්‍රියා කළේ ජපන් ගුවන් හමුදාවේ උසස් නිලධාරියකුගේ නියෝගයට අනුවය. කොටි ත්රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ කොටි සංවිධාන නායකයන්ගේ නියෝගයක් අනුවය. නමුත් අලිමංකඩ සිද්ධියේ වෙනස හා වටිනාකම වන්නේ කිසිවකුගේ නියෝගයක් හෝ ඉල්ලීමක් නැතිව වීර ගාමිණී සෙබළා සිය කැමැත්තෙන්ම තම ජීවිතය රට වෙනුවෙන් පුදා සිය සහෝදර සෙබළුන් රැසකගේ ජීවිත බේරා ගැනීමයි.
හසළක ගාමිණී කුලරත්න සෙබළාගේ වීර ක්‍රියාව වෙනුවට එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ඔහු “පරම වීර විභූෂණ” සම්මානයෙන් පුදා එම සම්මානය ඔහුගේ මෑණියන් වෙත ප්රදානය කළ අතර ඊට අමතරව හසළක නගර මධ්‍යයේ ඔහුගේ පිළිරුවක් ද ඉදි කරනු ලැබීය.
“පරම වීර විභූෂණ” සම්මානයෙන් පුදනු ලැබූ ප්‍රථම රණවිරුවා වීමේ ගෞරවයට ද පාත්‍ර වන්නේ හසලක වීර ගාමිණී රණවිරුවා වීම විශේෂත්වයකි.
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ අවධියේ අලිමංකඩ හමුදා කඳවුර අසල එකී පිපිරීම සිදුවූ ස්ථානයේ වීර ගාමිණී සෙබළා සිහිවීමට ස්මාරකයක් හා ඔහුගේ පිළිරුවක් ද ඉදිකරන ලදී.
තම සහෝදර සෙබළුන් විශාල පිරිසකගේ ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහාත්, තම මවුබිමේ ස්වෛරිභාවය වෙනුවෙනුත් කිසිදු උසස් නිලධාරියකුගේ විධානයකින් තොරව හමුදා සෙබළුන් එලෙස තම ජීවිතය පූජා කළ අවස්ථා ලෝක හමුදා ඉතිහාසයේ නැති තරම්ය.
රට දැය වෙනුවෙන් සිය කැමැත්තෙන්ම දිවි පිදූ හසළක කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුවා අපට මහත් අභිමානයකි.
ලෝරන්ස් මාදිවල
බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති
123 Viewers





