• Home »
  • Sinhala Articles »
  • බි‍්‍රතාන්‍යය ලංකාවේ ඉඩම් කොල්ල කෑවේ මෙහෙමයි

බි‍්‍රතාන්‍යය ලංකාවේ ඉඩම් කොල්ල කෑවේ මෙහෙමයි

(Courtesy of Diwaina)

පූර්ව යටත්විජිත යුගය තුළ මෙරට ආර්ථික රටාව කෘෂිකර්මාන්තය මත රඳා පැවතුණ අතර සියලූ ඉඩම්වල හිමිකරු රජු විය. රජු යටතේ ඉඩම් ලබාගත් ජනතාව කෘෂිකාර්මික කටයුතුවලින් තම ජීවිකාව ගෙනගිය අතර රාජ්‍යය ආදායමද ඉඩම් මත පදනම් විය. ස්වයංපෝෂිත ආර්ථික රටාවක් දක්නට ලැබුණු මෙම යුගය ක‍්‍රමික විකාශනයකට බඳුන් වූයේ යටත් විජිත යුගය තුළය.

පෘතුගීසීන්ගේ පැමිණීමෙන් වාණිජ බෝග අලෙවිය මත පැවති ඉඩම් භුක්තිය වෙනස් වූ අතර ලන්දේසි යුගය වනවිට වාණිජ බෝග වගාවන් කෙරෙහිද ජනතාව යම් පෙළඹවීමකට ලක්විය. අනතුරුව මෙරටට පැමිණි බි‍්‍රතාන්‍යය කාල පරිච්ෙඡ්දය තුළ මෙතෙක් පැවැති කෘෂිකාර්මික ඉඩමි භුක්ති ක‍්‍රමය සම්පූර්ණ විපර්යාසයකට බඳුන් වූ අතර එමඟින් වැවිලි බෝග පදනම් කරගත් ආනයන අපනයන ආර්ථික රටාවක් ගොඩනැ`ගීම ආරම්භ විය.

ලංකාවේ පුරාණ ඉඩම් භුක්තිය පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඉන්ද්‍රකීර්ති සිරවීරයන් රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි නමැති කෘතියෙහි රජු හැඳින්වීමට භූපති, මහිපති, පඨවිපති, වත්හිමි සහ පෘථිවීශ්වර යන යෙදුම් භාවිත කළ බව සඳහන් කිරීමෙන්ද, පෘතුගීසි, ලන්දේසී මෙන්ම බි‍්‍රතාන්‍යයන් සිය ඉඩම් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමේදී පුරාතනයේ සියලූ ඉඩම්වල අයිතිය රජු සතුවිය යන අදහස උපයෝගී කරගෙන ඉඩම් ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ බව සඳහන් කිරීමෙන්ද රජුට සියලූ ඉඩම් අයිති බව පැහැදිලිය. රාජ්‍යයේ ඉඩම් අතුරින් කොටසක් රජ වාසලේ ප‍්‍රයෝජනය සඳහා වෙන්කරන ලද අතර ඒවා ගබඩාගම් නම් විය. විහාර හා දේවාලවලට වෙන් කර තිබූ ඉඩම් විහාරගම් හා දේවාලගම් විය. රජුට විශේෂ සේවා කළ නිලධාරීන්ට ඉඩම් ලබාදුන් අතර ඒවා නින්දගම් නම් විය. මෙයට අමතරව පැවති නිදහස්ගම් භුක්ති විඳීමට සාමාන්‍යය ගොවීන්ට හැකි විය.

මෙරට පැවති සාම්ප‍්‍රදායික ඉඩම් භුක්ති ක‍්‍රමය ක‍්‍රමානුකූල වෙනස්කමකට බඳුන්වූයේ පෘතුගීසි යුගය තුළය. 1597 මල්වානේ ගිවිසුම, 1550 ධර්මපාලගේ තෑගි ඔප්පුවට අනුව කෝට්ටේ රාජ්‍යයේ නීත්‍යනුකූල උරුමකරුවන් වූ පෘතුගීසීන් සාම්ප‍්‍රදායික ඉඩම් භුක්ති ක‍්‍රමයට වඩා වෙනස් ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් මෙරට ඉඩම් පිළිබඳ තොරතුරු අඩංගු තෝම්බුවක් සකස් කිරීම පෘතුගීසි ඉඩම් ප‍්‍රතිපත්තිය තුළ වැදගත් පියවරක් විය. මෙමගින් ඉඩම්වලින් ලද ආදායම, ඉඩමේ ප‍්‍රමාණය, ඒවායේ නිෂ්පාදන යන සියල්ල පිළිබඳ තොරතුරු අනාවරණය කරගත හැකිවිය. පෘතුගීසීන් යටතේ ඉඩම් බෙදාදීමේදී ඉඩම් ලද පෘතුගීසීන් මෙරට පදිංචි විය යුතු අතර, ඉඩම් ලද දේශීයන්ද පෘතුගීසි රජයට පක්ෂව ක‍්‍රියා කළ යුතුය. පෘතුගීසීන් යටතේ කාන්තාවටද ඉඩම් අයිතිය හිමි වූ අතර එය පෘතුගීසි ඉඩම් භුක්තිය තුළ වැදගත් ලක්ෂණයකි. නමුත් ඉඩම් විකිණීමට, පැවරීමට උරුමකරුවන්ට අයිතියක් නොවීය. පැරණි රාජාණ්ඩු ක‍්‍රමය තුළ පැවති විහාරගම්, දේවාලගම් ක‍්‍රිස්තියානි පූජකයින්ට ලබාදී තිබෙන අතර කතෝලික ආගම වැළඳගත් සිංහලයන්ටද ඉඩම් ලබා දී තිබේ. සාම්ප‍්‍රදායික ඉඩම් භුක්තිය යටතේ බඩවැවිලි ඉඩම් ලබාදීම රජු යටතේ සිදුවුවද, පෘතුගීසි යුගය වන විට දිසාවේවරු බඩවැවිලි ඉඩම් ප‍්‍රදානය කර තිබේ. රජවාසලේ ප‍්‍රයෝජනය සඳහා පැවැති ගබඩාගම් මෙකල වන විට ප‍්‍රතිකාල් ප‍්‍රභුවරුන්ට හිමි වූ අතර එම ඉඩම්වලින් ඔවුන් අනිවාර්ය සේවාවක්ද ඉටු නොකළ අතර 12%ක බිම් බද්දක් පමණක් අය කළේය. කතෝලික පූජ්‍යස්ථාන හැර සියලූ ඉඩම් හිමියන් 12%ක බද්දක් ගෙවිය යුතු විය.

පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම යටතේ මෙරටට පැමිණි ලන්දේසීන් වෙළෙඳ සමාගමක් මගින්ම මෙරටට පැමිණීමෙන් ඔවුන්ගේ මූලික අරමුණ ආර්ථික වාසි ලබා ගැනීම බව පැහැදිලිය. ලන්දේසින්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය තුළද දක්නට ලැබෙන ලක්ෂණයක් වනුයේ පෘතුගීසීන් මෙන්ම තෝම්බු සකස් කිරීමය. සාම්ප‍්‍රදායික ඉඩම් භුක්තිය තුළ පැවති අනිවාර්ය රාජකාරී ක‍්‍රමය යොදා ගනිමින් විශේෂයෙන්ම සලාගම කුලය යොදා ගනිමින් නොමිලයේ කුරුදු තලා ගැනීමට ලන්දේසීන් සූක්ෂම විය. ලන්දේසී ආර්ථික ක‍්‍රමය තුළ කුරුදුවලට විශේෂ ස්ථානයක් හිමි වූ අතර කුරුදු පැළයක් විනාශ කිරීම මරණීය ද`ඩුවමක් හිමිවන වරදක් විය. කෘෂිකර්මාන්තය කෙරෙහිද අවධානය යොමු කළ ලන්දේසීන් කිරම වැනි ප‍්‍රදේශවල කෘෂි කටයුතුවල නිරත වූ අතර කෝපි, කුරුදු, පොල්, ගම්බිරිස් වැනි වගාවන් කෙරෙහිද යොමු විය. එමෙන්ම ඉඩම් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමද තුන් හවුල් ක‍්‍රමයද මෙකළ පැවතුණි.

ක‍්‍රි.ව. 1802 බි‍්‍රතාන්‍යයන් මෙරට මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලා ගැනීමෙන් අනතුරුව මෙරට පළමු ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ සර් පෙඞ්රික් නෝර්ත්ගේ කාල පරාසයේ සිට මෙරට බි‍්‍රතාන්‍යය ඉඩම් භුක්තිය විවිධ විපර්යාසයන්ට ලක් විය. බි‍්‍රතාන්‍යයන් මෙරට මුහුදුබඩ පාලකයන් වූ කාල පරිච්ෙඡ්දය තුළද මෙරට ප‍්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වූ අතර මේ අනුව නෝර්ත් ආණ්ඩුකාරවරයාද කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කර තිබේ. එනම් ඉන්දියාවේ පැවති පැළ සිටුවීමේ ක‍්‍රමය මෙන්ම වැඩි අස්වැන්නක් ලැබෙන මුතු සම්බා හඳුන්වා දී තිබේ. මෙයට අමතරව ඉඩම් ප‍්‍රදානය කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කළ නෝර්ත් 1831 දී මුහුදුබඩ ප‍්‍රදේශවල අක්කර 54,890ද උඩරට ප‍්‍රදේශවල අක්කර 7439ක්ද ප‍්‍රදානය කර තිබේ. මේ අනුව බි‍්‍රතාන්‍යයන් මෙරටට පැමිණි මුල් කාල සීමාව තුළ කෘෂි කටයුතු කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙන බව පැහැදිලිය.

කෝල්බෲක් කැමරන් යෝජනාවලට අනුව රාජකාරී ක‍්‍රමය අහෝසි කිරීමට නිර්දේශ ඉදිරිපත් කළ අතර නෝර්ත් ආණ්ඩුකාරවරයාගේද කැමැත්ත මත රාජකාරී ක‍්‍රමය 1833 අහෝසි කිරීම මගින් වතු ආර්ථිකය සඳහා අවශ්‍යය පදනම සකස් විය. රාජකාරී ක‍්‍රමය මගින් පුද්ගලයා ඉඩමට බැඳී කටයුතු කළ අතර තමා කැමති වෘත්තියක නිරිතවීමට එමගින් නොහැකි විය. නමුත් එමගින් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් නිර්මාණය විය. අනිවාර්ය රාජකාරිය වහල් ක‍්‍රමයක් ලෙස හඳුන්වා දුන් බි‍්‍රතාන්‍යයන් එය අහෝසි කර ජනතාව වහල් බවින් නිදහස් කරන බව පෙන්වාදෙමින් රාජකාරී ක‍්‍රමය අහෝසි කරන ලද අතර එමගින් වතු වගාවන්ට අවශ්‍යය නිදහස් ශ‍්‍රමිකයන් නිර්මාණය කිරීම ඔවුන්ගේ මුලික අරමුණ විය.

වැවිලි ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක‍්‍රියාත්මක වූ බි‍්‍රතාන්‍යයන්ගේ ඉඩම් භුක්ති රටාව තුළ බි‍්‍රතාන්‍යයන් අනුගමනය කළ ඉඩම් පනත් මෙරට ඉඩම් උදුරා ගැනීමේ සූක්ෂම ක‍්‍රමවේදය විය. 1840 අංක 05 සහ 12 දරණ පනතට අනුව පුද්ගලයන් භුක්ති වි`දින ඉඩමේ උරුමය තහවුරු කළ යුතු විය. මෙලෙස උරුමය තහවුරු කිරීමට නොහැකි ඉඩම් බි‍්‍රතාන්‍ය කිරීටය සතු ඉඩම් ලෙස සලකනු ලැබීය. 1841 අංක 09 දරණ මුඩු බිම් පනතද මෙම පනතට සමගාමීව නිර්මාණය කරන ලද අතර මෙමගින් වගා කළ මෙන්ම වගා නොකළ ඉඩම් හේන් ඉඩම් වැනි උරුමය තහවුරු කළ නොහැකි සියලූ ඉඩම් බි‍්‍රතාන්‍යයන් සතු විය.

පැරණි රාජාණ්ඩු ක‍්‍රමය යටතේ නින්දගම්, දේවාලගම්, හා විහාරගම් වශයෙන් ඉඩම් ප‍්‍රදානය කර තිබෙන අතර විශේෂ අවස්ථාවකදී පමණක් සන්නස්, තුඩපත් මගින් මෙම ඉඩම් ප‍්‍රදානය කර තිබේ. සාමාන්‍ය ජනතාව භුක්ති වි`දි බෝහෝ ඉඩම්වලට නෛතික ලියවිල්ලක් නොමැති වූ අතර මෙමගින් ගවයන්ට තෘණ කැවීමට, ආහාර ද්‍රව්‍යය රැස් කිරීමට පැවැති නිදහස් ඉඩම් පමණක් නොව ගැමියන් භුක්ති වි`දි ඉඩම්ද බි‍්‍රතාන්‍යයන් සතු විය. ඔවුන් මෙම ඉඩම් වතු වගාවන් සඳහා විකුණන ලද අතර එමගින් වතු වගාවේ සීඝ‍්‍ර දියුණුවක් ඇති විය. මෙරට ගැමියා සතු ඉඩම් උදුරා ගැනීමෙන් අනතුරුව බි‍්‍රතාන්‍යයන්ගේ අවධානය යොමු වූයේ විහාර හා දේවාල සතු ඉඩම් කෙරෙහිය. මේ සඳහා 1856 අංක 10 දරණ පන්සල් ඉඩම් පනත නිර්මාණය කළේය. 1818 කැරැල්ලෙන් අනතුරුව 1815 ගිවිසුමේ වගන්ති සංශෝධනය කළද, බෞද්ධ විහාර ඉඩම් පිළිබඳ කොන්දේසියේ වෙනසක් නොවීය. එනම් 21 වගන්තියට අනුව සියලූ විහාර බදුවලින් නිදහස් විය. නමුත් මෙමගින් ප‍්‍රථමවරට මෙරට විහාර සතු ඉඩම් ප‍්‍රමාණය කෙතෙක්ද යන්න මැන ගැනීමට බි‍්‍රතාන්‍යයන්ට හැකි විය. මේ අනුව මෙම ඉඩම් ලබාගැනීම සඳහා සූක්ෂම වූ බි‍්‍රතාන්‍යයන් 1840 අංක 12 දරණ සහ 1841 අංක 09 දරණ මුඩුබිම් පනත්වලින් උඩරට ගැමියාට සිය ඉඩම්වල අයිතිය ඔප්පු කිරීමට බල කළ නීතිරීති 1856 පනත මගින්ද ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී.

1833 අනිවාර්ය රාජකාරිය අහෝසි කරනු ලැබුවද විහාරයන්ට එය බලාත්මක නොවීය. එබැවින් විහාර හා දේවාල සතු ඉඩම් සශ‍්‍රීක ඉඩම් බවට පරිවර්තනය වී පැවැති අතර මෙම උඩරට උස් බිම් කෝපි වගාවට ඉතා යෝග්‍යය වූ අතර මෙම ඉඩම් උදුරා ගැනීම බි‍්‍රතාන්‍ය ඉඩම් ප‍්‍රතිපත්තියේ සෙසු තීරණාත්මක සාධකය විය. මේ අනුව විහාර හා දේවාල සතු ඉඩම් ලියාපදිංචි කිරීමට පියවර ගත් බි‍්‍රතාන්‍යයන් ඉඩම්වල මායිම් ඔප්පු කිරීමට මෙන්ම, ඉඩම් මැනීමට ගිය වියදම දැරීමට මෙම විහාරයන්ට නොහැකි වූ අතර එමගින් ශතවර්ෂ ගණනක් තුළ පැවති ඉඩම් බි‍්‍රතාන්‍යයන් උදුරා ගත් අතර ඉඩම් අක්කර ලක්ෂ 02ක් පමණ යටත්විජිත ආණ්ඩුව මෙමගින් කොල්ලකෑවේය.

පැරණි රාජාණ්ඩු ක‍්‍රමය යටතේ මෙරට ජනතාව තමන් භුක්ති විඳින ලද ඉඩමෙන් බද්දක් ගෙවනු ලැබුවද එමගින් ජනතාව පීඩනයකට පත් නොවූ අතර සාධාරණ බදු ක‍්‍රමයක් විය. නමුත් බි‍්‍රතාන්‍යයන්ගේ 1872 ධාන්‍ය බදු පනත ඉඩම් අත්කර ගැනීමේ සූක්ෂම උපක‍්‍රමයක් විය. මෙම පනත අනුව ඉඩම්වල ආදායමෙන් රජයට බද්දක් ගෙවීමට නියම වූ අතර නියම කරන ලද එම බදු මුදලද ආදායමට අනුව තක්සේරු කරන ලද්දක් නොවීය. සාමාන්‍යය ජනතාවට නියම කරන ලද මෙම බදු මුදල් නොගෙවන ලද ඉඩම් අත්කර ගැනීම බි‍්‍රතාන්‍යයන්ගේ පීඩාකාරී බදු ප‍්‍රතිපත්තිය විය.

1897 අංක 01 දරන මුඩුබිම් පනත බි‍්‍රතාන්‍යයන්ගේ ඉඩම් ප‍්‍රතිපත්තිය පිළිබඳ අධ්‍යනයේදී ඉතා වැදගත් පනතකි. අසෝකා බණ්ඩාරගේ ශ‍්‍රී ලංකාවේ යටත්විජිතවාදය නමැති කෘතියෙහි සඳහන් කරන ආකාරයට බි‍්‍රතාන්‍යයන් මෙම පනත සම්මත කරන ලද්දේ කැලෑ ඉඩම්, හේන්, මුඩුබිම් හා පදිංචියක් නොමැති ඉඩම්වලට හිමිකම් කීම සම්බන්ධයෙනි. 1840 මුඩුබිම් පනත නැවත ක‍්‍රියාවට නංවමින් නෛතික අයිතිය ඔප්පු කළ නොහැකි ඉඩම් රජයේ ඉඩම් ලෙස සලකා පවරා ගැනීම මෙමගින් සිදු විය. වගා නොකරන ලද ඉඩම් මෙන්ම උරුමය තහවුරු කිරීමට නොහැකි ඉඩම්, පදිංචිය නොමැති ඉඩම් මෙන්ම අවුරුදු කීපයකට වරක් පමණක් වගා කළ හැකි ඉඩම් රජය සතු ඉඩම් ලෙස සලකා පවරා ගැනීම මෙම`ගින් සිදු විය.

බි‍්‍රතාන්‍යය යටතේ ඉඩම් භුක්ති රටාව වෙනස් වූ ආකාරය පිළිබඳ විමසීමේදී 1863 ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත ඉතා වැදගත්ය. මෙම පනත මගින් ඉඩම්වලට නීත්‍යානුකූලත්වයක් ලබා දෙන ලදී. අශෝකා බණ්ඩාරගේ සඳහන් කරන ආකාරයට ගොවියන් ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම වළක්වාලීමට මෙන්ම පුද්ගලික දේපළ හිමියන්ගේ අයිතිය හා භුක්තිය ස්ථාවර කිරීමට ඉඩම් ලියාපදිංචි කිරීමේ පනත බි‍්‍රතාන්‍යයන් විසින් ක‍්‍රියාත්මක කරන ලදී. නොයෙක් අනපනත් මගින් ස්වදේශිකයන්ගේ ඉඩම් බි‍්‍රතාන්‍යයන් අල්ලා ගන්නා ලද අතර අනතුරුව ස්වදේශිකයන් මෙම ඉඩම් බලෙන් අල්ලා ගැනීම වළක්වාලීමට මෙන්ම වතුකරුවන්ට සිය ඉඩම් පිළිබඳ රජය මූලිකත්වයෙන් ආරක්ෂාවක් හිමිවීම මෙමගින් සිදු විය.

රාජකාරී ක‍්‍රමය අහෝසි කිරීමෙන් දේශීය කෘෂිකාර්මික සමාජ ක‍්‍රමය බිඳ වැටුණු අතර එමගින් උඩරට ඉඩම් අත්කරගත් බි‍්‍රතාන්‍යයන් වතු ආර්ථිකය ආරම්භ කරමින් පාරම්පරික ඉඩම් භුක්ති රටාව වෙනස් කරන ලදී. ලන්දේසි යුගය තුළ කෝපි, පොල් වැනි වගාවන් ආරම්භව පැවතුණද එමගින් මුළුමනින්ම වතු ආර්ථිකයක් මෙරට ගොඩනැ`ගී නොතිබිණි.

වතු ආර්ථිකය සකස් කිරීමේදී බි‍්‍රතාන්‍යයන් උඩරට ඉඩම් විකිණීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඒ සඳහා අවශ්‍යය ඉඩම් ලබාගත් අතර මෙය කෝපි වගාවේ සීඝ‍්‍ර දියුණුවට හේතු විය. බි‍්‍රතාන්‍යයන් 1834 දී අක්කර 49ක් විකුණූ අතර 1835-1838 අතර කාලය තුළ අක්කර 6412 උඩරට ඉඩම් විකුණන ලදී. මෙලෙස ඉඩම් විකිණීම මගින් විශාල ඉඩම් ප‍්‍රමාණයක් පෞද්ගලික ඉඩම් වූ අතර දේශීය සමාජය තුළ ධනවත් ස්වදේශිකයන් කිහිපදෙනක් හැර ඉඩම් අහිමි පන්තියක් මෙමගින් නිර්මාණය විය.

කෝපි වගාව කේන්ද්‍රකොටගෙන වැවිලි ආර්ථිකයක් මෙරට නිර්මාණය වූයේ 1820 දී පමණය. එනම් ජෝර්ඞ් බර්ඞ් නමැති බි‍්‍රතාන්‍ය ජාතිකයා එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී 1823 ගම්පොළ වියන්වත්ත හා සිංහපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රථම වරට කෝපි වත්තක් ආරම්භ කරන ලද ලදී. කෝපි වගාවට අවශ්‍යය ශ‍්‍රමිකයන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වා ගැනීම සමඟ උඩරට වතු ආර්ථිකයේ සීඝ‍්‍ර දියුණුවක් ඇති විය. 1872- 1877 අතර විලියම් ගෙග‍්‍රරි ආණ්ඩුකාරවරයාගේ කාලය තුළ මෙරට කෝපි වගාවේ උපරිම දියුණුවක් ඇති වූ අතර 1869 පසුව හැමීලියා වැස්ටාටි‍්‍රක් නමැති දිලීර රෝගය මත කෝපි වගාව අඩපණ විය. ඉන් අනතුරුව සින්කෝනා වගා කළද එය අසාර්ථක වගාවක් විය.

1845 සිට මෙරට තේ වගාව අත්හදා බැලීමට පියවරගෙන තිබූ අතර එය වර්ෂය පුරා අස්වැන්න ලබාදෙන භෝගයක් විය. අක්කර 3500 ආරම්භ වූ තේ වගාව 1896 වනවිට අක්කර 330,000 ක් දක්වා වර්ධනය විය. තේ වතු හිමියන්ගේ අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් 1897 අංක 01 නමින් නව පනතක් අනුමත කරන ලද අතර එය 1840 පනත නැවත ක‍්‍රියාත්මක කිරීමකි. මෙමගින්
හේන්, මුඩුබිම් හා පදිංචියක් නොමැති ඉඩම්වලට දේශීයන් නීතිවිරෝධීව හිමිකම් කීම වළක්වාලීමත්, ඉඩම් විකිණීම වළක්වාලීමත් සිදු වූ අතර එමගින් තේ වතු හිමියන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සිදු විය.

19 වන සියවස වනවිට ලෝක තේ නිෂ්පාදනයෙන් 25% මෙරටින් සැපයූ අතර 1929 වනවිට මෙරට අක්කර 45,700ක් පමණ තේ වගාකොට පැවතුණි. එයින් 80% යුරෝපීන්ට අයත් විය. මේ අනුව පාරම්පරිකව පැවති කෘෂිකර්මාන්තය යටපත්වෙමින් වතු ආර්ථිකය වර්ධනයවීමත් සමඟ මෙරට ඉඩම්වල අයිතියද යුරෝපීන් සතු විය. මෙම ඉඩම්වල සේවය කිරීමට දකුණු ඉන්දීය කම්කරුවන් ගෙන්වන ලද අතර මෙම පසුබිම මෙරට සමාජයේ ඉඩම් භුක්තිය පමණක් නොව ජනවාර්ගික ගැටලූ උද්දීපනය වීමටද හේතු විය.

තේ වගාවට සමගාමීව 19 වන සියවස තුළ දියුණු තවත් භෝගයක් වූයේ පොල් වගාවය. ලන්දේසීන් ගෙවතු වගාවක් ලෙස පොල් වගා කළද ඔවුන් පොල් වගාවට නොව අපනයනය කෙරෙහි මූලික වශයෙන් යොමු විය. නමුත් බි‍්‍රතාන්‍යයන් පොල් වගාව කෙරෙහි තේ, කෝපිවලට මෙන් කැමැත්තක් නොදැක්වූ අතර එය දේශීය ව්‍යවසායකයන්ගේ වගාවක් විය. මේ අනුව 19 සියවස තුළ දේශීයන්ද වතු වගාවන් කෙරෙහි යොමු වී තිබෙන බව පැහැදිලිය.

20 සියවසයේ මුල් දශකය තුළ රබර් වගාවේ වර්ධනය ඇති විය. තේවලට පසුව වගා කරන ලද විශාලතම නිර්යාත භෝගය රබර් වූ අතර තේ නිෂ්පාදනයට මෙන් සංකීර්ණ කර්මාන්තශාලා අවශ්‍යය නොවීමත් තේ පොල් සමගම රබර් වගා කළ හැකි හෙයින් ලාංකිකයන්ද රබර් වගාව කෙරෙහි යොමු විය.

1815 මෙරට යටත් කරගත් බි‍්‍රතාන්‍යයන්ගේ මූලික පරමාර්ථය සිය මව් ආර්ථිකය පෝෂණය කරනු ලබන වාණිජ ක‍්‍රමයක් මෙරට ස්ථාපිත කිරීමය. මේ අනුව රාජකාරී ක‍්‍රමය අහෝසි කරමින් තම අරමුණ උදෙසා අවශ්‍යය නිදහස් ශ‍්‍රමිකයන් නිර්මාණය අනතුරුව විවිධ අණපනත් මගින් දේශීයන් සතු ඉඩම් උදුරා ගනු ලැබූ බි‍්‍රතාන්‍යයන් වාණිජ බෝග මත පදනම් වූ ආර්ථිකයක් සකස් කළේය. නූතනය වනවිටද සමස්ත ආර්ථිකය වෙළාගෙන සිටින අපනයනික බෝග කේන්ද්‍රීය ආර්ථික රටාවට මෙන්ම ඉඩම් භුක්තිය බි‍්‍රතාන්‍යයන් යටතේ නිර්මාණය වූවක් බව පැහැදිලිය.

එස්.ඒ. දිලිනි දුලාංජලී ධනවර්ධන
පේරාදෙණිය විශ්වවිද්‍යාලය



833 Viewers