Open Letter to Gota

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන උඩ පනින අපි නම් හැමදාමත් රටේ සම්පත් විකිණීමට විරුද්ධව උඩ පැන්නෙමු. මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අපේ විශ්වාසය ඇත්තේ ද එතුමා කිසිවිටෙකත් එවැනි දේ නොකරන බවට දීර්ඝ කාලීන අත්දැකීම් තිබූ නිසාය. ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ඊටත් වඩා විශ්වාසය තැබූ බව කිව යුතුය. ඒ යුද්ධය අවසන් කිරීමේ දී හා ඉන්පසුව නාගරික සංවර්ධනයේ දී එතුමා දැක්වූ සෘජු බව හා දේංහප්‍රේමය නිසාය. කෙසේ වෙතත් මහින්ද මහත්තයාට නොතිබූ දුර්වල කමක් ගෝඨාබය රාජපක්ෂ මහතාට ඇති බව දැන් අපට පැහැදිලිය. මහින්ද මහත්තයා පීබී ලාගේ නව ලිබරල් දැක්ම තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කරාගන පීබී ලාගේ දක්ෂතාවයෙන් තමන්ගේ නම කැත කරගන්නේ නැතිව රට පාලනය කළේය. 2015 දී ජනයා රැවටීමට හැකි වූයේ ආර්ථික ප්‍රතිපත්ති පෙන්වා නොව රත්තරන් අස්වයන් හෙලිකොප්ටර් වැනි සිල්ලර කතා වලටය. එයට හේතුව ආණ්ඩුව ඇතුලේ පිරිස් අතර අනවශ්‍ය පීඩනයක් ඇති වන ලෙස ඇතමුන් කටයුතු කිරීමත්, ඒවාට යන්තමින් හෝ උඩගෙඩි දෙන ආකාරයේ හැසිරීම් දකින්නට ලැබීමත්, සමාජ ජාලා වල පැතිර යන බොරු, බොරු බවට ජනයාට ඒත්තු නොගැන් වීමත් ඇතැම් අයගේ අහංකාර පරවශ හැසිරීමත් බව ආණ්ඩුව වැටුණු දවස් වල සිටම ලැබුණු අවස්ථා වල අප පෙන්වා දුන්නෙමු.

නමුත් ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති තුමා තමන් වටා සිටිනා ඉතා සුළු පිරිසක් පමණක් විංහ්වාස කරන බව පැහැදිලි වම පෙනී යන කරුණකි. එය ඉතා බරපතල වැරැද්දක් බව මුලදීම පෙන්වා දෙන්නේ මේ වරද නිවැරදි කරගන්නට එතුමාට කාලය ඇති නිසාය. ඕනෑම පාලකයෙකුට විශ්වාසී පිරිසක් සිටිය යුතුය. ඒ ගැන විවාදයක් නැත.

නමුත් ඒ විශ්වාසී පිරිස සිය පාලකයා රැකිය යුතුය. ජනාධිපතිතුමාගේ ඉතා විශ්වාසී අධිකරණ ඇමතිවරයා ඔහුට ලබා දුන් පළමු කාර්යය වන විසිවන සංශෝධනයේ සිටම වැඩ අනා ගත්තේ ය. කොරෝනා මරණ පිළිබඳ සංවේ දී කාරනයේ දී තමන්ගේ සමාජ මාධ්‍යයේ පිටු ගණන් ලිව්වා පමණක් නොව අන්තිමට අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ට බලපෑම් කරන්නට ගොස් ප්‍රසිද්ධියේ ලිපියක් මගින් දෝෂදර්ශනයට ද ලක් විය. අවසාන වශයෙන් කාති උසාවිවලට ගැසට් ගසා ජනාධිපතිතුමාගේ ජනාධිපතිවරණ ප්‍රධාන සටන්පාඨය සුන්නත්දූලි කර දැමීය.
පාත්ෆයින්ඩර් අයාතනයේ මිලින්ද මොරගොඩ ගැන බරපතල විරෝධයක් එල්ල වද්දී එතුමා එය තඹ සතයකට මායිම් නොකර මිලින්දව ඉන්දියාවේ මහකොමසාරිස් කමට යැවීය. එසේ කළේ මිලින්ද එතුමා ගේ හිතවතෙක් නිසා ද නැති නම් එතුමාගේ කිට්ටුවන්ත ජනරාල්වරයා හා අද්මිරාල්වරයාගේ නිර්දේශයට දැයි මම නොදනිමි. කෙසේ වුවත් අප බිය වූ දේ අද සිදුව ඇත. ඉන්දියාව ඉදිරියේ කෙලින් සිටිතැයි අප සිතූ ජනාධිපතිතුමා එසේ නොසිටින බවට ජනයාට පෙනෙන අන්දමට හැසිරෙන බවකි නම් අපට පෙනේ. ඒ මදිවාට නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම සාධාරණීකරනය කරන සංවාද වලට යන්නේ වරායේ සභාපති හා පාත්ෆයින්ඩරයේ සේවය කළ ජනරාල් දයාරත්නායක නම් ජනාධිපතිතුමාගේ කිට්ටු විශ්වාසවන්තයා වීම අප තේරුම් ගත යුත්තේ කෙසේ දැයි මම මේ සමූහයෙන් අසමි. අපට මේවා එළියේ කතා කළ නොහැක. කතා කරන්නේ ද නැත.  මට නම් පෙනෙන්නේ ජනාධිපතිතුමා ලඟින් ඉන්නා එතුමාගේ කිට්ටුවන්තයින් එතුමාට හිතවත් යැ යි මවා පෙන්නන්නන් පමණක් බවයි. මම අධිකරණ ඇමතිවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ නම් මේ බව සඳහන් කළෙමි.

ගසකට කඳපණුවන් රිංගා ගෙන කඳ අභ්‍යන්තරයෙන් කා දමන විට පිටතට එය නොපෙනේ. පිටතට පෙනෙන්නේ ගසේ තිබූ ප්‍රභාව දුර්වර්ණ වෙමින් ගස ලෙඩ වෙනවා පමණි.

ගසට ආදරයක් ඇත්තෝ කඳපණුවන්ට බෙහෙත් කළ යුතුය. රටේ ජනාධිපතිවරයා යනු ශක්තිමත් ගසකි.  ඒ ගස රට නමැති ඉඩම සෙවනින් සුරැකිය යුතුය. ගස සුරැකිය යුත්තේ එහෙයිනි. ගසේ ලැග ගසට පිළිල බෝ කරයි නම්, ගස තුළ හිඳ අරටුව කා දමයි නම් ඒ පරපෝෂිතයින් සතුරන් මිස මිතුරන් නොවේ. පරපෝෂිතයින් විනාශ කර ගස රැක නොගන්නේ නම් අරටුව දිරා ගස කඩා වැටෙනු ඇත.

මහින්ද මහත්තයාට ඓතිහාසිකව පැවැරුණු වගකීම කුමක් දැ යි එතුමා දන්නවා ඇත. ගෝඨාබය රාජපක්ෂ මහතාට ද පැවරී ඇත්තේ ඒ වගකීම ම ඉදිරියට ගෙන යාම ය. එය අවුරුදු පහකින් ඉවර කරන්නට එතුමාට දෛවය ඉඩ දෙතැයි මට පේන්නේ නැත. මීලඟ වර බලයට එන්නට නම් තාප්ප පුරා චිත්‍ර අඳිමින් කුණු ගොඩවල් සුද්ධ කරමින් රට ගොඩ නඟන්නට ස්වේච්ඡාවෙන් ඉදිරියට ආ තරුණ පරපුරේ බලාපොරොත්තු ඉටු කළ යුතු ය. එයට බාධා කරන පරපෝෂිතයින් වෙත් නම් කෙතරම් මිත්‍රයෙක් වු වද ඉවත් කළ යුතු බව අනාගත බිය වැළැක්වීම පිණිස මෙසේ ලියා තබමි…



273 Viewers