ඒරුපොතාන බෞද්ධ ආරාමික පරිශ්‍රය

වව්නියාව සිට මාමඩුව, වැලිඔය දක්වා B442 මාර්ගයේ කි.මී.17ක් පමණ ගමන් ගත් විට වව්නියාව දකුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහකච්චකොඩිය ග්‍රාම සේවා වසමට අයත් මහකච්චකොඩිය සහ ඒරුපොතාන යන වැව් ආශ්‍රිතව මෙම පුරාවිද්‍යා පරිශ්‍රය පිහිටා ඇත.

මෙම ප්‍රදේශයේ ස්වභාවික පාෂාණ උද්ගත සහිත ශේෂ කඳුවැටියක ස්වභාවික ගල් ලෙන් උපයෝගී කරගනිමින් පිහිටුවා ඇති මෙම ආරාම පරිශ්‍රය දක්නට ලැබේ. එහි කටාරම් සහිත ලෙන්වල ඇති සෙල්ලිපි අක්ෂර රූප විද්‍යාත්මක කාල නීර්ණ අනුව ක්‍රි.පූ. 1-2 සියවස්වලට (මූල බ්‍රාහ්මී අක්ෂර සහිත ලපි – Early Brahmi Inscriptions) අයත් වේ. කි.මී. 4ක් පමණ දිගට විහිදී යන ගල් රෑන් ආශ්‍රිත මෙම ශේෂ කඳු වැටියේ කටාරම් සහිත (drip-ledge) ගල් ලෙන් 105ක්, සවභාවික සහ කෘතිම පොකුණු11ක්, පැරණි ගොඩනැගිලි 5ක සාධක, පැරණි ගඩොල් බිත්ති සහිත ලෙන් විහාර 2ක්, ස්තූප ගොඩැලි 6ක නටබුන්ද වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලය මඟින් මෙම ප්‍රදේශයේ සිදුකළ ගවේෂණ මඟින් අනාවරණය කොටගෙන ඇත.

මෙම ලෙන් සංකීර්ණ ප්‍රධාන වශයෙන් කොටස් 4ක් යටතේ හඳුනා ගත හැකිය. (1. මහකච්චකොඩිය විහාරය අවට, 2. ඒරුපොතාන 3. කිඹුලාගල, 4. නීරාවිය) ඒරුපොතාන පරිශ්‍රයට අයත් ලෙන් විහාරයක් යැයි සිතිය හැකි එක් ගල් ලෙනක සිරස කැඩී ගිය බුදු පිලිමයක් දැකගත හැකිය. මෙම මුලු ප්‍රදේශයේම හමුවන ගල් ලෙන් බොහොමයක් ඒවා භාවනානුයෝගීව වැඩසිටි භික්ෂූන් වහන්සෙලා උදෙසා පූජා කළ බවට වන කටාරම් ලිපි දක්නට ලැබේ. එම ලිපි අතුරින් ලිපි 3ක දැකගත හැකි “පරුමක නදික” යන පුද්ගල නාමයෙන් හඳුන්වනු ලබන්නේ වංශකතාවන්හි සහ ජනප්‍රවාදවල සඳහන්වන දුටුගැමුණු රජුගේ දසමහා යෝධයින් අතුරින් කෙනෙකු වූ නන්දිමිත්‍ර සෙන්පතියා බව පිළිගැනේ. මෙම බෞද්ධ ආරාම සංකීර්ණය ආශ්‍රිතව පැවති පැරණි ජනාවාසයක සාධකද ඒරුපොතාන වැවු තාවුල්ලේ දැකගත හැකිය. මෙම ඒරුපොතාන වැව අසල පිහිටි ආරාම පරිශ්‍රයේ කාල වකවානුවටම අයත් බවට වන පුරාවිද්‍යාත්මක සාධක හමුවේ, එසේම එම වැවේ ප්‍රධාන සොරොව්ව සකසා ඇත්තේ පාෂාණය ස්වභාවිකව ව්‍යස්තරනය වූ ස්ථානයක් උපයෝගී කරගනිමිනි.

මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ නඩත්තු කටයුතු මේවන විට වව්නියාව ප්‍රාදේශිය පුරාවිද්‍යා කාර්යාලය මඟින් සිදුවේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට අයත් ඉඩම්වල විසිර පවතින මෙම පුරාවිද්‍යා පරිශ්‍රය මැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන්කර මායිම් කණු යෙදීමට යෝජිතව පවතී.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව



21 Viewers