රණවිරු වීරයා

ටෝකියෝ පැරා ඔලිම්පික් උළෙලේ දී ලෝක වාර්තාවක් තබා රන් පදක්කමක් දිනාගෙන ශ්‍රී ලංකා ජාතික ගීය ඔලිම්පික් තරඟයකදී ප්‍රථම වරට වාදනය කිරීමට සැලැස්වූ දිනේෂ් ප්‍රියන්තටත්, එසේම ලෝකඩ පදක්කමක් දිනාගත් දුලාන් කොඩිතුවක්කුටත් උපහාර දැක්වීම පිණිස “හිත ඉල්ලන තරු” වැඩ සටහනට ආරාධනා කිරීම පිළිබඳ ස්වර්ණවාහිනියට මාගේ ප්‍රණාමය පුද කරමි!

වැඩ සටහනේ ගී ගැයීමට, නර්තනයට ආරාධනය කර තිබුනේ අපේ දරුවන්ට බියෙන් තොර හෙටක් වෙනුවෙන් තම ජීවිතය කැප කළ අපේම රණවිරුවන්ටය. අප ගත කළේ කොහොම කාලයක්ද, අප රණවිරුවන් අප වෙනුවෙන් කොපමණ කැප කිරීම් කළාද, යන්න වැඩ සටහනට සහභාගී වූ රණවිරුවන්ගේ  ආවර්ජනයන්ගෙන් නැවත නැවත් මතකයට ගෙන ඒමට සමත් විය.

එසේම අප ජනතාව අප රණවිරුවන්ට කෙතරම් ලෙන්ගතුකමක් දක්වයිද යන්න වරින්වර රසිකයන් දුන් දුරකතන ඇමතුම්වලින් පැහැදිලි විය. මේ ලෙන්ගතුකමම රණවිරුවන්ව පෝරකයට ගෙන යාමට එන ජාත්‍යන්තර කුමන්ත්‍රණයන්ට එරෙහිව පලිහක් වීම අනිවාර්යය.

මෙවන් කැප කිරීම් කළ රණවිරුවන් වෙනුවෙන් අනෙකුත් දේශප්‍රේමීන් සමඟ විදේශයක සිට දිනක් හෝ හඬක් නැගීමට ලැබීම ගැන මා හට දැනුනේ ආඩම්බරයකි.

ගායන වලට අමතරව රණවිරැවන්ගේ නර්තන වලින්ද සමන්විත වූ එම වැඩසටහන බලාපොරොත්තු දනවන ඉතාම ධනාත්මක වැඩසටහනක් විය. ආබාධිත බව විනයක් කර නොගෙන ජීවිත අභියෝගය හමුවේ ධනාත්මකව ගණුදෙනු කළ හැකි බවට අපේ රණවිරුවන් මහත් ආදර්ශයක් සැපයීය. කෙනෙකුට තනි කකුලෙන් නටන්නට හැකිවීමට කෙතරම් සමබරතාවයක්, මාංශපේශීන් වල ශක්තියක් තිබිය යුතුද!

ගී ගැයූ චරිත් නම් රණවිරුවාට කුරිරු යුද්ධය තම දෙනෙත්ද එක් අතක්ද අහිමි කර තිබුණි. එතුමා කියූ එක කරුණක් එය අසා සිටි බොහෝ දෙනෙකුගේ සිතට කාවදින්නට ඇතැයි මා සිතමි.

“අපිට සිංහල දෙමළ මුස්ලිම් කියලා භේදයක් නෑ. මම වරක් උතුරෙ ක්‍රියාන්විතයේ ඉන්නකොට මම හිටපු මුර පල අසල ඉස්කෝලයක් තිබුණා. මම ඒ ළමයි ඉස්කෝලේ යනවා එනවා හරි ආසාවෙන් බලන් ඉන්නවා. එතකොට මට මගේ පොඩි කාලේ මතක් වෙනවා. ඒ ළමයි හරි අහිංසකයි. දවසක් අපේ සෙන්ටර් එකට කෑම්ප් එකෙන් ඇවිල්ලා දවල්ට කන්න කෑම බෙදලා ගියා විතරයි අර ඉස්කෝලේ ළමයෙක් මං ගාවට ඇවිදගෙන ආවා. මං හිතුවෙ නෑ එච්චර ළඟට එයි කියලා. ඇවිත් මට බඩගිනියි කීවා (දෙමලෙන්). මම ඒ ළමයට මට දවල්ට කන්න තිබිච්ච කෑම එක දුන්නා. ඒ සිද්ධිය මතක් වුණාම මට තාමත් සංතෝස හිතෙනවා”

සහෝදර දෙමළ සිවිල් ජනතාවට ශ්‍රී ලාංකීය හමුදාව විසින් මානුෂීය ලෙස සලකන ලද ආකාරය මෙවන් විස්තර වලින් මනාව සනාථ වේ. ඔහු තවදුරටත් මෙසේ කීය.

“ඒ කාලේ අපේ  බ්‍රිගේඩ් අණදෙන නිලධාරියා වර්තමාන හමුදාපති තුමා. එතුමා නිතර අපිට මෙහෙම කිව්වා. “පුතාලා, දරුවො, ඕගොල්ලන්ගෙ ආරක්ෂාව ඕගොල්ලො සලසගන්න. හැබැයි අමතක කරන්න එපා අපි මේ කරන්නේ මානුෂීය මෙහෙවරක්. සිවිල් ජනතාව ආරක්ෂා කරගන්න.”

ජිනීවා මාතෘකාව නැවත මතුවී ඇති මේ මොහොතේ, මෙවන් තොරතුරු, විදේශ වල සිට රණවිරුවන් වෙනුවෙන් අදටත් සටන් කරන, දේශප්‍රේමී හිතවතුන් හට ධෛර්යය සැපයීමට හේතු වේවා!

මේ ඔලිම්පික් ජයග්‍රහණයත් සමඟ තවත් වැදගත් මාතෘකාවක් කරලියට එයි. එනම් ආබාධිතයන් කෙරෙහි අප සමාජය දක්වන ආකල්ප ගැනය. නොහොත් කාටත් සමාජයේ ඉඩක් තිබිය යුතු බවය.

සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇති අප විසින් සංවිධානය කරනු ලබන අවුරුදු උත්සව වල ආබාධිතයිනට තැනක් නොතිබීමෙන් ආබාධිතයින් ගැන අපගේ ආකල්ප තේරුම් ගත යුතුය. සුපිරි වාහන වලට සරිලන පරිදි පාරවල් හදන අපට ආබාධිතයන් හට ඉඩක් වෙන් කිරීමට මතක් වන්නේ නැත. දුම්රියපොළක ආබාධිතයෙකුට වේදිකාව මාරු කරගත හැකිය ක්‍රමයක් හැදීමට අපට මතක් වන්නේ නැත. අප සමාජය දිවෙන්නේ පුළුවන් එකාට වඩා හොඳට කරගැනීමට ඉඩ සැලසෙන පරිදි ය. සුද්දන් ද අප ලෙස සිතුවේ නම් අද අපට සැමරීමට මෙවන් ජයග්‍රහණයක් තබා එවන් ක්‍රීඩා උළෙලක් වත් නැති වනු ඇත!

පදක්කම්ලාභී දිනේෂ් සහ දුලාන්ගේ පුහුණුකරු, කලක් මාගේ සහෝදර ක්‍රීඩක ප්‍රදීප් නිශාන්තටද රටට ලබා දුන් ගෞරවය වෙනුවෙන් මාගේ ප්‍රණාමය පුද කරමි!

– රනිල් ජයනෙත්ති –



85 Viewers