• Home »
  • Sinhala Articles »
  • ජාතියේ මහා ප්‍රාඥයාට දීර්ඝායුෂ ලැබේවා !!!

ජාතියේ මහා ප්‍රාඥයාට දීර්ඝායුෂ ලැබේවා !!!

චින්තනය විෂයයක මාගේ ගුරුතුමා වන ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ 77 වන උපන් දිනය අදයි..

බුදු දහමට අනුව අපි සංසාර පුරුද්ද හා පාරමිතා විශ්වාස කරමු. ඒ අනුව මෙලොව පහළ වූ ඔබට මට යම් විශ්වීය කාර්‍ය්භාරයක් ඉටු කරන්නට සොබාදහම අවස්ථාව ලබා දී ඇත. එහෙත් එම පෙර භව උරුමය (පෙර පින) වේගයෙන් ගෙවී යන්නේ, අපි දුක් සහිත සසරේ අතරමංව ඇති හෙයිනි. ඒ අනුව ඇතැම් විට අප කරන්නට පැමිණි කාර්‍ය් අනපේක්ෂිතව අතරමගින් නතර කරන්නට සිදුවෙයි. ඒ ලෝක ධර්මතාව, සිතූ දේ නොම වන බැවිනි. එහෙත් පින් ගෙවී යද්දී ඊට සාපේක්ෂව කුසල් වැඩිය හැකි නම්, සසරෙහි අධිෂ්ඨානය කළ ඉලක්කය වෙත ළඟා වන්නට අපට හැකි වනු ඇත. ඒ අයුරින් ජාතියට මහත් මෙහෙවරක් ඉටු කරන්නට පැමිණි අපූර්ව මිනිසෙකුගේ කථාවයි මේ..

මෙරටින් ලොවට බිහි වූ එකම දාර්ශනිකයා බවට ආචාර්ය නලින් ද සිල්වා පත්වන්නේ ඔහු ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක (සංස්කරණාත්මක) සාපේක්ෂතාවාදය යනු මහාවිහාරයීය ථෙරවාද සම්ප්‍රදාය මත පිහිටා මෙරට බිහිවූ එකම නව දැනුම (දැනුම් පද්ධතිය/සුසමාදර්ශය) බැවිනි. එහෙත් මෙම ලිපිය මගින් එම දර්ශනය පිළිබඳව නොව එතුමා පිළිබඳව සටහනක් තබනුයේ ආචාර්ය නලින් ද සිල්වා මහතාව පදනම් විරහිතව විවේචනයට ලක් කරන මුහුණුපොතේ සිටින ඇතැමෙක් ඔහු කවුදැයි නොදන්නා – නොහඳුනන බැවිනි. දාර්ශනික ආස්ථානයක පිහිටා, පදනමක් සහිත නව මතවාද ඉදිරිපත් කිරීම සියල්ලන්ටම කළ හැක්කක් නොවෙයි. එසේම ලෝකයේ විවිධ තැන්වල බිහි වූ දර්ශන හා මතවාද මහ පොළොවේ පැළ වී මල්පල හටගන්නට දිගු කලක් ගත වූ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි. එහෙත් අදින් වසර 35කට පමණ පෙර ආචාර්ය නලින් ද සිල්වා ඉදිරිපත් කරන ලද (අදටත් වර්ධනය කරමින් සිටින) දැක්ම ලක් දෙරණෙහි පැළව, විටින් විට නෙක පැහැ මල් පුබුදුවමින් සෙමෙන් සෙමෙන් වැඩෙන ශක්තිමත් මූලයක් සහිත ගසක් බව මැදහත්ව විමසන්නෙකුට පසක් වන ඇත. එහෙත් ඒ ගැන විනිසීම ප්‍රඥප්තියක් වූ කාලයේ සම්මුතික අනාගතයට සිදු කරන්නට ඉඩ තබමි.

පාණදුරේ වෑකඩ කෝවිලගොඩැල්ලේදී දරුවන් අටදෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමලා ලෙස 1944 ඔක්තෝබර් 20 දා උපන් ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ නලින් කුමාර ද සිල්වා මහතාගේ දෙගුරුන් වූයේ දනියෙල් ද සිල්වා හා ඬේලින් පෙරේරා යන ගුරු යුවලයි. විදුහල්පතිවරයකු වූ ඔහුගේ පියතුමාගේ මග පෙන්වීමෙන් ගමේ පන්සලත් එහි පුස්තකාලයත් ඇසුරට ඔහු කුඩාකල යොමු විය. හෙතෙම පාණදුර වෑකඩ බෞද්ධාලෝක මිශ‍්‍ර පාසලේ තුන්වන පන්තිය දක්වාත්, නැවත දෙකේ පන්තියේ සිට (නිසි වයස නොපිරුණු නිසා යළි දෙකේ පන්තියට යොමු කර ඇත) පස්වන පන්තිය දක්වා තර්ස්ටන් විදුහලේත්, සරසවි ප‍්‍රවේශය දක්වා කොළඹ රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලබා පාසල් විය නිම කරන්නේ ශුද්ධ ගණිතයට හා ව්‍යවහාරික ගණිතයට වැඩිම ලකුණු ලබන්නාට හිමි රාජකීය ත්‍යාග ලබාගනිමිනි. එවකට රාජකීය විදුහලේ විවාද කණ්ඩායම් නායකයාද එතුමා වූ අතර විවාදකයන් වෙනුවෙන් පිරිනමන වීරසූරිය ත්‍යාගයද දිනා ගන්නට සමත් විය.

1962දී භෞතීය විද්‍යා ධාරාවෙන් ලංකාවේ ඉහළම ලකුණු ලැබූ දහදෙනාගෙන් එක් අයකු වශයෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ සුදුසුකම් තිබුණද ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයකු (Theoretical Physicist) වන අරමුණෙන් (එම ආශාව එතුමා සිත පහළ වී ඇත්තේ සාපෙළ හැදෑරූ 1960 දී පමණය) ගණිතය හදාරනු පිණිස ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයට ඇතුළත්ව 1967 දී ගණිතය ( සියයට පණහක් පමණ ගණිතමය භෞතික විද්‍යාව) පිළිබඳ ප‍්‍රථම පන්තියේ ගෞරව සාමර්ථ්‍යයක් දිනා ගත්තේය. (විද්‍යාවේ රැජින ලෙස සැලකෙන්නේද ගණිතයයි.) අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ඔක්ස්ෆර්ඞ් හෝ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලවලට යෑමේ අවස්ථාව තිබියදී තමා රුචිකළ විශ්වවේදය (Cosmology) විෂයයට කීර්තියක් ඉසිළු බි‍්‍රතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට 1969 ජනවාරිවලදී ඔහු ඇතුළත් විය.

ඒ වන විට එම සරසවියේ නව තාරකා විද්‍යා මධ්‍යස්ථානයක්ද (Astronomy Centre) ඇරඹී තිබුණේ මහාචාර්ය මැක්රේ නමැත්තෙකුගේ මූලිකත්වයෙනි. සසෙක්ස් වෙත ගිය නලින් ද සිල්වාගේ උපදේශකයා වූයේද රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු හා කීර්තිමත් විද්‍යාඥයකු හා ගණිතඥයකු වූ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ Royal Holloway Collegeහි ගණිත අංශ ප්‍රධාන ලෙසද කටයුතු කර තිබූ ශ‍්‍රීමත් මහාචාර්ය විලියම් මැක්රේය (Sir William H McCrea). ගුරුත්වජ කාච හා ක්වේසාර පිළිබඳ අධ්‍යයනය කරන මෙන් ඔහු නලින් ද සිල්වාට උපදෙස් දී ඇත. එය සාධාරණ සාපේක්ෂතාවාදී න්‍යාය ඇසුරෙන් සිදු කළ යුතු වුවද, ඒ වනවිට ලංකා විශ්වවිද්‍යාලයේ එම ප්‍රවාදය උගන්වා නොතිබුණ නමුත් ස්වයං අධ්‍යයනය මගින් එය හදාරා තිබීම නිසා අප කථානායකයාණන් ඒ ගැන අධ්‍යයනයට යොමුව ඇත. එහෙත් මැක්රේ විසින් ලබා දුන් එම ගැටලුවට අමතරව ද සිල්වා, භ්‍රමණය වන වස්තුවක් වටා අංශු චලනය වීම පිළිබඳ තවත් ගැටලුවක්ද විසඳීමට යොමුවිය. එය පසුව ඔහු මැක්රේ යටතේ සිදුකළ ආචාර්ය උපාධි නිබන්ධය (DPhil) වූයේ තාරකා භෞතිකයේ සාපේක්ෂතාවාදී ගුරුත්වජ ආචරණ (Relativistic Gravitational Effects in Astrophysics) යන මාතෘකාව යටතේ සිදුකළ පර්යේෂය විය. වයස අවුරුදු 26 වන විට ඔහු විසින් එය නිම කළ අතර, වසර එකහමාරක් වැනි කෙටිකලෙකින් එම උපාධිය පිරිනැමීමට සසෙක්ස් සරසවියේ උපාධි පටිපාටිය සංශෝධනය කරන්නට එහි සනාතන සභාවට සිදුවිය. එතුමා සසෙක්හි එදා තැබූ ඒ වාර්තාව අද වන තෙක් බිඳින්නට කිසිවකුට හැකිව නැත.

ඒ විට එතුමාගේ පර්යේෂණ පත‍්‍රිකා ලොව ඉහළම පර්යේෂණ ජර්නලයක් වන නේචර් සඟරාවේ පවා පළවිය. ආචාර්ය ද සිල්වා තම දර්ශනසූරී උපාධිය මගින් ”‍ භ‍්‍රමණය වන වස්තු වටා භ‍්‍රමණයට ප‍්‍රතිවිරුද්ධ අතට ප‍්‍රතික්ෂේප කෙරෙන අංශු අවස්ථිති සමුද්දේශ රාමුවේ භ‍්‍රමණය සමග ඇදීයාමේ ප‍්‍රතිපලයක් ලෙස පසුව වස්තුව භ‍්‍රමණය වන අතටම චලනය වන බව”‍ අයින්ස්ටයිනීය ප‍්‍රවාදය යොදාගනිමින් සෛද්ධානිත්කව ඔප්පු කරන ලද කල්පිතය වසර දහයකටත් පසුව එනම් අසූව දශකයේ අගභාගයේදී බි‍්‍රතාන්‍ය ඇමරිකානු ඒකාබද්ධ විද්‍යාඥ කණ්ඩායමක් විසින් සනාථ කරන ලදි. මැක්රේගේ අවසාන ගෝලයා (ඔහු විශ්‍රාම ගිය බැවින්) වන ආචාර්ය නලින්ට සසෙක්හි තව දුරටත් අධිශිෂ්‍යත්වලාභියෙකු (Research Fellow) වශයෙන් රැඳී සිටින මෙන්, මැක්රේගේ පුරප්පාඩුවට එම ධුරයට පත් මහාචාර්ය මාටින් රීස් (2005 වසරේ රාජකීය තාරකා විද්‍යාඥයා සහ 2005-10 රාජකීය සංමයේ සභාපති) විසින් ඇරියුම් කළද එය ප්‍රතික්ෂේප කර ඔහු 1970 සැප්තැම්බර් නැවත මව්බිමට පැමිණියේය.

ලංකාවට පැමිණි ඔහු පේරාදෙණියේ කනිටු ආචාර්යවරයකු ලෙස වසර පහක් කටයුතු කෙළේය. මාක්ස් ට්‍රොට්ස්කිවාදියකු හා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වශයෙන් කටයුතු කරමින් සිටි එතුමා 1975 දී විදෙස් ගතව නැවත 1977 දී ලංකාවට පැමිණියත් පේරාදෙණියේ ඉගැන්වීමේ අවස්ථාව අහිමි විය. 1964 සිට ලංකා සමසමාජ පක්ෂයේ ක‍්‍රියාකාරිකයෙකු වූ එතුමා 1974 දී නව සමසමාජ පක්ෂය පිහිටුවීමේදී එයට එක්ව එහි මධ්‍යම කාරක සභාවේ ක‍්‍රියාකළ අතර, 1980 ජූලි වර්ජනයට පෙර එයින් ඉවත් විය. 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයට ආචාර්යවරයෙකු ලෙස එකතුවන එතුමා මාක්ස්වාදය න්‍යායාත්මකව ප‍්‍රශ්න කරමින් සිදු කළ රචනා මගින් ප‍්‍රබල සංවාදයක් ඇති කළ අතර, ඉන් පසු විද්‍යාවේ පදනමද ප්‍රශ්න කරමින් අදහස් ඉදිරිපත් කරන ලදි. ඒ අදහස් ඔස්සේ ඔහු 1983 පටන් ජාතිකවාදී ප‍්‍රවේශයකට යොමු විය. ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකත්වය සහිත එකම ශ‍්‍රී ලාංකිකයා වන ඔහු බටහිර විශ්වවේදයට අයත් සෛද්ධාන්තික තාරකා භෞතික විද්‍යාව පිළිබඳ ආසියාවේ සිටින දැවැන්තයෙකි. එතුමා සඳහන් කරන ආකාරයට ඔහුගේ නිල විෂය වන්නේ විශ්වවේදය, සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් භෞතිකය, න්‍යාය (Logic), විද්‍යාවේ දර්ශනය හා ඥාන විභාගයයි. ඇමරිකානු විද්‍යාභිවර්ධන සංගමයේ සාමාජිකත්වයත්, ලන්ඩන් රාජකීය තාරකා විද්‍යා සංගමයේ අධි සාමාජිකත්වයත් ඔහු දිනා ඇත.

1982 සිට දිවයින, දි අයිලන්ඞ් හා විදුසර පුවත්පත ඔස්සේ ජාතික චින්තන දරිද්‍රතාව මැඬලන්නට එතුමා තම පන්හිඳ කගපතක් කරමින් කළ මෙහෙවර අප‍්‍රමාණ වෙයි. ඔහු විසින් සිදු කළ දේශන මෙන්ම වාද විවාදද මෙතෙකැයි ගණනය කළ නොහැකිය. ගවේෂකයෝ, චින්තන පර්ෂදය හා වීමංසක පර්ෂදය වැනි සංවිධාන පිහිටුවමින් තම ජාතිකවාදී මතය වෙනුවෙන් ගෝල පරපුරක් බිහි කළ එතුමා කොටි ත‍්‍රස්තවාදය යුද මෙහෙයුමකින් පැරදවීමට අවශ්‍ය මූලික පදනමේ නිර්මාතෘද වෙයි. 1986 වසර එතුමාගේ හැරවුම් ලක්ෂය වූයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය (දැන් එය සංස්කරණාත්මක සාපේක්ෂතාවාදය ලෙස ඔහු විසින්ම වර්ධනය කර ඇත) ලොවට හෙළි කළ මගේ ලෝකය කෘතිය එළිදැක්වීමය. එතැනෙන් ඇරඹි නව දාර්ශනික ගමන ඔස්සේ අධ්‍යාපන හා දේශපාලන පෙරළියක් රට තුළ සිදු කරන්නට එතුමා මැදිහත් විය. 1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමා වැඩතහනමකට ලක්වන්නේ බටහිර දැනුම් ආධිපත්‍ය ප‍්‍රශ්න කළ හෙයිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිත්වයද එතුමා දරා ඇත.

සිය වැඩතහනමට විරුද්ධව තනිවම නීති මගින් කටයුතු කළ එතුමා නිර්දෝෂ බව 2002 දී අධිකරණයෙන් තහවුරු වූ පසු ඔහු එම වසරේදී කැලණිය සරසවියේ ගණිත අංශයට සම්බන්ධ වූ අතර එහි මහාචාර්යවරයකු හා අංශ ප‍්‍රධාන වශයෙන් කටයුතු කෙළේය. ඒ අතර තම දැනුම් පද්ධතිය වර්ධනය කළ අතර, ආන්දෝලනාත්මක රජරට වකුගඩු රෝගය සම්බන්ධ පර්යේෂණවලට අදාළව දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම හා ආධ්‍යාත්මික ශක්තිය යෙදවීම පිළිබඳ නව ප්‍රවාද බිහි කරන්නට යොමු වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා වශයෙනි. එතුමාට කැබිනට් අනුමතයෙන් ගණිත අංශ මහාචාර්යවරයකු ලෙස සේවා දිගුවක්ද ලැබුණු අතර ඒ වන විට වකුගඩු රෝගය ගැන පර්යේෂණ අවසන් වූ බැවින් එම සේවා දිගුවෙන් වසර දෙකකට ආසන්න කලකට පෙර සමුගත්තේය.

පසුව ඔහු විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි සාමාජිකයකු ලෙසද පත් වුණු අතර මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වූ දිනයේදී එයින් ඉල්ලා අස් විය. ආචාර්ය නලින් මේ වන විට විද්‍යාව, ගණිතය, දර්ශනය, ඉතිහාසය, දේශපාලනය, කලාව, භාෂාව, සාහිත්‍ය ඇතුළු විවිධ අංශ යටතේ රචනා කළ ලිපි සංඛ්‍යාව 6000 ඉක්මවන අතර කෘති රාශියක්ද රචනා කර ඇත. අදටත් දාර්ශනික ප‍්‍රවේශයකින් දිනපතා කාලය වෙබ් අඩවියට ලිපියක් ලියන අතර එසේ දිනකට ලිපියක් රචනා කරන ලොව සිටින එකම විද්වතා එතුමා විය යුතුය. එසේම එතුමා විවිධ සංවාද සහ සම්මන්ත‍්‍රණවලට තම බුද්ධිමය දායකත්වය දැක්වූ අතර මහනුවරදී බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව තහවුරු කරමින් කළ දේශනය සුවිශේෂ තැනක් ගනියි. ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මියන්මාරයේ තානාපතිවරයා ලෙස 2020 වර්ෂයේදී පත් කළ එතුමා වසරකට ආසන්න කාලයක් එහි සේවය කිරීමෙන් පසු එයින් ඉල්ලා අස්වී නැවත මෙරටට පැමිණ සිටියි.

සිංහල බෞද්ධ චින්තනය මත පදනම්ව මතවාදී දේශපාලනයේ නිරත වන එතුමා සාහිත්‍ය, කලාව, ඉතිහාසය ආදී විෂය රාශියක තම ප්‍රවාද නිර්මාණය කොට ඇත. ගණිතයේ සත්‍ය කියා යමක් නොමැති බව, ක්වොන්ට්ම අංශු එකවර කිහිප තැනක පැවතිය හැකි බව, ශක්ති සංස්ථිතියට අවකාශයද ඇතුළත් විය යුතු බව, විද්‍යාලංකාර විවරණය යනාදී ගැඹුරු ප්‍රවාද නිර්මාණය කළ එතුමා ඒ සඳහා බුදුදහමෙන් පෝෂණය ලබයි. එතුමා ඉදිරිපත් කළ නව දර්ශනයෙහිද පදනම බුදු දහමයි. මේ දිනවල කළු කුහර ගැන අධ්‍යයනයක නිරතව සිටින ඔහු දැනුම පිළිබඳ ඉදිරිපත් කරනු ලබන කතාව වටහා ගැනීමට බොහෝ අයට නොහැකි වී තිබීමෙන් වැටහෙන්නේ බටහිර අධ්‍යාපනයෙන් බිහිවන මිනිසුන්ගේ චින්තනයේ ඇති අර්බුදයයි. එදා ආධ්‍යාත්මික ශක්තිය මත පදනම්ව දැනුම ලබා ගත් අපේ ජාතිය අද මුහුණ දෙන ආර්ථික, සමාජ, දේශපාලන යනාදී නේකවිධ ගැටලුවලට විසඳුම් සොයාගත හැකි මාර්ගය ආචාර්ය නලින් ද සිල්වා අනාවරණය කොට ඇත. එහෙත් අවාසනාවකට එතුමාව උපහාසයට ලක් කරනවා වෙනුවට එම දර්ශනයෙන් කියැවෙන්නේ කුමක්දැයි ප්‍රත්‍යක්ෂ කරගන්නට එම විවේචකයෝ උත්සාහ නොගනිති. එහෙත් එතුමා තමාටම ආවේණික වූ කථන ශෛලිය සහ අනන්‍යතාවෙන් ආඪ්‍යව තම මෙහෙවරේ දිගටම නිරතවනු ඇත.

මෙරට තුළ නව අදහස් ඉදිරිපත් කළ කවර හෝ ගණයේ විද්‍යාඥයකු සිටීනම් එතුමාගේ අදහස්වලට විරුද්ධව ප්‍රසිද්ධියේ තමා සමග වාදයකට පැමිණෙන මෙන් ඔහු කළ අභියෝගය අදටත් විවෘත බව අපි දනිමු. තවද පසුගිය සතිවල එතුමා ශ්‍රී ලාංකිකයකු හට නොබෙල් ත්‍යාග කිසිවක් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳ ලියූ ලිපි මගින්ද පෙන්වා දුන්නේ අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියේ හා බටහිර චින්තනයේ ඇති සංස්කෘතික වෙනසයි. (එබැවින් මෙරට තුළ විද්‍යාඥයෝ බිහි නොවෙති.) එපමණක් නොව එතුමාගේ අදහස් මත පිහිටා බටහිර ආධිපත්‍යයට අභියෝග කරමින් ආධ්‍යාත්මික ශක්තියද යොදා ගෙන අලුත් අපේ ප්‍රවාද ගොඩ නගන්නට අප යොමු වන්නේ නම් එය කඩාවැටෙන ලෝකයේ ස්ථාවරව නැගී සිටීමට අප සැමට හැකි වනු ඇත.

ආචාර්ය නලින් ද සිල්වා රචිත කෘති

  • මගේ ලෝකය (My World)
  • ජාතිය සංස්කෘතිය සහ චින්තනය (Nation, Culture and Chinthanaya),
  • බුදු දහම පාවා දීම (Buddhism Betrayed)
  • අපෝහකයේ රූපිකය (Formalism of Dialectics)
  • මාක්ස්වාදයේ දරිද්‍රතාවය (Poverty of Marxism)
  • ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා සහ මස්සිනාලා (Prabhakaran and his relatives)
  • An Introduction to Tamil Racism in Sri Lanka
  • නිදහසේ පහන් ටැඹ (Beacon of Freedom)
  • නිදහස දිනාගැනීම (Winning Freedom)
  • ජාතියේ ඉරණම (Fate of the Nation)
  • සිංහල අවුරුද්ද (Sinhala New Year)
  • විද්‍යා කතාන්දර (Stories of Science)
  • මැතිවරණය හා හාමුදුරුවෝ (Elections and Bhikkus)
  • පනස්හයේ දරුවෝ (Children of Fifty Six)
  • අපේ ප්‍රවාද (Our Theories) 1-2-3
  • පරිසරය හා බටහිර ආකල්ප (Environment and Western Attitudes)
  • බටහිර විද්‍යාව, ආසනික් හා දෙවියෝ (western science, Arsanic and Gods)

ආචාර්ය නලින් ද සිල්වා මියන්මාරයේ තානාපති වූ විට මා ලියූ ලිපියක්: https://www.facebook.com/100002982638734/posts/2848260355283358/

ආචාර්ය නලින් ද සිල්වාගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පිළිබඳව රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ මා ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාවක් : https://www.academia.edu/…/the_Impact_of_Buddhism_on…

ආචාර්ය නලින් ද සිල්වා රචිත පර්‍යේෂණ පත්‍රිකා : https://www.researchgate.net/profile/Nalin-De-Silva-2

නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පිළිබඳ ආචාර්ය නලින් ද සිල්වා රචිත පත්‍රිකාවක් https://m.facebook.com/…/a.21630057…/519292641783466/…

සටහන : නාලක ජයසේන

2021.10.20 (වප් පෝදා)



74 Viewers