රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ....
“බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළ ඇරඹේ …
දිවයින පුරා ගිනි වරකා පැළ ලක්ෂයක් සහ කොස් පැළ දස ලක්ෂයක් රෝපණයත් ඊට සමගාමීව …
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේදී පැවැත්විණ.
දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය යි.
කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා; පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයකි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී පූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහදැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.
කඨින චීවරය පඬු පෙවීම, පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබිණ.
පඬු පෙවූ කඨින චීවරය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට පූජා කරනු ලැබීය. දහවල් දානය පිළිගැන්වීම ජනාධිපතිතුමා ප්‍රමුඛ මැතිඇමතිවරුන් අතින් සිදු කෙරිණ.
කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේ පූජා භූමි අක්තපත්‍රය බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියවනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් වයඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික තිස්සව රාජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ත නාහිමියන්ට පිළිගැන්විණ.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළේ සමාරම්භය සනිටුහන් කරමින්, සම්බුදු සසුනට කුල දරුවන් පූජා කළ දෙමව්පියන් හයදෙනෙකුට හැඳුනුම්පත් ලබා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.
විහාර භූමියේ පිහිටි පුරාණ විෂ්ණු මහා දේවාලයේ වතාවත්වලට ද ජනාධිපතිතුමා එක් විය.
“බත් ගසට පණ දෙමු” මැයෙන් ගිනි වරකා පැළ ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාර භූමියේ ගිනි වරකා පැළයක් රෝපණය කළේය. මෙම වැඩසටහනට සමගාමීව තෙවසරක් තුළ කොස් පැළ දසලක්ෂයක් සිටුවීමේ වැඩසටහන ද ආරම්භ කෙරිණ.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, ඩයනා ගමගේ, සුමිත් උඩුකුඹුර, ජයරත්න හේරත් සහ දියවඩන නිලමේ නිලංග දෑල යන මහත්මමහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.
44 Viewers





