කොටි සංවිධානයේ නිජබිම් සංකල්පය

පුරාවිද්‍යා සාධක සහිතව බිඳදැමු එල්ලාවල මාහිමිට අවුරුදු 85 යි.

මෙරටේ පුරාවිද්‍යා කේෂ්ත්‍රයේ භික්ෂු සලකුණ ලෙස සැලකෙන පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා පර්යේෂණශූරි , ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ අද ජනවාරි 28 වෙනි දිනට 85 වෙනි වියට පා තබනවා.

මේ රටේ බෙදුම්වාදි ත්‍රස්තවාදීන් විසින් ගෙනගිය උතුරු නැගෙනහිර දෙමළ නිජබිම කියන සංකල්පය පුරාවිද්‍යා සාධක සහිතව බිඳ දැමුවේ එල්ලාවල මේධානන්ද නාහිමියන් විසින්.

යුද්ධය ආරම්භවීමට පෙර හා යුද්ධය පැවැති සමයෙත් උතුරු නැගෙනහිර පුරාවිද්‍යා ගවේෂණවල යෙදුණු උන් වහන්සේ ඒ ආශ්‍රයෙන් ලියු උත්තර පස්ස හා පාචීන පස්ස හෙවත් උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය නැමැති ග්‍රන්ථය කොටි සංවිධානයේ නිජබිම් සංකල්පය බිඳදැමීමට සමත්වුණා. එය ඉංග්‍රීසියට පවා පරිවර්තනය විමෙන් පසු එය කියවු එකල කොටි සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, නාහිමියන්ට එරෙහිව පියවර ගන්නා ලෙස සිය සංවිධානයට දුන් උපදෙස් නිසා ඔවුන්ගේ ඝාතන ලැයිස්තුවට පවා වරෙක නාහිමියන් ඇතුළත්වුණා.

එසේම සාගර විශ්ව විද්‍යාලයේ එක්තරා කථිකාචාර්යවරයකු යැයි කියන අයෙකු ලංකාවේ දෙමළ නිජබිමක් ඇතැයි කියමින් එක්සත් ජාතින්ගේ සංවිධානයට යැවු ලිපියට පිළිතුරු වශයෙන් එල්ලාවල නාහිමියන් ජගත් සංවිධානයට යැවු පුරාවිද්‍යා සාධක සහිත දිගු ලිපිය නිසා කොටින්ගේ තවත් ඉලක්කයක් වැරදි ගියා.

මේ ආකාරයෙන් අපේ රටේ සැඟවි තිබු සිංහල බෞද්ධ උරුමය ලෝකයට හෙළිකිරිමට උන් වහන්සේ මුළු ජිවිතයම කැපකරන්නට වුණා. ගස්වල නගිමින්, වැල්වල එල්ලමෙින්,වන සතුන්ගේ පවා පහරකෑම්වලට ලක්වෙමින් ජිවිතය පවා අනතුරට ලක්කරගනිමින් උන් වහන්සේ සෙව්වේ අපේ උරුමයයි. දින ගණන් කුසට අහරක් පවා නැතිව මහ වනාන්තරයේ අතරමං වෙමින් පවා උන් වහන්සේ අපේ උරුමය සෙව්වා. වරෙක උන් වහන්සේ සිවුපා කොටින්ගේ තර්ජනවලටත්,තවත් වරෙක ත්‍රස්තවාදීන් හෙවත් දෙපා කොටින්ගේ අත්අඩංගුවටත් පත්වුණා.⁣ඒ සියලු අභියෝග මැද උන් වහන්සේ සෙව්වේ ගවේෂණය කළේ අපේ උරුමයයි.ඒ සියල්ල ග්‍රන්ථාරූඨ කරමින් උන් වහන්සේ කළ මෙහෙවර අතිවිශාලය.

වරෙක පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරයකු උතුරු නැගෙනහිර කෝ විල්කඩා පන්සල් ඉද්කර ඇතැයි කියමින් අසත්‍ය තොරතුරු හැන්ඩ්සාඩ් ගතකරද්දි ඊට එරෙහිව උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සාධක සහිතව එල්ලාවල මේධානන්ද නාහිමියෝ ඉදිරිපත් කිරිම නිසා ඉහත මන්ත්‍රීවරයාගේ උත්සහය බිදවැටිණ.

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වශයෙන් සිටියදි එය අත්හැර නැවත විදුහල්පතිවරයකු, අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස සේවයට එක්වෙමින් උන් වහන්සේ අධ්‍යාපන කේෂ්ත්‍රයට කළ මෙහෙය සුවිසාලයි.

මේ ආකාරයෙන් රටට අමිල මෙහෙවරක් කළ මේ මහ යතිවරයන් වහන්සේ මේවනවිට වයෝවෘද්ධව වැඩ සිටි.උන් වහන්සේගෙන් පසුව උන් වහන්සේගේ පර්යේෂණ වාර්තා හා වටිනා ග්‍රන්ථ ඇතුළත් සුවිශේෂි පුස්තකාලය ආරක්ෂාකර ගැනිමේ විධිමත් වැඩපිළිවෙළක් යෙදවිම විද්වතුන්ට පැවරෙන කාර්යයකි.

ධර්ම ශ්‍රී තිලකවර්ධන



133 Viewers