“විලී ෆොක්ස්” හරියාකාරව හඳුනාගැනීමට අපොහොසත් ලංකාවේ ජනයා ………….
ඔක්ස්ෆර්ඩ් අඩ්වාන්ස් ලර්නර්ස් ඉංග්‍රීසි ශබ්ද කෝෂයයට අනුව “Wily Fox” (විලී නරියා ) යනු “තමාගේ අවශ්‍යතාව ඉෂ්ඨ කරගැනීම සඳහා ඉතා කපටි ලෙස වෙනත් පුද්ගලයන් පොළඹවා ගැනීමට දක්ෂ පුද්ගලයා” (A person skillful at getting what he wants, especially by tricking people) යනුවෙන් හඳුන්වා ඇත. මෙවැනි පුද්ගලයන් දේශපාලනයට පැමිණි විට ඔවුන් සෑම විටම උස්සාහ කරන්නේ තම දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමට විවිධ උපක්‍රම, ප්‍රයෝග, සහ කෙටි මාර්ග උපයෝගී කරගැනීමට ය. එවැනි දේශපාලකයින් වේලාසන හඳුනා ගැනීමට හැකියාව නැති පිරිස් ඔවුන්ට එක් වරක් නොව කිහිප විට රැවටෙති.
13 වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට එන්නේ 1987 නොවැම්බර් 14 වන දින අත්සන් කල ඉන්දු ලංකා ගිවිසුමට අනුව උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනයාට දේශපාලන හා පරිපාලන බලය ලබා දීම සඳහා යි. එහෙත්, අවසානයේ සිදුවූයේ පළාත් සභා නමින් පළාත් නවයටම පරිපාලන ඒකක නවයක් හඳුන්වා දී රටේ ජාතික ධනය කාබාසිනියා කිරීම පමණි. බලය බෙදීම ප්රජාතන්ත්රවාදී ලක්ෂණයක් වුවත් එය ලංකාවේ බලයේ සිටි පක්ෂ වලට අයත් පහළ ස්ථර වල හෙන්චයියන්ට ධනය සහ බලය උපයා ගැනීමට ලබා දුන් පුහුණු පාසලක් විය.
පසුගිය පළාත් සභාව අහෝසි වී මේ වන විට වසර තුනකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත. යහපාලන රජයේ පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා ඇමති වරයා එම පනතට ගෙන ආ සංශෝධනයක් හේතුවෙන් අදටත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී ඇත. ලෝකයේ පළමු වතාවට පනතක් ගෙන ආ ඇමැති වරයාම තමා ඉදිරිපත් කල පනතටම විරුද්ධව පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කල බව ඔබ අසා තිබෙනවා ද? ඒ ෆයිසර් මුස්තාපා ය. කෙතරම් අරුමයක් ද? යහපාලන රජයේ අගමැති වරයා හැටියට එදා රනිල් වික්‍රමසිංහ මහතා එම පනත තම ඇමැති වරයා මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය පරාජය කිරීමට ද කටයුතු කලේ ය. එහි ප්‍රතිඵලය මේ වන තෙක් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම යි.
මෙතෙක් බලයට පැමිණි සෑම ජනාධිපති වරයෙක්ම මැතිවරණ ආසන්න වෙත්ම උතුරු නැගෙනහිර ප්රශ්නය සාකච්ඡාවට ගනී. වටමේස සාකච්ඡා , සර්ව පාක්ෂික සමුළු යනාදිය පවත්වයි. ඒවාට දේශපාලන පක්ෂ , සංවිධාන සහභාගි වේ. මාධ්‍ය සාකච්ඡා, ප්‍රසිද්ධ සම්මන්ත්රණ පවත්වති. එහෙත් , අවුරුදු 36 ක් ගත වුවද ප්රශ්නය විසඳුනේ නැත. මන්ද , ඒ සියලෝම “විලී නරියන්” ය. ඔවුන්ගේ එකම පරමාර්ථය උතුරු නැගෙනහිර පළාත් දෙකේ ඡන්දය ලබා ගෙන ජනාධිපති වීමය. එම පළාත් වල පමණක් නොව සෑම පළාතකම ජනයා මේ “විලී නරියන්” ගේ බොරු පොරොන්දු වලට රැවටෙති.
ජේ ආර් ජයවර්ධන , ආර් ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, සහ ගෝටාභය රාජපක්ෂ ඔවුන්ගේ පාලන කාල වලදී සර්ව පාක්ෂික සමුළු කැඳවා උතුරු නැගෙනහිර ප්රශ්නය සාකච්ඡා කල අවස්ථා එමටය. එක්තරා කාලයක බූතානයේ තිම්පු නුවරට පවා ගොස් සාකච්ඡා කලේ ය. තවත් විටෙක නෝර්වේ මැදිහත් වීමෙන් ඔස්ලෝ සාකච්ඡා පැවත්වීය. නිමල් සිරිපාල ද සිල්වා සාකච්ඡා ප්‍රධානියා හැටියට කටයුතු කලේ ය. ඒවා හුදෙක් දේශපාලන සංදර්ශන විය. මැතිවරණ වලින් පසු දකුණේ දේශපාලන පක්ෂ මෙන්ම උතුරේ පක්ෂ ද 13 අමතක කළෝය.
චන්ද්‍රිකා කුමාරතුංග ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ආවේය. එදා එය පාර්ලිමේන්තුවේ සිටි එජාපය ගිනි තබන විට රනිල් වික්රමසිංහද පාර්ලිමේන්තුවේ සිටියේය. මහින්ද රාජපක්ෂ ජනාධිපති මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක සභාවක් කොට දිනෙෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට රාශියක් පවත්වා විශාල මුදලක්ද වැයකොට අලුත් ව්‍යවස්ථාවක් පවා කෙටුම්පත් කලේ ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාද ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට අවුරුදු ගණනක් ගත කලේය. ගෝටාභය රාජපක්ෂද ප්‍රවීණ ජනාධිපති නීතඥ වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කොට අලි සබ්රී අධිකරණ ඇමැති වරයා හැටියට සිටින අවධියේ තවත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කලේ ය. ඒ ව්‍යවස්ථා දැන් කැලේය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ “සුදු නෙළුම”, “තවලම” ගිය අය අදටත් පාර්ලිමේන්තුවේ සිටී. එහෙත් උතුරු නැගෙනහිර ප්රශ්නය එසේමය. ඔවුන් සියල්ලෝම “විලී නරියන්” බව අදටත් බොහෝ අය තේරුම් ගෙන නැත. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ද ඔය සෑම සාකච්ඡා මේස වලම වාඩි වී ඇත . එහෙත් විසඳුම් ලබා ගැනීමට ඔවුන් ද අසමත් වී ඇත.
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති වරයා ඊයේ (ජූලි 26) නැවත වරක් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූයේ 13 වන ව්‍යවස්ථාව බලාත්මක කිරීම සඳහා සියළු දේශපාලන පක්ෂ වල එකඟතාවය ලබා ගැනීම සඳහා බව ප්‍රකාශ කරමිණි. ජාතික ජනබලවේගය වේලාසනම රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ අභිප්‍රාය තේරුම් ගෙන එම සමුළුවට සහභාගි නොවන බව නිවේදනය කලේ ය. ඔවුන් හැර අනෙකුත් සියළු දේශපාලන පක්ෂ මෙම සාකච්ඡාවට සහභාගි වී සිටි බව මාධ්‍යයේ දකින්නට ලැබුණි. සහභාගි වූ බොහෝ පක්ෂ නියෝජිතයන් සාකච්ඡාවෙන් පසු මාධ්‍යට ප්‍රකාශ කලේ කුමක්ද?
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා ඔහුගේ සුපුරුදු දේශපාලන අවශ්‍යතාවය සඳහා මෙම සමුළුව කැඳවා තිබූ බව ඔවුන්ට පැහැදිලි වූ බවකි. මින් අදහස් කරන්නේ කුමක්ද ? මොවුන්ට තවමත් රනිල් වික්‍රමසිංහගේ “ඔප්ටික්ස්” (Optics) තේරුම් ගැනීමට අවබෝධයක්, හෝ දැණුමක් නැති කම නොවේද?
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා එම සාකච්ඡාවේදී ඔහු ” වයසක විලී ෆොක්ස්” (Old Wily Fox) බව නැවත වරක් ඔප්පු කර ඇත. එම සාකච්ඡාවට සහභාගි වූ යම් පක්ෂයක් හිතයි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට නොහැකි වූවා කියා එය ඔවුන් කරගන්නා වරදකි. රනිල් වික්‍රමසිංහ “විලී ෆොක්ස්” තව දින කිහිපයකින් වෙනත් උපක්‍රමයක් යොදා ගනු ඇත. ඒ “විලී නරියන්” ගේ හැටිය.
මේ අවස්ථාවේ රටේ සමාන්‍ය ජනයාට උතුරු නැගෙනහිර ප්රශ්නය පිළිබඳ උනන්දුවක් තිබුණේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ ජීවන අරගලයට විසඳුමකි. අස්වැසුම හෝ සමෘද්ධිය ලබා ගැනීමය. ඔවුන්ට තිබෙන්නේ රෝහලකට ගොස් නොමැරී ගෙදර එන්නේ කෙසේද යන ප්රශ්නය යි. දරුවන්ට කන්න දෙන්නේ කෙසේද , දරුවා පාසලට යවන්නේ කෙසේද යන ප්රශ්නය යි. වී ටික විකුණා ගන්නා ප්රශ්නය යි. වන අලියන්ගෙන් ජීවිත දේපළ බේරා ගන්නා ප්රශ්නය යි. කොටින්ම , රනිල් වික්‍රමසිංහ විසින් අහිමි කල නිදහස ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රශ්නය යි. එහෙත් , රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාට ඒවා අදාළ නැත. ඔහුට අවශ්‍ය කවුරුන් හෝ රවටා ඉදිරි ජනාධිපති වරණයේදී බලය ලබා ගැනීමය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා නැති ප්‍රශ්නයක් මේ අවස්ථාවේ එලියට ගන්නේ ඇයි? ඔහුට අවශ්‍ය කෙසේ හෝ ඉදිරියේ එළඹෙන ජනාධිපතිවරණයේදී දකුණේ ඔහුට තිබෙන අවාසිය උතුරෙන් පිරිමසා ගැනීමට යි. එසේ නොමැතිව උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට නොවෙයි. එය නොතේරෙන දේශපාලනඥයන් මෙන්ම සමහර ජනයා සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවූ දේශපාලන පක්ෂ විවේචනය කරනවා සමාජ මාධ්‍යයේ දකින්නට ලැබුණි. ඒ ඔවුන්ගේ දැණුමේ තරමයි. මෙතෙක් මේ රට පාලනය කරපු සියළු දේශපාලන පක්ෂ මෙම උතුරු නැගෙනහිර ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලබා නොදෙන්නේ ඔවුන්ට ප්රශ්නය කුමක්ද කියා හරියට අවබෝධ කරගැනීමට නොහැකි නිසා නොව එය තුවාලයක් හැටියට තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට ය. එය තිබෙන තාක් කල් දකුණේ ජනයා රවටා බලය ලබා ගැනීමට හැකි බව ඔවුන් විශ්වාස කරන නිසාය.
ජාතික ජනබලවේගය නායකත්වය මේ කිසිදු සාකච්ඡාවකට සහභාගි නොවෙයි. එයට හේතුව කුමක්ද ? ඔවුන් මෙම “වයසක විලී නරියන්ට ” නොරැවටෙන නිසා විය හැක. එය එක්තරා ආකාරයකට අගය කල යුතුය.
ලංකාව නැවත ගොඩනැගීමට අවශ්‍ය වන්නේ දූෂණය වෙනුවට අදූෂනය, අශිෂ්ඨත්වය වෙනුවට ශිෂ්ඨත්වය, වංකබව වෙනුවට අවංක බව, අවිශ්වාසය වෙනුවට විශ්වාසය , බෙදා වෙන් කිරීම වෙනුවට එක්කිරීම ඇති කල හැකි දේශපාලන පක්ෂයකට ය. සහකම්පනය, සංහිඳියාව, සහ සමානාත්මතාවය අගය කරන බහුජන දේශපාලන ව්‍යාපාරයකට ය. එවැනි පාලනයක් බිහිකර ගැනීමට රටේ වගකිම් සහිත සබුද්ධික ජනතාවක් බිහි කර ගනිමු . අපි තවදුරටත් “නාකි විලී ෆොක්ස්” ලාට නොරැවටෙමු.
*ශාන්ත ජයරත්න*
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
27.07.2023
24 Viewers





