• Home »
  • Articles »
  • නැගෙනහිර හිටපු කොටි නායක පිල්ලෙයාන් එල්ලුම්ගස් යවමු!….

නැගෙනහිර හිටපු කොටි නායක පිල්ලෙයාන් එල්ලුම්ගස් යවමු!….


මේ ලිපිය ලියන්න කලින් මගේ හෘද සාක්ෂිය එක්ක පොඩි සටනක් කරන්න මට සිදු වුනා. මේ මම ලියන කතාවට අද සමාජයේ බහුතර ප්‍රසාදය නැති බව මම දන්න නිසා ඒක ලියන්න එක මගහරිමු කියලා මම හිතුවත් මගේ හෘද සාක්ෂිය මේ වෙලාවේ ජයග්‍රහණය කළා. ඒක නිසා ඔබට කියවන්න මම මේ ලිපිය ලියන්නම්. ලිපිය ටිකක් දික් වෙයි. අවසානය වෙනකම් කියවලා තව අයට කියවන්න ශෙයා කරන්න.

පිල්ලෙයාන් කවුද? පිල්ලෙයාන් ඇයි අද මෙච්චර සමාජයේ මාතෘකාවක් උනේ? ගම්මන්පිල ඇයි මේ කොටියා වෙනුවෙන් නීතීඥයෙක් ලෙස පෙනී ඉන්නේ? මේ ඔක්කොටම උත්තර මගේ දැණුමේ හැටියට මෙන්න මෙහෙමයි.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් නොහොත් කවුද මේ පිල්ලෙයාන්?

1975 අගෝස්තු මාසයේ 17 වෙනිදා මෙළොව එළිය දුටු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් 1990 අවුරුද්දේ අප්‍රේල් 4 වගේ දවසක යන්තම් වයස අවුරුදු 14 වන කොටම ළමා සොල්දාදුවෙක් විදියට එල්ටීටීඊ සංවිධානයට එකතුවෙලා තියනවා. (එල්ටීටීඊය ළමා සොල්දාදුවන් යුද්ධයට යොදවාගත්තා කියන එකට පිල්ලෙයාන් ජීවමාන සාක්ෂියක්) ඒ නැගෙනහිර කොටි නායක කරුණා අම්මාන්ගේ නායකත්වය යටතේ.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත්ට සංවිධානය දුන්න හදුනාගැනීමේ නාමය තමයි ‘පිල්ලෙයාන්’ කියන්නේ.. එල්ටීටීය නියෝජනය කරලා ශ්‍රී ලංකා හමුදාව සමග සටන් කරන කාලයේ විවිධ මෙහෙයුම් සදහා නායකත්වය දුන්නා වගේම සමහරක් ප්‍රහාර සදහා ඍජුව සම්බන්ද වෙලා කටයුතු කරලා තියනවා. මේ විදියට කාලයක් ත්‍රස්තවාදී කටයුතු කරපු පිල්ලෙයාන් තමන්ගේ ගුරුවරයා වෙච්ච කරුණා අම්මාන් සමග 2004 වසරේදී එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත්වෙලා රජයේ හමුදාවන්ට නොනිල මට්ටමෙන් සහය දෙන්න පටන්ගන්නවා. මේ දෙන්නාගේ ඉවත්වීමත් සමගම නැගෙනහිර කොටි බලය ශීග්‍රයෙන් බිදවැටෙනවා වගේම සමහර ප්‍රදේශ සටනකින් තොරවම ශ්‍රී ලංකා හමුදාවට අල්ලගන්න හැකියාවත් ලැබෙනවා. කාලයක් ත්‍රස්ථවාදී නායකයක් වෙච්ච පිල්ලෙයාන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතුවෙන්නේ ශ්‍රී ලංකා රජය කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තියලා. මේ වෙන්වීමෙන් පස්සේ එල්ටීටීඊයේ පරාජයේ ගමන ආරම්භ උනා කිව්වොත් මම වැරදි නෑ. මේ නිසා කරුණා අම්මාන් වගේම පිල්ලෙයාන් එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් වෙනවා. මේ දෙන්නා සමගම සංවිධානයෙන් අයින් වෙච්ච බර ගානක් කොළඹ ඇතුළු විවිධ තැන් වලදී එල්ටීටීඊ බුද්ධි මෙහෙයුම් මගින් ඝාතනය කොට දමනවා. ඒක පිල්ලෙයාන්ට ඉතාම අසීරු කාලයක් වෙලා තියනවා. එකම ආරක්ෂාව උනේ රජය විසින් ලබාදීලා තිබුනු ආරක්ෂාව.

යුද්ධය දරුණුවටම යන කාලයක කරුණා සමග එකතුවුන පිල්ලෙයාන් නව දේශපාලන පක්ෂයකින් තම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දිවිය ආරම්භ කරනවා. නමුත් පසුව මතබේදයක් නිසා කරුණා හා පිල්ලෙයාන් 2007 දී වෙන් උනත්. මේ දෙපලගේ ප්‍රජාතන්තවාදී පරිවර්තනය දශක තුනක බෙදුම්වාදී යුධ ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක්. රජයත් ඒ සදහා පූර්ණ සහය ලබාදෙනවා. පෙර වැරදි නිවැරදි කරගන්නවානම් ඕනම කෙනෙකුට මේ අවස්ථාව දිය යුතුයි කියන එකයි බෞදධයෙක් විදියට මගේ අදහස. (71, 88/89 කාලයේ ආණ්ඩු විරෝධී ත්‍රස්ථවාදී කැරළි දෙකක් මෙහෙයවපු ජවිපෙට සමාව දුන්නෙත් මෙහෙම තමා) මේ එක්කම ආපු පළාත්පාලන මැතිවරණය ජයග්‍රහණය කරන පිල්ලෙයාන් 2008 වසරේ මැයි 16 වෙනිදා නැගෙනහිර මහ ඇමතිවරයා විදියට දිවුරුම් දෙනවා. මේ අතරතුර 2009 වසරේ බෙදුම්වාදී ත්‍රස්ථවාදය යුධමය වශයෙන් පරාජය වෙනවා. පිල්ලෙයාන් දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ දේශපාලනයේ නිරතවෙනවා වගේම පසු කලෙක පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරන්නේ දෙමළ සංධාන හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය වෙනුවෙන් සැකකරුවෙකු විදියට රිමාන්ඩ් බාරයේ ඉන්න අතරතුර.

ඔහු මහ ඇමති විදියට ප්‍රදේශයට කරපු සේවය ඒකට හේතු උනා කියලා තමයි ඔහු කියන්නේ. නැතුව රිමාන්ඩ් එකේ ඉදන් ජන්දයක් දිනනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි.

මම මේ විස්තරය කිව්වේ පිල්ලෙයාන් ගැන සරළ අදහසක් අපේ තරුණ නංගිලා මල්ලිලාට දෙන්න ඕනෙ නිසා සහ අමතක අයට නැවත මතක් වෙන්නත් එක්ක.

පිල්ලෙයාන් රජයට බාර උනේ එල්ටීටීඊය පරාජය වෙලා තියෙද්දි නෙමෙයි. යුද්ධයේ මුල් කාලයේ. ඔහු ශ්‍රී ලංකා රජයට බාර උනේ ඔහුගේ සම්පූර්ණ වගකීම රජයට පවරලා. ඒ විශ්වාසය ඇතිව. ඒ විශ්වාසය ආරක්ෂා කරන එක රජයක වගකීම. ආණ්ඩු මාරු උනත් ඒ වගකීමෙන් මිදෙන්න රජයකට බෑ. 90 දශකයේ විජේවීර පවුල රජයට බාර උනා ඒ පවුලේ වගකීම එවකට රජය ගත්තා වගේම ඒ වගකීම කිසිම රජයක් පැහැර හැරියේ නෑ. එහෙම කරනවනම් ඒක වැරදි පූර්වාදර්ශයක්. ඉදිරියේදී ත්‍රස්ථවාදයක් ඇති වුනොත් (එහෙම නොවෙන්න කියලයි ප්‍රාර්ථනය) කිසිම ත්‍රස්ථවාදී නායකයෙක් ආණ්ඩුව විශ්වාස කරලා බාර වෙන එකක් නෑ. අවසන් උණ්ඩය වෙනකල්ම සටන් කරයි.

අපි එමු වර්ථමානයට.

ඇයි පිල්ලෙයාන් මේ එකපාරටම මාතෘකාවක් උනේ?

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්දයෙන් පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගෙන අපරාදධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට අරගෙන තිබෙනවා. ඒ 2006 සිදුවීමක් සම්බන්දයෙන් ඒ යුද්ධය නිමාවීමටත් කලින් අවුරුදු 18 කට පෙර සිද්ධියක්. ඒක පිල්ලෙයාන් කරාද නැද්ද කියන එක වෙනම කතාවක්. වැඩේ මෙහෙමයි. ඒක එහෙම වෙනවනම් ජවිපේ එදා කරපු ඝාතන වලටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයිනේ? ඔවුන් කොහොමද නොදොස් කොට නිදහස් උනේ? මොන අධිකරණයෙන්ද?

හොදම වැඩේ කියන්නේ පිල්ලෙයාන්ව රදවා තබාගන්නේ එදා විපක්ෂයේ ඉන්නකොට අනුරලාම විරුද්ධ උන ත්‍රස්ථවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන පනත අනුව අනුරගේ අත්සනින්! පිල්ලෙයාන් කියන්නෙ ත්‍රස්තවාදී නායකයෙක් සටන්කරුවෙක් ඔහු අතින් අනන්තවත් හමුදා සාමාජිකයන් ඝාතනය වෙලා ඇති. සිවිල් වැසියන් ඝාතනය වෙලා ඇති. ඒකේ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ.. පිල්ලෙයාන්ගෙන් ඇහුවත් ඔහු ඒකට ඔව් කියාවි. ඒක නිසා පිල්ලෙයාන් කොටියා කොටියා ගාන එකේ කිසිම තේරුමක් නෑ..

කොටියා වෙනුවෙන් ගම්මන්පිල? ලැජ්ජ නැද්ද?

එදා දකුණේ රජය විශ්වාස කරලා සිංහල ජනතාව විශ්වාස කරලා ආණ්ඩුව වෙනුවෙන් වැඩ කරපු, රටේ ඒකීයභාවය වෙනුවෙන් වැඩ කරපු, එල්ටීටීඊ සංවිධානයෙන් ඉවත් උනාට පස්සේ කිසිම දවසක බෙදුම්වාදය වෙනුවෙන් පෙනී නොසිටපු පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී ඉන්න එකෙන් රජය කර ඇරියත් සිංහලයෙක් වෙච්ච ගම්මන්පිලට ඒ වගකීමෙන් මිදෙන්න බැරි වෙලා තිබෙනවා. දෛවය විසින් ඔහුව පාර්ලිමේන්තුවේ නිවාඩුවක් දීලා තිබෙනවා මේ ඓතිහාසික කාර්යයට උර දෙන්න. ඔව් මේක මේ වෙලාවේ ජනප්‍රිය දෙයක් නෙමෙයි. නමුත් හරි දේ ඒක. ගම්මන්පිල දේශපාලකයෙක් විදියට ඒ අවදානම අරගෙන තිබෙනවා.

අන්තිම ටික..

පිල්ලෙයාන් එක්ක මෙච්චර තරහා කවුද? ඇත්තටම මාලිමා ආණ්ඩුවට පිල්ලෙයාන් එක්ක තරහ වෙන්න තරම් දෙයක් නෑ වගේම කාලයක් ත්‍රස්ථවාදී වැඩ කරපු මේ දෙපාර්ශවයේම ලොකු වෙනසකුත් නෑ. එකම වෙනස පිල්ලෙයාන් දෙමළ වීමත් රටෙන් කොටසක් පමණක් ඉල්ලීමත්. ජවිපේ මුලු රටම ඇල්ලීමට උත්සාහ කිරීමත් පමණ‍යි.

පිල්ලෙයාන්ව එදා ඉදන්ම ඉලක්කයක් උනේ එල්ටීටීඊයේ. ඔවුන්ට අනුව පිල්ලෙයාන් ද්‍රෝහියෙක්. ත්‍රස්ථවාදී සංවිධානවල මෙහෙම දෙයක් තියනවා. ඔවුන් සතුරාට සමාව දෙනවා. ද්‍රොහියාට සමාව දෙන්නේ නෑ. ජවිපේ කාරණයේදී විමල් වීරවංශට ජවිපේ සමාව නොදෙන්න හේතුවත් ඒක. රනිල්ට සමාව දුන්නත් ජවිපේ විමල්ට සමාව දෙන්නෙ නෑ. පිල්ලෙයාන්ටත් මේක පොදුයි. මහපොළොවේ ත්‍රස්තවාදය නිමා කලාට බෙදුම්වාදී ඩයස්පෝරාව මාලිමා රජය ගේන්න කෝටි ගනන් මුදල් වියදම් කරපු ප්‍රොජෙක්ට් එකේ ප්‍රධාන ඉලක්කයක් තමයි මේ කියන පිල්ලෙයාන්.

පිල්ලෙයාන්ව උන් ලේසියෙන් අතහරින්නේ නෑ. කොහෙවත් යන පාස්කුවක් පටලවලා හරි පිල්ලෙයාන්ව එල්ලුම්ගස් යවනකම් බෙදුම්වාදයට උඩගෙඩි දුන්න කිසිම පාර්ශවයකට නින්ද යන්නේ නෑ. (කාදිනල් ඇතුළුව)

තාරුක ෆොන්සේකා



15 Viewers