සීහලයා සහ යුදෙව්වා.
ඊශ්‍රායල්-පලස්තීන ගැටුමේදී සිංහලයන් ද එක් එක් පැති ගන්නවා පෙනෙන්නට තිබේ. බොහෝ දෙනා ගන්නේ ඊශ්‍රායලයට විරුද්ධ පැත්ත ය. ඒ විවිධ හේතුන් නිසා ය. මහින්ද රාජපක්ෂ පලස්තීනය පැත්ත ගත් නිසා ඇතැමුන් එසේ කරයි. පලස්තීනුවන් මැරෙනවා දැක ඇතැමුන් එසේ කරයි. නමුත් ඔවුන් යුදෙව්වන් මැරෙනවා දකින විට නොදැක්කා සේ සිටියි. ලෝකයේ ඒ ඒ මොහොතේ ක්‍රියාත්මක කෙරෙන ජනප්‍රිය දේශපාලන ෆැෂන් විරෝධතා අනුව ඔවුන් එසේ කරයි. ඒවා එතරම් පදනම් සහගත තෝරා ගැනීම් නොවේ. ඇතැම් ඊනියා සිංහල ජාතිකවාදීන් යුදෙව්වන්ට විරුද්ධ වන්නේ ලංකාවේ සිංහල-දෙමළ ගැටුම නිසා ය. එය නම් විමසිය යුතු තරම් වැදගත් කාරණයකි.
මෙහිදී වෙන්නේ යුදෙව්වන් සහ දෙමළුන් සමාන ව දැකීම ය. එයට හේතුව වන්නේ යුදෙව්වන් හට කලකට පෙර රාජ්‍යයක් නොතිබීමත්, ඊශ්‍රායලය බිහි කිරීම තුළින් ඔවුන්ට එය ලැබීමත් සහ දෙමළුන්ගේ සටන එයට සමාන දෙයක් ලෙස වැරදියට වර නගා තිබීමත් ය. ඔවුන් සිතන්නේ ඊශ්‍රායලය යනු ඊළමට සමාන දෙයක් ලෙසිනි. දෙමළ ජාතිකවාදීන් ද සිතන්නේ එසේ ය. නමුත් එය අතාර්කික විශ්වාසයකි. දෙමළුන්ට රාජ්‍යයක් තිබේ. අද එය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම “දෙමළ රාජ්‍යය” හෙවත් “තමිල් නාඩු” යනුවෙන් හඳුන්වයි. දෙමළුන් සටන් කරන්නේ තවත් දෙවන රාජ්‍යයක් වෙනුවෙනි. එය කිසිසේත් ම ඊශ්‍රායල සිද්ධියට සමාන නොවේ.
ඊශ්‍රායලය සැබැවින්ම සමාන වන්නේ ඓතිහාසික ලක්දිව හෙවත් සිංහල දීපයට ය. මහාවංශයේ එන විජයාවතරණය තුළ කියැවෙන්නේ තම පරමාධිපත්‍යය අහිමි කරවූ කිසියම් මිනිස් සමූහයක් මෙම දිවයිනට පැමිණ සිය රාජ්‍යය මෙහි පිහිටුවා ගැනීම ය. එක්තරා ආකාරයකට අජාසත් විසින් මගධ අධිරාජ්‍යය බිහි කිරීමේදී ඉන් විතැන් වූ පොදු ජනතාවක් වරින් වර ලක්දිවට පැමිණි බව පෙනේ. ඒ අනුව යුදෙව්වන් හට වඩාත් සමාන වන්නේ දෙමළුන් නොව, ඓතිහාසික සිංහලයන් ය. යුදෙව්වන් සිය රාජ්‍යය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කරන සටන් සමාන වන්නේ සිංහලයන් විසින් සිය රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට දෙමළුන් හා කළ ඓතිහාසික සටන්වලට ය. අනෙක් පැත්තෙන් පලස්තීනය කිසිසේත් ම ලංකාවට හෝ එහි කොටසකට හෝ සමාන ද නොවේ.
මෙම සැසඳුම බොහෝ අයට දිරවා ගැනීමට අපහසු බව මම දනිමි. නමුත් පුළුල් ලෙස ඉතිහාසය දෙස බැලීමේදී මෙම අදහස කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. ඊනියා සිංහල ජාතිකවාදීන් යුදෙව්වන්ට එරෙහි වීමට තවත් හේතුවක් වන්නේ නලින් ද සිල්වා වැන්නවුන් විසින් අතාර්කික ලෙස “යුදා-ක්‍රිස්තියානු” ෆෝබියාවක් ඇතැම් සීහලුන් තුළ නිර්මාණය කර තිබීම ය. යුදෙව් ආගමික පදනම සහ බෞද්ධ ආගමික පදනම ඉඳුරා වෙනස් වුවත් එම ජාතීන් දෙක ම ඔවුන්ගේ ආගම් කේන්ද්‍රීයව නිර්මාණය වූ ඒවා බව අප මතක තබා ගත යුතු ය. එම ජාතීන් දෙකම ආර්ය විශ්වාසයන් දරයි.
සිංහලයන් ලෙස ඓතිහාසිකව සහ දේශපාලනිකව වඩාත් සහකම්පනය විය යුත්තේ යුදෙව්වන් සමග ය. ඉපැරණි අනුරාධපුරය කේන්ද්‍ර කොට ගත් සිංහල රාජධානිය පැරණි ලෝකයේ තාක්ෂණයෙන් වඩාත් දියුණු සශ්‍රීක රාජ්‍යයකි. එය වත්මන් ඊශ්‍රායලයට සමාන ය. පැරණි සිංහලයෝ එකල ලෝකයේ උසම ගොඩනැගිලි තැනූ අතිදක්ෂ ඉංජිනේරුවෝ ය. මහා වැව් අමුණු බැඳ කෙත්වතු දසදහස් ගණන් අස්වැද්දූ අතිදක්ෂ කෘෂිකයෝ ය. සටන් ශිල්පයෙහි කෙළ පැමිණි රණශුරයෝ ය. කාලයාගේ ඇවෑමෙන් අද සිංහලයා පිරිහී සිටියත් අපගේ ඓතිහාසික දායාදය වෙනස් කළ නොහැකි ය. ලෝකයේ බිහිසුණුම ත්‍රස්ත සංවිධානය පරාජය කිරීමට මෙකල අපගේ සිංහල සේනාවන්ට හැකියාව ලැබෙන්නේ අහම්බයෙන් නොවේ.
මානවවාදීන් ලෙස සහකම්පනය වනවා නම් අප රටේ නම නොබලා මැරෙන සෑම අයෙකු වෙනුවෙන් එක සේ දුක් විය යුතු ය. නමුත් එවැනි පූර්ණ මානවවාදීන් ලෝකයේ නොමැත. සෑම අයෙකුට ම පක්ෂපාතීත්වයන් තිබේ. වැදගත් වන්නේ එම පක්ෂාපතීත්වයන් තෝරා ගැනීමේදී අප කෙතරම් තාර්කික වෙනවාද යන්න ය. ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 ජූනි 14
8 Viewers





