අනුරට බැනල ඉවරද?….

හිතවත් ජනාධිපතිතුමනි,

මා නිරන්තරයෙන් නිර්දය ලෙස ඔබව විවේචනය කළ කෙනෙකි.ඒකට හේතු ඕනෑ තරම්ය.
විපක්‍ෂය ලෙස අතීතයේ ඔබේ භූමිකාව මා දැඩි ලෙස හෙලාදකිමි.පිළිකුල් කලෙමි.

රටක තීන්දු ගන්නා හැම මොහොතකම උද්ඝෝෂණ විරෝධතා දක්වමින් එම තීන්දු වලට එරෙහි වීමට ඔබේ කණ්ඩායම හැම විටම ගත් උත්සාහයන් මා පිළිකුලෙන් හෙළා දැක්කෙමි.

ඒ ආණ්ඩුකරණය ,විපක්ෂයේ ඉඳන් විරෝධය දැක්වීම තරම් පහසු නැති බව මා විශ්වාස කල නිසයි.දැන් ඔබද එය  හොඳින්ම දන්නවා ඇත.

ඔබ ජනපති ලෙස පත් වූ දිනයේ ඔබට සුභ පැතුවෙමි.ඒ හොරුන් වංචාකරුවන් ඇල්ලීම ගැන ඔබ කියූ (ඇතැම් )කතා සමස්ත ජනතාව මෙන්ම මාද විශ්වාස කල බැවිනි.

නමුත් මාසයක් ගත වූ තැන නැවත මා ඔබද ඔබේ ආණ්ඩුවද දැඩි ලෙස විවේචනය කරන්නට පටන් ගත්තෙමි.ඒ ඔබලාගේ නොහැකියාව, උද්දච්චකම සහ කුහකකම ප්‍රදර්ශනය කිරීමට පටන්ගත් නිසයි.

නමුත් එය හුදෙක් නුඹේ වරදක් නොවේ.පාර්ලිමේන්තුවේ පලමු කතාවෙ ඔබේ කට්ට කලු  මුහුණ මට සිහිවෙයි.

ජාත්‍යන්තරය හමුවට යන විට බොත්තම් පටලවා ගැනීම ,වැරදි දත්ත ඇතුළත් කතා පැවැත්වීම, යන කාරණාවලට අදාළව බොහෝ අය ඔබව විහිළුවකට ලක් කරන විට මා දුටුවේ එය ඔබ වටා සිටි ඔබේ  කාර්යමණ්ඩලයේ දුර්වලතාවයක් ලෙසයි.(ජනාධිපතිවරුන්ට කාර්ය මණ්ඩලයක් සිටින්නේ වැරදි නොවීමට වග බලා ගැනීමටයි)

ඉතිං අප ඒ සියල්ල විවේච්නය කලෙමු.
ඔබට ප්‍රශස්ති වයා මුරුංග අත්තේ තබන උංට වඩා, ඔබ අප වැනි උං විශ්වාස කළ යුතු යැයි මා යෝජනා කරමි.

පාලකයෙක් ලෙස ඔබේ ගමන යාමට නම් ඔබට වඩා වැදගත් වන්නේ සාධනීය විවේචනය මිස ප්‍රශස්ති ගායනය නොවේ.

හිටපු සෑම පාලකයෙකුටම සිදුවූ බරපතල වරදක් වූයේ ප්‍රශස්ති ගායකයින් විශ්වාස කිරීමයි.(එය රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නැත, ඔහු කිසිවෙකුගේ ප්‍රශස්ති මායිමකට ගන්නා අයෙක් නොවේ).

ගරු ජනාධිපතිතුමනි,

ඔබේ ආණ්ඩුවේ නොහැකියාව සහ නොසැලකිල්ල මේසා විශාල විනාශයකට 50% දායකත්වයක් ලබා දෙයි.
අනතුර සිදුවන තුරු ඊට මුහුණ දීමට කිසිදු සැලැස්මක් ඔබේ කණ්ඩායම සතුව නොවීය.ඔබ මෙය කළමනාකරණයට මැදිහත් වූයේ අනතුර සිදුවුවාට  පසු එයින් උගත් පාඩම් අනුව යමිනි.

ඉතිං අපට අම්මා මුත්තා සිහිවීම අරුමයක්ද?

මා නැවත අසන්නේ විපක්ෂයේ ඉඳන් විවේච්නය කරන තරම් ආණ්ඩුව කරන එක ලේසි නෑ නේද.?

මෙම ව්‍යසනය සිදුවන අවස්ථාවේ ඊට පෙර සූදානම් නොවීම ගැනත්,ආසන්නතම දිනවල වෙනත් නාටක රඟ දක්වමින් කාලය වැය කිරීම ගැනත් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් පලු යන්න දොස්නැගීමට මගේ මුහුණු පොත ගිණුම මා භාවිතයට ගත්තෙමි.

ඩෝබි සමාජයේ මඩ බලකාය විසින් ඊට කිනම් ප්‍රතිචාර දැක්වුවත් පුද්ගලිකව එවැනි විවේචන සඳහා ඔබේ හැඟීම කුමක්දැයි මා දනිමි.

කමෙන්ට් කොටන උන් මොනවා කෙටුවත් අපේ මත අදහස් සමාජයට බලපෑම් කරන බවට ඇති හොඳම උදාහරණය අපිටම මඩ ගසමින් එම පෝස්ට් වෛරල් ගෙනයන මඩ බලකායේ ක්‍රියා කලාපයයි.

අපේ මත වැඩක් නැතිනම් අපේ අදහස් පොදු සමාජයට බලපෑම් නොකරයි නම් ඔවුන් අප වෙනුවෙන් මෙතරම් කාලයක් වැය කරන්නේ නැත.
එනිසා එම ප්‍රතිචාර ගැන මට ඇත්තේ මිශ්‍ර හැඟීමකි.

360 වැඩසටහනට එකල ඔබ නොපැමිණෙන්නේ ඇයිදැයි වරක් මම හඳුන්නෙත්ති සහෝදරයගෙන් විමසුවෙමි.
එවිට ඔහු කිව්වේ “ඔයා කතා කරන්න එයා හරි සුන්දර මනුස්සයෙක් “කියායි.

ඔව් මමද එය විශ්වාස කරමි.නමුත් රටක පාලනයට එය පමණක් ප්‍රමාණවත් නොවේ.

ඔබ මේ මොහොතේ ඉතා සීමිත පිරිසක් සමඟ තනිව සටන් කරමින් සිටි.

මේ සා ව්‍යසනයක් හමුවේ මා ද ඇතුළුව වේදනාවට පත් මිනිසුන්ගේ කේන්තිය වේදනාව වෛරය සියල්ල ඔබට එල්ල වී ඇත.

එය එක්තරා ආකාරයක අතීතය යළි සිහිපත් කිරීමකි.

මුළු ලෝකයක් සමග සටන් කරමින් ලොව දරුණුතුම ත්‍රස්*තවාදීන් මෙල්ල කිරීමට අවසන් මොහොතේ මහින්ද රාජපක්ශ ට ඔබ දුන් සහයෝගය කුමක්දැයි අද මතක් කර බලන්න.
එදා අයවැය සම්බන්ධව ඔබ ඔබේ කණ්ඩායම හැසිරවූයේ කෙසේදැයි අද මතක් කර බලන්න.

ලෝක වසංගතයකට ගෝඨාභය රාජපක්ෂ මුහුණ දී සිටින විට එයින් පසු ආර්තික කඩාවැටීමකට රට මුහුණදී සිටින විට ඔබේ කණ්ඩායම ඊට කෙසේ සහාය වූවාදැයි මතක් කර බලන්න.එදා කැඳවූ සර්ව පාක්ෂික සමුළුවට ඔබ සහය වූවාදැයි මතක් කර බලන්න.

ඒ සෑම අවස්ථාවකම එදා හිටපු නායකයින්ට අප අපේ උපරිම සහාය ලබා දුන්නෙමු.ඒ  රට වෙනුවෙන් වූ ප්‍රධාන කර්තව්‍යයන් ඉටු කර ගැනීම සඳහා අප සහාය දිය යුතු නිසයි.
එහි අර්ථය රාජපක්ෂ සමයේ හෝ වෙනත් පාලන සමයක සිදුවු සියල්ල අපි ඉස්මුදුනින් පිළිගන්නවා යන්න නොවේ.නමුත් ප්‍රමුඛතාවය ලබාදිය යුතු තැනට අපි සහාය ලබා දී ඇත.

හිතවත් ජනාධිපතිතුමනි.මේ මොහොතේද ආවේගයට අපි කිනම් විවේචනය සිද්ධ කලා උනත්  අපි ඔබ තනි නොකරමු.

රටේ වත්මන් නායකයා ලෙස භාරකරුවා ලෙස ඔබ මුහුණ දී සිටින මානසික පීඩනය හමුවේ අප ඔබ තනි නොකරමු.

මේ මොහොතේ ඔබට සහාය වීමට ඔබේ කණ්ඩායම තුළ ශක්‍යතාවය සහිත පුද්ගලයින් ඉතා අවම බව අප දනිමු.එය දැනටම ඔප්පුවී ඇත.එනිසා ඔබ ඉතා සුළු පිරිසක් සමග ඊට මුහුණ දෙමින් සිටි.

ඔබ තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක නොවේ.ඔබයි රටේ ජනාධිපති ,රටේ ජනතාවගේ භාරකරුවා ඔබයි. එනිසා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාරට උපදෙස් දෙන සියල්ලන්ගේ උපදෙස් ජනාධිපති අනුරු කුමාර විසින් පිළිපැදිය යුතු නැත.
නැවත කියමි j.v.p නායකයාට දෙන උපදෙස් ජනාධිපතිවරයා පිලිපැදිය යුතු නැත.

කුමන දේශපාලන සංස්කෘතියක් තුළ ඔබ කටයුතු කළත් ජනතාව ඡන්දය දුන්නේ ඔබට මිස ඔබ පිටුපස සිටින සෙවනැලි වලට නොවෙයි.ඔවුන්ට ජනතා කැමැත්ත තිබුණා ඔබ ජනාධිපතිවරණය ට ඉදිරිපත්විය යුතුව තිබුණේ නැත.

එනිසා ඔබ ජනාධිපතිවරයා බව අමතක නොකරන්න.

ඔබේ දේශපාලනය අප පිළිගත්තත් නැතත් ඔබ රටේ ජනාධිපති බව අපි පිළිගනිමු.එනිසා ඔබේ පාලනය යටතේ ඔබේ ජනතාව අසීරුවට පත් වී සිටින මේ මොහොතේ ජනතාවට නායකත්වය දීමට ශක්තිය දීමට ඔබ ශක්තිමත්ව සිටිය යුතුයි.

ඒ වෙනුවෙන් අප සියලු දෙනා ඔබට කොන්දේසි විරහිතව සහාය විය යුතුය.

නැවත මතක් කරමි,උපදේස් දෙන වුන්ගේ උපදෙස් පරිස්සමෙන් භාරගන්න.මොකද උපදෙස් දෙන උන් තිරය ඉදිරියට පැමිණෙන්නේ නැත.තීරණ වලට මුහුණ දීමට සිදු වන්නේ ඔබට තනිවමය.

ඉතිං ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වභාවික අනතුර හමුවේ මමනම් අනුරගේ පලු යවා අවසන්‍ ය.කේන්තිය පහව යන තුරු කියන සියල්ල කියා අවසන්‍ ය.

වර්තමාන ආණ්ඩු විරෝධීන් වන අපි වෙනස්.අපි විරෝධීන් වෙමු. විවේචකයින් වෙමු හැබැයි විපතේදී ඒකාන්ත වශයෙන්ම අපි සහයෝගය දෙන්නෙමු.විපත අවසන් වූ පසු නැවත අප විවේචකයන් වෙමු.

ගරු ජනාධිපතිතුමනි අපි ඔබ තනි නොකරන්නෙමු.රට නැවත ගොඩනැගීමට ඔබට ශක්තිය ලැබේවා.????

ඩිල්කා සමන්මලී.



4 Viewers