• Home »
  • Articles »
  • ”මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ..” -ගරු මර්සලින් ජයකොඩි පියතුමා

”මගේ ආගම කතෝලික, සංස්කෘතිය බෞද්ධ..” -ගරු මර්සලින් ජයකොඩි පියතුමා

ගරු මර්සලින් ජයකොඩි පියතුමාට බොහෝ දෙනෙකු කීවේ, ‘පන්සලේ පියතුමා’ කියා ය..ඊට සුවිශේෂ හේතුවක් තිබිණි..ඒ, කතෝලික පූජකවරයෙකු වුවත්, උන්වහන්සේ සතුව බෞද්ධ විඥානයක්, ජීවන දෘෂ්ටියක් තිබීමයි..
=======
ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරුවෝ, ජයකොඩි පියතුමා පිළිබඳව පොතක් ලියූහ..බෞද්ධ භික්ෂුවක, කතෝලික පූජකවරයෙකු අළලා පොතක් ලියූ ලෝකයේ ප්‍රථම සහ එකම අවස්ථාව එය විය හැකිය..පොත් නම, ‘මල් පැලේ උපන් පන්සලේ පියතුමා’ ය..එම පොතේදී තමා ‘පන්සලේ පියතුමා’ යන අන්වර්ථයෙන් හැඳින්වීම ගැන, ජයකොඩි පියතුමා මෙසේ අදහස් දක්වා තිබුණි..
“ඉතින් කවුරුහරි මට ‘පන්සලේ පියතුමා’ කියා කියනව නම්, මා ඒ ගැන වඩාත් සතුටු වෙනවා..අප කතෝලිකයින් වශයෙන් මේ රටේ ‘සුළු’ පිරිසක්..එහෙත්, අප ඒ නිසාම වෙන්වී සිටිය යුතු නැහැ..භික්ෂුන් වහන්සේලාත් එක්ක එකතුවී කටයුතු කරනවා නම් මේ රට, ජාතිය, සංස්කෘතිය, ඉතා හොඳ දියුණු තත්ත්වයකට පත්වේවි..”
=======
මෙලෙස ‘බෞද්ධ පරිකල්පනයකින්’ යුක්තවීමට, ජයකොඩි පියතුමාට එක්තරා හේතුවක් තිබිණි..ඒනම්, උන්වහන්සේගේ #මව සිංහල, බෞද්ධ, ගැමි-කාන්තාවක වීම ය..කුඩා කාලයේ පටන්ම #මවගේ #ආභාසය ලැබීම ගැන, ජයකොඩි පියතුමා ඉහත සඳහන් පොතට මෙසේ අදහස් ප්‍රකාශ කර ඇත..
”කලාකරුවකුගේ සේවය, එක ආගමකට, දහමකට, සීමාවන්නේ නෑ..ඒක එකක්..අනෙක කතෝලික වුණත් මගේ මවුපියෝ ගැමියෝ..අනෙක් කාරණාව මගේ මව මුලින් බෞද්ධ කාන්තාවක්.. ඇය පසුව කතෝලික වුණත්, බෞද්ධ සංස්කෘතියේ හරය සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැනෙ..ඉතින් මටත් පොඩි කාලේ ලැබුණේ ඒ අම්මාගේ රැකවරණය, ආභාසය..ඒ නැතත් මේක සිංහල බෞද්ධ රටක්නේ..අප දැන් මොන-මොන දේවල් කීවත් ඉතිහාසය, බොරු කරන්න බැහැනේ..වැඩිම වුණොත් පරම්පරා පහකට, හයකට, ඉස්සර මේ කතෝලික, සිංහල, අය කවුරුත් බෞද්ධ අය..අවුරුදු දහස් ගණනක් සිංහල අයගේ සිතුම්-පැතුම් සකස් වුණේ බෞද්ධ අදහස් අනුවයි..”
>>මෙහිදී මට සිහිපත් වන්නේ, ජයකොඩි පියතුමා ලියූ එක්තරා කවියක කොටසකි..
”පන්සිය වසක් අප ආපසු යන දා ට..
හෙළදිව පෙනේ කොත්රැළිවල සුදු පාට..
එවකට අපේ මුත්තණු සඳ ඇති රෑට..
මාලති මල් නෙළාගෙන යති, බුදු ගේට..”
=======
‘ජයකොඩි පියතුමා තරම්’ මේ රටේ ‘ආගමික සහජීවනයක්’ උදෙසා තම අදහස් සෘජුව හා අභීතව ප්‍රකාශ කළ, එහි පැවැත්මට ගී-සින්දු ප්‍රබන්ධ කළ, කතෝලික පූජකවරයෙකු තවත් නැතැ’යි කීම යුක්ති යුක්ත ප්‍රකාශයකි..
ජයකොඩි පියතුමා එක පැත්තකින් ගීතිකා, නත්තල් කැරොල් හා පසම් වැනි කතෝලිකාගම හා බැඳුණු ගීත ලියූ අතර, අනිත් පැත්තෙන් බෞද්ධ ගීත ද ලියූහ..එතුමා ලියූ බෞද්ධ ගී අතර වෙසක්, පොසොන් භක්ති ගීත ද ගණනාවකි..
සිංහල භාෂාවක්, සිංහල සාහිත්‍යයක් කියා දෙයක් අපේ රටේ ‘අවිච්ඡින්නව’ පැවැතියේ, බෞද්ධ භික්ෂුන්වහන්සේගේ අප්‍රමාණ දායකත්වය නිසා බව, ජයකොඩි පියතුමා නිතරම මහත් ඇගැයීමෙන් යුක්තව කියා සිටියහ..
=======
ප්‍රවීණ නිවේදක ‘පාලිත සමරසිංහ’ සමඟ වර්ෂ 1987දී ගුවන්විදුලියේ විචිත්‍රාංගයක්(රේඩියෝ සඟරාව) සඳහා කළ සම්මුඛ සාකච්ඡාවක දී ජයකොඩි පියතුමා මෙසේ ප්‍රකාශ කර ඇත..
“අපේ සාහිත්‍යය ආවේ පන්සලෙන්නේ..පන්සල් තිබුණු නිසා තමයි සිංහලකම රැකුණේ, සිංහල සාහිත්‍යය රැකුණේ..”
‘පන්සල’ යන ශීර්ෂය යටතේ උන්වහන්සේ ලියූ කවියක මෙසේ දැක්වේ..
”පන්සලටය පෙර පරපුර අකුරු ගියේ..
සිවුරෙන් අපේ රට රැකුණා අඳුරු පැයේ..
අප හෙළ ගතිය වැඩුණේ පන්සලෙයි පියේ..
අද වනතුරුම සිවුරේ පඬු-ගතිය තියේ..”
=======
ශ්‍රී දළදාව වැඳ-පුදාගත් ශ්‍රී ලංකාවේ මුල්ම කතෝලික පූජකවරයා ජයකොඩි පියතුමා යැයි සිතේ..එය සිදුවූයේ මෙසේ ය..වරක් මහාචාර්ය කුඹුරුගමුවේ වජිර ස්වාමින්වහන්සේ, ‘දළදාව වඳින්න යමුදැ’යි’ ජයකොඩි පියතුමාගෙන් ඇසූහ.. එවිට උන්වහන්සේ, ඉතා කැමැත්තෙන්ම ඊට ඉදිරිපත් වූහ..
දළදාව වැඳ-පුදා ගැනීමට ගිය ගමනේදී උන්වහන්සේ, එවක ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ වූ ‘නිරංජන් විජේරත්න’ මහතා හමුවූ අවස්ථාවත්, අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය පලිපාන චන්දානන්ද මහනාහිමියන් හමුවූ අවස්ථාවත්, දැක්වෙන ඡායාරූප කීපයක් තිබේ..
>>අපේ ශ්‍රී දළදා වහන්සේ පිළිබඳව ජයකොඩි පියතුමා අදහස් දක්වා ඇත්තේ මෙලෙස ය..
“ශ්‍රී දළදාව කියන්නේ, අපේ රටේ තිබෙන ලෝක පූජිත ජාතික වස්තුවක්..අපේ ඉතිහාසයත් එක්ක දැඩි-සේ සම්බන්ධ, අපේ සංස්කෘතික අනන්‍යතාව අවුරුද්දක් පාසා අදත් ‘මුළු මහත් ලෝකයටම’ කියාපාන පූජනීය වස්තුවක්..ශ්‍රී ලංකාවේ පමණක් නොවේ, ලෝකයේමත් බෞද්ධයින් ගරු කරන වස්තුවක්.. සිංහලයින් හැටියට අපිත් ගිහින් ඒවට සහභාගි වී, ඒ ගැන අවබෝධයක් ලබන එක, බලා-කියා ගන්න එක වරදක් ද..? ශ්‍රී ලංකාවේ උපන් කෙනකු හැටියට, සිංහලයෙකු හැටියට මගේ රටට අයිති ‘ජාතික වස්තුවකට’ ගෞරවය පුද කළාම තියෙන වරද මොකද්ද..?”(මල් පැලේ උපන් පන්සලේ පියතුමා-පිටුව 118)
=======
#පිරිවෙනකින් ‘ගෞරව සම්මානයක්’ හිමිකර ගත් ශ්‍රී ලංකාවේ මුල්ම ‘කතෝලික පූජකවරයා’ ජයකොඩි පියතුමා වන්නේ ය..ඒ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනිනි..එහිදී උන්වහන්සේ හට ‘කාව්‍ය ශාස්ත්‍ර ශිරෝමණි’ සම්මානය පිරිනැමුණි..
=======
‘වෙහෙර’ යනුවෙන් ලියූ කවියක, උන්වහන්සේ ඇස යන-යන තැන පෙනෙන්ට ප්‍රාර්ථනා කළේ ‘පල්ලි’ නොව, වෙහෙරකි..ඒ කවියෙන් අර්ධයක් මෙසේ ය..
”ඇස යන-යන තැන වෙහෙරක් පෙනීයන්..
වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනීයන්..
ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්..
දුටු-දුටු විට සිත් තුළ, සිල් ගැනීයන්..”
=======
වෙසක්, පොසොන් වැනි බෞද්ධ-ගීත ලිවීම නිසාත් බෞද්ධාගම, බෞද්ධ භික්ෂුන් වහන්සේ නිර්භයව ඇගැයීම නිසාත්, #මූලධර්මවාදින්ගේ පටු #ගර්හාවට ජයකොඩි පියතුමා ලක්වූ වාර අපමණ ය..එක් අවස්ථාවක උන්වහන්සේ වෙත ලිපියක් එවූ #ධර්මෝන්මාදියෙකු ඉන් කියා සිටීයේ, ලෝගුව ගලවා සිවුරක් පොරවා ගන්නා ලෙසට ය..උන්වහන්සේ එම අධානග්‍රාහි මතවලට කදිම පිළිතුරක් දී ඇත..එය ‘පාලිත සමරසිංහ’ සමඟ කළ ගුවන්විදුලි කතාබහක දී උන්වහන්සේ කියා ඇත්තේ මෙපරිදි ය..
”ඉතින් මමත් ලියලා ඇරියා, මම ලෝගුවටත් ආදරෙයි, සිවුරටත් ආදරෙයි..මේ දෙකම ආගමික සංකේත පමණක් ය, මට ඒකත් හොඳයි, මේකත් හොඳයි, දැනට මේක ඇඳගෙන ඉන්නවා..අරකත් ඕනැ වුණොත් ඉස්සරහට ඒකත් අඳිනවා කියලා..”
=======
ජයකොඩි පියතුමාගේ සුවිශිෂ්ට ‘බෞද්ධ නැඹුරුව’ මෙරට කතෝලික සභාවේද #උදහසට ලක්වූ ආකාරයක් පෙනී යයි..එසේ සිතෙන්නේ උන්වහන්සේම කියා ඇති දෙයකිනි..
“රේඛාවේ ගීතවලට #සම්මාන ලැබෙද්දි, ඒක ගන්න යන්න වාහනය දුන්නේ නැහැ..ඉතිං ගියෙත්, ආවෙත් ටැක්සියෙන්..”
——-
”ගරු මර්සලීන් ජයකොඩි පියතුමා පිළිබඳව තව බොහෝ කරුණු-කාරණා ඇතත්, ඉතිරි-දෑ පසු දිනෙක සටහන් කිරීමේ බලාපොරොත්තුවෙන්, මෙතැනින් නිම කරමි..”
[අන්තර්ජාලයේ සටහන්ව තිබුණු ‘අගනා ලිපියක්’ ඇසුරින් උපුටා ගතිමි]..
Mike A Fernando



11 Viewers