ජාතිවාදී ජනාධිපති

ජනාධිපතිවරයා කියූ මේ කතාව ජාතිවාදී එකකි. වාමාංශිකයකු වන ඔහුට එය තේරෙන්නේ නැත. එබැවින් ඔබ එය තේරුම් ගැනීම වැදගත්ය.

බෞද්ධයන් පමණක් නොව ආගම් අදහන බොහෝ අය මෙවැනි වන්දනා ගමන්වල යෙදෙති. උතුරේ මිනිසුන් මේ අන්දමින්ම දකුණට ද එති. මිනිසුන් වන්දනා ගමන් යන්නේ, එකී ගමනෙන් ද, තරණය කරන දුරෙන් ද, විඳින වයිබ් එකෙන් ද, පින් රැස් කරගන්නා බව ආදී කරුණු මගින් ද සතුට ලැබීම සඳහාය.

එසේම, මේ අපේ උරුමයයි, අප එය රැකගත යුතුයි යන ආකල්පය ද එහි තිබිය හැකිය. එහි ඇති වරද කුමක්ද? තවත් රටක් පසු කර නේපාලයේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කරන මිනිසුන් තුළ පවා එම හැඟීම තිබේ.

උතුරේ බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධ දේශපාලනයක් තිබේ. කාලයක් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සිංහල බෞද්ධයන්ට එම සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට ඉඩ දුන්නේ නැත. එසේම, ඒවා බෞද්ධ ආගමික සංස්ථා වෙතින් ඉවත් කිරීමට ද උත්සාහයක් තිබිණි. එයට ප්‍රතිචාරයක් ද තිබිණි.

ගැටුම් හමුවේ ඇතැම් ස්ථාන හමුදා ආරක්ෂාව යටතේ පැවතිණි. හමුදා මැදිහත්වීම් ද ආගමික සීමාවන් ඉක්මවා පැවතිණි. ඇතැම් ආගමික නායකයෝ ඒවා දිරිගැන්වූහ. ඇතැම් ක්‍රියා සීමාව ඉක්මවා උරුමය පිළිබඳ අයිතිවාසිකම් කීම් විය. ඇතැම් දෙමළ ජනයා ඒවා ආක්‍රමණ ලෙස ද දුටුවහ. විරෝධය පැන නැගිණි.

පුරා විද්‍යාත්මකව ආරක්ෂා කළ යුතු ස්ථාන කරා ආගමික අභිචාර ක්‍රම රැගෙන යාම වැළැක්විය නොහැකිය. එම ස්ථාන ඉතිහාසයක් මුළුල්ලේම පැවතියේ ආගමික අභිචාර සමගය. එහෙත්, වත්මන් ආර්ථික හා සමාජ සංදර්භය තුළ එවැනි ක්‍රම පවත්වාගෙන යාම ද පහසු නැත. සරලව කිව්වොත්, පන්සල්, පල්ලි, කෝවිල් පිහිටුවා ගන්නා තරම් ලෙහෙසියෙන් ඒවා පවත්වාගෙන යා නොහැකිය.  මහජන ආධාරවලින් පවත්වාගෙන යා නොහැකි නම්, රජයට කළ හැකි කිසිවක් නැත.

ජාතිවාදය ලෙස වාමාංශිකයන් දකින්නේ බොහෝ විට සිංහල ජාතිවාදයයි. අධිපති ජාතිය වීම, බහුතරය වීම, රාජ්‍යයේ මූලිකත්වය හිමි වීම, රාජ්‍ය ආගම බුද්ධාගම වීම, යුද්ධයේ ජයග්‍රාහී පාර්ශ්වය වීම, හමුදාවේ හා පොලිසියේ භට පිරිස් බහුතරයක් ද සිංහල හා බෞද්ධ වීම වැනි සාධක රැසක් හමුවේ එසේ පෙනීම සාධාරණය. එහෙත්, දෙමළ ජාතිවාදය ද තමන් බහුතරය වන සංදර්භයන් තුළ හැසිරෙන්නේ එම අන්දමටමය.

දෙමළ ජාතිවාදය ප්‍රතිරෝධී ජාතිවාදයක් ලෙස දැකීම නිසා වාමාංශිකයන් එයට ජාතිවාදය යයි කියන්නේ නැත. ජාතිවාදය ලෙස හඳුන්වන්නේ සිංහල ජාතිවාදය පමණි.

ජාතිවාදයට ඉඩ නොදෙන බව කීව ද, කිසිවකුට ජාතිවාදයේ ඉඩ ඇවිරිය නොහැකිය. ජාතිවාදය යනු තමන් අයත් ප්‍රජාව සෙසු ප්‍රජාවන්ට වඩා උසස් යයි සැලකීමයි. තමන්ගේ පාසල සෙසු පාසල්වලට වඩා උසස් යයි සිතන මිනිසුන් සිටින ලෝකයක, තමන්ගේ ජනවර්ගය සෙසු ජනවර්ගයන්ට වඩා උසස් යයි සිතීම සාමාන්‍ය තත්වයකි.

ජාතිවාදයෙහි ගැටලුව තිබෙන්නේ, එය සිත්හි දරාගැනීමේ නොව, ඒ මත පදනම්ව, සෙසු ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් හා සමානාත්මතාව අහිමි කිරීමෙහිය. එය නීති විරෝධීය.

මෝස්තරයට තමන් ජාතිවාදී නොවේ යයි කියන වාමාංශිකයෝ ද ජාතිවාදියෝය. මේ ආණ්ඩුවේ සිටින අය හා අනුගාමිකයෝ තමන් ජවිපෙ හෝ මාලිමාව නිසා වෙනත් දේශපාලකයන්ට, මිනිසුන්ට වඩා උසස් අය යයි සිතති. එය ද ජාතිවාදය ම තමාය.



9 Viewers