මහවැලිය වනසා නව සිංහල ශිෂ්ටාචාරය වැනසීම.

1979 අංක 23 දරණ මහවැලි අධිකාරී පනත අහෝසි කරලා ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් වරුන්ට දෙන්න යනවා කියලා සටහනක් කියෙව්වා.
මහවැලිය කියන්නේ ලංකාවේ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතිය. එය තිස් අවුරුදු සැලැස්මකින් කඩිනම් වෙනකොට යම් යම් මගහැරීම් උතුරේ දෙමළ ජනතාවට වෙලා තිබෙන බව මම එදත් අදත් පිලිගන්නවා. හැබයි ඒ වගේ ව්‍යාපෘති අද ඉන්න පාලකයන්ට හිතන්න වත් බැහැ . අනාදිමත් කාලයක් පැවතුනු කන්ද උඩරට දුමිරිය මාර්ගය මාස 8 ක් ගතවෙලත් හදාගන්න බැරිව ආණ්ඩුව තටමනවා.
මහවැලිය කියන්නේ ග්‍රාමීය ආර්ථිකයේ හැරවුම. අද රටේ ජනාධිපති ,වෙළඳ ඇමති කියන්නේ මහවැලිය බිහි කරපු නායකත්ව. අපි කැමති වුනත් නැතත් තත්ත්වය එයයි. ඔය ගොවි ජනපද නොවෙන්න බොහෝ දෙනෙකුට විශ්විද්‍යාල අධ්‍යාපනය වගේ ඒවා හීන. මොකද දෙමාපිය ජීවන සටන පහසු වුණේ මහවැලි ගොවියෙක් වෙලා ලැබුණු කන්න දෙකම හා තුනම වශයෙන් අතර මැදි කන්නය පවා වගා කරන්න අක්කර 2.5 ලැබීම. ඒ නිසා මහවැලිය උතුරට යනකොට යම් යම් අඩුපාඩු වුණත් සිංහල සමාජය ඔසවා තැබුවේ මහවැලි යේ අතුරු පල. සිංහල දුප්පත් ඉඩම් කඩම් නැති මිනිස්සු ගොවි ජනපද වල ඉඩම් හිමියෝ වුණා.
මහවැලිය කියන්නෙම පරිසර පද්ධතිය එක්ක බද්ධ වුණු වසර 2500 ක ඉතිහාසයේ අද්විතීය ආර්ථික වැඩ පිළිවෙල. රයින් ගඟ නිම්නයේ රිය පදවනකොට, දුමිරියේ රයින් තීරයට යාබදව ගමන් කරන කොට මට මහවැලිය මතක් වෙනවා. යුරෝපයේ රයින් සහ දෝනාවූ ගංගා ද්‍රෝණි අවට නගර තමයි පොහොසත්ම. ඒ අතීතයේ සිට ආපු ප්‍රවාහනය හා සශ්‍රික බව නිසා. මහවැලිය කියන්නේ ලංකාවට රයින් ගඟ වගේ. එය කඩිනම් කරන්න ට කලින් ලංකාවේ දුප්පත්කම දැකපු මිනිස්සු ඉන්නවා.ඒ කියන්නේ ලංකාව අද තියෙන තැනට වඩා එදා ගොඩක් දුප්පත්.
මගේ මව්පිය පාර්ශව දෙකම වැව් බැඳපු අය. 1982 දී ඒ කුඩා වැව් දෙකම මැදින් තිබුණු කදුරුගස්දමන වැව හා ඒ වැව් තුනෙන් ම වැඩි ජලයෙන් අඹ ගහ වැව පෝෂණය වෙන ලෙස කරපු මහා ව්‍යාපෘතිය ගැන මම ලියලා තියෙනවා. ඒ මම අවුරුදු 6 ක දරුවෙක් විදියට ජේ ආර් ජයවර්ධන හා ආර් ප්‍රේමදාස මහත්වරු සජීවීව දැකපු දවසක් ගැන. මහවැලියට සමගාමිව ඒ වැව් දියුණු කරපු හැටි ගැන දේශපාලන කෝණයෙන් ඉවත් වෙලා අගය කරන්න මට ඒ මතක බලපෑවා. ඒ නිසා මහවැලිය කියන්නේ එදා තිබුණු විශාලතම ආර්ථික නැගීම. අලුත් සිංහල සංස්කෘතියක ආරම්භය. 56 දීත් එහෙම හැරවුමක් ආව. ගොඩක් දෙනෙක් එය අසුබවාදීව බාවිතා කරන්නේ. ඒත් සිංහල උගත්තු තනතුරු වල ඉන්නේ ඒ හැරවුම නිසා.
එදා තිබුණු වටිනා දේශපාලන බාවිතාවක් තමයි මහවැලිය කියාපාන්නේ. සිරිමාවෝ මැතිණිය 30 අවුරුදු සැලස්මක් මත සැලසුම් කරනවා වුණත් එය ජේ ආර් ජයවර්ධන රජයෙන් දේශපාලනය මත ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. වැඩි ජවයක් දාලා එහි වටිනාකම වටහාගෙන ඉදිරියට ගෙන යනවා. තිස් අවුරුදු සැලස්මේ තිබුණු පාරිසරික කරුණු හා වියාපෘතිය අවසන් වීමේ ඉලක්කය වෙනස් වීම අවාසියක්. ඒ නිසාම තමයි උතුරේ ජනතාවට හානියක්, වෙනස්කමක් වුණා කියලා ඒ ජනතාවට දැනෙන්නේ. එය දේශපාලන කැම්පේන් එකක් වෙන්නේ.
මම කොටි සැමරුම් සූම් රැස්වීම් වලට රහසින් ලොග් වෙලා තිබෙනවා. මගේ නම නිසා මට එය පහසුයි. දමිළ අයටත් ඒ නම් තිබෙන නිසා. ඒවායේ සිදුවන කරුණු ගැන අදහසක් ගන්න තමයි මට අවශ්‍ය වුනේ. විගේන්ශ්වරන් ලා කොයි විදියට ද දේශපාලනය කරන්නේ කියලා අවබෝධ වුනේ එහෙම. විගේන්ශ්වරන්ගේ පුතා විවාහ වෙලා ඉන්නේ වාසුගේ දුව සමග. වාසු එලියට බැහැලා ආණ්ඩුව රකින්නේ හර්ෂණ නිසාම විතරක් නෙවෙයි.
විදෙස්ගත තුන් වෙනි පරම්පරාවත් මහවැලිය නිසා දමිල ජනතාවට අවාසියක් වුණා. වෙනසකට ලක්වුණා කියන කරුණ ගැන හොඳින්ම මොළ සෝදලා තියෙනවා. ඔවුන් කවදාවත් මහවැලිය තබා ලංකාව වත් දැකලා නැහැ. රටේ ව්‍යාපෘති වල අඩුපාඩු තිබෙනවා. වැඩ කරනකොට අඩුපාඩු වෙනවා. කාට හරි අදහසක් තිබුණා නම් දමිළ ජනතාවට එයින් අසාධාරණයක් වුණා කියලා මහවැලි අධිකාරි පනත අහෝසි කරලා ඒ ප්රශ්නය විසදන්න බැරි බව මගේ අදහස. පනතේ ඉඩම් අයිතිය ප්‍රාදේශීය ලේකම් වරුන්ට පැවරීම සාධාරණ නැහැ. රාජ්‍ය යාන්ත්‍රණය තුල තියෙන පනතක් මගින් ලංකාවේ විශාලතම ආර්ථික ව්‍යාපෘතිය වෛරය මත පදනම් වෙලා අහෝසි කිරීම ට ඉඩ දෙන්න බැහැ.
අහෝසි කරනවා වෙනුවට සංශෝධන කරන්න පුළුවන්. වෙච්ච වෙනස්කම නිවැරදි කරන්න බද්ධ වියාපෘතියක් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ සඳහා දකුණේ ජනතාව පෙළගස්වලා ශ්‍රමයෙන් ධනයෙන් ඒ වරද නිවැරදි කරන්න පුළුවන්. හැබයි මහවැලි අධිකාරි පනත අහෝසි කරලා විසුරුවා හරින එක දේශද්‍රෝහී ක්‍රියාවක්. අනුරලා නැගපු ඉනිමගට පයින් ගහන ක්‍රියාවක්. වරදක් වුණාම නිවැරදි කරන්න ඕනා තරම් විකල්ප තියෙද්දී වෛරය මත තීන්දු ගැනීම පසුගාමී ක්‍රියාවක්. අනුර ප්‍රංශයට ගිහින් හමුවෙන ද්‍රවිඩ-කොටි ඩයස්පෝරා සංවිධාන වල එක ඉල්ලීමක් තමයි මේ. එය ගෙඩිය පිටින් ඉටු කරනවා නම් ලාල් ගොවියන්ට ගහන්නේ ,අපහස කරන්නේ ඇයි කියලා අපිට වැටහෙනවා. ලාල් ලා ගොවියා විනාශ කරන්නේ කව්රු සතුටු කරන්නද කියලා අපිට වැටහෙනවා.
නිදහසින් පස්සේ අපේ නායකයෝ හැමෝම ගොවිකම ගැන විශේෂ අවධානය දුන්නා. ඒ කුසගින්න කියන කරුණ ට අවධානය දීලා. කුසගින්න රටක ප්‍රධාන කරුණක්. ඒ වගේම මහවැලිය කියන්නේ රටේ බලශක්තිය කේන්ද්‍රකරගත් ව්‍යාපෘතියක්. බලශක්තිය හා ආහාර කියන දෙකම එකට බද්ද කරපු ව්‍යාපෘතියක් ගැන අනුරලා ට තීන්දු ගන්න බලයක් තිබුණත් එයින් රටට සාධාරණයක් වෙන්නේ නැහැ කියන එක මගේ මතය.
අනිත් එක දිත්වා සම්බන්ධයෙන් කටයුතු කල යුතුව තිබුණේ ලාල් සහ අනුර.ඔවුන් ඒ වගකීම් පැහැර හරිමින් ඒ මොහොතේ ක්‍රියාකල ආකාරයෙන් මහවැලි ව්‍යාපෘතියට අයත් ජලාශ වලට හා ඒ අවට ජනතාවට විශාල හානි සිදු වුණා. ඒ ගොවි බිම් ඒ ව්‍යාපෘති යටතේ හදපු යටිතල පහසුකම් හා පාලම් වලට විශාල හානි සිදු වුණා. මේවා ඔක්කොම එකතු කරලා බලද්දී මහවැලිය ගැන තිබෙන කොටි වෛරය සම්පුර්ණයෙන් ම තෘප්ත වෙන්න තව පොඩි පියවරක් තිබෙන්නේ.
මහවැලිය ආරක්ෂා කරගැනීම පක්ෂ විපක්ෂ හැමෝගෙම වගකීමක්. එය අපේ පසුගිය වසර 1000 දී බිහි වෙච්ච සාර්ථකම ව්‍යාපෘතිය.රට අද තිබෙන ආර්ථික වර්ධනයට මහවැලිය විශාල දායකත්වයක් දුන්නා. ඒ නිසා අනුරලා ට දමිළ ජනතාවට වෙච්ච අසාධාරණය නිවැරදි කරනවා මිස බහුතර ව්‍යාපෘතිය හා ගොවියා විනාශ කරන්න දෙන්න අපිට බැහැ. විපක්ෂනායක වරයා නිදි නම් නිල විපක්ෂය නිදි නම් මහවැලිය ආරක්ෂා කරගන්න අපිට අළුත් කඳවුරක් අවශ්‍ය වෙනවා. මෙය පැහැර හැරිය නොහැකි වගකීමක්.
4 Viewers





