• Home »
  • Articles »
  • ​සරණාගත ජාවාරම සදහා හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි

​සරණාගත ජාවාරම සදහා හිතවාදී ඩයස්පෝරාව ‘දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව ආරක්ෂිත නැත’ යන්න ප්‍රචාරය කරයි

(මෙම ලිපිය WeekendFT www.ft.lk හි 2026 සැප්තැම්බර් 05 දින පලවූ විශේෂ ලියුම්කරුවෙකු විසින් ලියනලද Pro-LTTE diaspora promotes SL ‘unsafe for Tamils’ to sustain asylum business ලිපියේ සිංහල අනුවාදයයි)

​එක් එක් රැකවරණ පතන්නන්ගෙන් ඩොලර් 35,000 ත් 60,000 ත් අතර මුදලක් අය කරමින් සිදු කළ එල්ටීටීඊයේ මිනිස් ජාවාරම් ජාලය ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා විසින් හෙළිදරව් කරයි

​කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපය සහ නෝඩික් රටවල එල්ටීටීඊ මිනිස් ජාවාරම් මෙහෙයුම් කඩාවැටීමත් සමඟ, විශාල ස්මාරක සහ ඉදිකිරීම් සිදු කිරීමේ නව ප්‍රවණතාවක් මතුව ඇති බවට චෝදනා කරයි

කැනඩාවේ රැකවරණ පද්ධතිය අවභාවිත කිරීම වැළැක්වීම සඳහා කැනේඩියානු බලධාරීන් ආගමන නීති වැඩි වැඩියෙන් දැඩි කර ඇති බව පවසයි

​එල්ටීටීඊ සංවිධානය සහ තම සංස්කෘතිය සුරැකීමට සහ සන්සුන්ව ජීවත් වීමට පමණක් බලාපොරොත්තු වූ බහුතරයක් වූ දෙමළ ජනතාව අතර පැහැදිලි වෙනසක් හඳුනාගැනීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි

​දුරදිග නොබලන, බලයට ලොබි දේශපාලනඥයන් තම දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීම සඳහා ජනවාර්ගික බෙදීම් උපයෝගී කරගත් බව පවසයි

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය තවදුරටත් සන්නද්ධ සංවිධානයක් ලෙස නොපැවැතුණද, විදේශයන්හි ඇති එහි ජාලයන් අරමුදල් රැස්කිරීම, දේශපාලන ප්‍රචාරණ, සැමරුම් උත්සව සහ දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් කොටස් අතර ශ්‍රී ලංකා ගැටුම සම්බන්ධ ප්‍රකාශනයන් භාවිත කිරීම දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති බව ලෝරෙන්ටියන් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ අන්තර් විෂය පර්යේෂණ සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ හිටපු පර්යේෂණ නිලධාරී ආචාර්ය නෙවිල් හේවගේ මහතා පවසයි.
​කැනඩාවේ එල්ටීටීඊ ක්‍රියාකාරකම්, සමස්ත දෙමළ ප්‍රජාවගෙන් සහ එහි සංස්කෘතික අනන්‍යතාවයෙන් වෙන්කර පරීක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

​”එල්ටීටීඊ සංවිධානය සහ තම සංස්කෘතිය සුරැකීමට සහ සන්සුන්ව ජීවත් වීමට පමණක් බලාපොරොත්තු වූ බහුතරයක් වූ දෙමළ ජනතාව අතර වෙනස හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ,” ඔහු අවධාරණය කළේය.

​මේ අතර, බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර ස්මාරකය ඉදිකිරීම සඳහා කැනේඩියානු දෙමළ ජාතික මණ්ඩලය (NCCT) සමඟ ගිවිසුමකට එළඹුණි. ප්‍රසිද්ධ වාර්තාවලට අනුව NCCT සංවිධානය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1373 (2001) යෝජනාව යටතේ නම් කර ඇති සංවිධානයක් වන එල්ටීටීඊය සමඟ සබඳතා පවත්වා ඇත.

​මෙම ගිවිසුමට එළඹීමට නගර සභාවට ඇති බලය අභියෝගයට ලක් කරමින් ආචාර්ය හේවගේ මහතා අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත. මෙම නඩු කටයුතු තවමත් අධිකරණය හමුවේ පවතී. පවතින නීතිමය අභියෝගය නොතකා, NCCT සංවිධානය ස්මාරකයේ ඉදිකිරීම් කටයුතු කරගෙන ගියේය. බ්‍රැම්ප්ටන් නගර සභාව තම නෛතික බලතලවලින් පිටත කටයුතු කර ඇති බව පවසමින් NCCT සහ බ්‍රැම්ප්ටන් නගර සභාව අතර ඇති ගිවිසුම බලරහිත කිරීමට ආචාර්ය හේවගේ මහතා උත්සාහ කරයි. මෙම කරුණ දැනට අධිකරණ සලකා බැලීමට ලක්ව ඇත.

​ඩේලි එෆ්ටී (Daily FT) පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ආචාර්ය හේවගේ මහතා කියා සිටියේ, එල්ටීටීඊයේ සාම්ප්‍රදායික අරමුදල් මාර්ග පහත වැටීමෙන් පසුව, එහි ආධාරකරුවන් සැමරුම් උත්සව සහ ස්මාරක ඉදිකිරීම ඇතුළු වෙනත් ක්‍රියාකාරකම් දෙසට වැඩි වැඩියෙන් යොමු වී ඇති අතර, එමඟින් සංවිධානයේ දේශපාලන ප්‍රචාරණය පවත්වා ගැනීමට සහ මුල්‍ය ආධාර ලබා ගැනීමට උපකාරී වන බවයි.

​”අතිශය ලාභදායී මිනිස් ජාවාරම් මෙහෙයුම් කඩාවැටීමත් සමඟ එල්ටීටීඊ ක්‍රියාකාරීන් විකල්ප ආදායම් මාර්ග සෙවීමට පටන් ගෙන තිබෙනවා,” ආචාර්ය හේවගේ මහතා පැවසීය.

​ඩයස්පෝරාව තුළ සිටින දේශපාලන නළුවන් සහ සංවිධාන, විශේෂයෙන්ම චෝදනා කෙරෙන දෙමළ ජන සංහාරය සහ කැනඩාවේ රැකවරණ ක්‍රියාවලිය සම්බන්ධ හිමිකම් පෑම හරහා ගැටුමේ උරුමය තවදුරටත් සූරාකෑම සිදුකරන බවටද ඔහු චෝදනා කළේය.

​”මගේ නිරීක්ෂණයට අනුව මෙහි මූලික අරමුණ වන්නේ, දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තවදුරටත් ආරක්ෂිත නැත යන මතය පවත්වාගෙන යාමයි. ඒ හරහා සරණාගතභාවය ලබාදීමේ ජාවාරම (asylum business) පවත්වාගෙන යනු ලබනවා,” ඔහු පැවසීය.

​එම සම්මුඛ සාකච්ඡාවේ නි උපුටා ගැනීම් පහත දැක්වේ:

*​ප්‍රශ්නය: දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (TGEWA) මගින් ඔන්ටේරියෝ ප්‍රාන්තය විසින් දෙමළ ජන සංහාරයක් ප්‍රකාශයට පත් කිරීමක් හෝ පිළිගැනීමක් සිදු කර නොමැති බව කැනේඩියානු අධිකරණ අවසාන වශයෙන් තීන්දු කළාද?*

*පිළිතුර:* දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත (TGEWA) සම්මත කිරීම හරහා ඔන්ටේරියෝ ව්‍යවස්ථාදායකය විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට ප්‍රකාශ කිරීමක් හෝ පිළිගැනීමක් සිදු කර නොමැති බව කැනේඩියානු අධිකරණ මට්ටම් තුනම නිගමනය කර ඇත.

​TGEWA පනත මගින් ව්‍යවස්ථාදායකය එවැන්නක් පිළිගෙන නොමැති බව ඔන්ටේරියෝ මහාධිකරණය තීන්දු කළේය. ඔන්ටේරියෝ අභියාචනාධිකරණය ද එම තීන්දුව තහවුරු කළේය. ඉන් අනතුරුව මෙම කරුණ කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පමුණුවන ලද අතර, පෙත්සම්කරුට මහජන සුභසාධන නියෝජනයක් (public-interest standing) නොමැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම කරුණ සලකා බැලීම ප්‍රතික්ෂේප කළේය.

​කිසිදු නීතිමය දෝෂයක් හඳුනාගෙන නොමැති බැවින්, අභියාචනාධිකරණයේ තීන්දුවට මැදිහත්වීමට පදනමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. වැඩිදුර විමර්ශනය සඳහා නැවත සමාලෝචනය කිරීමේ ඉල්ලීම ඉදිරියට ගෙන ගියේ නැත.

*​ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූයේද යන්න පිළිබඳව කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හෝ ඔන්ටේරියෝ අභියාචනාධිකරණය කිසියම් තීරණයක් ගත්තාද?*

*පිළිතුර:* මෙම නඩු තීන්දු එකට ගත් කල, TGEWA පනත සම්මත කිරීමේදී ඔන්ටේරියෝ ව්‍යවස්ථාදායකය විසින් ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට ප්‍රකාශ කිරීමක් හෝ පිළිගැනීමක් සිදු නොකළ බවට අධිකරණ මට්ටම් තුනම එකඟ වූ බව තහවුරු වේ.

​මෙය සංකීර්ණ නීතිමය ප්‍රශ්නයක් මතු කරයි. කැනඩාව රෝම ප්‍රඥප්තියේ (Rome Statute) පාර්ශ්වකරුවෙකු වන අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) සහ ජාත්‍යන්තර අධිකරණයේ (ICJ) බලප්‍රදේශය පිළිගනී. ජන සංහාර චෝදනා විමර්ශනය කිරීමට සහ තීන්දු දීමට මෙම ජාත්‍යන්තර අධිකරණවලට බලය ඇත.

​ඊට පටහැනිව, ජන සංහාරයක් සිදු වූයේද යන්න විමර්ශනය කිරීමට හෝ තීරණය කිරීමට කැනේඩියානු අධිකරණවලට බලයක් නොමැත. කෙසේ වෙතත්, ICC සහ ICJ මගින් දෙනු ලබන තීරණවලට කැනඩාව බැඳී සිටී.

​මෙම නීතිමය රාමුවට එරෙහිව, එල්ටීටීඊය සහ එහි ආධාරකරුවන් TGEWA පනත සම්මත කරගැනීම, දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට පිළිගැනීමක් ලබා ගැනීමේ මාධ්‍යයක් ලෙස භාවිත කිරීමට උත්සාහ කළහ. කෙසේ වෙතත්, TGEWA පනත මගින් ශ්‍රී ලංකාවේ එවැනි ජන සංහාරයක් සිදු වූ බවට ව්‍යවස්ථාදායක ප්‍රකාශයක් හෝ පිළිගැනීමක් සිදු නොවන බව කැනේඩියානු අධිකරණ අඛණ්ඩව තීන්දු කර ඇත.

*​ප්‍රශ්නය: චෝදනා කෙරෙන දෙමළ ජන සංහාරය ඔන්ටේරියෝ පාසල් විෂයමාලාවට ඇතුළත් කළ හැකිද යන්න පිළිබඳ නීතිමය නිගමනය කුමක්ද?*

*පිළිතුර:* කැනඩාවේ, 1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ 93 වගන්තියට අනුව අධ්‍යාපනය අයත් වන්නේ ප්‍රාන්ත බලප්‍රදේශයට පමණි. TGEWA පනත අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔන්ටේරියෝ හි ව්‍යවස්ථාදායක බලයට අයත් වන බව ඔන්ටේරියෝ මහාධිකරණය නිවැරදිව තීන්දු කළේය. මෙම පනත මගින් ප්‍රාන්ත පාසල් විෂයමාලාවට මෙම සංහාරය ඇතුළත් කිරීමට දොරටු විවර විය හැකි බවට කංඡාවක් මතු විය.

​කෙසේ වෙතත්, අභියාචනයේදී ඔන්ටේරියෝ අභියාචනාධිකරණය මහාධිකරණයේ තීන්දුව වෙනස් කළේය. අභියාචනා අධිකරණය තීන්දු කළේ TGEWA පනත ප්‍රාන්තයේ අධ්‍යාපන බලතල යටතේ සම්මත කර නොමැති බවයි. ඒ වෙනුවට, එය ප්‍රාන්තවලට දේශීය හා පෞද්ගලික ස්වභාවයේ කරුණු සම්බන්ධයෙන් බලය ලබා දෙන 1867 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතේ 92(16) වගන්තිය යටතට අයත් විය.

​ඒ අනුව, මෙම පනත ඔන්ටේරියෝ ප්‍රාන්තය තුළ සිහිපත් කිරීමේ (සැමරුම්) ක්‍රියාකාරකම්වලට පමණක් සීමා වන බව අධිකරණය තීරණය කළේය. එහි අරමුණ වූයේ ජන සංහාරයක් සිදුවූ බවට විෂයමාලාව හරහා පිළිගැනීමට වඩා, සන්නද්ධ ගැටුමේදී සිදුවූ අලාභහානි සිහිපත් කිරීමට ඔන්ටේරියෝහි දෙමළ වැසියන්ට ඉඩ සැලසීමයි.

​කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, මැදිහත් වීමට තරම් නීතිමය දෝෂයක් නොමැති බව පවසමින් අභියාචනා තීන්දුව නැවත සමාලෝචනය කිරීම ප්‍රතික්ෂේප කළේය.

*​ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවූ බවට කැනඩා රජය නිගමනය කර තිබේද යන්න සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය (Foreign Affairs Canada) තහවුරු කළ නිල විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය කුමක්ද?*

*පිළිතුර:* කැනඩා රජය, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා TPN 42/2021 දරන තානාපති සටහන නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බවට කැනඩාව කිසිදු නිගමනයකට එළඹ නැති බව තහවුරු කළේය. මෙය කැනඩාවේ නිල විදේශ ප්‍රතිපත්තිය නියෝජනය කරයි.

​එසේම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ප්‍රාන්ත බලතල මගින්, ශ්‍රී ලංකාවේ එල්ටීටීඊය සමඟ පැවැති සන්නද්ධ ගැටුම ජන සංහාරයක් ලෙස හැඳින්වීමෙන් පුද්ගලයන් වැළැක්විය නොහැක. කෙසේ වෙතත්, අදහස් ප්‍රකාශ කිරීමේ මෙම ඉඩකඩ, දේශපාලන නළුවන් සහ ජාතිවාදී දේශපාලනයේ නිරත වන පුද්ගලයන් විසින් කැනඩාවේ දෙමළ ප්‍රජාව සූරාකමින් තම පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට භාවිත කර ඇත.

*​ප්‍රශ්නය: ශ්‍රී ලංකාවේ පැවැති ගැටුමේ ස්වභාවය සම්බන්ධයෙන් ඔබේ ප්‍රධාන තර්කය වූයේ කුමක්ද – එනම් එය ජන සංහාරයක් නොව එල්ටීටීඊය සහ ශ්‍රී ලංකා ආරක්ෂක බලකායන් අතර පැවැති සන්නද්ධ ගැටුමක් බවද?*

*පිළිතුර:* ජන සංහාරය යන්න විශේෂිත නීතිමය අර්ථයක් ඇති පදයක්. ජන සංහාරයක් බව තහවුරු කිරීමට නම්, ආරක්ෂිත කණ්ඩායමක් – මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව – සම්පූර්ණයෙන්ම හෝ කොටසක් විනාශ කිරීමේ චේතනාවක් තිබූ බව ඔප්පු කළ යුතුය.

​නඩු කටයුතු අතරතුර, ඔන්ටේරියෝ හි නීතිපතිවරයා හෝ දෙමළ පාර්ශවකරුවන් වන දෙමළ අයිතිවාසිකම් සමූහය (Tamil Rights Group) සහ කැනේඩියානු දෙමළ ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකාවට දෙමළ ජනගහනය විනාශ කිරීමේ චේතනාවක් තිබූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කළේ නැත.

​ශ්‍රී ලංකාව දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු නොකළ බව මම තර්ක කළෙමි. එවිට ජන සංහාරයක් සිදුවූ බව තහවුරු කිරීමේ වගකීම ඔන්ටේරියෝ නීතිපතිවරයාට සහ පෙත්සම්කරුවන්ට පැවරේ. ජන සංහාර චෝදනා විමර්ශනය කිරීමට හෝ තීන්දු දීමට ඔන්ටේරියෝ අධිකරණවලට බලයක් නොමැති නිසාද ඔවුන් එවැනි තර්ක ඉදිරිපත් කළේ නැත.
​බලයක් නොමැති වීම නිසා නීතිමය වශයෙන් ඕනෑම ජන සංහාරයක් ප්‍රකාශ කිරීමේ ඉල්ලීමක් තල්ලු වී යනු ඇත.

​දෙමළ ජනතාවගෙන් 69% ක් පමණ සිංහල බහුතරය සහ අනෙකුත් ප්‍රජාවන් සමඟ ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශවල ජීවත් වන බව මම වැඩිදුරටත් පෙන්වා දුන්නෙමි.

​ඒ අනුව, මගේ ස්ථාවරය වන්නේ දෙමළ ජනතාවට එරෙහිව කිසිදු ජන සංහාරයක් සිදු නොවූ බවට සාක්ෂි සහාය දක්වන බවයි. ඒ වෙනුවට, මෙම සිදුවීම් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන එල්ටීටීඊය සහ ශ්‍රී ලංකා ආරක්ෂක බලකායන් අතර පැවැති සන්නද්ධ ගැටුමක් විය.

*​ප්‍රශ්නය: එල්ටීටීඊ ක්‍රියාකාරීන් සිය ගෝලීය මිනිස් ජාවාරම් මෙහෙයුම් වැඩිදියුණු කිරීමට මෙම ජාවාරම් ජාලය භාවිත කළේ කෙසේද?*

*පිළිතුර:* එල්ටීටීඊ ක්‍රියාකාරීන් කැනඩාව, එක්සත් රාජධානිය, යුරෝපය සහ නෝඩික් රටවල් මූලික ගමනාන්ත ලෙස තබා ගනිමින් සංකීර්ණ හා අතිශය සූක්ෂම මිනිස් ජාවාරම් ජාලයක් පවත්වාගෙන ගියේය.

​මෙම රටවල සරණාගතභාවය ලබා ගැනීම සඳහා, දෙමළ ජනයා ශ්‍රී ලංකාවේ පීඩාවලට ලක්වන සහ ජන සංහාරයකට මුහුණ දෙන පිරිසක් ලෙස නිරූපණය කිරීම අත්‍යවශ්‍ය විය.

​TGEWA පනත ඉදිරිපත් කරන ලද්දේ, දෙමළ ජනයා ජන සංහාරයේ ගොදුරු බව පෙන්වීමේ අරමුණින් වන අතර, එමඟින් රැකවරණ ඉල්ලීම්වලට සහ වක්‍රව මිනිස් ජාවාරම් මෙහෙයුම්වලට පහසුකම් සැලසීමට නීතිමය සහ දේශපාලන මෙවලමක් ලෙස එය භාවිත විය.

​මෙම පනත ඉදිරිපත් කරන ලද්දේ එල්ටීටීඊ නායකයා ජාතික වීරයෙකු ලෙස ප්‍රසිද්ධියේ පැසසුමට ලක් කළ හිටපු දෙමළ සරණාගතයෙකු වන ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී (MPP) විජේ තණගසභාපති විසිනි.

​TGEWA පනත සම්මත කර ගැනීම එල්ටීටීඊ සබඳතා සහිත අරමුණු ඉදිරියට ගෙන යාමට සහ මිනිස් ජාවාරම් මෙහෙයුම් සඳහා භාවිත කළ හැකි ප්‍රචාරණ කථාන්දර ශක්තිමත් කිරීමට යොදාගත හැකි වූයේ කෙසේද යන්න මෙයින් පැහැදිලි වේ.

*​ප්‍රශ්නය: එල්ටීටීඊයට සම්බන්ධ මිනිස් ජාවාරම්කරුවන් බටහිර රටවලට ගෙන ඒම සඳහා එක් සරණාගතභාවය පතන්නෙකුගෙන් කොපමණ මුදලක් අය කළ බවට වාර්තා වේද?*

*පිළිතුර:* එක් දෙමළ සරණාගතභාවය පතන්නෙකුගෙන් ඇමරිකානු ඩොලර් 35,000 ත් 60,000 ත් අතර මුදලක් අය කර ඇති බව වාර්තා වේ.

​විවිධ රටවල සිටින එල්ටීටීඊ ක්‍රියාකාරීන් වෙත මුදල් බෙදා හරින ව්‍යුහගත ගෙවීම් ක්‍රමයක් ස්ථාපිත කර තිබුණි. කැනඩාවට පැමිණීමෙන් පසු, සරණාගතභාවය පතන්නන්ට බොහෝ විට ඉතිරි හිඟ මුදල ගෙවීමට සිදු විය.

​බොහෝ අවස්ථාවලදී, මෙම පුද්ගලයින් වසර දහයකට වැඩි කාලයක් ණයගැතිව සිටි අතර, එල්ටීටීඊ ක්‍රියාකාරීන්ට වාරික වශයෙන් ගෙවීම් කළහ.

​මීට අමතරව, ඇතැම් ක්‍රියාකාරීන් ප්‍රබන්ධ කථාන්දර සකස් කිරීම, සාක්ෂි අසත්‍ය ලෙස නිර්මාණය කිරීම සහ තෝරාගත් නීතිමය සහ නොවන සංවිධාන සමඟ සම්බන්ධීකරණය කිරීම සිදු කළහ. මෙම සංවිධාන නීත්‍යානුකූල ස්වරූපයෙන් කටයුතු කළද, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ජාවාරම් ජාලය පවත්වාගෙන යාම සමඟ සමීපව බැඳී තිබුණි.

*​ප්‍රශ්නය: එල්ටීටීඊ ජාවාරම්කරුවන්ට අමතරව, ජන සංහාරයෙන් බේරී ආ බව පවසන සංක්‍රමණිකයන් සම්බන්ධ රැකවරණ ව්‍යාපාරයෙන් ලාභ ලබන වෙනත් කණ්ඩායම් මොනවාද?*

*පිළිතුර:* දෙමළ සංස්කෘතික සංවිධාන, විවිධ දෙමළ අයිතිවාසිකම් කණ්ඩායම් සහ ප්‍රජා නායකයන් මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම්වල ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන බව හඳුනාගෙන ඇත.

​සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ මෙම කණ්ඩායම් විවිධ මාර්ග හරහා මෙම මුදල්වලින් කොටසක් එකතු කරන බවට චෝදනා එල්ල වේ. සංස්කෘතික උත්සව, ස්මාරක ඉදිකිරීම්, සංගීත සංදර්ශන, අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘති සහ ප්‍රසිද්ධ පෙළපාලි මීට ඇතුළත් වේ.

*​ප්‍රශ්නය: මෑත කාලීන අධිකරණ තීන්දුවෙන් පසුව, එල්ටීටීඊ මෙහෙයුම්වලට සම්බන්ධ ගෝලීය මිනිස් ජාවාරම් ජාලය කඩාවැටුණාද?*

*පිළිතුර:* ඔව්. මගේ නිරීක්ෂණයට අනුව මෙය එල්ටීටීඊයට සම්බන්ධ මිනිස් ජාවාරම් මෙහෙයුම්වලට එල්ල වූ බලවත් පහරකි.

*​කැනේඩියානු රැකවරණ අනුමැතිය වසරකට 20,000 සිට 600 දක්වා අඩුවී ඇති අතර, දෙමළ රැකවරණ ඉල්ලුම්පත්‍ර 11,000 කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් විභාග වෙමින් පවතී.*

​කැනඩාවේ දෙමළ රැකවරණ ක්‍රියාවලිය තවදුරටත් දෙමළ ජන සංහාරයක් සිදු වූ බවට වූ ප්‍රබන්ධය මත පදනම් විය නොහැකි බව දැන් පැහැදිලිය. එම මතය කඩාවැටී ඇති අතර, සමස්ත මෙහෙයුම අකර්මන්‍ය වී ඇත.

*​ප්‍රශ්නය: ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරණයට මුහුණ දීමේදී, දෙමළ සංස්කෘතික හෝ ජාතික අනන්‍යතාවය සහ එල්ටීටීඊයේ ක්‍රියාකාරකම් අතර වෙනස හඳුනා ගැනීම වැදගත් වන්නේ ඇයි?*

*පිළිතුර:* ඓතිහාසිකව, දෙමළ සහ අනෙකුත් ප්‍රජාවන් ශ්‍රී ලංකාවේ සාපේක්ෂව ජාතික සමගියෙන් සහජීවනයෙන් සිටියහ. කෙසේ වෙතත්, දුරදිග නොබලන දේශපාලනඥයන් තම දේශපාලන අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ජනවාර්ගික බෙදීම් උපයෝගී කරගත්හ.

​එබැවින් එල්ටීටීඊය සහ තම සංස්කෘතිය සුරැකීමට සහ සන්සුන්ව ජීවත් වීමට පමණක් බලාපොරොත්තු වූ බහුතරයක් වූ දෙමළ ජනතාව අතර වෙනස හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.

​දශක තුනක සන්නද්ධ ගැටුම තුළ, බොහෝ දෙමළ වැසියන් තම දරුවන් එල්ටීටීඊයට බලහත්කාරයෙන් බඳවා ගැනීමෙන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටව ගියහ. මෙම සංක්‍රමණයෙන් නිරූපණය වන්නේ එල්ටීටීඊයේ උපක්‍රමවලට එරෙහි වූ බහුතර දෙමළ ජනතාවයි.

​සියලුම දෙමළ වැසියන් එල්ටීටීඊ සාමාජිකයන් නොවන බව අවධාරණය කළ යුතුය. එබැවින් එල්ටීටීඊ ක්‍රියාකාරීන් සාමාන්‍ය දෙමළ ජනතාවගෙන් වෙන්කර හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

​කැනඩාවේ සිටින එල්ටීටීඊ ක්‍රියාකාරීන්ට ශ්‍රී ලංකා ගැටුම මූල්‍යමය වාසි සඳහා සූරාකෑ බවට චෝදනා එල්ල වී ඇත.

*​ප්‍රශ්නය: කැනඩාවේ එල්ටීටීඊයේ මෑත කාලීන වර්ධනය කුමක්ද?*

*පිළිතුර:* මිනිස් ජාවාරම් මෙහෙයුම් කඩාවැටීමත් සමඟ එල්ටීටීඊ ක්‍රියාකාරීන් විකල්ප ආදායම් මාර්ග සෙවීමට පටන් ගෙන තිබේ.

​විශාල ස්මාරක ඉදිකිරීමේ නව ප්‍රවණතාවක් මතුව ඇත. දේශපාලන හා මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන ඇතැම් කැනේඩියානු දේශපාලනඥයන්, තම අරමුණු ඉටුකර ගැනීම සඳහා එල්ටීටීඊ ක්‍රියාකාරීන් සමඟ එකතු වී ඇත. මේ අතර, ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනඥයන් විදේශයන්ගෙන් මුදල් ලබා ගන්නා අතරම වෙනම රාජ්‍යයක් පිළිබඳ අසත්‍ය බලාපොරොත්තු ප්‍රවර්ධනය කරයි.

​මෙම උත්සව සඳහා දෙමළ රැකවරණ පතන්නන් විශාල වශයෙන් සහභාගී වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට එල්ටීටීඊ ක්‍රියාකාරීන් වෙනුවෙන් මුදල් ලබා දීමට බලපෑම් කෙරේ.

​මෙහි මූලික අරමුණ වන්නේ, දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තවදුරටත් ආරක්ෂිත නැත යන මතය පවත්වාගෙන යාමයි.

​මෙවැනි ක්‍රියාකාරකම් දුරදිග නොබලන ඒවා වේ. කැනේඩියානු බලධාරීන් රැකවරණ පද්ධතිය අවභාවිත කිරීම වැළැක්වීම සඳහා ආගමන නීති දැඩි කර ඇති අතර, එමඟින් මෙම උපක්‍රමවල සඵලතාවය සීමා කර ඇත.



1 Viewers