තායිලන්ත නියෝජ්‍ය අගමැතිනිය සහ මාලිමාව
අද පාර්ලිමේන්තුවේ දිලිත් ජයවීර විසින් විශේෂ කල් තැබීමේ යෝජනාවක් අර ගත්තා.
එතනදී සම්පූර්ණ විපක්ෂයම පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට, මාලිමා රජය සිදු කළ ඉතාම අශිෂ්ට ක්‍රියාව සාකච්ඡා කළා.
තායිලන්තය කියන්නේ ශ්‍රී ලංකාවට අති විශේෂ රටක්. බෞද්ධ ශ්‍රී ලංකාවේ කළණ මිතුරු රාජ්‍යයක්.
කොටින්ම සිංහල බෞද්ධයා ලෝකය තුළ හුදෙකලා නොවුණේ තායිලන්තය නිසා.
ලෝකයේ ඉස්ලාම් රටවලට මිතුරන් ඉන්නවා. කතෝලික රටවලට මිතුරන් ඉන්නවා.
සිංහල බෞද්ධ රාජ්‍යයකට සිටින එකම සහ විශේෂම මිතුරා තායිලන්තය. තායිලන්තය නොවන්නට අපගේ බුදු සසුන දැනටමත් විනාශ වෙලා.
පහුගිය දා ශ්‍රී ලංකාවට එතරම් විශේෂ, කළණ මිතුරු රාජ්‍යයේ නියෝජ්‍ය අගමැතිනිය පැමිණියා.
කටුනායකින් පැමිණි ඇය මිහින්තලයට ගියේ සාමාන්‍ය සංචාරක බස් රථයක.
ඇය පිළිගන්න මාලිමා ආණ්ඩුවේ මහජන නියෝජිතයන් පැමිණ සිටියේ නැහැ. ඇයට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාවක් හිමි වූයේ නැහැ.
මේ ශ්‍රී ලංකාවේ මිතුරු රාජ්‍යයක නියෝජ්‍ය අගමැතිනියක්. ඇයි එහෙම වුණේ ?
මොකද ඇය බෞද්ධ රාජ්‍යයක නායිකාවක්. ඇය ලාංකේය සිංහල බෞද්ධයන්ගේ මිතුරෙක්. ඇය පැමිණියේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සෑයක කොත පළන්දන්න.
මිහින්තලයේ මිහිඳු සෑයේ කොත් වහන්සේ වෙනුවෙන් තායිලන්ත රජයෙන් විශාල පරිත්‍යාගයක් ලැබුණා. ඒ අතර මේ නියෝජ්‍ය අගමැතිනියගේ පුද්ගලික මුදල් පවා තිබුණා.
බෞද්ධ රටක රාජ්‍ය නායිකාවක්, ශ්‍රී ලංකාවේ බෞද්ධ සිද්ධස්ථානයකට පැමිණෙද්දී මාලිමාවේ ආණ්ඩුව හැසිරෙන්නේ එහෙමයි.
ඔවුන් හිතාමතාම බෞද්ධ තායිලන්තයට, ශ්‍රී ලංකාව සහ ජනතාව පිළිබඳ කළකිරෙන ලෙස කටයුතු කළා.
ශ්‍රී ලංකාවට විශේෂ උපකාර රැසක් කළ රාජ්‍ය නායිකාවකට, හිතාමතාම මෙරටට සහ මෙරට බෞද්ධ ජනතාවට නැවත උපකාර කිරීමට නොසිතෙන ලෙසට සැලසුම් සහගතව ක්‍රියා කළා.
නිකමට හිතන්න.
යම් විදියකින් අරාබි රටක නායකයෙක් ඉස්ලාම් පල්ලියක වැඩකට, හින්දු නායකයෙක් හින්දු කෝවිලක වැඩකට, කිතුනු රටක නියෝජිතයෙක් කිතුනු පල්ලියක වැඩකට ආවා නම් මාලිමා ආණ්ඩුව කොහොම හැසිරෙයිද ?
එහෙම නම් ඒ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඉහළම පිළිගැනීමක් ලැබෙනවා. ඔවුන් පිළිගන්න පුද්ගලිකවම අනුර හෝ විජිත යනවා.
මග දෙපස කොඩි දානවා. මාධ්‍ය රැස් කරනවා. නැටුම්කරුවන් යොදවනවා. ඒ ප්‍රවෘත්තිය රටේ ජාතික ප්‍රවෘත්තියක් වෙනවා.
මාලිමා ආණ්ඩුව යටතේ බුදු දහම විනාශ කරමින් තිබෙනවා ය කියන්නේ ඒකට.
එසේ නොමැතිව මල්වත්තේ නා හිමි හිතනා විදියට පෙරහැර පැවැත්වීමට ඉඩ දීම නොවෙයි.
පෙරහැරට අත තැබීම ඉතාම දිගු කාලීන, සැලසුමේ අන්තිමට තියෙන වැඩක්
ඊට පාර කපා ගන්න කරන දේවල් නිසා තමයි අද රටේ බෞද්ධයන් සහ භික්ෂූන් වහන්සේලා මාලිමා ආණ්ඩුව බුදු දහම විනාශ කරමින් ඉන්නවා ය කියන්නේ.
මාලිමාවට බුදු දහම ඇලජික් නිසා තමයි බෞද්ධ රටක නායිකාවක් පැමිණෙද්දි, කිසිදු රාජ්‍ය තාන්ත්‍රික අනුග්‍රහයක් ලබා නොදෙන්නේ.
මාලිමාවට බුදු දහම ඇලජික් නිසා තමයි මිහින්තලේ සෑයක් විවෘත කිරීමට පැමිණෙන රාජ්‍ය නායිකාවකට ප්‍රභූ ආරක්ෂාවක් නොලැබෙන්නේ.
පහුගිය දවසක ලංකාවට ඉන්දියාවෙන් හින්දු පූසාරිවරයෙක් ආවා.
ඔහු පිළිගැනීමට විදේශ ඇමති විජිත හේරත්, නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ දෙදෙනාම සහභාගී වුණා.
ඔහු වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දුන්නා.
ඒ විතරක් නෙවෙයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජනාධිපතිවරයාට වෙන් කර තිබෙන හෙලිකොප්ටර් යානය මේ පූසාරිවරයාට ලබා දුන්නා.
ඒ හෙලිකොප්ටරයට වැය කරන්නේ ඔබගේ සහ මාගේ බදු මුදල්.
මේ රාජ්‍ය නායකයෙක් ද ?
නෑ! ඉන්දියාවේ හින්දු පූජකයෙක්.
ඔහු ශ්‍රී ලංකාවට ආවේ ශ්‍රී ලංකාවේ හින්දු කෝවිල් මාලාවක් (රාමායන ට්‍රේල්) වන්දනා කරන්න.
ඔහුට මාලිමා ආණ්ඩුව ඉහළම පිළිගැනීමක්, ආරක්ෂාවක් දුන්නා.
නමුත් තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට එවැනි ආරක්ෂාවක් නැහැ.
බුදු දහමට වින කරනවාය කියන්නේ ඒකට. එහෙම නැතුව වෙනත් දෙයකට නෙවෙයි.
කෙසේ වෙතත් මෙරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් සහ විපක්ෂයේ නායකයන් එම අවස්ථාවට සහභාගී වෙලා, ඇයට යම් ගෞරවයක් හෝ ලබා දීම ගැන බෞද්ධයන් ලෙස අප ස්තූතිවන්ත විය යුතුයි.
එසේ නොමැති නම් මාලිමාවේ සැලසුම වූයේ ශ්‍රී ලංකාවට උප සම්පදාව ලබා දුන්, කෝටි ගණනක කොත් වහන්සේලා ලබා දෙන බෞද්ධ රටක් ශ්‍රී ලංකාව සමග සිත් බිඳවා, මෙරට සිංහල බෞද්ධයා අන්තර්ජාතිකව හුදෙකලා කිරීමටයි.
1 Viewers





