අල්ජාසීරා සහ රනිල්

මේ සටහන ලියනවාදැයි කිහිපවරක්ම කල්පනා කර ලියන සටහනක්. එය මගහැරයාම පසුතැවිල්ලක් ඇති කළ හැකි නිසා අවාසනයේ මෙය ලිවීමට තීරණය කළා.

මා මේ ලියන්නේ පසුගිය ජනාධිපතිවරණයේ මා ද ඡන්දය භාවිතා නොකළ, රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා පිළිබඳ නොවෙයි.

මා මේ ලියන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ අප රට වෙනුවෙන් පෙනී සිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිබඳවයි.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා අල් ජසීරා (Al jazeera) සමග කළ සම්මුඛ සාකච්ඡාව නැරඹූවා.

එය සම්මුඛ සාකච්ඡාවක් නොවෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය වලට නුහුරු නැති, ජාත්‍යන්තර මාධ්‍යයට සුපුරුදු, ඉතා සැලසුම් සහගත පහරදීමක් (Ambush). දුස්ප්‍රචාරණ මෙහෙයුමක්.

මන්ද මෙහි ප්‍රේක්ෂකාගාරය සම්පූර්ණයෙන්ම පුරවා තිබුණේ LTTE ඩයස්පෝරා හිතවාදීන්ගෙන්. මෙවැනි සාකච්ඡාවක ප්‍රේක්ෂක ප්‍රතිචාර ද ජාත්‍යන්තර මාධ්‍ය තමන්ගේ න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමට යොදාගන්නා.

එනම් ප්‍රේක්ෂකාගාරය සිනහා වෙන්නේ, නිහඬ වෙන්නේ වැඩසටහන් නිෂ්පාදකයාට අවශ්‍ය තැන් වල පමණයි.

මෙය සැලසුම් කළ ප්‍රහාරයක් වන්නේ ඒකයි.

මෙහිදී රනිල් පාර්ශවයෙන් සිදු කළ වැරදි කිහිපයක් තිබුණා.

පළමුවැන්න, සටනට ඔවුන්ගේ පිටිය තෝරාගැනීම.

වර්තමානයේ ජාත්‍යන්තර මාධ්‍යය යනු ගෝලීය නායකයන් කිසිවෙක් බරපතලව සලකන ආයතන නොවෙයි.

ජාත්‍යන්තර මාධ්‍ය යනු ඉතා දූෂිත, පක්ෂපාතී, මුදල් විශුද්ධීකරන යාන්ත්‍රණ. ඒ බව දැන් ලෝකයම දන්නවා. සාක්ෂි සහිතවම ඔප්පු වී, ජනතාවට ඔවුන් නිරාවරණය වී, ජනතාවගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වී අවසන්.

අවශ්‍ය නම් BBC, CNN, NBC, AL JAZEERA, NY TIMES ආදී සියලූම මාධ්‍ය වල නරඹන්නන් අඩූ වූ ප්‍රතිශත නීරික්ෂණය කළ හැකියි.

පසුගිය දශකයේ ජාත්‍යන්තර මාධ්‍ය නරඹන්නන්ගේ ප්‍රතිශතය 67% සිට 19% දක්වා බරපතල ලෙස කඩාවැටිලා.

ජාත්‍යන්තර මාධ්‍ය පෙනීසිටින්නේ ඔවුන්ගේ ගෝලියවාදී ස්වාමීන් වෙනුවෙන්.

එම නිසා වර්තමානයේ කිසිදු ජාතිකවාදී නායකයෙක් මෙවැනි වැඩසටහන් වලට සහභාගී වන්නේ නැහැ.

ඒ වෙනුවට ඔවුන් විසින් පවත්වන, ඔවුන්ගේ වේදිකා වල මාධ්‍ය හමු වලට පමණක් තෝරාගත් මාධ්‍යවේදීන්ට ආරාධනා කරනවා.

එසේ නොමැති නම් ජෝ රෝගන්, ටකර් කාර්ල්සන් වැනි සමාජ මාධ්‍ය ආශ්‍රිත පිළිගත් මාධ්‍යවේදීන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වනවා.

අද ගෝලීය දේශපාලනයේ බලපෑම් සහගත ‘මාධ්‍යවේදීන්’ ලෙස සැලකෙන්නේ යුටියුබ් හි පොඩ්කාස්ට් වැඩසටහනක් කරන ජෝ රෝගන්, ෆොක්ස් මාධ්‍යයෙන් ඉවත් වී තමන්ගේම වැඩසටහනක් සිදු කරන ටකර් කාර්ල්සන් වැන්නන්.

නිමා වූ ජනාධිපතිවරණය ට්‍රම්ප් ජය ගන්නේ ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය තුනම (CNN, NBC, ABC) ඔහුට විරුද්ධ පසුබිමක.

ට්‍රම්ප් එම මාධ්‍ය කිසිවක සම්මුඛ සාකච්ඡා සදහා සහභාගී වූයේ නැහැ. ඒ වෙනුවට ඔහු අවස්ථාවක් ලද සැණින් එම මාධ්‍ය විවේචනය කළා.

දෙවැන්න, රනිල් තමන්ගේ කැමරාවකින් සම්පූර්ණ සාකච්ඡාව වීඩියො කර නැහැ. එය ඔහුගෙන් සිදු වූ වරදක්.

වර්තමානයේ ජාත්‍යන්තර මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡා සිදු කරන ඕනෑම පුද්ගලයෙක් එම වීඩියොව තමන්ගේ කැමරාවකින් ද රූපගත කරනවා.

එයට හේතුව ජාත්‍යන්තර මාධ්‍ය සංස්කරණයේ දී සම්පූර්ණ සාකච්ඡාව විකෘති කරනවා.

අවසානයේ ඔවුන් විසින් පළ කරන්නේ විකෘතියක්.

පසුගිය වසරේ ඇමෙරිකාවේ සමාජ මාධ්‍යයේ සහ දක්ෂිණාංශික කඳවුරේ ප්‍රබලයෙකු වන ඇන්ඩෘ ටී බීබීසි ය සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කළා.

බිබීසි ය අවසානයේ පළ කළ වීඩියෝව මිනිත්තු දහයක් දිගයි.

පසුව ඇන්ඩෘ තමන්ගේ කැමරාවෙන් තමන් රූපගත කළ සම්පූර්ණ වීඩියෝව නිකුත් කළා.

එය පැයකට ආසන්නයි. එමගින් පෙනුණේ BBC ය සාකච්ඡාව විකෘති කරමින්, ප්‍රශ්න සහ පිළිතුරු මාරු කරමින් බරපතල ලෙස සංස්කරණය කර තිබෙන බව.

රනිල්ගේ සාකච්ඡාවත් දරුණු ලෙස සංස්කරණය කර තිබෙන බව පෙනෙනවා.

ඇතැම් තැන් වල ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරු මාරු කර තිබෙන බව සැලකිල්ලෙන් බැලූ විට පෙනෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාර පවා අල් ජසීරා කණ්ඩායමට අවශ්‍ය ලෙස සංස්කරණය කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ දීර්ඝ පැහැදිලි කිරීම් කපා දමා තමන්ට වාසි සහගත ලෙසට අල් ජසීරා මෙම සංස්කරණය සිදු කර තිබෙනවා.

එම නිසා තමන්ගේ කැමරාවකින් සාකච්ඡාව රූපගත නොකිරීම රනිල්ගේ කණ්ඩායම සිදු කළ වරදක්.

තෙවැන්න, මෙය සැලසුම් කළ ප්‍රහාරයක් ලෙස වැටහුණු සැනින් රනිල් සාකච්ඡාවෙන් නැගිට නොයාම වරදක්.

නිමාවූ ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක් මාධ්‍යවේදිනියකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා.

සාකච්ඡාව ආරම්භ වීමට පෙර ඇය ‘ඔබ අමාරු ප්‍රශ්න වලට සුදානම් නේදැයි’ ඇසුවා.

එය ඉදිරියේ සිදුවන දේ පිළිබඳ සංඥාවක්.

ට්‍රම්ප් එයට පිලිතුරු දෙමින් ප්‍රකාශ කළේ ‘මා සමග සාධාරණ වෙන්න’ යනුවෙන්. (Be fair with me)

යළිත් ඈ ප්‍රකාශ කළේ ‘ඇයි ඔබ අමාරු ප්‍රශ්න වලට සුදානම් නැත්ද’ යනුවෙන්.

ට්‍රම්ප් වහා ආසනයෙන් නැගී සිටියා. සාකච්ඡාව අවලංගු කළා.

‘ඔබ බයිඩන්ගෙන් අහන්නේ ඔහු කැමතිම අයිස්ක්‍රීම් මොකක්ද කියලා. මගෙන් අමාරු ප්‍රශ්න අහන්නද අහනවා. ඔබ කිරීමට යන ක්‍රීඩාව මට වැටහෙනවා. ඒ නිසා මේ සාකච්ඡාව සිදුවන්නේ නැහැ.’ ට්‍රම්ප් එතනින් ඉවත් වුණා.

සැබැවින්ම බටහිර නායකයන් මෙවැනි ජනමාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙන ක්‍රමය එයයි.

ජනාධිපතිවරණය සමයේම ට්‍රම්ප් තවත් සාකච්ඡාවකට සහභාගී වුණා.

එහි ආරාධිතයාට (ට්‍රම්ප්ට) සුදානම් කර තිබුණේ උස්, කැරකෙන අසුනක්.

ට්‍රම්ප් එහි ඉඳ ගැනීම ප්‍රතික්ෂේප කළා.

‘මේක ඉඳගන්න අමාරු පුටුවක්. ඔබ ආයතනය හොඳ පුටුවක් මිලට ගැනීමට තරම් බංකොළොත් ද, මා මෙහි ඉඳ ගැනීමට ගොස් ඇද වැටුනොත් ඔබගේ සාකච්ඡාවේම පෙන්වන්නේ එය පමණයි. අපි හිටගෙනම කතා කරමු. මා ඔබට හොඳ ආසනයක් මිල දී ගෙන දෙන්නම්.’

ට්‍රම්ප් ට මේ මාධ්‍ය විසින් අටවන උගුල් පිළිබඳ හසල දැනුමක් ඇති බව පෙනෙනවා.

රනිල්ට එවැනි වැටහීමක් නැහැ. කොහොමත් ඔහු ශ්‍රී ලාංකිකයෙකු නිසා ජාත්‍යන්තර මාධ්‍ය උගුල් පිළිබඳ නොදැන සිටීම පුදුමයක් ද නොවෙයි.

මෙම සාකච්ඡාව පුරාවට අල් ජසීරා උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණය හෑල්ලු කිරීමට සහ මෙරට ත්‍රිවිද හමුදාව යුද අපරාධකරුවන් කිරීමට.

රනිල් ඒ සඳහා කළ හැකි ඉහළම සහ බරපතලම විරෝධයක් ප්‍රදර්ශනය කළා. එය අතිශය වැදගත්.

දැන් යුද්ධය අවසන් වී වසර පහලොවකටත් වැඩියි. දැන් ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමට දෙයක් නැහැ.

දැන් ලෝකයට සාකච්ඡා කළ යුතු අලුත් මාතෘකා ඕනෑ තරම් තිබෙනවා.

අල් ජසීරා මින්පෙර පෙනී සිටි ‘හමාස්’ වැනි කණ්ඩායම් සමග බලන කල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව අතිශය විනයගරුක හමුදාවක්.

බටහිර නායකයන් පවා අල් ජසීරා වෙනත් ජාත්‍යන්තර මාධ්‍යයක් තරමට හෝ ගණන් ගන්නේ නැහැ. ඔවුන්ට අනුව අල් ජසීරා යනු ‘අරාබියේ ප්‍රොපගැන්ඩා යන්ත්‍රය’.

එවැනි ඉතිහාසයක් සහිත මාධ්‍ය ආයතනයට වසර පහළොවක් පැරණි ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙයුම ගැන කතා කිරීමට කිසිඳු අයිතියක් තිබුණේ නැහැ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට අනුව ‘අල් ජසීරා’ යනු කුණුගොඩක්.

අල් ජසීරා ක්‍රියාකලාපය බලද්දී එම නිර්වචනය බොහෝ දුරට නිවැරදියි.

අනෙක් කාරණාව මෙම සාකච්ඡාව මෙහෙය වූ මෙහෙදි හසන් යනු ජාත්‍යන්තරයේ එතරම් පිළිගැනීමක් ඇති පුද්ගලයෙක් නොවෙයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔහු රිපබ්ලිකන් කඳවුරෙන් සම්මුඛ සාකච්ඡා ඉල්ලමින් සිඟමන් යැද්දා.

(සැබැවින්ම රිපබ්ලිකන් කඳවුර භාවිතා කළ වචනය Begging යන්නයි.)

නමුත් කිසිවෙකු හෝ ඔහු බරපතල ලෙස සලකන්නේ නැහැ.

පසුගිය දා ඔහු ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී වාන්ස් ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ඉල්ලමින් ට්විටර් පණිවිඩයක් පළ කර තිබුණා.

නමුත් ජේ.ඩි වාන්ස් එය ප්‍රතික්ෂේප කළේ ‘මෙහෙදි හසන්’ මෝඩයෙකු යැයි කියමින් (Dummy).

රනිල් සම්මුඛ සාකච්ඡාවක් සඳහා ගියේ එවැනි ආයතනයක, එවැනි මාධ්‍යවේදියෙකු සමගයි.

ඔහු දිගින් දිගටම ශ්‍රී ලංකාවේ කීර්තිනාමය විනාශ කිරීමට උත්සාහ කළා.

රනිල් ඊට ලබා දිය යුතු පිළිතුරු ලබා දුන්නා.

ඇතැම් විටෙක රනිල්ගේ දැඩි පිළිතුරු අල් ජසීරා වීඩියෝවෙන් කපා ඉවත්කර දමන්නටත් ඇති. ඔවුන් එය කරන බවට කිසිඳු සැකයක් නැහැ.

රනිල් ට අවශ්‍ය නම් මෙහි සම්පූර්ණ වීඩියෝව පළ කරන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකියි.

පසුගිය ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා, උප ජනාධිපති කමලා හැරිස් CBS නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කළා.

ප්‍රතිවාදී රිපබ්ලිකන් කඳවුර එම වීඩියෝව කමලා හැරිස් ට වාසිදායක ලෙස සංස්කරණය කර ඇති බව කියමින්, එහි සම්පූර්ණ වීඩියෝව පළ කරන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ලබා ගත්තා.

අධිකරණ තීන්දුව අනුව CBS සම්පූර්ණ වීඩියෝව පළ කළා.

අවසානයේ පෙනුණේ කමලා හැරිස් විසින් ලබා දුන් ඇයට අවාසි සහගත සියලූම පිළිතුරු කප්පාදු කරමින්, විකෘති වීඩියෝවක් CBS විසින් පළ කර තිබෙන බව.

එම සිදුවීම සම්බන්ධයෙන් ඊලෝන් මස්ක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ ජනමාධ්‍යවේදින්‍ට සිර දඬුවම් ලබා දිය යුතු බව කිව්වා.

සැබැවින්ම ඔවුන් එතරම්ම දූෂිතයි.

විශ්වාස කරන්න, අප ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය පක්ෂපාතී යැයි කීවාට, අප රටේ ජනමාධ්‍ය තවමත් CNN, BBC , අල් ජසීරා මට්ටමට දූෂිත වී නැහැ.

අප රටේ ජනමාධ්‍ය එවැනි බරපතල විකෘති සංස්කරණයන් සිදු කරන්නේ නැහැ.

නමුත් ඇතැම් ශ්‍රී ලාංකිකයන් මේ ජාත්‍යන්තර මාධ්‍ය පූජනීයත්වයේ ලා අදහස් පළ කර තිබෙනු දැක තිබුණා.

ඔවුන්ට අනුව ‘මෙවැනි මාධ්‍ය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙන් නොව, අපක්ෂපාතීයි’. මෙවැනි අදහස් ඔබත් දකින්නට ඇති.

එක්කො ඔවුන් ජාත්‍යන්තර මාධ්‍ය නරඹා නැහැ. එසේ නොමැති නම් ඔවුන්ට ගෝලීය දේශපාලනය පිළිබඳව කියවීමක් හෝ අවබෝධයක් නැහැ.

ඔවුන් විශ්වාස කරනවා ‘සුදු ජාතිකයන්ගේ නිසා ජාත්‍යන්තර මාධ්‍යයත් අපක්ෂපාතී, සාධාරණ විය යුතු බවට’.

එය ඔවුන්ගේ උපකල්පනයක්. ඇතැම් ශ්‍රී ලාංකිකයන් සෑම විදෙස් ‘දෙයක්ම’ පූජනීයත්වයේ ලා සලකනවා.

එය ශ්‍රී ලංකාවට දුලභ නැති මානසිකත්වයක්. නමුත් යථාර්තය ඉන් බොහෝ දුරයි. විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය සම්බන්ධයෙන් යථාර්තය හාත්පසින්ම වෙනස්.

මේ මාධ්‍ය තන්ත්‍රයට නියම පිලිතුරු ලබා දෙන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.

ට්‍රම්ප් මේ මාධ්‍යවේදීන්ට නම් පට බැඳීමට දෙවරක් හිතන්නේ නැහැ.

ඔහු සෘජුවම මේ මාධ්‍යවේදීන් ‘මෝඩයන්’ සේ හඳුන්වනවා. එමෙන්ම ඔවුන් පක්ෂපාතී සහ දූෂිතයන් බව සෘජුව ප්‍රකාශ කරනවා.

යථාර්තයත් එයයි.

අවසාන වශයෙන්, ඇමෙරිකානු උප ජනාධිපතිවරයාම හැඳින්වූ ආකාරයකට ‘මෝඩයෙකු’ සමග සාකච්ඡාවට ගොස්, ඔහුගේ වෛරීසහගත සහ දුස් ප්‍රචාරණයට එරෙහිව නැගී සිටි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අප ස්තූතිය පළ කරනවා.

ට්‍රම්ප් ලා, වාන්ස් ලාගෙන් ප්‍රතික්ෂේප වූ සහ හාස්‍යයට ලක් වූ මෙහෙදි හසන් අවසානයේ රනිල් වික්‍රමසිංහ ‘බුලි’ කිරීමට උත්සාහ කිරීමෙන් සතුටු වීමට උත්සාහ කරන බව පෙනෙනවා.

සැබැවින්ම මේ මොහොතේ ශ්‍රී ලංකා දේශපාලනයේ මේ ආකල්පයෙන් සහ මේ ජවයෙන් මෙහෙදි හසන් වැනි ප්‍රොපගැන්ඩා යන්ත්‍ර සමග ඉංග්‍රීසි භාෂාවෙන් සම්මුඛ වීමේ හැකියාවත් ඇත්තේ රනිල්ටම පමණයි.

– Ireshan Siriwardhana –
2025. 03. 07



10 Viewers