• Home »
  • Sinhala Articles »
  • නව වැනි පනත ගැන කථා කරන්න බොහෝ දෙනෙක් අකමැති ඇයි?

නව වැනි පනත ගැන කථා කරන්න බොහෝ දෙනෙක් අකමැති ඇයි?

(Courtesy of Sunday Island)

දහ හට වන ශත වර්ෂයේ ලාංකිකයින් ඔවුන්ගේ සැබෑ සහ ප‍්‍රකාශිත ආධ්‍යාත්මික විශ්වාසය යන බොර දියේ සැරිසැරූහ. ඔවුන්ගෙන් ප‍්‍රශ්න අසන ලද්දේ ඔවුන්ව උගුලකට කොටු කර ගන්නා ආකාරයකට ය. එබැවින් ඔවුන්ගේ පිළිතුරු ද ව්‍යාකූල වීම පුදුමයක් නොවීය. තව ද, ඔවුන් තෝරාගත් දිව්රීම් ස්වරූපයේ පාරිශුද්ධභාවය පිළිබඳව නගන ප‍්‍රශ්න සඳහා ද ඔවුන් පිළිතුරු දීමට සූදානමින් නොසිටියහ. ප‍්‍රශ්න ඉදිරිපත් කළ විරුද්ධ පාර්ශ්වය, දිව්රීම් ස්වරූපය තෝරා ගැනීම මඟින් සාක්ෂිකරුවන්ගේ නිරවද්‍යතාවය ප‍්‍රශ්න කිරීමට උත්සහ දැරූ අතර ව්‍යාජ දිව්රීම පිළිබඳ ලන්දේසි සමාගමේ සංවේදී බව ද තේරුම් ගෙන තිබුණේය. දිව්රීම  පිළිගැනීමට නොහැකි වීම සහ දිව්රීම් ක‍්‍රම දෙකම අසමත් වීම  මෙයින් ඇති වූ අනවශ්‍ය ප‍්‍රතිඵල විය.

දිව්රීම නොසලකා හරිනු ඇතැයි යන ලන්දේසින්ගේ බිය හේතුපාදක කර ගෙන ලාංකීය විත්ති පැමිණිලි දෙපක්ෂයම ලන්දේසි නීතිමය ක‍්‍රියා පටිපාටියම උපයෝගී කරගත්හ. එකිනෙකාගේ සාක්ෂිකරුවන් අපකීර්තියට පත් කිරීමේ අවසාන ප‍්‍රතිඵලය වූයේ දිව්රීමට කිසිවෙකුට ඉඩ නොදීමය. ලාංකීය ජනතාව මේ අවස්ථාවේ දී නීතිය ක‍්‍රියාත්මක කිරීමේ දී සහ අර්ථ නිරූපණය කිරීමේ දී මූලිකත්වයක් ගත්හ.

මෙමඟින් පෙනී යන්නේ අධිකරණ විනිශ්චය ක‍්‍රමවේද අධ්‍යයනය කිරීමේ දී න්‍යායාත්මක ලෙස යම් නීතියක් හඳුන්වා දී තිබුණ ද, එය භාවිතයේ දී නොයෙකුත් ආකාරයෙන් හසුරුවා ගැනීමට ජනතාව කටයුතු කරන බවය. තව ද, යම් නීතියක් වෙනත් රටකින් බද්ධ කිරීමේ දී එහි භාවිතය සංසන්දනාත්මක නීති ඉතිහාසය යටතේ ගැඹුරින් අධ්‍යයනය කළ විට පෙනී යන්නේ එය සැම විටම සාර්ථක ලෙස නව සමාජ සන්දර්භය තුළට ඇතුළත් කළ නොහැකි බවය.

අදින් දිගු කලකට පෙර, දහඅටවන සියවසේ දී වෙරළබඩ ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතය කෙසේ වූයේ ද? ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ 2016 වර්ෂයේ දී නෙදර්ලන්ත ලයිඩන් විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් තම ආචාර්ය උපාධිය සඳහා ජාතික ලේඛනාගාරයේ මෙතෙක් භාවිතයට නොගත් ලන්දේසි භාෂා ලේඛන කියවීම තුළින් ලන්දේසි නැගෙනහිර ඉන්දියානු සමාගම (වී. ඕ.සී.) යටතේ ජනයාගේ එදිනෙදා කතා (everyday life stories) පිළිබඳ තොරතුරු හෙළි කර ගෙන ඇත.

දහඅටවන සියවසේ ගාල්ලේ අධිකරණ ක‍්‍රමවේදය පිළිබඳව ආචාර්ය රූපසිංහ ශාස්ත‍්‍රීය ප‍්‍රකාශනවල විෂ්ලේශනය කර ඇත. ‘ඔබ දස පනතේ නවවන පනත දන්නවාද?’ යන මාතෘකාව යටතේ ‘සංසන්දනාත්මක නීති ඉතිහාසය’ (Comparative Legal History)  යන ජාත්‍යන්තර සඟරාවේ පළ වූ ලිපිය අධිකරණ ප‍්‍රශ්න කිරීම්වලට සාමාන්‍ය ජනයා ලබා දුන් පිළිතුරු පදනම් කර ඇති අතර එම ලිපියෙන් අවධාරණය කරනුයේ යටත් විජිත පසුබිමක සිවිල් නඩුවලදී දිව්රීම් නීතිය දේශීය සාක්ෂිකරුවන් අත්විඳින සහ සූක්ෂම ලෙස හසුරුවන ආකාරයය. එම ලිපිය සඳහා සංසන්දනාත්මක නීති ඉතිහාසයේ ප‍්‍රමුඛ චරිතයක් වන බෙල්ජියම් ඉතිහාසඥ රාවුල් ෆන් කානගම් (1927-2018) ගේ නාමයෙන් පිරිනමනු ලබන සම්මානයක් ආචාර්ය රූපසිංහ 2020 වර්ෂයේ දී ලබා ගෙන ඇත. එය සංසන්දනාත්මක නීති ඉතිහාසය පිළිබඳ අවුරුදු දෙකක කාලයක් තුළදී පළ වූ හොඳම ලිපිය සඳහා තරුණ නීති ඉතිහාසඥයෙකුට ලබා දෙන ජාත්‍යන්තර සම්මානයකි.

මීට වසර දෙසිය පනහකට පමණ පෙර ගාල්ලේ සිටි කිතුනු සාක්ෂිකරුවන් විසි දෙනෙකුගෙන් ‘ඔබ දස පනතේ නවවන පනත දන්නවා ද’ යන ප‍්‍රශ්නය උසාවියේ දී අසන ලදී. සමහරු නවවන පනත යන්නෙන් තමා බොරු නොකියා සිටිය යුතු බව අවබෝධ කර ගෙන තිබූ අතර තවත් සමහරු කියා සිටියේ එය කුමක්දැයි තමන්ට අමතක වී ඇති බවය. පෙලකෙටිගේ බස්තියාන් පැවසුවේ තමා දස පනත දන්නා නමුත් නවවන පනත ඒ මොහොතේ සිහිපත් කළ නොහැකි බවයි. හේවගේ මිගෙල් කියා සිටියේ කුඩා කල සිටම ලන්දේසි නැගෙනහිර ඉන්දියානු සමාගම (වී. ඕ.සී.) සඳහා සේවය කර කාර්යබහුල වී සිටි නිසා තමා නොදන්නා බවය. මරක්කලගේ දානියෙල් පැවසුවේ තමා දස පනත ඉගෙන නොගත් බවත්, ‘අපේ පියාණනි’ යන ක‍්‍රිස්තියානි ගාථාව පමණක් දන්නා බවත්ය.

ව්‍යාජ සාක්ෂියට එරෙහි නවවන පනත නොදැන සිටියේ නම් සාක්ෂිකරුවන් විශ්වාස කළ නොහැකි බව ඔප්පු කිරීම මෙම ප‍්‍රශ්නයේ අරමුණ විය. පාලක මණ්ඩලය යුරෝපීය වෙළඳ සමාගමක් වූ විට දේශීය ජනගහනය පිළිබඳ දැඩි සැකයක් තිබූ බැවින් සත්‍යය තහවුරු කිරීම ගැටලූවක් විය. වර්ෂ 1741 දී සමාගම විසින් ගාල්ලේ ලාන්ත‍්‍රාඩුව (Landraad)  හෝ ඉඩම් කවුන්සිලය ශක්තිමත් කරන ලදී. එය ඉඩම් ගැටලූ සම්බන්ධයෙන් දිස්ත‍්‍රික් උසාවියක් ලෙස ක‍්‍රියාත්මක වුණි. එහි යුරෝපීය සාමාජිකයන්ගෙන් බහුතරයක් සහ දේශීය ප‍්‍රභූවරු සුළුතරයක් සිටියහ.

ලන්දේසි සමාගම ඔවුන්ගේ දිව්රීම් ක‍්‍රමය හඳුන්වා දුන් අතර සිංහල දිව්රීම් ක‍්‍රමයට ද පසුව ඉඩ දුන්නේය. එහෙත් මෙම ලිපියෙන් පෙන්වා දෙන පරිදි එලෙස දේශීය චාරිත‍්‍රයක් අනුගමනය කිරීම ප‍්‍රායෝගිකව සාර්ථක නොවීය. දිව්රීම සම්බන්ධයෙන් පුද්ගලයන් උපායමාර්ගික වූ බව අධිකරණ විභාග කිරීම් හරහා පෙනී යනු ඇත. යටත්විජිත උසාවිවල දී විත්ති පැමිණිලි දෙපක්ෂයේ සහ සාක්ෂිකරුවන්ගේ හා, පරිවර්තන පෙරණය හරහා උසාවි වාර්තා මඟින් පිළිබිඹු වුව ද, එය අපට දිගු කලකට පෙර මියගිය ජනතාවගේ සිතුවිලි කරා ළඟා වීමට අවස්ථාව ලබා දේ.

ලාංකීය දිව්රීම

ශ‍්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ දහඅටවන සියවසේ දී දිව්රීම බැරෑරුම් ලෙස සලකනු ලැබීය. සිංහල ක‍්‍රමය තුළ, විත්ති පැමිණිලි දෙපක්ෂයට ‘තීරණාත්මක දිව්රීම’  (decisory oath)  කළ හැකි වුණු අතර, නඩුවක තීන්දුව එම දිව්රීමෙන් පසුව ලබා දුනි. එය දිව්ය ලෙස හැඳින්විණ. සාක්ෂිකරු මඟින් විභාග කිරීම සුපුරුදු ක‍්‍රියා පටිපාටිය විය. නමුත් නඩුවක් සංකීර්ණ නම් නඩුකාරයින්ට දිව්ය භාවිත කළ හැකි විය.

දිව්ය භාවිත කිරීමේ අරමුණ වූයේ අද්භූත විනිශ්චය ලබා ගැනීමය. සාමාන්‍යයෙන් එම දිව්ය දේවාලයක දී ගනු ලැබූ අතර, දෙපාර්ශ්වයටම දිව්‍යමය මැදිහත් වීමක් ඉල්ලා දිව්රීම කළ හැකි විය. ඉන්පසුව ඔබ නියම කරගන්නා ලද කාල සීමාවක් තුළ අසනීප වුවහොත්, යම් දරුණු ශාරීරික තුවාලයක් සිදු වුවහොත් හෝ දේපල හානියක් සිදු වුවහොත් ඔබ නඩුවෙන් පරාජයට පත් වේ. තීරණාත්මක දිව්රීම බි‍්‍රතාන්‍යයන් විසින් නීතිගත කළ අතර මෙලෙස දිව්රීම 1940 දශකයේ දී පවා ලංකාවේ සින්නපොඩි එදිරිව මානික්කන් නඩු වාර්තාව (1949) අනුව කර ඇත.

තව ද, තම ජීවිතයට තර්ජනයක් සම්බන්ධ වූ ‘භයානක පරීක්ෂාව’ (ordeal) යන විභාග කිරීමේ අධිකරණ ක‍්‍රමය යටතේ, ‘නාග පරීක්ෂාවේ’ දී ඔබව නාගයා සපා කෑවා නම් හෝ උණුසුම් යකඩ ස්පර්ෂ කිරීමෙන් හෝ උණු තෙලේ අත දැමීම මඟින් ඔබගේ අත පිළිස්සුනහොත්, ඔබ නඩුවෙන් පරාජයට පත් විය. නමුත් එවැනි භයානක පරීක්ෂා ක‍්‍රම 18 වන ශත වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

ලන්දේසි දිව්රීම

ලන්දේසීන් දිව්රීමේ ක‍්‍රම දෙකක් ශ‍්‍රී ලංකාවේ භාවිතා කළහ. දේශීය පරිචයට සමානකම් ඇති තීරණාත්මක දිව්රීම එයින් එක් ක‍්‍රමයක් විය. ලන්දේසි නීතිවේදීන්, රෝමානු ලන්දේසි නීතිය යටතේ නඩුවක තීන්දුව එවැනි තීරණාත්මක දිව්රීම මත රඳා පවතින ආකාරය පිළිබඳ ලියා ඇත. එම නීතිය යටතේ දිව්රීමෙන් පසු නඩු තීන්දුව ලබා දෙනු ඇත. උදාහරණයකට, නඩු කියන්නන් වශයෙන්, දොන් ආද්‍රියාන් ගුණවර්ධන පොන්නම්පෙරුම සහ බස්තියාන් ක‍්‍රිස්ටෝබු යන අය වෙන වෙනම අවස්ථා දෙකක දී දිව්රීම කළහ. වර්ෂ 1769 දී පොන්නම්පෙරුම දිව්රීමට භාජනය වූයේ ඔහුගේ දිනපොතෙහි ඔහු සටහන් කළ කරුණක නිරවද්‍යතාවය ඔප්පු කිරීමට ය. ඔහු විසින් වත්තක් බද්දට ලබා දී තිබුණ බව ඔහුට තිබූ එකම සාක්ෂිය එම සටහන විය. ක‍්‍රිස්ටෝබු 1775 දී දිවුරුවේ විත්තිකරු ලංකාවේ එකල භාවිතා වූ මුදල් වර්ගයක් වූ රික්ස්ඩොලර් හතළිහක නොව පනහක ණයක් ලබා ගත් බවය. දෙදෙනාම එම තීරණාත්මක දිව්රීම් මඟින් තම නඩු දිනා ගත්හ.

ලන්දේසි ක‍්‍රමයේ දෙවන වර්ගයේ දිව්රීම සාක්ෂිකරුවන් විසින්ම කළ හැකි විය. එය තීරණාත්මක ලෙස භාවිතා නොකළ අතර, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ශක්තිමත් කිරීම සඳහා එය භාවිතා කළහ. එනමුත් ලිඛිත ප‍්‍රකාශයක් ලබා දෙන විට හෝ ලබා දුන් පසු ඉබේම දිව්රීමට අවස්ථාව නොලැබිණ. පහත දක්වා ඇති පරිදි සාක්ෂිකරුවා සැබැවින්ම දිව්රීමට තරම් යහපත් පුද්ගලයෙකු යැයි ලාන්ත‍්‍රාඩුව සහතික කළහොත් පමණක් ඔවුන්ට එම අවස්ථාව ලබා දුන්නේය. දේශීය සම්ප‍්‍රදාය තුළ අධිකරණ විනිශ්චයේ දී සාක්ෂිකරුවන් දිව්රීම පිළිබඳව සඳහනක් නොමැත.

දිව්රීම් ස්වරූපය වෙනස් කිරීම

කිතුනුවන් වශයෙන්, පොන්නම්පෙරුම සහ ක‍්‍රිස්ටෝබු ගත් දිවුරුමේ ස්වරූපය වූයේ ලන්දේසි පල්ලියේ භාවිතා කළ ස්වරූපයයි. එනම්, ඔබේ දකුණු අතේ දෙවන හා තුන්වන ඇඟිලි ඉහළට අල්ලා ‘සර්වබලධාරි දෙවියනි මට සැබවින්ම උදව් කරන්න’ (So truly help me god almighty) යන්න පැවසීමය. පොන්නම්පෙරුම සහ ක‍්‍රිස්ටෝබු අව්‍යාජ කිතුනුවන් විය හැකි අතර ඔවුන් පැවසූ දේ සැබැවින්ම ඔවුන් පිළිගත්තා විය හැකිය.

නමුත් බහුතරයක් විසින් ලන්දේසි දිව්රීම වැදගැම්මකට නැති දෙයක් ලෙස සලකා ඇත. එය ගැටලූවක් විය; මන්ද, දහඅටවන සියවසේ ගාල්ලෙහි බහුතරයක් කිතුනුවන් වූ බැවිනි. වර්ෂ 1778 සිට 1781 දක්වා ලන්ත‍්‍රාඩුව වෙත පැමිණි සාක්ෂිකරුවන්ගේ සාම්පලයක සියයට 92 ක් කිතුනුවන් විය. එනමුත් ඒ අතරින් බහුතරයක් නාමික කිතුනුවන් වනු ඇත. බව්තීස්ම වීම විවාහය ලියාපදිංචි කිරීමට සහ පරිපාලනමය රැුකියා සුරක්ෂිත කිරීමට වැදගත් විය. දේපලවල උරුමය සහතික කිරීම සඳහා ලියාපදිංචි විවාහයක් වැදගත් වූ නමුත් අත්‍යවශ්‍ය නොවීය.

ලංකාවේ ජනයා සඳහා මෙම ලන්දේසි දිව්රීම වෙනත් රටකින් බද්ධ කළ අර්ථ විරහිත වචන කීපයක් විය. ශ‍්‍රී ලංකාවේ නව සමාජ සන්දර්භය තුළ එයට නෙදර්ලන්තයේ දී පවරා ඇති සංස්කෘතික අරුත අහිමි විය. එය තවමත් වර්තමාන නෙදර්ලන්තයේ භාවිතා වන දිව්රීම් ස්වරූපය වේ.

එහෙත් දහඅටවන සියවසේ ශ‍්‍රී ලංකාවේ එය වෙනස් කිරීමට සිදු වුණි. දිව්රීම නොසලකා හැරීම ලන්දේසි සමාගමේ අප‍්‍රසාදයට ලක් වූ අතර ආණ්ඩුකාර ෆන් හොලෙනෙස විසින් දේශීය දිව්රීම් අනුගමනය කිරීමට ඉඩ ලබා දීමට තීරණය කළේය. ඒ අනුව, ඔහු වර්ෂ 1744 දී කොළඹ, ගාල්ල සහ මාතර හි දේශීය ප‍්‍රභූවරුන්ගෙන් දිව්රීම් ක‍්‍රම පිළිබඳ වාර්තා කැඳවූවේය.

එම වාර්තා අතරින්, එක් දිව්රීම් ක‍්‍රමයකට ප‍්‍රමුඛස්ථානයක් හිමි විය. එනම්, ඔබ ලේ ඥාතියෙකු — දරුවෙකු හෝ දෙමව්පියෙකු — උසාවියට ගෙනැවිත් ඔබේ දකුණු අත ඔවුන්ගේ හිස මත තබා මෙසේ පැවසිය යුතුය: ‘මම ස්වර්ගයේ හා පොළොවේ සැබෑ දෙවියන්ගෙන් දිවුරනවා. මාගේ පුතාගේ (හෝ ඔහු කවුරු වුවත්) හිස මත අත තබන බව සත්‍යයක් වන ආකාරයටම, මා ප‍්‍රකාශ කර ඇති දෙය සත්‍යය. මම කිසියම් අවස්ථාවක බොරු කිවහොත්, එම දෙවියන් වහන්සේම මටත් මගේ පුතාටත් (හෝ ඔහු කවුරු වුවත්) ඉතා ඉක්මනින්ම දරුණු ලෙස දඬුවම් කළ යුතුය.’ මේමඟින් දේව දණ්ඩනය පැමිණවීම අපේක්ෂා කළ අතර, එම දිව්රීම කවදා හෝ කෙරුවේ නම් දේශීය ජනතාව විසින් අදහස් කරනු ඇත්තේ ඔවුන් අදහන ලද දෙවිවරුන් විය යුතුය.

ඒ අනුව, ලන්දේසි සමාගම විසින් සිංහල දිව්රීම් ක‍්‍රමය අවම වශයෙන් න්‍යායාත්මක ලෙස හඳුන්වා දෙන ලදී. එය හඳුන්වාදීම පිළිබඳ ජනතාව දැනුවත්ව සිටි අතර ලන්දේසි දිව්රීමට වඩා සිංහල දිව්රීමට බිය වූහ. වර්ෂ 1789 දී, විවාහ නොවී දරුවන් ලද කාන්තාවක්, එක්තරා පුරුෂයෙකු තම දරුවන්ගේ පියා බව ඔප්පු කිරීම සඳහා, ‘සිංහල ක‍්‍රමයෙන් පවා’ දිව්රීමට පොරොන්දු විය.

ලන්දේසීන් විසින් මෙරට සිංහල දිව්රීම් ක‍්‍රමයක් පිළිගැනීම පරස්පර විරෝධී ය. මන්ද යත්, ඊනියා කිතුනුවන් විසින් ව්‍යාජ ලෙස දිව්රීමේ ගැටලූව විසඳීම සඳහා එය ප‍්‍රධාන වශයෙන් හඳුන්වා දුන් බැවිනි. තම ආගමට හැරුණු අය අතර ‘සැබෑ’ කිතුනුවන් සොයා ගැනීම දුෂ්කර වීම පිළිබඳ සත්‍යයට ලන්දේසීන් අන්ධ නොවීය. යටත් විජිත බලවතෙකු විසින් හඳුන්වා දුන් විදේශීය නීතියක් ජනතාව සියුම් ලෙස ප‍්‍රතික්ෂේප කළහ. එහෙත් දේශීය චාරිත‍්‍රය අනුගමනය කිරීම ප‍්‍රායෝගිකව සාර්ථක නොවීය.

අන්‍යොන්‍ය අපකීර්තිය

පෙරළිය එන්නේ එතැනිනි: උසාවි ලේඛන අනුව සිංහල දිව්රීම කිසිවෙකු විසින් සිදු කර නොමැත. ඇත්ත වශයෙන්ම, මිනිසුන් එයින් වැළකී සිටියහ. ඔබ ඒ ගැන සිතන්නේ නම්, ඔවුන් ලන්දේසි ස්වරූපය තෝරා ගන්නේ මන්ද, එමඟින් ඔවුන් සත්‍ය වශයෙන් අදහන දෙවිවරුන්ට බිය නොවී ව්‍යාජ සාක්ෂි ලබා දීමට හැකි වන බැවිනි. ලන්දේසි සමාගමේ නිලධාරීන් ගම්වලට ගොස් සිංහල දිව්රීම් ක‍්‍රමය අනුගමනය කිරීමට ජනතාව උනන්දු කළ විට ගම්වාසීන් පැවසූවේ ‘අපි කිතුනුවන්!’ යන්නය. සැබැවින්ම, ඔවුන්ගේ නිර්මාණාත්මක උපාය මාර්ගික බව මෙහි දී අපට දැක ගත හැකිය.

සාක්ෂිකරුවන් බොහෝ විට ලිඛිත ප‍්‍රකාශ ලබා දුන් අතර සාමාන්‍යයෙන් සාක්ෂිකරුවන් පිරිසක් විත්ති හෝ පැමිණිලි පක්ෂය වෙනුවෙන් සාක්ෂි දෙනු ඇත. ඒවා පරිවර්තකයකු මාර්ගයෙන් ලන්දේසි බසින් ලියා සාරාංශ කරන ලද ප‍්‍රකාශ වන අතර එම ප‍්‍රකාශ අවසානයේ දී එම සාක්ෂිය මත මතුවට දිව්රීමට ඔවුන් පොරොන්දු විය.

සාක්ෂිකරුවන්ට දිව්රීමට ඉඩ දීමේ ක‍්‍රියාවලිය විත්ති හෝ පැමිණිලි පාර්ශ්වයක ඉල්ලීම මත හෝ විනිසුරුවන්ට පවා හෝ ආරම්භ කළ හැකි විය. එවිට එම සාක්ෂිකරුවන් දිව්රීම පිළිබඳ විරුද්ධ පක්ෂය විරුද්ධ විය. එම සාක්ෂිකරුවන් සැබෑ කිතුනුවන් නොවන බව, පක්ෂග‍්‍රාහී වන හෝ දූෂිත පුද්ගලයන් බව හෝ ඔවුන්ගේ ප‍්‍රකාශවල පරස්පර විරෝධී බව හෝ ඔප්පු කිරීම සඳහා එම සාක්ෂිකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමට විරුද්ධ පක්ෂය කටයුතු කළහ. ‘ඔබ දස පනතේ නවවන පනත දන්නවා ද?’ යන්න එවැනි අවස්ථාවක පැනනැඟුණු ප‍්‍රශ්නයකි. එලෙස ප‍්‍රශ්න කිරීමෙන් පසුව දිව්රීම මඟින් තම සාක්ෂි තහවුරු කිරීමට අවසර දිය යුතු ද යන්න පිළිබඳව විනිසුරුවරුන් විසින් තීරණය කරනු ඇත. එනමුත් සැම විටම එයට ඉඩ නොදුන් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස සිංහල හෝ ලන්දේසි හෝ දිව්රීම් ක‍්‍රම දෙකම සාක්ෂිකරුවන්ට අහිමි විය.

එවැනි ප‍්‍රශ්න කිරීම්වලදී සාක්ෂිකරුවන්ගෙන් තමන් කැමති දිව්රීම් ක‍්‍රමය කුමක්දැයි විමසා ඇත. වර්ෂ 1778 දී හරකෙකුගේ අයිතිය සම්බන්ධයෙන් පුස්වෙලගේ යොහාන් විසින් කිතුනු සාක්ෂිකරුවන් පස් දෙනෙකු ඉදිරිපත් කර තිබුණි. කුමන දිව්රීම කිරීමට කැමැති දැයි විමසූ විට තිදෙනෙකු සිංහල දිව්රීම තෝරා ගත්හ. ඊළඟ ප‍්‍රශ්නය වූයේ ක‍්‍රිස්තියානි දිව්රීමෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නය. සාක්ෂිකරුවන් තිදෙනකු කියා සිටියේ එමඟින් සත්‍යය ප‍්‍රකාශ කළ බව හැෙඟන බවය. නමුත් එක් සාක්ෂිකරුවෙක් එම ප‍්‍රශ්නයට පිළිතුරු දීමට තරම් තමා නිර්භීත නොවන බව පැවසූ අතර තවත් සාක්ෂිකරුවෙක් පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

එම ප‍්‍රශ්නය ඔවුන්ව කම්පනයට පත් කළේ නම්, ඊළඟ ප‍්‍රශ්නය ඊටත් වඩා අමාරු විය. මන්ද, ක‍්‍රිස්තියානි ආකාරයෙන් දිව්රීමට වඩා තම දරුවන්ගේ හිස මත අත් තබා සිංහල දිව්රීම් ක‍්‍රමයට ඔවුන් බිය වන්නේ මන්දැයි එවිට සෘජුවම විමසන ලදී. මෙය ඔවුන් ඒකමතිකව ප‍්‍රතික්ෂේප කළහ. සිංහල දිව්රීම තෝරාගත් ඉඳිකඩුලගේ පිලිපූ කියා සිටියේ කිසිදු ආකාරයකින් තමා එම දිව්රීමට බිය නොවන බවය.

සාක්ෂිකරුවන් පිළිතුරු ලබා දීමේ දී නිර්මාණශීලී විය. නිදසුනක් වශයෙන්, එක් ප‍්‍රශ්නයක් වූයේ යමෙකුට දෙවියන් වහන්සේ පිළිබඳ හෝ ඔහුගේ නියෝග පිළිබඳ අවබෝධයක් නොමැති නම්, ඔවුන් කිතුනුවන් බව ඔවුන් කරන ප‍්‍රකාශ හෝ ඔවුන්ගේ සාක්ෂි අපට විශ්වාස කළ හැකිද යන්නය. වේරගොඩගේ සීමන් ද සිල්වා පිළිතුරු දුන්නේ එවැනි උපක‍්‍රමශීලි ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට තරම් ඔහු ඉගෙනගෙන නොමැති බවය. ඔවුන් විටින් විට තම පිළිතුරු ලබා දීමේ දී අවිනීත ද විය. ක‍්‍රිස්තියානි ධර්මයේ සිට ‘මිථ්‍යාදෘෂ්ටිය’ වෙත හැරීම දඬුවම් ලබා දිය යුතු කාරණාවක් නොවන්නේ දැයි ඇසූ විට, දොන් සීමන් ද සිල්වා හතරසිංහ මහතා පිළිතුරු දුන්නේ විනිසුරුවරුන්ම එම ප‍්‍රශ්නයට පිළිතුර දැනගත යුතු බවය.

සමහර විට සාක්ෂිකරුවන් ඉතා අවංකව පිළිතුරු දී ඇත. පසුගිය අවුරුදු විසිපහක් තිස්සේ කතරගම දේවාලය වෙත ගොස් නැතිදැ යි කිතුනුවකුගෙන් විමසූ විට ඔහු එසේ ගිය බව පිළිගත්තේය. තව ද, ඔහු මීට වසරකට පෙර එහි ගිය බව ද තහවුරු කළේය. පැහැදිලිවම ඔහුට එය ඔහුගේ ආධ්‍යාත්මික ප‍්‍රමිතීන් අනුව ගැටලූවක් නොවීය. නමුත් ආගමික විශ්වාසයන්හි සියුම් කරුණු පිළිබඳව පවා සාක්ෂිකරුවන්ගෙන් ප‍්‍රශ්න කරන ලදී.

බුද්ධ ධර්මයේ පවා යක්ෂ භූතවාදයන් පිළිකුල් කොට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙන්නේ නැද්ද යන්න පිළිබඳව සාක්ෂිකරුවන් කණ්ඩායමකින් විමසන ලදී. තමා එවැනි දෙයක් නොදන්නා බව පැවසූ එක් සාක්ෂිකරුවෙකු හැර, අන් සියල්ලෝම එයට එකඟ වූහ. ලන්දේසි සමාගම පිළිම නමස්කාරය තහනම් කර තිබුණේය. ‘ක‍්‍රිස්තියානි’ යන වචනයෙන් ඔවුන් තේරුම් ගත්තේ කුමක්දැයි ඇසූ විට, සාක්ෂිකරුවන් තිදෙනෙකු එයින් අදහස් කළේ බව්තීස්ම වීම බව පැවසුහ. මන්ද, මේ වන විට බව්තීස්ම වීම සහ ඉඩම් අයිතිය බද්ධ වී ඇති බවට ජනයා අතර මතයක් තිබුණි.


නදීරා රූපසිංහ



26 Viewers