• Home »
  • Sinhala Articles »
  • බුවනෙක හෝටලය අබියස කිඹුල් කඳුළු වෙනුවට ජාතික උරුම කළමනාකරණ පනතක්

බුවනෙක හෝටලය අබියස කිඹුල් කඳුළු වෙනුවට ජාතික උරුම කළමනාකරණ පනතක්

(Courtesy of Aruna)

කුරුණෑගල බුවනෙක හෝටලයේ කොටසක් කඩා බිඳ දැමීමත් සමග, ගෝඨාභය රාජපක්ෂ රජය පුරාවිද්‍යා උරුමයන් සුරැකීමට කටයුතු නොකිරීම පිළිබඳව බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. බුවනෙක හෝටලයට අයත් පැරණි දිසාපති කාර්යාලය කුරුණෑගල යුගයට අයත් පැරණි රාජ සභාවක්ය යන තැන පිහිටා මේ චෝදනා නැගෙන්නට විය.

මෙරට ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ පැවති යහපාලන රජය විසින් ඉතාම නින්දිත ලෙස කරගෙන ගිය පුරාවිද්‍යා සංහාරයට එරෙහිව නැගුණු ජනතා විරෝධයයි. එවකට සංස්කෘතික අමාත්‍යවරයා වූ අකිල විරාජ් විසින් බෞද්ධ උරුමයන් ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් බවට පත් කර ගැනීමට කැස කැවූ හැටි අපට අමතක වී නැත. අනෙක් අතට රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට උතුරු නැගෙනහිර බෞද්ධ උරුමයන් සංරක්ෂණය කිරීමට කිසිදු පියවරක් නොගන්නා බවට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිඛිතව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට දැන්වීමට කටයුතු කළ දීන යුගයක් එකල විය. බුවනෙක හෝටලය ගැන කිඹුල් කඳුළු හෙළන ජවිපේ සුනිල් හඳුන්නෙත්තිලා මුලතිව් කෝකිලායි ගුරුකන්ද රජමහා විහාරයට අන්තවාදීන්ගේ තර්ජන එනවිට එහි ඇති ඓතිහාසික වටිනාකම ප්‍රශ්න කළහ. පුරාණ චෛත්‍ය බඳට කුණු දැමිය යුතු යැයි පුරසාරම් දෙඩූ ජවිපේ අලුත් පරපුරට ජාතික උරුමය පිළිබඳව හදිසි ආදරයක් පහළ වීම දේශපාලන අවස්ථාවාදය මිස වෙන කිසිවක් නොවේ.

ඉතිහාසය තුළ පුරාවිද්‍යා සංහාරයට යහපාලන ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් මොනයම් දේ කළත් එම හේතු ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට ගෝඨාභයට රජයට ඇති වගකීම නිදහසට කරුණක් නොවේ. රටේ සිංහල බෞද්ධ බහුතරය විසින් ගෝඨාභයට සුවිෂේශී ජනවරමක් ලබාදීමත් එම ජනවරම ජනාධිපතිවරයා විසින් රුවන්වැලිසෑය අසලදී ප්‍රතිඥා දී සපථ කර ඇති නිසාත් ආණ්ඩුවට සම්බන්ධ කිසිවකුට පෙර ආණ්ඩුවල වැරදිවලට මුවා වී සුදුහුනු ගෑමට අයිතියක් නැත.

පුරාවිද්‍යාත්මක ස්ථානවල නිධන් හෑරීම සහ පුරාවිද්‍යා සංහාරය යනු වෙනස් කරුණු දෙකකි. නිධන් හෑරීමෙන් පවා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත තැන් ජාතියට අහිමි වේ. නමුත් සංවිධානාත්මකව කෙරෙන පුරාවිද්‍යා සංහාරය ජාතික ගැටලුවකි. දේශපාලන අධිකාරිය විසින් අපේ අධ්‍යාපනය තුළ ඉතිහාසය කසි කබල් විෂයක් බවට පත් කර තිබුණද, ඊනියා දෙමළ නිජභූමි සංකල්පය ගොඩනගා ඇති අත්තිවාරම, ඔවුන් විසින් ප්‍රබන්ධකරණය කර ඇති මිථ්‍යා ඉතිහාසයයි. ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ත්‍රස්තවාදයට, ජීනීවා නුවර දෙමළ ඩයස්පෝරාවට, පාර්ලිමේන්තුව තුළ සුමන්තිරන්ලාට මතවාදී පදනම ලෙස භාවිත කරන්නේ එම ඊළාම් මිථ්‍යාවයි. එම ප්‍රබන්ධ ඉතිහාසයට එරෙහිව සිංහල බෞද්ධ රාජ්‍යයේ උරුමය සජීවී ලෙස තහවුරු කරන්නේ උතුරු නැගෙනහිර පුරා විසිරී තිබෙන ජාතික උරුමයේ නෂ්ටාවශේෂයන් විසිනි. එම උරුමය විනාශ වීමට ඉඩ හැරීම, නිධන් හැරීමට එහා ගිය ජාතියේ අක්මුල් ගලවා දමන ව්‍යපෘතියකි. අනෙක් අතට ඊළාම් මිථ්‍යාව ස්ථාපිත කිරීමට උඩගෙඩිදීමකි. ඇෆ්ඝනිස්ථානයේ තලිබාන් ත්‍රස්තවාදින් විසින් බාමියන් බුදු පිළිම විනාශ කළේ මෙවැනිම සංස්කෘතික සංහාරයක වුවමනාව වෙනුවෙනි.

අපේ රටේ බොහෝ ක්ෂේත්‍ර මෙන්ම පුරාවිද්‍යාවද පාලනය වන්නේ බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද අණපනත් මගිනි. 1940 අංක 09 දරන ආඥාපනත අපේ රටේ සංස්කෘතික හර පද්ධතියන් නියෝජනය නොකරයි. එම පනතේ සංස්කෘතික විඥානය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍යයයේ වින්ඩ්සර් මාලිගාව හෝ ඉතාලියේ කැලිසියම වටේ ගොස් එය නරඹා එහි ඓතිහාසික පරිණාමය අධ්‍යයනය කරන භෞතිකවාදී ස්පර්ශයක් තුළයි. අපේ උරුමය තුළ ඇත්තේ ජාතික හෘද ස්පන්ධනය හා තදින් බැඳුණු සජීවී සම්බන්ධයකි. ඉතිහාසයේ අභිමානය, අපව තවමත් ජීවත් කරවන සජිවී ප්‍රපංචයකි. නන්දිකඩාල් කලපුවේදී කූටාප්‍රාප්තියට පත් වූයේ ඓතිහාසික වීරත්වයයි. තරුණයන් දිවි නොතකා ත්‍රිවිධ හමුදාවට එක් වූයේ, මහජනයා සියලු ගැහැට ඉවසමින් මානුෂික මෙහෙවරට ආශිර්වාද කළේ ඓතිහාසිකව ගොඩනගන ලද දේශානුරාගය විසිනි. එවන් ඉතිහාසයක් නොවන්නට එය වැටුප් ලැබූ කුලී සොල්දාදුවන්ගේ තවත් පැවරුමක් ලෙස වාර්තාගත වීමට ඉඩ තිබිණි.

පසුගිය කාලය තුළ, හෙළ ජන බලය සංවිධානය විසින් හිටපු ජනාධිපතිවරයාට සහ අස්ගිරි හා මල්වතු මාහිපාණන් වහන්සේලාට ජාතික උරුමය සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ලබා දුන් යෝජනා මෙහිදී වැදගත් වේ.

රුවන්වැලිසෑය, ථූපාරාමය, මිරිසවැටිය පිළිබඳව අපට ඇත්තේ තවත් පස් ගොඩැල්ලකට ඇති ආකල්පය නොවේ. එය යකඩ වැටකින් ආවරණය කර වීදුරු පෙට්ටියක දමා වසා තැබීම අපේ පුරාවිද්‍යාවට අනුකූල නොවේ. එය මියගිය හෝ නතර වූ ඉතිහාසයක් නොව සිංහලයා සමග තවත් දෙදහස් පන්සිය වසරක් ඉදිරියට ගලා යන ජාතියක අඛණ්ඩ බවේ සාධක වෙති.

මෙම සජීවී සම්බන්ධතාව තහවුරු කරන, ජනතාවට එම ස්ථාන වන්දනා මාන කරගත හැකි පරිදි විවෘතව ආරක්ෂා කරන ජාතික උරුම කළමනාකරණ පනතක් ගෙන ඒම ගෝඨාභය රාජපක්ෂ රජයේ ප්‍රමුඛතාවක් විය යුතුය. ජාතික උරුමය කළමනාකරණ පනතක් මගින් ඓතිහාසික උරුමය සංරක්ෂණය කළ යුත්තේ ප්‍රජා කේන්ද්‍රීය ව්‍යාපෘතියක් ලෙස මිස ජනයාගෙන් වියුක්ත අධ්‍යාපනික අභ්‍යාසයක් ලෙස නොවේ. ඓතිහාසික පුදබිම්, ලෙන් වැනි ස්ථාන භාවනායෝගී භික්ෂූන්ට, කෙටිකාලීන භාවනා වැඩසටහන් සඳහා විවෘතව තැබීමෙන් එම ස්ථාන රැකීමට අමුතු ආයාසයක් යෙදීම අවශ්‍ය නොවේ. භික්ෂූන් වහන්සේලා වැඩවිසීමටත්, බෞද්ධයන්ගේ පැමිණීමටත් වැට කඩොලු දමන නීති, අපේ ජාතික වුවමනාව නියෝජනය නොකරයි.

දැනට පවතින පුරාවිද්‍යා පනත ඉතා බලසම්පන්න පනතකි. කෙසේ වුවද, එම පනත මේ වන විට දත් ගලවන ලද අත පය බිඳින ලද මහලු වෘකයෙකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පනත උල්ලංඝනය කරන වරදවල් සම්බන්ධයෙන් අධිකරණ සහාය පැතීමට පොලිසිය පසුපස යා යුතු නැත. සුරාබදු දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පාරිභෝගික අධිකාරිය මෙන් පනතේ විෂය සීමාවට වැටෙන වැරදි සම්බන්ධයෙන් සිය මෙහෙයවීමෙන් නඩු පැවරීමේ බලය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇත. නමුත් මේසා වැදගත් තර්ජනයට ලක් වූ උරුමයේ නීතිමය ආරක්ෂාව වෙනුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව සිටින්නේ නීති නිලධාරීන් දෙදෙනෙකි. උතුරේ පුරාවිද්‍යා නඩු සම්බන්ධයෙන් පෞද්ගලිකව පෙනී සිටි නීතිඥයකු වශයෙන් මගේ අත්දැකීම වන්නේ ඒ බොහෝ නඩුවලට දෙපාර්තමේන්තුවේ නියෝජනයක් නොවීමයි. පොලිසිය විසින් වෙනත් නඩු අතර පුරාවිද්‍යා නඩු මෙහෙයවන අතර පුරාවිද්‍යා පනතේ බල සම්පන්න වගන්ති උපයෝගි කර ගැනීමට විශේෂඥ දැනුමක් ඔවුන් සතුව නැත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ප්‍රබල නීතිඥ කණ්ඩායමක් අත්‍යාවශ්‍ය වේ.

එසේම එම නීතිඥ මණ්ඩලය නීතිපති දෙපාර්තමේන්තුව සමග සමීපව කටයුතු කිරීම අවශ්‍ය වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින පොලිස් අංශය යහපාලන රජය විසින් අතිශය දුර්වල තත්ත්වයකට ඇද දමන ලදී. එම ඛණ්ඩයට අනුයුක්තව සිටි පිරිස් බලය මේ වන විට සියයකට වඩා අඩු කර ඇත. යහපාලනයට ජාතික උරුමය වියදම් කැපීමට මාධ්‍යයක් වුවද ගෝඨාභය රජයට එය වැදගත් විෂයකි. ජනාධිපති කාර්ය සාධක බළකාය යටතේ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකායේ ප්‍රමාණවත් පිරිසක් නියමිත පුහුණුවකින් පසු අනුයුක්ත කිරීම බිම් මට්ටමේ රැකවරණයට අත්‍යාවශ්‍ය වේ.

ජාතික උරුම සංරක්ෂණයට තාක්ෂණය යොදා ගත හැකිව තිබියදී දෙපාර්තමේන්තුව තවමත් හැරමිටියෙන් බඩගාමින් සිටියි. ගුරුකන්ද විහාරය සහ නැගෙනහිර බොහෝ ස්ථාන මේ වන විට GPS තාක්ෂණය යටතේ මැනීම් කටයුතු කර තිබුණද, එම තාක්ෂණික මැනීම් පිළිගැනීම සම්බන්ධයෙන් නෛතික තර්ක විතර්ක මැද ගැසට් කිරීම නතර වීමෙන් එම උරුමයන්ට හිමිවිය යුතු නෛතික ආරක්ෂාව අහිමි වී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වගකීම් ඉටු කිරීමේදී අනෙකුත් රාජ්‍ය ආයතන නිසි පරිදි සම්බන්ධීකරණය නොවීමද ගැටලුවකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු ඉඩම් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහවැලි අධිකාරිය, වනජීවී හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදි ආයතනවලින් වියුක්තව තීන්දු තීරණ ගැනීමේදි වෙනත් සංවර්ධන කටයුතුවලට ප්‍රායෝගික බාධාවන් ඇති වේ. එම දෙපාර්තමේන්තුවල නියෝජනයන් නොතිබීමෙන් බොහෝ සාකච්ඡා තීන්දු තීරණ නොගත් පුස් කතාබහකට සීමා වූ අවස්ථා ඕනෑ තරම් ඇත.

මේ කාරණා සම්බන්ධයෙන් දැනුවත් විද්වතුන්, ප්‍රවීණයන් හා නීතිඥයන් ඕනෑ තරම් සිටිති. එක් එක් හුදකලා සිදුවීම් පසුපස කමිටු පත් කිරීම, කාලය කා දමන වැඩක් මෙන්ම නැවත නැවත හෝද හෝද මඩේ ඔබන යල් පැන ගිය උපායකි. දැන් අවශ්‍ය වන්නේ ජාතික සැලැස්මක් සහිතව ඉක්මනින් ක්‍රියාත්මක වීමයි. ජාතික උරුමය ආරක්ෂා කිරීමත්, විනාශ කිරීමත් දෙකම අවස්ථාවාදි කූට දේශපාලඥයන්ගේ බල ව්‍යාපෘතියේ කොටසක් නොවන බවට වගබලා ගැනීම ගෝඨාභයගේ උරමත පවරන ලද අත් හළ නොහැකි ජාතික වගකීමකි.

•නීතිඥ නුවන් බැල්ලන්තුඩාව



9 Viewers