ලන්දේසි ජාතික දේවගැතිවරයෙකු වූ පිලිප් බල්දෙවුස්
1656 දී ලංකාවට පැමිණ යාපනයේ ජීවත් වූ ලන්දේසි ජාතික දේවගැතිවරයෙකු වූ පිලිප් බල්දෙවුස් (1632 -1671) “A True and Exact Description of the Most Celebrated East-India Coasts of Malabar and Coromandel, as also of the Isle of Ceylon” නමින් කෘතියක් සම්පාදනය කළේ ය.
බල්දෙවුස් පියතුමා සඳහන් කරන අන්දමට එතුමා මෙ රටට පැමිණෙන අවධිය වන විට යාපනය ප්‍රදේශයේ ගම්මාන 159 ක් තිබුනු බව ද එහි දෙව් මැදුරු වලට අමතරව බෞද්ධ විහාර 34 ක් ද හින්දු කෝවිල් 12 ක් ද පැවතුනු බව සඳහන් කරයි.
1656 වන විටත් යාපනයේ එතරම් බෞද්ධ විහාර සංඛ්‍යාවක් පැවතීම තුලින් අපට බැසගත හැකි සාධාරණ නිගමනය නම් ඒ වන විටත් යාපනයේ විශාල බෞද්ධ ජනගහණයක් සිටි බව යි. ඔවුන් සිංහල බෞද්ධයින් විය යුතු ය. ඔවුන් අතර බුදු සමය වැළඳ ගත් දෙමළ අය ද සිටින්නට ඇති නමුදු මෙරට දෙමළ බෞද්ධ ජන සංඝයක් පැවති බව පිළිගැනීමට තරම් සාධක ඇතැ යි මම නො සිතමි.
බල්දෙවුස්ට අනුව පෘතුගීසීන් විසින් කන්ද උඩරට රජුගෙන් යාපනයේ රජ්‍ය බලය පැහැර ගන්නේ 1620 දී ය. ඒ බල්දෙවුස් යාපනයට පැමිණීමට වසර 36 කට පෙර ය. පෘතුගීසීන්ගේ ක්‍රෘර පිළිවෙත් ගැන හොඳින් දන්නා අපට 1620 වන විට යාපනයේ බෞද්ධ විහාර 34 ටත් වඩා වැඩි ප්‍රමාණයක් තිබෙන්නට ඇතැ යි යන්න පිළිගතහැකි උපකල්පනයකි.
බල්දෙවුස් දේවගැතිවරයා විසින් සඳහන් කරන්නට යෙදුනේ බටහිර ආක්‍රමණයන් හමුවේ මෙරට බුදු සමය බිඳ වැටෙමින් පැවති යුගයක එතුමා යාපනය තුල කල සංචාරවල දී දුටු එවකට සක්‍රිය ව පැවති විහාරසථාන පමණක් වීමට ද ඉඩ ඇත. (අවාසනාවකට මෙන් එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ‘උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය’ කෘතිය සොයා ගැනීමට පොත් රාක්ක අවුස්සමින් සෑහෙන වේලාවක් ගත කළ ද සොයාගත නො හැකි විය.)
මා මේ සටහන කෙටියෙන් ලියා තැබීමට සිතුවේ පසුගිය දා යාපනය හා සම්බන්ධයෙන් මතු වූ සිත් කළකිරවන පුවත් දෙකක් මුල් කරගෙන යි. ඉන් එකක් ජාතිවාදී කොටස් විසින් යාපනයේ කඳුරුගොඩ විහාරයේ පමණක් නොව, ත්‍රිකුණාමලයේ පැරණි විහාරස්ථන වල ද පුවරු ඉවත් කිරීමේ සිද්ධිය යි.
අනෙක් සිද්ධිය ජාතිවාදය දැඩිව ප්‍රතික්ෂේප කරනවා යැ යි කියන ජනාධිපතිවරයා ම සිංහල බෞද්ධයින්ට සිය වත්පිළිවෙත් පිරීමට යාපනයට නොපැමිණෙන ලෙසට යාපනයේ දී කළ අනතුරු හැඟවීම යි.
මෙවන් අවාසනාවන්ත තත්වයක් යටතේ භික්ෂූන් වහන්සේලා එකතු වී සංඝ සම්මේලනයක් පැවත්වීම අප සිත් පහන් කරවන්නකි. කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සමග්‍රි ධර්ම මහ සභාවේ අනුනායක මහාචාර්ය කොටුපිටියේ රාහුල නා හිමියන් විසින් ජනාධිපති කුමා කෙරෙහි කරුණාවෙන් අනුශාසනා කරමින් රටේ පවතින සැබෑ තත්වය පැහැදිලි කරදීම මෙරට පොදුජන අපේක්ෂාවන් යළි දල්වාලන සුළු ය.
( මේ ලිපිය ලිවීමේ දී පිලිප් බල්දෙවුස් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට නුවරඑළියේ හේමපාල මහතාගේ ‘සිරිලක සිරි විදෙස් ඇසින්’ ( විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය) කෘතියත්, පියසිරි අමරකෝන් මහතාගේ ‘යාපනයේ ස්වාධීන රාජ්‍ය මිථ්‍යාව’ (විසිදුනු) කෘතියත් උපයෝගී කර ගත්තෙමි.)
වසන්ත දේවසිරි
26. 06 21
8 Viewers





