අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, විධායකයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකා ජනරජයේ පදනම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිලින්ද රාජපක්ෂ මහතා, මෙරට තුළ දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් පවතින බව අවධාරණය කළේය.
නාමල් රාජපක්ෂ වැනි විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා දිගින් දිගටම රඳවා තබා ගැනීම හරහා අධිකරණ ක්‍රියාවලියේ සහ නීතිමය පටිපාටියේ පවතින බරපතළ දුර්වලතා මතු වන බව ඔහු පෙන්වා දුන්නේය.
එසේම, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බවත්, එමගින් විධායකයට අධිකරණ පරිපාලනය කෙරෙහි අනවශ්‍ය බලයක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවා අනතුරු අඟවා ඇති බව ඔහු සිහිපත් කළේය.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට රජය උත්සාහ දරන බවත්, දූෂණ විරෝධී පනතේ ඇතැම් සංශෝධන හරහා ඇප ලබාදීමේ ක්‍රියාවලිය දැඩි කර පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් මිලින්ද රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළේය.
“ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ අත්‍යවශ්‍ය සංවරණ සහ තුලන හමුවේ එල්ල වී ඇති බරපතල හා උග්‍ර වන තර්ජන පිළිබඳව අපි අපගේ දැඩි කනස්සල්ල පළ කරමු. විධායකයේ අසීමිත බලපෑම මගින්, ශ්‍රී ලංකා ජනරජය ගොඩනඟා ඇති මූලික අගයන් ක්‍රමානුකූලව හීන කරමින් පවතී.
නාමල් රාජපක්ෂ වැනි විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කරගනිමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් හරහා දේශපාලනික පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පැහැදිලිවම පෙන්නුම් කෙරේ. හිටපු රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සල්ලේ මහතා අඛණ්ඩව රඳවා තබා ගැනීම මගින් මෙය තවත් උග්‍ර වන අතර, එමගින් අධිකරණ අධීක්ෂණය සහ නිසි නීතිමය ක්‍රියාපටිපාටියේ පවතින බරපතල අඩුපාඩු ඉස්මතු වේ.
මෙවැනි අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමේ ක්‍රියාමාර්ග, බන්ධනාගාරවල පවතින අධික තදබදය තවදුරටත් දැඩි ලෙස උග්‍ර කිරීමට හේතු වේ. මෑතකදී සිදු වූ මාරාන්තික බන්ධනාගාර කැරලි මගින් සියලුම රැඳවියන්ගේ ජීවිතවලට තර්ජනයක් වන පරිදි පවතින අමානුෂික තත්ත්වයන් නිරාවරණය විය.
සේවයේ නියුතු විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස නිල කාලය අතරතුර වෙනස් කරමින්, අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන සහ යුක්තිය පරිපාලනයට බාධා කරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පද්ධතිමය අවදානම තවදුරටත් වර්ධනය වේ.
ස්වාධීන විනිශ්චයකාරවරුන් සහ නීතිඥවරුන් පිළිබදව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අනතුරු අඟවා ඇති පරිදි, මෙයින් අධිකරනය කෙරෙහි විධායකයේ අනුග්‍රහය සහ බලපෑම නිර්මාණය වේ. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කළ පෙත්සම්කරුවන්ට පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කරුණු දැක්වීමට අවස්ථාව නොදීම සහ වාචික පිළිතුරු දැක්වීමේ අයිතිය අහිමි කිරීම මගින් සිදු වූ බරපතල ක්‍රියාපටිපාටික දෝෂ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය මගින් ද පෙන්වා දී ඇත.
අවසාන වශයෙන්, ආණ්ඩුවේ මෙම සමස්ත ක්‍රියාමාර්ග, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින්, විරුද්ධ අදහස් දැක්වීමට ඇති අයිතියට සහ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට සෘජු තර්ජනයක් එල්ල කරයි.
ශ්‍රී ලංකාව පිළිබඳ සක්‍රීය අධීක්ෂණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස අපි මෙම මණ්ඩලයෙන් සහ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු.”
2 Viewers





