• Home »
  • Sinhala Articles »
  • අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වන ජන්මානුස්මරණය අදයි

අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වන ජන්මානුස්මරණය අදයි

ශ්‍රී ලාංකේය ඉතිහාසය දෙස හැරී බලන කල අප දකිනා මහා යුග පුරුෂයෙකු වන අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වන ජන්ම දින සැමරුම අදට යෙදී ඇත.

1864 වසරේ සැප්තැම්බර් මස 17 වන දොන් කරෝලිස් හේවාවිතාරණ සහ මල්ලිකා ධර්මගුණවර්ධන යුවලට දාව උපන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ කුල කුමරුවන් කුඩා කල සිටම දේශානුරාගයෙන් පිරි සිතක් හිමි දරුවෙක් වූවේය.

මෙරට බොහෝ දෙනෙකුගේ නිදිබර දෑස් ප්‍රබෝධමත් කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ “පානදුරා වාදය” අසා එය ජීවිතයේ හැරවුම්ලක්ෂය කරගත් ඩේවිඩ් හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ආභාෂය නිසාවෙන් බුදු දහම සහ පාලි, සංස්කෘත වැනි භාෂා පිළිබඳව සමකාලීනයන්ට වඩා ප්‍රමාණික ඥාණයකින් හෙබි තරුණයෙකු විය. කාලයේ ඇවෑමෙන් සහ දේශානුරාගී පිබිදීමෙන් ඩේවිඩ් සිය මව්පියන් දැනුවත්කරමින් තම බෞතිස්ම නම පසෙකලා “ධර්මපාල” යන නම භාවිතා කළ අතර ඔහු ගිවි ජීවිතයේ අගාරික බව පසෙකලා බ්‍රහ්මචාරී දිවි පෙවතක් තෝරාගැනීම නිසාවෙන් “අනගාරික ධර්මපාල” ලෙසින් සමාජයේ ප්‍රචලිත වීය.

වලිසිංහ හරිශ්චන්ද්‍රයන්, හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් සහ බ්ලැවැට්ස්කි මැතිණිය වැනි වියතු දේශප්‍රේමීන් සමග එක්වෙමින් “පරම විඥානාර්ථ” වැනි සංවිධාන හරහා මෙන්ම “සිංහල බෞද්ධයා” සහ “සරසවි සඳරැස” වැනි පුවත්පත් ප්‍රකාශයට පත් කරමින් එතුමන් සිය ධනය, ශ්‍රමය සහ කාලය යන සියල්ලම අප දේශය වෙනුවෙන්ම කැප කරන්නට යෙදුණේය.

ශ්‍රී ලංකාව පුරා ගම් නියම්ගම් සිසාරමින් දේශන පවත්වා නිදා සිටි සිංහලයන් අවදි කළ එතුමා අධිරාජ්‍යවාදීන්ගේ මෙන්ම මෙරට සිටි අදිරාජ්‍යවාදී ගැතියන්ගේ සුඛ විහරණයට මරු පහරක් වූ තැන ඔවුන්ගෙන් එතුමන්ට ලැබුණු තර්ජන, මෙන්ම ප්‍රහාරයන් ද සුළුපටු නොවීය. එහෙත් ඒ සියල්ල නොතකමින් සිය මෙහෙවරෙහි නියැලුණු ධර්මපාලතුමන් භාරතීය දේශයෙහි අපට අහිමිවන්නට ගිය බොදු උරුමය වෙනුවෙන් තනිව සටන් වැද බුද්ධගයාව ලෝකවාසී බොදුනුවන් වෙනුවෙන් සුරක්ෂිත කිරීමේ අත්‍යුදාර මෙහෙවරෙහි පුරෝගාමියා වීය.

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සමගින් මෙරට බෞද්ධ පාසැල් ආරම්භ කිරීමේ ප්‍රමුඛත්වය ගත් එතුමා ජීවත් වූ නිවස පිහිටා ඇත්තේ ද වත්මන් ආනන්ද බාලිකා විද්‍යාල භූමියේය. මහාබෝධි සංගමය පිහිටුවමින් මෙරට ආගමික, සංස්කෘතිකමය සහ සමාජීය පුනරුදයක් ඇති කිරීමෙහිලා දේශප්‍රේමි වියතුන් සමග විසල් චින්තන විප්ලවයක් ඇති කළ ඒ උතුමන් ආසියාව, යුරෝපය සහ ඇමරිකාව යන මහද්වීප ත්‍රිත්වයේම බුදු දහම දේශනා කළ පළමු ලාංකිකයා ද වේ.

වයස අවුරුදු 30 වැනි තරුණ අවදියේ පසුවන විටම උතුරු සළුවටත් බ්‍රහ්මචාරී අනගාරික ජීවිතයටත් සමීප වූ එතුමන් ජීවිතයේ අවසන් කාලය විසල් කලකිරීමක් ඇතිව ලංකාවෙන් බැහැරව භාරතයේ සාරානාත් ප්‍රදේශයේ ගත කළ අතර එහිදී එතුමන්, සිරි දේවමිත්ත දම්මපාල නමින් පැවිදි දිවයට ද වැඩම කළ සේක. කෙසේ නමුදු මේ යුග පුරුෂයාණන් ලංකේය සභ්‍යත්වය මතට ගෙන ආ චින්තනය තුන්කාලීනව වටිනේය.

ගව මස් පිළිබඳ ගොඩනැගී ඇති අද දවසටත් බොහෝ කාලයකට පෙරාතුව “ගව මස් නොකව්” යනු තනිව හඬ නැගීමට තරම් එතුමන්ගේ හඬ නිවහල් ස්වාධීනත්වයකින් සහ මනා පෞරුෂයකින් හෙබි විය. මට මහත් අභිමානයක් වන කාරණාව වන්නේ මගේ මව් පාර්ශවයෙන් එතුමන් මට බොහෝ දුරස්ථ ඥාතිවරයෙකු වීම ය. මගේ මව එකල මට නිතර පවසා ඇත්තේ ඇය ධර්මපාලතුමන්ගේ ඥාතිවර බවත්, එතුමන්ගේ උපන්දිනය දිනයේම ඔවුන් විවාහ වූ බවත් ය. එය මට අභිමානයක් සේම මහත් පින්බර හැඟුමක් ගෙන එන්නකි. ඇත්තෙන්ම මා දකිනා අයුරින් ද අනගාරික ධර්මපාලතුමන් යනු අපට පෙර මේ රුදුරු සසරේ නියත අවසානයක් කඩිනමින් දකිනා උත්තුංග මනුෂ්‍යයෙකි.

මේ සමග මා ගෙන එන ඡායාරූපය මගේ පවුලේ ඡායාරූප අතර තිබී මට හමුවූ අතර එම ඡායාරූපය ද ඔබ සමග ගෙන එමින් ඒ උතුම් යුග පුරුෂයාණන් වහනසේට සසර ගමන දුරු නොවේවායි පතමි !!!



85 Viewers