අපිට ට්‍රම්ප්ද හොද බයිඩන්ද හොද?

ඇමරිකන් චන්දෙන් කවුද දිනන්නේ කියන පශ්නෙට අපේ උත්තරය නිර්මාණය වෙන්නේ අපේ දේශපාලනික මතිමතාන්තරද අනුවයි. මේ වෙනකන් චන්ද ගැනලා ඉවර නැති නිසා, තමන් කැමති කෙනා තමයි දිනන්නේ කියල හැමෝම හිත හදාගෙන ඉන්නවා. මට පේන විදියට ලංකාවේ ගොඩාක් අය ට්‍රම්ප්ගේ පැත්තේ වගේ. මේ මොහොත වෙනකොට ඇමරිකාවේ ගොඩක් අය නම් බයිඩන්ගේ පැත්තේ වගේ. චන්දෙ දවසට කලින්, චන්දෙ ප්‍රකාශ කරන්න ඉඩ දුන්න නිසා, මිලියන සීයකට කිට්ටු වෙන්න පිරිසක් කලින් ගිහින් චන්දෙ දැම්මා. එතනින් බහුතරයක් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ. දැනුයි ඒ චන්ද ගනින්නේ. එකයි එන්න එන්න බයිඩන්ගේ චන්ද වැඩි වෙමින් යන්නේ.

ප්‍රශ්නේ කවුරු දිනයිද කියන එකම නෙමෙයි. දිනන කෙනා අනුව ලංකාවේ අපිට මොනවා වෙයිද කියන එක. ඇමරිකාවේ බලයට එන පක්ෂය ලෝකෙටම වෙළද, ආරක්ෂක, ජාත්‍යන්තර සබදතා පැත්තෙන් බලපෑමක් කරනවා. යුද්ධයෙන් පස්සේ, මානව හිමිකම් කවුන්සිලය හරහා අපිට පන්න පන්න හිරිහැර කලේ ඇමරිකාවේ ඩිමොක්‍රටික් ආණ්ඩුව. හැබැයි ට්‍රම්ප් ආණ්ඩුව ඒ මානව හිමිකම් කවුන්සලය දෝෂාරෝපණයට ලක්කරලා එතනින්  ඉල්ලා අස්වුණා විතරක් නෙමෙයි ජාත්‍යන්තර හිරිහැර කිරීම් වලට වඩා තමුන්ගේ රට අභ්‍යන්තරයේ ඇති ප්‍රශ්න වලට අවදානය යොමු කළා.

සමන්තා පවර්, හිලරි ක්ලින්ටන්, සුසන් රයිස් දැන් කමලා හැරිස් දක්වාම ඩිමොක්‍රටික් කදවුරේ ඉන්නේ අපි වගේ කොනක ඉන්න පුංචි රටක් අල්ලාගෙන ලෝකෙටම මානව හිමිකම් පාඩම් කියලා දෙන්න පුළුවන් අය. ට්‍රම්ප් කදවුරේ ඉන්න ඉහල නිලධාරීන් බොහෝ දෙනෙක් රටේ ආර්ථිකය, ආරක්ෂාව වගේ කරුණු වෙනුවෙන් මුලිකත්වය දෙන අය. හැබැයි එයාල චීනයත් එක්ක හැප්පෙන හැප්පිල්ල අපි වගේ ආසියාතික කදවුරේ ඉන්න පුංචි රටවල් වලට අහිතකර විදියට බලපාන්න පුළුවන්. දැනටමත් අපේ පෝට් සිටි එකට ට්‍රම්ප් ආණ්ඩුව ආර්ථික සම්බාධක පනවලා තියෙනවා.

බොහෝ දෙනෙක් හිතනවා ඩිමොක්‍රටික් බයිඩන් කණ්ඩායම බලයට ආවොත් තිරසාර සංවර්ධනය, පරිසරය, අයිතිවාසිකම් වගේ පැති වලට හොදයි කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදන් බොහෝ සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන හිතනවා බයිඩන් ආවම එයාලට ලැබෙන බලය සහ ආධාර ප්‍රමාණය වැඩිවෙනවා කියලා. ඒක ඇත්ත. හැබැයි ඩිමොක්‍රටික්ල කියල ලෝක සාමය වෙනුවෙන් මහා දෙයක් කලේ නෑ. ඉතිහාසය පුරාම, බැරක් ඔබාමා දක්වාම, ඒ ගොල්ලෝ වෙනත් රටවල් වල යුද්ධ පවත්වාගෙන ගියා. අහිංසක මිනිස්සුන්ගේ ඔලුවලට බෝම්බ දැම්මා.

අනිත් ප්‍රශ්නය තමා කොටි ඩයස්පෝරාව කාටද කිට්ටු කියන එක. හිලරිගේ ඉදන් කමලා හැරිස්ගේ කාර්යාලය දක්වා ඩිමොක්‍රටික් කදවුරට කොටි ඩයස්පෝරාවේ ලොකු බලපෑමක් තියෙනවා. ඒ අය යුද්ධය කාලේ ඉදන්ම මේ දේශපාලන කදවුර වෙනුවෙන් සල්ලි වියදම් කරලා තමුන්ගේ බලය හදාගෙන ඉන්නේ. ඇත්තටම ට්‍රම්ප් කදවුර ඇතුලේ කොටි ඩයස්පෝරාවට ලොකු හයියක් තවම නෑ. හැබැයි යුද්ධය ඉවරවෙලා අවුරුදු දහයක්. බයිඩන් චන්දෙ දිනුවත් කොරෝනා එක්ක එයාලට අලුත් අභියෝග ටිකක් තියෙනවා විසදාගන්න අපි පස්සේ එල්ලෙනවට වඩා.

ට්‍රම්ප් හැමදාම බිස්නස් කාරයෙක්. තාත්තත් බිස්නස් කාරයෙක්. බයිඩන් හැමදාම දේශපාලකයෙක්. මේ දෙන්නගේ දෘෂ්ටිකෝණයට මේ ජීවන අත්දැකීම් අනිවාර්යයෙන්ම බලපානවා. කොරෝනා අස්සේ වුනත් ට්‍රම්ප් කියන්නේ ආර්ථිකය වට්ටන්න දෙන්න බෑ කියලා. බයිඩන් කියන්නේ සේරටම කලින් සෞඛ්‍ය අංශ කියන දේ අහන්න ඕනා කියලා. මේ දෙන්නම ඉන්දියාව දිහා බලන විදියත් බලපානවා අපේ සබදතාවලට. මට හිතෙනවා මෝඩි ආණ්ඩුව ට්‍රම්ප් ආණ්ඩුවට ඉතාම හිතවත් වුනා කියලා. කලාපය ඇතුලේ අපේ ආරක්ෂාවට ඒ බලතුලනය හොදයි.

ඇමරිකාවේ ඉන්න ගොඩාක් ශ්‍රී ලාංකිකයෝ ට්‍රම්ප්ට චන්දෙ දීලා තිබ්බා. ආර්ථිකය ප්‍රධාන හේතුවක්. ට්‍රම්ප් ආණ්ඩුව කළු ජාතිකයන්ට ඉතාම නරක විදියට සැලකීම, ඇමරිකාවේ සුළු ජාතිකයන් වුන ලාංකිකයන් ලොකුවට ගණන් අරගෙන නෑ. මේ යන විදියට බයිඩන් දින්නොත් හිලරි ක්ලින්ටන් වගේ අය අපිට කරපු හිරිහැර නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ කොටි ඩයස්පෝරාව ආයෙත් ආණ්ඩුව ඇතුලට යනවා. හැබැයි අපේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට විශාල කාර්යභාරයක් තියෙනවා තුලනාත්මක සහ දේශප්‍රේමී මැදිහත්වීමක් කරන්න. සමහර විට බයිඩන් ආණ්ඩුව ඇතුලේ හිලරි, සමන්තා, සුසන් කණ්ඩායමට ඔබාමා ලග තිබ්බ වගේ බලයක් නොතිබෙන්නත් ඉඩ තියෙනවා. තොවිලෙට ගියාම මොන යකා නැටුවත් බලන් ඉන්න වෙනවා.

බයිඩන් ආවොත් ලෝකෙට හොදයි. ට්‍රම්ප් ආවොත් අපිට හොදයි කියල මටත් හිතෙනවා. කවුරු ආවත් නොබැදි ජාතීන්ගේ ප්‍රතිපත්තියක් එක්ක, ලංකාවේ මිනිස්සුන්ගේ අභිලාෂයන් ප්‍රමුඛ කරගත් විදේශ ප්‍රතිපත්තියක් එක්ක, ඇමරිකාවේ අලුත් ආණ්ඩුවට මුණ දෙන එක, හෙට උදේ ඉදන් කරන්න වෙනවා.

මිලින්ද රාජපක්ෂ

BARACK H OBAMA සහ DONALD J TRUMP යන හිටපු සහ සිටින ජනාධිපතිවරුන් දෙදෙනා අතරින් අති බහුතරයක් ශ්‍රී ලාංකිකයන් කැමති OBAMA ට ය. ඊට ප්‍රධාන හේතු ලෙස දැක්විය හැක්කේ,

? ඔබාමා බිරිඳට කුඩය ඇල්ලීම
? ඔබාමා බිරිඳගේ පසුපසින් යාම.
? ඔබාමාගේ දරුවන් රෙස්ටුරන්ට් වල වැඩ කිරීම
? ඔබාමා හමුදා සොල්දාදුවෙකුගේ බිම වැටුන හිස්වැස්ම නැවත හිස මත තැබීම.
? ඔබාමා හෙලිකොප්ටරයට ගොඩවීමට පෙර දොරටුව අසල සිටි ආරක්ෂක නිළධාරියාට අතට අත දීම.
? ධවල මන්දිරයේ සේවකයෙකුට පහක් දැමීම.
? ඔබාමා කඩපිලෙන් ඇපල් ගෙඩියක් ගෙන කෑම…(ect.)

නමුත් OBAMA ගේ ගුණ වයන අද්විතීය අසහාය නායකයෙකු ලෙස දකින කිසිවෙකුත්,

⚫ LIBYA ව නැමති රට සහමුලින්ම විනාශ කොට දස දහස් ගාණක් අහිංසක  ජනයා මරාදැමූ සහ ලක්ෂ ගාණක් මිනිසුන් අනාතකොට ගණනය කළ නොහැකි තරම් ධන හානියක් කොට සාමකාමී රට එකම යුධ පිටියක් කළ අපරාධය නොදකී.
⚫ සිරියාව නැමති සශ්‍රීක සහ සාමකාමී රටෙහි ත්‍රස්තවාදීන් ඇති කොට පුහුණු කරවා අවි ආයුධ දී නීත්‍යානූකූල රජයට එරෙහිව යුධ වදින්නට යොමු කලේ ඔබාමා බව නොදකී.
⚫ ISIS නම් මහා ම්ලේච්ඡතම ත්‍රස්තවාදී සංවිධානය ඇති කිරීමේ පුරෝගාමියා ඔබාමා බව නොදකී.
⚫ ඔබාමාගේ පරිපාලනය තුළ මියගිය අහිංසක මිනිසුන් ප්‍රමාණය ගණනය කළ හැකි ද…
⚫ ඔබාමාගේ පරිපාලනය තුළ ලොව පුරා පුපුරාගිය බෝම්බ ප්‍රමාණය ගණනය කළ හැකිද…?
⚫ ඔබාමාගේ පරිපාලනය තුළ විනාශ වූ සම්පත් ප්‍රමාණය ගණනය කළ හැකි ද…?
⚫ අරාබි වසන්තය නැමති ඒ මහා සුළි කුණාටුව ඇති කොට විශාල ප්‍රමාණයක් රාජ්‍යන් අස්ථාවරකොට රාජ්‍ය නායකයන් බලයෙන් පහකිරීම හෝ ඝාතනය කිරීම කොට මහා ලේ වැගිරීමක් ඇති කිරීම නොදකී.
⚫ ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ  LTTE ත්‍රස්තවාදීන් ගේ පැත්තට සහයෝගය දෙමින් ලංකාවට කළ හිරිහැර නොදකී.
⚫ යුද්ධයෙන් පසුව මානව හිමිකම් නැමති මාතෘකාව පෙරට දමා ලංකාවට ඇති කළ මහා පීඩාව නොදකී.

තවනම් කොපමණ දේ ඇද්ද…? එනමුත් මේ කිසිවක් නොදැක මාධ්‍ය මගින් පුම්බා ගොඩනගා ඇති අන්ත පුහු පෞරුෂත්වයන් අල්ලාගෙන මිනීමරු ත්‍රස්ථවාදියෙකු මාරම නායකයෙකු කිරීම පුද්ගලයාගේ ඇති නොදැනුවත්කම සහ ඇඳ ගැනීමේ ස්වභාවයයි…

TRUMP ගේ ධුර කාලය තව මාස කීපයකි.

? අවුරුදු හතර තුළ කිසිම රටක් ආක්‍රමණය නොකලේය.
? යුරෝපයට ද නතු නොවූයේ ය.
? එංගලන්තයට ගැතිකම් නොකලේය.
? CNN ආදී මාධ්‍යන්ගේ පාලනයට නතු නොවූයේය.
? විදෙස් රටවල්වලට මානව හිමිකම් යැයි කියමින් කරදර නොකලේය.
? ලෝකය පුරාම වේගයෙන් පිළිකාවක් මෙන් පැතිරයන චීන ආධිපත්‍ය සිය රට තුළ බිඳ දැමීමට කටයුතු කලේය. කරන්නේය.
? කිය යුතු දෑ කෙලින්ම කියන්නේය.
? සරලවම ඔහුට වැදගත් වන්නේ ඇමරිකාවය. එසේ නොමැතිනම් ඇමරිකාව ඇමරුකානුවන්ට ය.
? ඔහුට දිනුවත් එකය. පැරදුනත් එකය.

මට OBAMA ගේ  කිසිම හොඳකින් ද වැඩක් නැත.TRUMP ගේ කිසිම නරකකින් ද වැඩක් නැත. හේතුව අපට වැදගත් වන්නේ ඔවුන්ගේ පරිපාලනය ලෝකයට සහ අපේ රටට බලපාන විදිය ය. එබැවින් මගේ කැමැත්ත TRUPM නැවත ජනාධිපති වනු දැකීම ය.

ඔබේ අදහස කුමක්ද?

උපුටා ගැනීමකි.



118 Viewers