අපි ආයුබෝවන් කියමු.

(COVID 19 සමාජ දුරස්ථකරණයට 1967 දි පෙන්වා දුන් අපේ විසඳුම්. )

සිංහල බෞද්ධයන්ගේ අමුත්තන් පිළිගැනිම දෙයාකාර වී තිබේ. නියම සිංහල බෞද්ධ ක්‍රමය අතරට යුරෝපීයන්ගේ පැමිණිමෙන් ඔවුන්ගේ පිළිගැනිම් ක්‍රමයද පුරුදු වීමෙනි. යුරෝපීය ක්‍රමය අනුගමනය කරන්නෝ තුනී මතින් ඔවුනොවුන් සිප වැළඳ ගැනිමෙන් හා බහුල වශයෙන් අතට අත දීමෙන් ද පිළිගනිති. නියම සිංහලයෝ තවමත් පුරාණ චාරිත්‍රානූකූලව ආයුබෝවන් කියා අත් දෙක එකතු කොට පපුව වෙතට ගැනිමෙන් පිළිගනිති.

යුරෝපීය පිළිගැනිම් ක්‍රමයක් වන ඔවුනොවුන්ගේ සිප ගැනිම නම් බුද්ධාගමේ හැටියට කිසිසේත් හරි යැයි කිව නොහේ. එය සිත කෙලෙසීමට ඉතා සුදුසු මාර්ගයක් වන හෙයිනි. එසේම අතට අතදීමද එතරම් සුදුසු බව නොපෙනේ. එබඳු පිළිගැනිම් එකවරම පවු යැයි නොකිය හැකි වෙතත් සිත කෙළසීමෙන් පසුව භයානක පවු සිදුවීමටත් පසුව භයානක විපත්තිවලට ද හේතුවිය හැකිය.

සනිපාරක්ෂාව අනුව සලකා බලන විටද සුදුසු බවක් කිව නොහැකිය. දෙදෙනාගෙන් කෙනෙකුට බෝවන් රෝගයක් තිබුණොත් අතට අත දීමේදි ඇතිවන ස්පර්ශයෙන් රෝග අ මාරු වී ලෙඩ නැති අයටද භයානක නින්දිත රෝග හටගන්නට ඉඩ තිබේ. එබඳු පිළිගැනීමකට පෙර ඔබට බෝ වන රෝගයක් තිබෙනවා දැයි අසන සිරීතක් නැත. ඒ නිසා සනිපාරක්ෂාව අනුවද එය හොඳ නැතැයි කිව යුතුය.

මේ ක්‍රමයට රැජිණ හෝ පිළිගැනිමේදි දෙකට තුනට නැමි හෝ පාමුල වැතිර හෝ දීන භාවයක් දක්වන්නට උවමනා නොවේ. දහස් ගණනක් වුවද කාලය නාස්ති කිරිමක් වත් පීඩා විඳීමක් වත් නැතිව එකවර ඉතා ගෞරවයෙන් පිළිගත හැකිය. මේ අනුව අපේ ශිෂ්ඨාචාරය අනුව ” ආයුබෝවන්” කියා පිළිගන්නට තරයේ ඉටා ගනිමු.

මඩිහේ පඤ්ඤාසීහ නාහිමී
බෞද්ධ ගෙදර – 1967
සංක්‍රාන්ති නම් පිටුවෙන් උපුටා ගැනිමකි.



85 Viewers