• Home »
  • Sinhala »
  • “අපේ අරමුණ ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා පරාජය කිරීමයි” – ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන සංවිධායක අජන්ත ප්‍රේමරත්න

“අපේ අරමුණ ශ්‍රී ලංකාවට එරෙහි අභූත චෝදනා පරාජය කිරීමයි” – ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන සංවිධායක අජන්ත ප්‍රේමරත්න

(Courtesy of Divaina )

fea8-1අපගේ සංවිධානය පිහිටුවීම නිසා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තුළ පවා අපට එරෙහිව එල්ල වී තිබෙන අභූත චෝදනා පිළිබඳව හඬක්‌ නැඟීමට හැකිවී තිබෙනවා. ඊට පෙර එම සංවිධානය තුළ හඬ නැඟුවේ ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු සංවිධාන සහ කොටි සංවිධානය සහ දෙමළ බෙදුම්වාදයට හිතවත් මෙරට රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් පමණයි. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස්‌ කිරීමට අපට හැකිවී තිබෙනවා.

රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ, මෙරට ඒකීය භාවයට අභියෝග කරන ජිනීවාහී මානව හිමිකම් කාර්යාලය අදින් වසර කිහිපයකට පෙර කොටි හිතවාදීන්ගේ ගුහාවක්‌ බවට පත්වී තිබුණි. එම තත්ත්වයට අභියෝග කරන ලද්දේ ලෝකය පුරා විසිරී සිටී ශ්‍රී ලාංකිකයන් විසින් බිහිකරන ලද ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසිනි. වසර කිහිපයක්‌ තුළ කොටි හිතවාදීන්ගෙන්ද සැදුම්ලත් සංවිධානවලට අභියෝග කළ හැකි සංවිධානයක්‌ බවට පත්වී ඇත. එම සංවිධානයේ ප්‍රධාන සංවිධායක අජන්ත ප්‍රේමරත්න මහතා එම සංවිධානයේ ඉදිරි අරමුණු සහ ක්‍රියා මාර්ග පිළිබඳව පළ කළ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය- ගෝලීය ශ්‍රී ලංකා සංසදය සිය ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටුවීමට තීරණය කර තිබෙනවා. එම තීරණයට බලපෑ හේතු මොනවාද?

පිළිතුර- අපි එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ කටයුතු කළත් යුරෝපා සංගමය තුළ කටයුතු කළත්, එක්‌සත් රාජධානිය තුළ කටයුතු කළත්, අපි කටයුතු කරන්නෙ අපගේ රට වූ ශ්‍රී ලංකාව බේරා ගැනීම සඳහායි. වෙනත් සංවිධානයකට ලංකාව මූලස්‌ථානය කරගෙන ඊට එරෙහිව කටයුතු කිරීමට බෑ. ගෝලීය ද්‍රවිඩ සංසදය හෝ රුද්‍ර කුමාරන්ගේ සංවිධානයට හෝ ලංකාව තුළ ලියා පදිංචිවෙලා ඊට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක්‌ නෑ. නමුත් අපට එහෙම ප්‍රශ්නයක්‌ නෑ. අපි කටයුතු කරන්නේ ලංකාවේ ජාතිකත්වය වෙනුවෙන් වගේම ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කිරීම සඳහා තමයි. එම නිසා අපි තීරණය කළා වෙනත් රටකට සීමා නොවී අපගේ මූලස්‌ථානය මේ රට තුළම පිහිටුවීමට. ඒ වගේම අනිකුත් රටවල සම සභාපතිවරයකුගේ සහභාගීත්වයෙන් ශාඛාවක්‌ පිහිටුවීමටත් අප තීරණය කළා. මේ වන විට අපගේ ශාඛාවන් එංගලන්තය, ඔස්‌ටේ්‍රලියාව, ඉතාලිය, ජර්මනිය, ස්‌වීඩනය, රුසියාව ඇතුළු තවත් රටවල පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

මෙරට ඒකීය භාවය ඇතුළු කරුණු කාරණා පිළිබඳව නීති පනවන්නේ මෙරට පාර්ලිමේන්තුව විසින්. එයට බලපෑමක්‌ කිරීමට නම් මෙරට තුළ අපි ක්‍රියාත්මක විය යුතුයි. එම නිසා අපගේ රට තුළ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ලියාපදිංචි කිරීමට අප තීරණය කළා.

ප්‍රශ්නය- ගෝලීය දෙමළ සංසදය ලියාපදිංචි කර තිබෙන්නේ කුමන රටේද?

පිළිතුර- එංගලන්තයේ. සැප්තැම්බර් 11 ඇමරිකාවට එල්ල කළ ත්‍රස්‌තවාදී ප්‍රහාරයත් සමග ත්‍රස්‌තවාදයට එරෙහිව ලෝකය පුරා රැල්ලක්‌ ඇති වූවා. එම තත්ත්වය තුළ එංගලන්තය තුළ ක්‍රියාත්මක වූ ත්‍රස්‌තවාදී සංවිධානවලටත් තහංචි වැටුණා. ඒ වන විට කොටි සංවිධානය පමණක්‌ නොවෙයි, කාශ්මීරයේ, පලස්‌තීනයේ ත්‍රස්‌තවාදී සංවිධාන එංගලන්තය තුළ සිට ක්‍රියාත්මක වූවා. එංගලන්තය සහ යුරෝපය එම සංවිධාන තම දේශපාලනයට රුකුලක්‌ ලෙස යොදා ගත්තා. නමුත් සැප්තැම්බර් 11 ප්‍රහාරයත් සමග එම කාර්යාල වසා දැමීමට එංගලන්තය තීරණය කළා. එම තත්ත්වය තුළ එල්ටීටීඊ සංවිධානයටත් එම නාමය යටතේ කටයුතු කිරීමට නොහැකි වූවා. එම තත්ත්වය තුළ කටයුතු කිරීම සඳහා ඔවුන් ගෝලීය ද්‍රවිඩ සංසදය පිහිටුවූවා. එම සංවිධානයේ කාර්යාලය එංගලන්තයේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. අපගේ රටේ සමහර දේශපාලකයන් එම සංවිධානයේ නායකයන් සමග සාකච්ඡා කරන බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා.

ප්‍රශ්නය- ගෝලීය ද්‍රවිඩ සංසදය මේ වන විටත් මෙරට තුළ යුද අපරාධ සිදුවී ඇති බවටත්, දෙමළ ජනතාවට අසාධාරණයක්‌ සිදු වන බවටත් ලෝකය පුරා මතයක්‌ ගොඩනැඟීමට කටයුතු කරමින් සිටිනවා. ගෝලීය ශ්‍රී ලංකා සංසදය මේ වන විට එම ක්‍රියාවන්ට අභියෝග කළ හැකි මට්‌ටමක තිබෙනවාද?

පිළිතුර- අපි මේ වන විටත් බොහෝ කටයුතු කර තිබෙනවා. අපි ජිනීවා මානව හිමිකම් සංවිධානය තුළ විශාල වැඩ කටයුතු ප්‍රමාණයක්‌ කර තිබෙනවා. මේ වන විටත් අප යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙන රණවිරුවන් වෙනුවෙන්, ඔවුනගේ විත්ති වාචිකයන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් හමුවී කරුණු කීමටත් අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම එක්‌සත් රාජධානියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් හමුවී අපට එරෙහිව එල්ල වී තිබෙන අභූත චෝදනා පිළිබඳව සත්‍ය තොරතුරු ලබාදීමටත් කටයුතු කර තිබෙනවා.

ඒ වගේම අපි ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට එරෙහිව අප ඉදිරියේදී පෙත්සමක්‌ භාරදීමට කටයුතු කරනවා.

එම පෙත්සම මගින් අපි කරුණු 3 ක්‌ ඉදිරිපත් කරනවා. පළමුවැනි කාරණය තමයි විදේශ ඇමැති මංගල සමරවීර මහතා කැබිනට්‌ අනුමැතියකින් තොරව ජිනීවා යෝජනාවලට අත්සන් කර ඇති බව පෙන්වාදීම. එම යෝජනාවලට කැබිනට්‌ අනුමැතිය නැහැ කියන්නේ මෙරට ජනතාවගේ අනුමැතිය ලැබිල නැහැ කියන එක තමයි. දෙවැනිකාරණය තමයි මානව හිමිකම් කවුන්සිලයට එම වාර්තාව සකස්‌ කිරීම සඳහා බැන්කී මූන්ට, දරුස්‌මාන් විසින් දෙන ලද පෞද්ගලික වාර්තාවක්‌ පදනම් කරගෙන තිබෙනවා කියන කාරණය. තුන්වැනි කාරණය තමයි එම වාර්තාවේ අන්තර්ගතය වැරදියි කියන එක.

අපට ලැබී තිබෙන නීතිමය උපදෙස්‌ අනුව එම කරුණු පදනම් කරගෙන අපි එක්‌සත් ජාතීන්ගේ යෝජනාවට එරෙහිව පෙත්සමක්‌ භාර දීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය- ගෝලීය ශ්‍රී ලංකා සංසදය පිහිටුවීමෙන් ලබාගෙන තිබෙන ජයග්‍රහණ මොනවාද?

පිළිතුර- අපගේ සංවිධානය පිහිටුවීම නිසා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය තුළ පවා අපට එරෙහිව එල්ල වී තිබෙන අභූත චෝදනා පිළිබඳව හඬක්‌ නැඟීමට හැකිවී තිබෙනවා. ඊට පෙර එම සංවිධානය තුළ හඬ නැඟුවේ ගෝලීය ද්‍රවිඩ සංසදය ඇතුළු සංවිධාන සහ කොටි සංවිධානය සහ දෙමළ බෙදුම්වාදයට හිතවත් මෙරට රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් පමණයි. නමුත් මේ වන විට එම තත්ත්වය වෙනස්‌ කිරීමට අපට හැකිවී තිබෙනවා.

අපට මුහුණදීමට තිබෙන ප්‍රධාන අභියෝගය තමයි එක්‌සත් ජාතීන්ගේ යෝජනාවට මෙරට ආණ්‌ඩුව සම අනුග්‍රහය දැක්‌වීම. කෙසේ වුවත් එම අභියෝග ජය ගනිමින් අප ඉදිරියටත් ඒකීය භාවය, ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කරනවා.

ප්‍රශ්නය- රටවල් රාශියක්‌ පුරා පැතිරුණු මෙම සංවිධානය පවත්වාගෙන යැමේ අභියෝගය ජයගන්නේ කෙසේද?

පිළිතුර- මෙම සංවිධානය අපි ආරම්භ කළේ 2014 අග භාගයේදී. ඒ වන විටත් අප නිරීක්‍ෂණය කර තිබුණ විජාතික බලවේග, ජාතික බලවේගයන්ට එරෙහිව, ජාතිකත්වයට එරෙහිව කටයුතු කරන බව. එම තත්ත්වයන් 2015 ජනාධිපතිවරණයේදී සහ 2015 අගෝස්‌තු මැතිවරණයේදී අපි හොඳින් නිරීක්‍ෂණය කළා. 2015 ජනාධිපතිවරණයට පෙර සිංගප්පූරුවේදී පැවැති සාකච්ඡා පිළිබඳව අපි කවුරුත් දන්නවා.

එම පසුබිම තුළ විසිරිලා සිටිය අපි 2015 සැප්තැම්බර් මාසයේදී ඉතාලියේ මොදනා නුවරදී රැස්‌වූවා. එහිදී අප තීරණය කළා, විවිධ රටවල සිට ක්‍රියාත්මක වන සම සභාපතිවරුන්ගෙන් යුත් ව්‍යqහයක්‌ ගොඩනැඟීමට. ඉන් අනතුරුව වැඩ කටයුතු කරගෙන යැමේදී අපට අවබෝධ වූවා ඊට වඩා ශක්‌තිමත් ව්‍යqහයක්‌ තිබිය යුතු බව. ඒ අනුව අපි සාකච්ඡා කරලා තීරණය කළා එක්‌ මූලස්‌ථානයකුත් එක්‌ කෘත්‍යාධිකාරි මණ්‌ඩලයකුත් පිහිටුවීමට. එම තීන්දුවලට අනුව අපගේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටුවා තිබෙනවා. අපගේ සංවිධානය සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ලියාපදිංචි කර තිබෙනවා.

ප්‍රශ්නය- ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබෙන නිසා දැන් මෙරට වැසියන්ටත් එම සංවිධානයේ සාමාජිකයන් වීමේ අවස්‌ථාව තිබෙනවාද?

පිළිතුර- අපගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගන්න පුළුවන් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට පමණයි. මෙම රට තුළ කටයුතු කිරීමට ක්‍රියාශීලී සංවිධාන කිහිපයක්‌ම තිබෙනවා. අපේ අරමුණ වී තිබෙන්නේ ජාත්‍යන්තරය තුළ අවශ්‍ය කටයුතු කරගෙන යැම සඳහා සංවිධානයක්‌ පවත්වාගෙන යැමයි.

ඒ වගේම අපි කිසිම දේශපාලන පක්‍ෂයක්‌ වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. අපේ දේශපාලනය රට බේරා ගැනීම පමණයි. එසේ වුවත් අපේ අරමුණ. ඉලක්‌කය වෙනුවෙන් කටයුතු කරන දේශපාලන පක්‍ෂ සමග සුදුසු පරිදි අප කටයුතු කරනවා.

මෙරට පුරවැසියන්ට අප සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට නොහැකි වුවත් අපත් සමග කටයුතු කිරීමට පුළුවන්කම තිබෙනවා. මේ වන විටත් නාලක ගොඩහේවා මහතා, අනුරාධා යහම්පත් මහත්මිය, සරත් වීරසේකර මහතා සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ මෙරට සම්බන්ධීකරුවන නුවන් බෙල්ලන්තුඩාව මහතා ඇතුළු පිරිස මේ වන විටත් ජිනීවා නුවරට ගොස්‌ අප වෙනුවෙන් පෙනීසිටිනවා

* සාකච්ඡා කළේ එරික්‌ ගාමිණි ජිනප්‍රිය



856 Viewers