• Home »
  • Articles »
  • අබුඋබෙයිදා අත්හැර සලේ සෙවීම

අබුඋබෙයිදා අත්හැර සලේ සෙවීම

“ගරු කටයුතු මහත්මයාණෙනි, සුබ උදෑසනක්. ඔවුන් අද දින පැය 06.00 සිට 10.00 අතර ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. ඔබගේ කාරුණික දැනුවත්වීම පිණිසයි. කොළඹ මෙතෝදිස්ත දේවස්ථානයක් ඔවුන්ගේ එක් ඉලක්කයක්.” හිටපු රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙත ඔහුගේ මූලාශ්‍රයකින් ලැබී ඇති අවසන් බුද්ධි තොරතුර එයයි. උදෑසන 8.27ට ලැබුණ එම තොරතුර උදෑසන 8.32 වන විට පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසකට දැනුම් දුන් බව ඔහු පවසා තිබිණි. සිදුවිය හැකි ප්‍රහාරයක් පිළිබඳ පළමුවරට අනතුරු ඇඟවීමක් සිදු කර ඇත්තේ 2019 අප්‍රේල් මස ආරම්භයේදීය. 2019 අප්‍රේල් 04 දිනයේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත සිය මූලාශ්‍රයක් ඔස්සේ ‘WhatsApp’ හරහා මුල්ම පණිවුඩය ලැබී ඇත. ඒ හා සමාන තොරතුරු 2019 අප්‍රේල් 05 වෙනිදා ඔහුට ලිඛිතව ලැබී තිබේ. 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ දුරබැහැර ස්ථානයක යතුරුපැදියක් පුපුරා ගොස් තිබිණි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් උපත ලැබුවේ ද කාත්තන්කුඩි ප්‍රදේශයේය. කාත්තන්කුඩිය, ඔහු නායකත්වය දුන් බව පැවසෙන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ තිඹිරිගෙය ලෙස සැලකේ. 2019 අප්‍රේල් 18 දිනයේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීම සහරාන් හෂීම් විසින් සිදු කරන ලද බවත් එය පෙරහුරුවක් බවත් සඳහන් කරමින් විශේෂ වාර්තාවක් පොලිස්පතිට යවා තිබිණි.

අවසානයේ 2019 අප්‍රේල් 21වැනි පාස්කු ඉරු දින ශ්‍රී ලංකාවේ දී පුද්ගලයින් 269 දෙනෙකුට ජීවිත අහිමිකරමින් දේවස්ථාන 3ක් හා හෝටල් 3ක් ඇතුළු ස්ථාන 6කට එල්ල කළ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය. පෙරවරු 8.45ට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවූ අතර අවසන් වශයෙන් මහවිල ඉබ්රාහිම්ගේ නිවසේ මරාගෙන මැරෙන ප්‍රහාරය පස්වරු 2.35ට සිදුවිය. ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම්ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය. තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයාය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කලේ අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇත.

ශාන්ත සෙබස්තියන් බෝම්බකරු මොහොමඩ් හස්තුන් ය. මඩකලපුවේ පිහිටි ක්‍රිස්තියානි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලදී. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්හලකදී බෝම්බය පුපුරුවා හැරියේ බි්‍රතාන්‍යයේ සහ ඔස්ටේ්‍රලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් වේ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබූ පුද්ගලයෙකි.

කවරක් නමුත් ලංකාවේ පල්ලියට මේ ප්‍රහාරයේ මහමොළකරු සොයාගැනීම වෙනුවෙන් මහා කුකුසක් තිබිණි. මෙය සැබවින්ම මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් වුවද පල්ලිය නිරන්තරව කිව්වේ මෙය පිටුපස දේශපාලනයක් ඇති බවයි. එම නිසාම පසුගිය සතියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ මහත් සැනසීමට හේතුවක් විය. සුරේෂ් සලේ යනු දේශප්‍රේමියෙකි. ඔහු මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් මහත් සේවයක් කළ අයෙකි. එවැන්නෙකු දේශපාලන වුවමනාවන් පිරිමසා ගැනීම වෙනුවෙන් අත්අඩංගුවට ගැනීම ඛේදයකි. පාස්කු ප්‍රහාරයේ හත්වැනි සැමරුම ළඟ එන නිසා ගල් අඟුරුවල ගිලී සිටින ආණ්ඩුවට කුමක් හෝ කළ යුතුව තිබිණි. එම නිසා සලේ පෑලියගොඩදී අත්අඩංගුවට පත්විය. දෙමටගොඩට යායුතු පොලිසිය නවතින්නේ පෑලියගොඩය.

මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ 1987 මාර්තු 16 වන දින ශ්‍රී ලංකා හමුදාවට බැඳුණු අතර ඔහුගේ මූලික හමුදා පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු පාබල හා සංඥා රෙජිමේන්තුවල සේවය කළේ ය. පසුව “භාෂා කිහිපයක් පිළිබඳ දැනුම සහ ඔහුගේ කාර්ය සාධනයේ කුසලතා හේතුවෙන්”, ඔහු 1993 වසරේදී හමුදා බුද්ධි අංශයට තෝරා ගැනිණි. සුරේෂ් සලේ පැරිසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත. නැවත පැමිණීමෙන් පසු ඔහු 2012 ඔක්තෝබර් මාසයේදී හමුදා බුද්ධි අධ්‍යක්ෂ ලෙස පත් කරන තෙක් ආරක්ෂක අමාත්‍යංශයේ විදේශ බුද්ධි සම්බන්ධීකාරක ලෙස සේවය කළේ ය. පසුව ඔහු 2016 සිට 2018 දෙසැම්බර් දක්වා මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක ලෙස සේවය කළේ ය. ඉන්පසුව, 2019 ජනවාරි සිට එම නොවැම්බර් දක්වා ඔහු දිල්ලියේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ජාතික ආරක්ෂක අධ්‍යයන එන්ෆීල්ඩ් පාඨමාලාව හදාරා තිබේ. 2019 දෙසැම්බර් මාසයේ සිට ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළේ ය. 2024 වර්ෂයේ අගදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි ධුරයෙන් ඉවත් කෙරුණි.

2025 වසරේදී නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ‘පිල්ලෙයාන්’ හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් අත්අඩංගුවට ගැනීමත් සමග ජාතික ජන බලවේගය යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නව දිශානතියකට ගමන් කරමින් ඇති බව නිරීක්ෂණය විය. නමුත් දැන් වසරකට අධික කාලයක් ගතවී තිබුණත් කිසිම චෝදනාවක් පිල්ලෙයාන්ට එරෙහිව ඉදිරිපත් කර නැත. දැන් සලේ හරහා මහමොළය සෙවීමට දත කන බව පෙනේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් “දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළා ද?” යන ප්‍රශ්නය මතු කරමින් 2023 වසරේ සැප්තැම්බර් මස පළ කෙරුණු චැනල් 4 වාර්තාවක රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳව සඳහන් විය. පිල්ලෙයාන් හෙවත් සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදා ගෙන තිබිණි. “ශ්‍රී ලංකාවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කරන්න රාජපක්ෂලට අවශ්‍යයි. ඒක තමා ගෝඨාභයට ජනාධිපති වෙන්න තියෙන එකම මග යැයි”, එම සාකච්ඡාවෙන් පසු සුරේෂ් සලේ තමාට පැවසූ බව අසාද් මවුලානා චැනල් 4 වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය. තම අනන්‍යතාව හෙළි නොකරන රාජ්‍ය නිලධාරියෙකු ද එම වීඩියෝවේ අදහස් දක්වන අතර ඔහු පවසන්නේ, සුරේෂ් සලේ මෙහෙයවන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ විසින් බව ය. චැනල් 4 යනු සැබවින්ම ලංකාවට හා මෙරට ආරක්ෂක අංශවලට එරෙහිව ව්‍යාජ පුවත් මැවූ නාලිකාවකි. මේ වාර්තාවත් බොරුවක් වුවත් දැන් ආණ්ඩුවට එය ඇත්ත කිරීමට අවශ්‍යව තිබේ. එනිසා සලේගෙන් පළිගනී. නමුත් මෙය විශාල වැරැද්දකි. මෙම චැනල් 4 වාර්තාව නිකුත්වූ 2023 සැප්තැම්බර් මාසයේම මෙයට ප්‍රතිචාර දක්වමින් සුරේෂ් සලේ සාක්ෂිකරුවන් විසින් අදාළ හමුවීම් සිදුවීම් වූ බව කියන කාලවකවානුව තුළ තමන් මෙරටින් බැහැරව සිටි බව සහ පාස්කු ඉරුදින ප්‍රහාරයට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහිදී අවධාරණය කොට තිබේ. එම කාලවකවානුව තුළ තමන් මලයාසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය කවුන්සිලවරයා ලෙස කටයුතු කළ බවත්, 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් අවසානය දක්වා ඉන්දියානු ආරක්ෂක විද්‍යාලයේ පුහුණු වැඩසටහනක් සඳහා සහභාගි වී සිටි බවත්; ඒ බව සනාථ කිරීමට මලයාසියානු සහ ඉන්දියානු බලධාරීන්ගෙන් සොයා බැලීමට වුව ද හැකියාව ඇති බවත් ඔහු එහි සඳහන් කර තිබේ. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ ද විද්‍යුත් තැපෑල ඔස්සේ චැනල් 4 ආයතනයට ප්‍රතිචාර දක්වා තිබුණු අතර, එම ලිපියෙන් කියවෙන්නේ නිශ්චිතව ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

තව්හිද් ජමාත් සංවිධානයේ ජාතික නායක සහරාන් හෂීම් හෙවත් ‘අබු උබයිදාගේ’ ජාලය ගැන තවදුරටත් සෙවිය යුතු නමුත් පොලිසිය සලේ පසුපස යයි. එයින් සිදුවන්නේ හමුදා බුද්ධි අංශයේ කටයුතු වලටත් මරු පහරකි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන නිලධාරින් අනතුරේ හෙළීමක් මෙන්ම ඔවුන් අධෛර්යට පත් කිරීමකි. මේවා කොතනින් නවතින්නේ දැයි අප නම් දන්නේ නැත. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ මඟදී අත්අඩංගුවට ගැනීම තරයේ හෙළාදකින බව ජනාධිපති නීතිඥ අලි සබ්රි පෙබරවාරි 25 වැනිදා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබිණි. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි සුරේෂ් සලේ මෙරට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටුකර තිබෙන බවත් LTTE නායකයෙකු වූ තමිල් සෙල්වම් විනාශ කිරීම සඳහා ඔහු මුල්වී ක්‍රියා කළ බවත් කියා සිටියේය. LTTE නායකයෙකු වන කුමරන් පද්මනාදන් මැලේසියාවට ගොස් මෙරටට රැගෙන එනු ලැබුවේ ද සුරේෂ් සලේ විසින් බවත් ජාතික ආරක්ෂාව සමග ක්‍රීඩා කිරීම නුසුදුසු බවත් ඔහු පැවසීය. 2015 වසරේ සිදු වූයේත් මෙවැනි තත්ත්වයේ ක්‍රියාවක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි අවසානයේ දී මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ වැටුණු බවත් ඔහු සඳහන් කර සිටියේ ය. කතෝලික සභාවේ ස්ථාවරය පැහැදිලි කිරීමේ අරමුණින් පසුගිය 25 වැනිදා අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබිණි. එහිදී මේ අත්අඩංගුවට ගැනීම ගැන මෙන්ම වර්තමාන පරීක්ෂණ ගැන පල්ලිය සතුටෙන් බව පැහැදිලි විය. පල්ලියේ සතුට කෙසේ වෙතත් රටේ ජාතික ආරක්ෂාවට නම් ඉදිරියේ බරපතළ අවුලක් ඇතිවන බව පැහැදිලිය. නැවත නැවත ගොඩගන්නා මේ මහමොළකරු නාටකයෙන් පාස්කු වින්දිතයන්ට ද ලැබෙන සහනයක් නම් නැත.



10 Viewers