• Home »
  • Sinhala »
  • ආනන්දය – රිචර්ඩ් පතිරණ, චන්ද්‍රිකා සහ අකිල

ආනන්දය – රිචර්ඩ් පතිරණ, චන්ද්‍රිකා සහ අකිල

වසර 1994

ආනන්දයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන අමුත්තිය වශයෙන් ආරාධනා කර තිබුනේ එවකට ජනාධිපති ධූරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට. ආදී ආනන්දීයෙකු නොවුවද, ආනන්දය කෙරෙහි ඉමහත් ගෞරවයක් දැක්‌වූ, ඉතා දැඩි සහ ඍජු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්නෙක් සහ දේශපාලන බලධාරීන්ගේ බලපෑම් සත පහකට ගණන් නොගන්නා පුද්ගලයකු ලෙසත් තමන්ගේ රාජකාරිය දේවකාරියක් බවට පත් කරගෙන් සිටි පුද්ගලයකු වශයෙනුත් අතිශය ප්‍රසිද්ධියට පත්ව සිටි ඒ. පී. ගුණරත්න මහතා ආනන්දයේ එවකට විද්‍යාලාධිපතිවරයා විය. ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා රාජ්‍යයේ ප්‍රධානියා වන චන්ද්‍රිකා ට පෞද්ගලිකවම මුණ ගැසී ආරාධනා කල ගුණරත්න මහතා, එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ රිචර්ඩ් පතිරණ මහතා ගේ ආරාධනා පත්‍රය අංශ ප්‍රධානී ගුරු මහතෙකු අත ඔහුට යැවීමට කටයුතු කරන ලදී. අදාළ ගුරු මහතා ද ආරධනා පත්‍රය රැගෙන ගොස්, බොහෝ වේලාවක් ඇමතිවරයා එනතුරු රස්තියාදු වී, බැරිම තැන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්ට භාර දී ආපසු පැමිණ ඇත. මෙයින් බොහෝ සේ උරණ වූ අධ්‍යාපන ඇමතිවරයා, ඒ වසරේ අග සේවා දිගුවක් සඳහා ඒ. පී. ගුණරත්න මහතා අයදුම් කල අවස්ථාවේ, සේවා දිගුව සඳහා අවශ්‍ය ලියුම සකස් කර, සාමාන්‍ය පරිදි ලියාපදිංචි තැපෑලෙන් නොයවා, තමන් හමුවීමට පැමිණ එය ලබා ගන්න මෙන් දන්වා ඇත. හැරෙන තැපෑලෙන්ම රිචර්ඩ් පතිරණ ට දුරකතනයෙන් ඇමතූ විද්‍යාලාධිපතිවරයා “ඇමතිතුමා, ඔය ලියුම ගන්න ඒ. පී. ගුණරත්නට එන්න පුළුවන්, ඒත් ආනන්දේ ප්‍රින්සිපල් ට බෑ” යි පවසා, එවක රජයේ ප්‍රබල සහ බලසම්පන්නම ඇමතිවරයෙකු පයිසෙකට ගණන් නොගෙන, සේවා දිගුව නොලබාම ගෙදර ගියේය.

වසර 1999

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිවරිය, තමන්ගේ අතිශය හිතෛශීවන්තියක් වන සහ එවකට අසීමිත සිවිල් බලයක් පරිහරණය කල, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයද හෙබවූ තාරා ද මෙල් හරහා ‘සම අයිතිවාසකම් පනත’ නම් ප්‍රතිසංස්කරණ පනතක් ඉදිරිපත් කර, ආනන්දයට මෙන්ම 1961 දී පරම විඥානාර්ථ සමාගමෙන් රජයට පවරාගත් අනෙකුත් බෞද්ධ පාසල් වලට ද අත තබන්න උත්සහා ගත්තාය. මෙයට මුලික වූයේ, එවකට ඇය කෙරෙහි අතිශය බලපෑම් කල, මංගල සමරවීර වැනි, නව ලිබරල් සහ පශ්චාත් නුතනවාදී මත කර පින්නාගත් පරපුටුවන්, ඔවුන්ගේ සමහර මතවාදයන් සමජගත කිරීමට ඇති ප්‍රභලම බාධකය ලෙස හඳුනා ගත්තේ මේ බෞද්ධ පාසල් සමුහය වීමයි. දෙවරක් නොසිතාම පාරට බැසගත් ආනන්දීයන් අනෙකුත් බෞද්ධ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද සමගම රජයට ප්‍රබල විරෝධතාවක් දක්වන්නට පටන් ගත් අතර, එයින් නොනැවතී එවකට පාර්ලිමේන්තුව නියෝජනය කල තම විද්‍යාලයන්හි ආදී ශිෂ්‍යයන්ට ද මේ පනතට පක්ෂව චන්දය පාවිච්චි නොකරන ලෙස තදින් බලපෑම් කරන්නට පටන් ගත්හ. තමන් මත පැටවෙන පීඩනය එන්න එන්නම වැඩි වන විට, චන්ද්‍රිකා ගේ පක්ෂයම නියෝජනය කල සමහර මැති-ඇමති වරු මෙම පනතට පක්ෂව තමන් කිසිසේත් චන්දය පාවිච්චි නොකරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීමට පටන් ගත්හ. එනපොට හොඳ නැති බව තේරුම් ගත් චන්ද්‍රිකා, වහා පනත අකුලා ගත් අතර, ශිෂ්‍ය විධයකයන්ගේ නායකත්වයෙන් රොද බැඳගත් ආනන්දයේ පාසල් සිසුන්, මහා සංඝරත්නය, ආදී ශිෂ්‍යයන්, ගුරුවරුන් සහ දෙමාපියන් එක් කරගෙන, මාන්නයෙන් උපරිමයට හිස උදුමවාගෙන සිටි රටේ ජනාධිපතිනිය දින කීපයක් ඇතුලත දන ගස්සවා, යලිත් ආනන්දයට අත නොතබන්නටම පාඩමක් ඉගැන්නුවෝය.

වසර 2019

ආනන්දයේ සිසුන් දහසකට වැඩි ප්‍රමාණයකට සෙවන දුන් එම්. යූ. මුවර් ගොඩනැගිල්ල, ආනන්දයේ තිබූ පස් මහල් ගොඩනැගිලි ද්විත්වයෙන් එකක් වූ අතර, එක්සහස් නවසිය හැත්තෑ ගණන් වල ඉදි කෙරුණු මෙහි යම් දෝෂ දිගින් දිගටම වාර්තා වූ නිසා, එම ගොඩනැගිල්ල කඩා ඉවත් කර, මහල් සතකින් යුත් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෝජනා විය. 2015 වසරේ ජනවාරි පළමු වෙනිදා නව ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීම, එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ආදී ආනන්දීය ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන ලබා දීමේ සම්පූර්ණ වගකීම ඔහු තමන් පිට පවරා ගත්තේය. ඉන් හරියටම සතියකට පසු සිදුවුණු බල පෙරළියෙන් පසු ගෝඨාභය මහතා සිය ධුරයෙන් ඉවත් වූ අතර සත් මහලේ වැඩ කටයුතු දීර්ඝ කාලයකට ඇණහිටිණි. කෙසේ වෙතත්, ආදී ශිෂ්‍යයන් ගේ අප්‍රතිහත ධෛර්යයත්, ආදී ආනන්දීයකු ද වන කතානායක කරු ජයසූරිය මහතා ගේ දැඩි උත්සාහයත් නිසා, යලිත් වරක් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණු අතර මේ වන විට එහි සමස්ත වැඩ කොටසෙන් 80% පමණ අවසන් කරන ඇත. කරුණු මෙසේ තිබියදී, දැනට ප්‍රකාශ කර තිබෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති තම පක්ෂයේ අපේක්ෂකයාට වාසි ලබා ගැනීමේ පැහැදිලි අරමුනින් යුතුව, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, වැඩ සම්පූර්ණ නොකළ සත්මහල ලහි ලහියේ විවෘත කිරීමට පිඹුරුපත් සකසන්න ඇත්තේ, මෙවන් විශේෂිත ව්‍යාපෘතියකින් ලබා ගත හැකි ප්‍රචාරණ වාසියද සලකා බලා විය යුතුය. විවෘත කිරීමේ සැලසුමට අමතරව තවත් තකතීරු වැඩක් කල අධ්‍යාපන ඇමතිවරයා, මේ ගොඩනැගිල්ල තමන් දියත් කල ‘ලඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියට අයත් එකක් බවට කෙලින්ම සමරු පලකයේ සටහන් කිරීමට කටයුතු කල අතර එයින් නොනැවතී, තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධය වෙනුවෙන් වැඩිම ජීවිත පරිත්‍යාග කල වීරෝධාර විරුවන් බිහි කල පාසලේ, නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා අංක එකේ LTTE සහ දෙමල බෙදුම්වාදයේ අධාරකාරියක් වන අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට ද ආරධනා කර ඇයගේ නම ද සමරු පලකයේ සටහන් කිරීමට උපදෙස් දුන්නේය. පිළිකුල් සහගතම දෙය නම්, මින් පෙර තිබූ ගොඩනැගිල්ල මෙන්ම නව ගොඩනැගිල්ල ද නම් කිරීමට නියමිත ව තිබුනේ ආනන්දයේ කීර්තිමත් පැරණි විද්‍යාලාධිපතිවරයෙකු වූ එම්. යූ. මුවර් මහතාගේ නමින් වුවත්, අකිල ගේ තදියම් සමරු පලකයේ ඒ ගැන කිසිදු සඳහනක් නොවීමයි. පුවත පල වූ පළමු පැයේම ඊට ප්‍රබල විරෝධයක් පෑමට අති බහුතරයක් වූ ආනන්දීයන් කටයුතු කලේ, තමන්ගේ දෙවැනි මව බඳු පාසලේ සම්පතක්, නිසි ලෙස වැඩ අවසන් නොකොට, බාල දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතියක් වෙනුවෙන් පාවිච්චි කරගැනීමේ තකතීරු, මැටිමෝල් උත්සාහය යටපත් කල යුතු නිසාවෙනි. අවස්ථානුකූලව කල යුතු හොඳම දෙය තම නැණස මෙහෙයවා කල එක් ආදී ශිෂ්‍ය කණ්ඩායමක්, කෙලින්ම මැතිවරණ කොමිසමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නියම වෙලාවේ නියම තැනටම ඇණය ගැසූ අතර, අවසානයේ කොළඹ දිස්තික්කයේ තේරීම් භාර නිලධාරියා ගොඩනැගිල්ල පරීක්ශා කර, එය නිසි ලෙස වැඩ නිම නොකළ ඉදිකිරීමක් බවටත්, ලහි ලහියේ එය විවෘත කිරීමට උත්සහා ගන්නේ නිසැකවම දේශපාලන වාසියක් ලබා ගැනීම වෙනුවෙන් බවත්, මැතිවරණ සමයේ එය පැහැදිලිවම නීති විරෝධී ක්‍රියාවක් බවටත් සඳහන් කර, විවෘත කිරීමේ උත්සවය අවලංගු කරන ලෙස නියෝග කර ලිපියක් නිකුත් කරන ලදී.

අකිල විරාජ් කාරියවසම් ට අපිට ලියන්න ඇත්තේ එක දෙයකි.

රිචර්ඩ් පතිරණ, චන්ද්‍රිකා තඹ සතේකට මායිම් නොකළ අපිට, අකිල කව්ද?

ලක්ෂිත කරුණාරත්න



341 Viewers