උතුරු – නැගෙනහිර බෞද්ධ උරුමය

උතුරු – නැගෙනහිර ඓතිහාසික පුරාවස්තු සහ බෞද්ධ උරුමය ආරක්ෂා  කිරීම සදහා නිශ්චිත වැඩ පිළිවෙළක අවශ්‍යතාවය ආර්ය පදනම දිගින් දිගටම අවධාරණය කරයි!

වසර 2500කටත් එහා ගිය ඈත අතීතයකට හිමිකම් කියන ලංකාද්වීපයේ උතුරු – නැගෙනහිර පිහිටි ඉපැරණි බෞද්ධ පූජනීය ස්ථාන හා පුරාවස්තු මේවන විට දිගු කාලයක් තිස්සේ  ක්‍රමිකව වැනසී ගිය බව හෝ වැනසී යමින් පවතින බව නොරහසකි.

උතුරු නැගෙනහිර  දශක කිහිපයක් පුරා පැවැති යුද්ධයත් සමග එහි පැවැති තත්වයත් දිගු කාලයක් තිස්සේ ජනශූන්‍ය වීම නිසා ද, එනිසා එම ඓතිහාසික පුරාවස්තු සහ බෞද්ධ උරුමයන් විහාරස්ථානයන් සහ පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුත් බොහෝ ස්ථානයන් වන ගහනයෙන් වැසී යාම නිසා ද,  නිධන් හොරුන්ගේ සහ පුරාවස්තු කොල්ල කරුවන්ගේ ග්‍රහණයට නතු වීමත් පසුව යළි ජනපදකරණයට ලක් වීම හේතුවෙන්ද, ඊනියා බෙදුම් වාදී අදහස් දරණ සුළු ජාතික දේශපාලකයන්ගේ උවමනාවන්ට  ග්‍රහණයට හසුවීම නිසා ද, යටත් විජිත යුගයේදී ආක්‍රමණශීලින්ගේ හා මෑත කාලයේදී ත්‍රස්තවාදී ග්‍රහණයට හසුවීම නිසා හිතාමතා ද ඒ අතීත පුදබිම් හා නටබුන් විනාශය සිදු විය.

….අදටත් සිදුවෙමින් පවතී…

මේ ලිපියෙන් අනාවරණය කෙරෙන්නේ බොහෝ දෙනා නොදන්නා එදා උතුරු නැගෙනහිර තිබූ බොදු උරුමය පිළිබඳ තොරතුරුය.

බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්) ඇසුරින් සහ උපද්‍රවයට ලක්වූ මෙරට සංස්කෘතික වස්තු ඒ හානියෙන් බේරා සංරක්ෂණය කරන මෙන් මීට වසර 38කට පෙර ප්‍රංශයේ යුනෙස්කෝ ජගත් සංවිධානය වෙත යැවූ ලිපි අනුසාරයෙන් මේ ලිපි පෙළ සැකසෙයි.

උතුරු නැගෙනහිර පුරාවස්තු රැක ගැනීම පිළිබඳව 1983 ඔක්තෝබර් 07 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී එවකට ඇමැති වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා දැක්වූ අදහස් හැන්සාඩ් ගතව තිබේ

“එදා මේ රට බෙදා තිබුණේ, අද වගේ පළාත් නවයකට නොවෙයි.මේ රටේ ජනතාව හැමදාමත් තමන්ගේ වහලුන් වශයෙන් තබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් අධිරාජ්‍යවාදීන් විසින් ‍කෙරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් තමයි. මේ රට පරිපාලනමය වශයෙන් පළාත් නවයකට බෙදනු ලැබීම. නමුත් ඊට කලින් මේ රට ‍බෙදා තිබුණේ රුහුණු, මායා, පිහිටි වශයෙනුයි.

කිසිම සැකයක් නැතිව පිළිගන්නට පුළුවන් ආකාරයෙන් අපට ඒ ත්‍රිසිංහලයේම ඉතිහාසය ගොළු බසින් කියනවා. සෙල් ලිපි මුනි වතින් පවසනවා. උතුරුකරයේත්, නැගෙනහිරත් හැම පැත්තක්ම ඇතුළුව දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා මුළු ලංකාව පුරාම සිංහල බෞද්ධ සංස්කෘතියක් පැතිරී තිබුණාය කියා.

නැගෙනහිර ප්‍රදේශයේ පුරාවිද්‍යා සිතියම් ගෙන බැලුවොත් අදත් අපට පෙනෙනවා පුරාවිද්‍යා භූමියක් නැති කිසිම බිම් අඟලක් ඒ ප්‍රදේශයේ නැතැයි කියන්න පුළුවන් තරමින් ඒ ප්‍රදේශය පුරා පුරාවිද්‍යා භූමි තිබෙන බව.
ඒ වගේමයි උතුරුකරයේත්, මේ රට බෙදීමට, මේ රට දෙකඩ කිරීමට උපක්‍රම යොදන පිරිසක් මේ රටේ බඩ ගෙඩිය තබාගෙන ඔළුගෙඩිය වෙනත් රටක තබාගෙන ඉන්න පිරිසක් මෑතක සිට මේ රට වෙනත් රටකට ඈඳා දෙන්නට ගන්නා නීච, නිවට ප්‍රයත්නය සාර්ථක කර ගැනීම සඳහා අපේ ඒ ජාතික උරුමයන් නැති කරන්නට, පාවා දෙන්නට කටයුතු කරගෙන යන බවත් අපට පැහැදිලි වශයෙන් පෙනී යනවා.

ඔවුන්ගේ ඒ නීච ක්‍රියා කලාපය නිසා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේත් තිබෙන බෞද්ධ සිද්ධස්ථාන, ඒවායේ නටබුන් හා අදාළ සාධකයත් එක රැයින් නැතිවී යනවා.
පුදුමාකාර විදිහට සාහසික අන්දමින් සිදු වන ඒ ක්‍රියා නිසා එබඳු ස්ථානවලට සම්බන්ධ ඒ අති පෞරාණික වස්තුන් නැතිවී යන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ඇමැති ලොකුබණ්ඩාර මහතා සිය කතාව අවසානයේ මෙසේ ද සඳහන් කර ඇත.

“මේ කාර්යයට සම්බන්ධ ලේඛන සියල්ලක්ම අඩංගු ග්‍රන්ථයක් මා ළඟ තිබෙනවා. මෙය අපේ කර්මාන්ත හා විද්‍යා කටයුතු ගරු ඇමැතිතුමා විසින් An appeal to UNESCO toSafeguard and preserve the cultural property in sri lanka Endangered by racial prejudice, unlawful mccupation or willful destruction යන නමින් කරන ලද පර්යේෂණ නිබන්ධයක්. මෙහි තිබෙන්නේ එක අකුරක්වත් අයින් කරන්නට බැරි තරම් ඉතා වටිනා අදහස්.

“මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙහි පළමුවන පිටුවේ සිට අවසානය දක්වා ඇති සියලුම කොටස් අකුරක්වත් නෑර හැන්සාඩ් වාර්තාගත කරන්නය කියා.

මේ පොතේ පළමුවන පිටුවේ සිටම තිබෙන්නේ ඉතාම වැදගත් ඇමුණුම් කීපයක්. මේක ඉතාම වැදගත්. ලෝකයම දැන ගන්නට ඕනෑ දේවල්. එක්තරා කොටසක් අත්සන් ලක්ෂ ගණනක් ඇති පෙත්සමක් යූ.එන්. ඕ. එකට ඉදිරිපත් කරනවා.

ඔවුන්ගේ සංස්කෘතිය නැති වෙනවාය කියා අපේ මෙම ආයාචනය කර තිබෙන්නේත් වෙන කාටවත් නොවෙයි. යූ.එන්.ඒ. එකේම ශාඛා සංවිධානයක් වන ‘යුනෙස්කෝ’ එකටයි. ඒ නිසා මම සභාගත කරන මේ ලියවිල්ල අකුරක් නෑර ඒ විධියටම හැන්සාඩ් වාර්තාගත කරන්නය කියා මම ඔබතුමාගෙන් නැවතත් ඉල්ලනවා.”

උතුරේ බෞද්ධ උරුමය පිළිබඳ කෙටි සටහනකි මේ.

මහාවංශයට අනුව යාපනය අතීතයේ නාගදීපයයි. නාග ගෝත්‍රිකයන් විසූ එම භූමිය තම්කොළ පට්ටාන, යාල් පානම්, ජැෆ්නා පට්ටන් ලෙසද හඳුන්වා ඇත. පට්ටාන යනු තොට හෝ වරාය යන අරුත දෙයි.

භාතිකතිස්ස (143 – 167) රජු සමයේ නාගදීපයේ කිරිපලු රුක් මුල පළුදාගේ තනවා ඇත. රාජායතන ධාතු විහාරය එයයි.

දෙවැනි අග්‍රබෝධි රජු (571 – 604) පිහිටු වූ උර්ණලෝමඝරයද ආමල චෛත්‍යයට පිදූ ඡත්‍රයද සුවිශේෂ වෙයි. පළමුවැනි විජයබාහු රජු (1055 – 1110) ජම්බුකෝල විහාරය පිළිසකර කරවා ඇත.

ක්‍රි.ව. 455 – 463 අතර භික්ෂූන් වහන්සේලා 60,000ක් වැඩ විසූ මංගණ විහාරය සම්බන්ධකොට කෝලාස විහාරයද මහල්ලකනාග රජු නාගදීපයේ කරවූ සාලි පබ්බත විහාරය ගැන ද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

දෙවන පෑ තිස් රජු සමුදජන සාලා තැනවූ බව ද පළමු විජයබා රජු තැනවූ තිස්ස වෙහෙර, කනිට්ඨ තිස්ස රජු එහි වටදාගෙය අලුත්වැඩියා කළ බව ද වෝහාරික තිස්ස රජු එය තවත් සංවර්ධනය කළ බව ද සඳහන් වෙයි.

ධාතුසේන රජු (455 – 473) නාගදීපයේ ථූපවිට්ඨි සහ ධාතුසේන නමින් විහාරස්ථාන දෙකක් ඉදි කළ බව කියවේ. නාගදීපය බෞද්ධයන්ගේ සොළොස්මස්ථානවලින් එකක් වන අතර ක්‍රි.ව. 411 දී මෙරටට ළඟා වූ පාහියන් හිමි නමගේ දේශාටන වාර්තාවේ ද නාගදීපය ගැන සඳහන් වෙයි.

යාපනයේ බෞද්ධ උරුමය ගැන වඩාත් ප්‍රකටම ලිපිය ලියා ඇත්තේ ඉතිහාසඥ පෝල් ඊ.පීරිස් මහතාය.

රාජකීය ආසියාතික සංගමයේ වාර්තා ඇතුළත් සඟරාවේ එම ලිපිය පළ වූයේ Nagadipa and Buddhist Remains in Jaffna (යාපනයේ බෞද්ධ අවශේෂ) (JRAS, CB:VOL-16, P-02)

එම ලිපියට ද්‍රවිඩ පාර්ශ්වයෙන් යම් විරෝධයක් එල්ල වූ නමුත් එම ලිපිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ විද්වතකු වූ මුදළිඳු සී. රාසනායගම් මහතා ඉදිරිපත් විය.

ඉපැරණි දෙමළ සාහිත්‍ය ග්‍රන්ථයක් වූ ‘මණිමේකලෛයි’ කෘතියේ 11 සර්ගයේ 21- 23 පේළිවල එන රත්නදීප (ලක්දිව හා නාගදීපය) දකුණු ඉන්දීය මණිපල්ලවම් ප්‍රදේශය අසල වෙනම දූපතක් බව සඳහන් වෙයි. රාසනායගම් මහතා එය පැහැදිලි කරදී තිබේ.

වර්තමානයේදී උතුරේ නාගදීපය එක් ස්ථානයක් ලෙස සිතියම් ගත කර තිබුණ ද එදා ලක්දිව මුළු උතුරුකරයම නම් කර තිබුණේ ‘නගදිව්’ යනුවෙන් බව ක්‍රිස්තු පූර්ව 2 වැනි සියවසේ විසූ ටොලමි ඔහුගේ ලෝක සිතියමේ දක්වා තිබේ.

නාගදීප යන්න ජනවහරට එක්වූයේ එකල උතුරේ ජීවත් වූ නාග ගෝත්‍රිකයන් නිසාය.

සුප්‍රකට වල්ලිපුරම් රන්පතේ සඳහන් වන නග – දිව යන්න එදා නාගදීපය බවයි පුරා විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ. ඉපැරණි ග්‍රන්ථයක් වන සම්මෝහ විනෝදනී පුස්තකයේ නාගදීප (අර්ධද්වීපයම) පාලනය කර ඇත්තේ දීපරාජ නම් පාලකයකු විසින් බව සඳහන් කර ඇත.

ක්‍රි.ව.200 දී ලියවුණු බ්‍රාහ්මී සෙල්ලිපියක ද ‘දීප’ නම් අයකු ගැන සඳහන් වෙයි. දීප යනු එකල නාගදීපයේ (යාපා පටුනේ) පාලකයා හඳුන්වන රාජකීය නාමයක් බව ඇතැම් විද්වතුන්ගේ අදහසයි.

අනුරාධපුරයෙන් උතුරු කොටස උත්තර පස්ස ලෙස කලක් හැඳින් වී තිබිණි. එය එකල ලක්දිව පිහිටි රටට අයත්ව තිබිණි. අනුරාධපුරය සිට පේදුරුතුඩුව දක්වා ප්‍රදේශ එකල පාලනය වූයේ අනුරාධපුර රාජධානිය යටතේය.

මේ රටට ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කළේ එදා දඹකොළ පටුන නමින් හැඳින්වූ තොටුපොළටය.

සඟමිත් මෙහෙණින් වහන්සේ වැඩමවා ගෙන ආ ශ්‍රී මහා බෝධි ශාඛාව දෙවැනි පෑතිස් රජු දෝතින් පිළිගත්තේ දඹකොළ පටුනේ කරදිය කරවටක් බැසීමෙන් බව බෞද්ධ සාහිත්‍යයේ එයි. මේ තොටුපොළ අනුරාධපුර රාජධානියට අයත් වූවකි. එදා දඹකොළ පටුන පසු කාලයේදී සම්බිල්තුරෙයි බවට පත් වී ඇත.

ශ්‍රී මහා බෝධින් වහන්සේ දඹකොළ පටුනින් වැඩමවා ගෙන ආවේ නාගදීපය නම් ස්ථානයටය. එතැන ප්‍රාචීනාරාමය නමින් සිද්ධස්ථානයක් ඉදි කර ඇත.

බෝධිය වැඩමවාගෙන ආ පිරිස තිවක්ක ගමේ නැවතී ඇති අතර එම කාර්යයට ප්‍රදේශය බාර තිවක්ක බමුණා විශාල සහායක් දී ඇත.

බෝධිය වැඩම කරගෙන ආ ගමන් මාර්ගයේ යාපනය- (වවුනියාව හරහා අනුරාධපුරය තෙක්) පුරා වස්තු රැසක් හමුවෙයි. ක්‍රි.ව. දෙවැනි සියවසේදීත් අනුරාධපුර රාජධානියෙන් පාලනය වුණු ලංකාවේ උතුරු ප්‍රදේශය ගැන වැදගත් තොරතුරු රැසක් වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වෙයි.

වසභ රජ අවධියේදී එතුමාගේ ඇමැති මඬුල්ලේ සිටි ඉස්ගිරි ඇමැතිවරයා නාගදීප ප්‍රදේශයේ පාලකයා වී සිටි බැව් එහි සඳහන් ‘පියගු කතිස’ යන්නෙන් පැහැදිලිය. එහි අදහස පියගු ද්වීපයේ තිස්ස යන්න බව ඉතිහාසඥයන්ගේ මතයයි.

මේ අනුව පියගු ද්වීපය යනුවෙන් එදා හඳුන්වා ඇත්තේ අද පුන්කුඩුතිව් නමින් හඳුන්වන දූපත විය හැකි බව විද්වත් මතයයි. ක්‍රි.ව. 12දී පොළොන්නරුවේ රාජ්‍ය කළ නිශ්ශංක මල්ල රජුගේ රාමේෂ්වරම් සෙල් ලිපියේ ද පුවගු දූපතක් ගැන කියැවෙයි. එහි පුවගු දිවයින, මිණිපක් දිවයින, කප්ප දිවයින, කාර දිවයින ආදීවූ නොයෙක් දිවයින් බලා වදාරන්න යනුවෙන් සඳහන් වෙයි.

එකී මතයට අනුව එදා පුවගු දිවයින
(අද පුන්කුඩුතිව්), මිණිපක් දිවයින
(අද මණ්ඩෙයිතිව්), කප්ප දිවයින
(අද කයිට්ස් දූපත) සහ කාර දිවයින
(අද කාරෙයිතිව් දිවයින) ලෙස පිළිගැනේ.

රාමේෂ්වරම් සෙල් ලිපියට අනුව එදා නිශ්ශංකමල්ල රජු උතුරේ මෙකී දිවයින්වල ද පාලකයා වී සිටි බව පිළිගැනේ.

මහාවංශය සඳහන් කරන ආකාරයට දුටුගැමුණු රජුගේ ශාසනික සේවාවට සහාය පිණිස පියගු ද්වීපයේ සිටද භික්ෂූන් වහන්සේලා වැඩම කොට තිබේ.

අනුරාධපුර රාජධානි සමයේදීත් උතුරේ සියලු ප්‍රදේශ සිංහල රාජවංශයට අයත්ව තිබූ බව වසභ රාජ සමයේ සෙල් ලිපියෙන් ද සනාථ වෙයි.

ශ්‍රීමත් පෝල් ඊ. පීරිස් මහතා සඳහන් කර ඇත්තේ යාපනයේ වර්තමාන කන්දරො‍ඩෙයි නමින් හඳුන්වන ස්ථානය එදා කදුරුගොඩ බවයි. එම ස්ථානය අද බෞද්ධ නටබුන් සංකීර්ණයකි.

කදුරුගොඩ ද පසු කලෙක දෙමළ ජනාවාස නිසා කන්දරොඩෙයි බවට පත් වී ඇත්තේ උතුරේ බොහෝ ප්‍රදේශවල නම් ද දෙමළ ඌරුවෙන් උච්ඡාරණයට ලක් වීම හේතුවෙනි.

(උදා : වැලිගම – වලිකාමම්, උඩුපිටිය – උඩුප්පිඩ්ඩි, වඩුගොඩ – වඩ්ඩුක්කොඩෙයි, වැලිපුර – වල්ලිපුරම්, හුණුගම – චුන්නාකම්, විලාන – වේලනෙයි, කොඩිගම – කොඩිකාමම්, හිරුපිටිය – ඉරුම්පිඩ්ඩි ආදී වශයෙනි.)

කදුරුගොඩ විහාර සංකීර්ණයකි. වටදාගෙවල්වලත් බෞද්ධ ආරාමයකත් නටබුන් හමුවී ඇත. එහි තිබූ බ්‍රාහ්මී අකුරු සහිත බඳුන් කැබැල්ලක ‘දතහ – පත’ යන්න සටහන්ව තිබේ. එහි අරුත දන්ත නම් තැනැත්තාගේ පාත්‍රයයි යන්න බව සඳහන් වේ.

පුරා විදු කැණීමකදී එහි තිබී රතු පැහැ වළං කැබැල්ලක් හමු විය. එහි කාල නිර්ණය කිරීමේදී හෙළි වූයේ එය ක්‍රි.පූ. 1200ක් තරම් ඉපැරණි බවය. ඉපැරණි ග්‍රන්ථයක් වන ‘නම් පොතේ’ සඳහන් වන්නේද කන්දරොඩෙයි එදා කදුරුගොඩ බවයි. බුදුන් වහන්සේගේ සිරිපතුල දැක්වෙන ගල් පුවරුවක්ද එහි තිබී හමු විය. එය ක්‍රි.ව. 10 සියවස දක්වාම බොදු වන්දනාකරුවන්ගේ බුහුමනට ලක් වූ බව සඳහන් වේ.

හුණුගම (චුන්නාකම්) , මිණිපේ (මානිපායි) වැලිපුර (වල්ලිපුරම්), ගෝතමලුවවත්ත (කට්ටුපුලම්), සහ උඩුවිල්, මල්ලාකම්, පුතූර්, පුලෝලි යන ස්ථානවලින්ද බුදු පිළිම ඇතුළු බෞද්ධ පුරාවස්තු හමු වී තිබේ.

මෙනිසා ප්‍රාග් යුගයේ සිටම අනුරාධපුර යුගය අවසානය දක්වාම උතුරු අර්ධද්වීපය පුරා පැවතියේ බෞද්ධ නිජබිමකි.

අතීතයේ දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර ද හරි හරියට බෞද්ධයෝ වූහ. ඔවුන් සිය ගොවිතැන් කටයුතු සඳහා වැව් අමුණු ද වන්දනා කටයුතු සදහා වෙහෙර විහාර ද කරවූහ. එහෙත් දකුණු ඉන්දීය චෝල ආක්‍රමණ සමග සිංහල රාජධානිය ආරක්ෂාව පතා අනුරාධපුර ප්‍රදේශයේ සිට රට අභ්‍යන්තරයට ඊසාන දෙසට පසුබැස ගියේය.

ඒ සමග උතුරු නැගෙනහිර බෞද්ධයින් ද සිය ගම් බිම් අතැර පළා යාමට සිදු වූ අතර බොහෝ බෞද්ධ වෙහෙර විහාර ආක්‍රමණිකයා විසින් විනාශ කරන ලදි. ඇතැම් ඒවා වල් වැදිණි. ඒවා මත අන්‍යාගමික ස්ථාන ඉදිවිය. වැව් අමුණු වල් වැදිණි.

මෑත කාලයේ උතුරු නැගෙනහිර දෙමළ ඊළාම් නිජබිම බව සනාථ කිරීම සඳහා බෙදුම්වාදීහු සූක්ෂ්ම ලෙස බෞද්ධ නටබුන් විනාශ කිරීමට කටයුතු කළහ.

චෛත්‍ය නටබුන් මත කොටි කාලතුවක්කු සවි කෙරිණි. උතුරු නැගෙනහිර සිංහල නම්ගම් අකාමකා දෙමළ නම්ගම් දුන්හ.

නැගෙනහිර පළාතේ සපරිස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන අන්තවාදීහු නැගෙනහිර බෞද්ධ උරුමයන් බුල් ඩෝසර් කළහ.

නිධන් හොරු නිධන් ලබා ගැනීම සඳහා මේ මිල කළ නොහැකි වස්තු සුනුවිසුනු කළහ.

මේ ආකාරයට උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය දැවැන්ත සංහාරයකට ගොදුරු වන පසුබිමක පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ගවේෂණය කරමින් එහි තොරතුරු රටට හෙළි කරන්නට වූහ.

අපේ රටේ ආණ්ඩුවේ මැදිහත් වීම මගින් කළ යුතු වූ මේ කාර්ය උන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් කරන ලද මෙහෙය ඉතා අගනේය.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත්වල බෞද්ධ පුදබිම් ගණනාවක් මේ වන විට අපට විනාශවී ඇත. කාලිංග මාඝ රාජ රාජේන්‍ද්‍ර වැනි සොලී ආක්‍රමණ හේතුවෙන් රජරට හා උතුරු නැගෙනහිර තුබූ සිද්ධස්ථාන බොහොමයක් විනාශව ගොසිණි

පුන්කුඩතිව් දූපත

වර්ථමාන පුන්කුඩතිව් දූපතේ අනුරාධපුර යුගය තුළ දහස් ගණනක් භික්ෂූන් වහන්සේ වැඩ විසූ බව මහා වංශයෙහ් සඳහන් වේ
සඟමිත් තෙරණිය ගොඩබට කන්කසන්තුරේ අසල දඹකොළ පටුන විහාරය තිබූ බවට සැකකරන ස්ථානයක් ඇතත් පැරණි නටබුන් හමුවී නැත.

කඳුරුගොඩ විහාරය

යාපනයේ කන්ද රෝදේ යන ස්ථානයෙහි පිහිටි කඳුරුගොඩ විහාරයද අද දක්නට ඇතත් එහි සංරක්ෂණ කාර්යයට සුළු ජාතික දේශපාලන අධිකාරිය හරහා සිදුවන බලපෑම විශාලය
වර්ථමාන චුන්නාකම් නගරය ඊට සැතපුම් තුනක් මෙපිටින් පිහිටා ඇත

මඩුකන්ද විහාරය

වව්නියාවේ මඩුකන්ද විහාරය
ත්‍රිකුණාමළයේ හිරිගඬු සෑය
සේරුවිල චෛත්‍ය විල්ගම් වෙහෙර
දීඝවාපිය ත්‍රිකුණාමළය ප්‍රදේශය පුරාණ බෞද්ධ සංස්කෘතියෙහි තෝතැන්න විය

මාන්තොටද එසේමය ගෝකණ්ණතිත්ථ යනු ත්‍රිමකුණාමළය වරායයි එහි වූ ගෝකණ්ණ විහාරය පිහිටි තැන අද දක්නට ඇත්තේ හින්ඳු කෝනේශ්වරම් කෝවිලයි
මේ පරිදි උතුරු – නැ‍ගෙනහිර පැරණි පුඳබිම් කඩා බිඳ ඉදිකළ අන්‍ය ආගමික සිද්ධස්ථාන රාශියකි මෑතක් වන තෙක් අප වැදුම් පිඳුම් පිණිස ආගිය යාපනයේ නාග විහාරය වව්නියාවේ මඩුකන්ද විහාරය සෙම්බුමලේ විහාරය ඇටඹගස්කඩ විහාරය’ත්‍රිකුණාමළයේ විහාරය සේරුවිල මඩකලපුව හා අම්පාරේ පිහිටි බුද්ධංගල දීඝවාපිය මූදුමහා විහාරය – ලාහුගල’ කුඩුම්බිගල දිඹුලාගල කොට වෙහෙර තන්තිරිමලේ ආදී පුදබිම් රැසක්ද වෙයි.

පුදබිම් වලට අමකරව ලංකාවේ වඩාත් රමණිය වූ පරිසරයකින් හෙබි මහා ගල්ලෙන් රාශියක් උතුරු – නැගෙනහිර පිහිටා ඇත ජාතිවාදී ආගම්වාදී නොමිනුසුන් ඉපැරණි බෞද්ධ උරුමයන් හාරා කඩා බිඳදමා ඒමත හින්දු කෝවිල් මුස්ලිම් පල්ලි පිහිටු වීම තවත් කරුණකි.

සිංහල බෞද්ධ බොහෝ දෙනා නිහඬව උකටලීව අකමැත්තෙන් වුවද මේවා ඉවසා සිටීම තවත් කරුණකි

මෙකී තත්වනයක් යටතේ වේවා උතුරු නැගෙනහිර පුරාවස්තු හා මැතක් වනතුරු තිබූ විහාරාරාම පුදබිම් අද දක්නට නොතිබීම සංවේග ජනකය

කුඩුම්බිගල

ලෝ පතල පුරාවිද්‍යාඥයෙකු වු සී ඩබ් නිකලස්’ මහතාගේ පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය නැමති ග්‍රන්ථයේ සඳහන් වන පරිදි යාපනය වව්නියාව මුලතිව් මන්නාරම යන දිස්ත්‍රික්කද පුත්තලම හා ත්‍රිකුණාමළය යන දිස්ත්‍රික්ක දෙකෙන් වැඩි කොටසක්ද අයත්ව තිබී ඇත්තේ රජරට රාජධානියටය එකළ මේ පෙදෙස්හි සිංහල මෙන්ම දෙමළ බෞද්ධයන්ද සිටියහ විල්ගම් විහාරයේ දෙමළ සෙල්ලිපිය ඊට කඳිම සාධකයකි

මෑතක් වනතුරු බුදුදහම අනූව හැඩගැසුන දෙමළ ජනතාව මේ රටේ විසූහ සිංහල රජ දරුවන් රජරට රාජධානිය තුළ වෙහෙර විහාර දාගැබ් රාශියක් ඉදි කර ඇත වංශකතාවල හා සෙල්ලිපිවල ඒ බව දැක්වෙයි වසර දහස් ගණනක් ඈතට දිවයන සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නෂ්ඨාවශේෂ අදත් මුළු දිවයින පුරාම විසිර පවතී එහෙත් සිංහල විරෝධී – බෞද්ධ විරෝධී පිරිස් එම ඉපැරණි සංස්කාතික උරුමයන් වනසමින් ගෙනයන ක්‍රියාවලිය නිසා දහස් ගණනක් වෙහෙර විහාර අද ‍‍මෙම භූමියෙන් අතුරු දහන් වෙමින් පවතී

මේ අතර සංකාවේ විශාලතම ගල්ලෙනද වෙයි එය බදුල්ලේ -මඩකලපුව පාරේ
67 වන සැතපුම් කනුවෙන් වයඹ දිගට සැතබුම් 6ක් දුරින් පිහිටි හෙන්නානේ ගල නම් පර්වතයයි මෙහි ක්‍රි පූ දෙවන හා තෙවන සියවස්වල කතරගම රජ පෙළපතේ මුල් රජුන්ගේ ලාංඡනය වශයෙන් සැලකුණු මාළුවෙකුගේ ලකුණින් යුත් දිගු සෙල්ලිපියක් වෙයි කසඹ නගර ගිරිතිශ ගම කරජිනිතිගම විලගම මාළුගම නුවරගල යන නාම එම සෙල්ලිපියෙහි සඳහන්වේ එහි මුදුනේ සද්ධාතිස්ස රජු විසින් කරවූ විහාරයක්ද වෙයි

මේසා විශාල පූජනීය හා ඓතිහාසික වැදගත් කමකින් යුත් ප්‍රදේශ උතුරු – නැගෙනහිර පැතිර පැවතියද වෙනත් භාහිර වියවුල් හේතුවෙන් අපටත් මතු පරපුරටත් දැකබලා ගැනීමටත් වැදපුදා ගැනීමටත් නොහැකිය

රටේ සෑම පුරවැසියෙකුම ගරුත්වයෙන් එක හා සමාන කොට ජාතීන් අතර සමාදානය ඇති කිරීම තුළින් යලි මෙම පිංබිම් දැකබලා වැඳපුදා ගැන්මට ප්‍රස්ථාව සැලසීම රජයේ සහ බළධාරීන් ගේ වගකීම වනු ඇත.

ජයනාත් පෙරේරා                           | ගජයා෴ ✍
නියෝජ්‍ය ලේකම් – ආර්ය පදනම



243 Viewers