ඒ තහඩු කෑලි නොවේ – අප වෙනුවෙන් ඔවුන් කළ කැපකිරීම්ය.

මා උපදින විට විට මෙරට යුද්ධයක් තිබුනේ නැත.
ඉන්පසු නිදහස් සුන්දර ළමා කාලයක් ගත කරන්නට වාසනාවක් හිමිවිය.
දෙවන පන්තියේ ඉගෙනගන්නා කාලයේදී යාපනයට යෑමට පවා හැකිවිය.
එකල යුද්ධය ගැන අසා තිබුනේ
දෙවන ලෝක යුද්ධය, එළාර දුටුගැමුණු යුද්ධය වැනි කතාබහ සමග පමණි.
කාලයක් ගතවිය.1983 වසරේදී
ජූලි කලබලය මෙන්ම ඒ හා බැඳි යුද්ධයක් ගැන කතා බහකට අප ජීවිත ටිකෙන් ටික හුරු විය.
එතැන් සිට වසර 30ක් පුරාවට ඒ කාළකණ්නි ඊළාම් රාජ්‍යයක් හඹා ගිය යුද්ධය අප ජීවිත උඩු යටි කුරු කළ ආකාරය අදහා ගතනොහැකි විය.
ඒ සමග හෙටක් පිළිබඳ ඇති වූ ඒ අවිනිශ්චිත බව අප්‍රසන්නය. කුරිරුය. මූසලය.
මායිම් ගම් යැයි ගම්මාන බිහිවිය. ඒ වායේ දිවි ගෙවූ සිය ගණනක් අහිංසක ගම්වැසියන් කපා කොටා හ්ම් හඬක් වත් නොනගන්ට පෙර මිය යාම සාමාන්‍ය ප්‍රවෘත්තියක් විය.
මව්පියන් තබා තම සහෝදර සහොදරියන් පවා අහිමි ව ආනථ වූ දරුවන් තැනින් තැන කඳවුරු ගත වුනි.
බිම් බෝම්බ.,ක්ලේමෝ බෝම්බ සාමාන්‍ය වචන විය.
බස් බෝම්බ,කෝච්චි බෝම්බ , මග දිගට තැනින් තැන හිසේ සිට පාදාන්තය දක්වා පරීක්ෂා කරනා ස්ථාන සාමාන්‍ය ජීවිතයේ කොටසක් විය.
ජාතික හැඳුනුම්පත නොමැතිව ගෙදරින් එලිපහලියට බැසීම කිසි සේත්ම නොකල කාලයක් විය.
එසේම එය එකම ගමනක් වුවද අම්මා එක බසයකත් ,තාත්තා තව බසයකත් ගමන් කළ කාලයක් විය. ඒ දෙදෙනාම එකම වාහනයක යද්දී බෝම්බයකට හසුවෙතැයි තිබූ බිය නිසාය.
මරනවා මැරෙනවා යනු ඉතා සුළු දෙයක් බවට මෙරට මානසිකත්වයක් ඇති වූයේ මේ සමගය.
මේ සියලු කාලකන්නි කොටි ත්‍රස්තවාදී කරදර මැද අපට යන්තමින් හෝ සහනයක් දී අපට ඇසක් පියවන්නට දී මුළු රටක් මෙන්ම ජාතියක් රැකි මුර දේවතාවන් රැසක් රෑ පුරා නිදි වැරූහ.
ඒ වීරෝධාර රණ විරුවන්ය.
ඇස් ඉස්මස් ලේ පමණක්නොව තම ජීවිතයද අප වෙනුවෙන් ඔවුහු පුද කළහ.
එවන් රණවිරුවෙකු මගේ පවුලේද විය. ඒ මගේම වැඩිමහළු සහෝදරයාය.එනිසාම අපේ අම්මා නිදි වැරූ රත්‍රීන් බොහෝය. අඬමින් සිටි දවස් බොහෝය.
දරුණු සටන් ඇවිළෙන කාලවලදී දුක්බර පණිවිඩයක් ලැබේදැයි බියෙන් අවිනිශ්චිතව දුරකතන නාදවෙද්දී ඇමතුම් මග හැර බිහිරන් මෙන් නිවැසියන් සියල්ලන්ම එය ට ප්‍රතිචාර නොදක්වා සිටි දවස්ද බොහෝ තිබුනි.
ඒ බිය අතර වුවද ඒ ගැන එදාත් අදත් ඇත්තේ ආඩම්බරයකි.
එදා මායිම් ගම් රැක්කේ ඔවුන්ය.
අපට නිදියන්ට දී මදුරුවන් තලමින් කුසගින්නේ නිදි වැරුවේ ඔවුන්ය.
මරාගෙන මැරෙන්නට ඉදිරියට පැන ත්‍රස්ත ප්‍රහාර නැවැත්තුවේ ඔවුන්ය.
මාවිල්ආරු සොරොව්ව ඇරියේ ඔවුන්ය.
අලිමන්කඩසෙබලුන් මුදාගන්නට ගුවනින් eagle මෙහෙයුම කලේ ඔවුන්ය.
මුහුද රැක ඩෝරා යත්‍රාවල සිට මුහුදු කොටි පලවා හැරියේ ඔවුන්ය
වඩමාරච්චියේ ජය සිකුරු මෙහෙයුමට ගොස් ජීවිත අහිමි කරගත්තේ ඔවුන්ය.
නැගෙනහිරින් ඇරඹි සටන අවසන
අපට සහනය දී ප්‍රභාකරන් නැමැති කලකන්නි ත්‍රස්තවාදියාගෙන් රට මුදවා ගත්තේ ඔවුන්ය.
තම ජීවිතය පිළිබඳ අසාව මගහැර අප රැකගත්තාට රට රැකගත්තාට
අපට හුස්මක් ගන්නට ඉඩක් දුන්නාට අපට ණය ගෙවිය නොහැක. ඒ එම වගකීම කැපවීම කිසිවට හිලව් කළ නොහැක.
නමුත් යුධ හමුදාවේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම ඒ රණ විරුවන් තමා කළ ඒ කැප කිරීමට සරිලන ලෙසින් ඇගයීමට ලක් කරනුයේ එය රාජකාරීමය වගිකීම ලෙසිනි. හොඳින් මතක තබාගන්න, එම කිසිඳු පදක්කමකින් 2009 මැයි 18 වෙනිදා අප දෙමළ ඉලාම් යුද්ධය අවසන් වීම නිමිති කොට අද අත්විඳිනා සහනය පිදිය නොහැක.
එවන් රණවිරුවන් මුදාගත් රටක දැන් උඩ කරනම් යටි කරනම් ගසමින් බුරනා ඒ උගත්යැයි සිතා සිටිනා ගුණමකු කුහකයින්ට එම පදක්කම් තහඩු කෑලි වී ඇත.
නැත. එය කිසිසේත්ම නැත.එම සෑම පදක්කමක් පසුපස ඒ රණවිරුවන් කළ කැපකිරීම් ඇත. හෙලූ දහඩිය මෙන්ම ලේ බිංදු ද ඇත. අහිමි වූ අත පය ඇස් මස් මෙන්ම ජීවිත ඇත. නිදිවැරූ දින ඇත. කුස ගිනි උහුලා අවි දරමින් ගත කල දුෂ්කර දවස් ඇත. තාත්තලා අහිමි වූ දරැවන්ගේ, පුතුන් අහිමි වූ මව්පියන්ගේ, ස්වාමියන් නැතිවූ බිරින් දෑ වරුන්ගේ .. ආදි අපේ ම නෑදෑයින්ගේ කඳුළු හා සුසුම් ඇත.
ඒ සෑම පදක්කමක් ඒ වගකීමට කැපවීමට සරිලන නමකින් ඒවා නම් කර ඇත. ඒවා අකුරු නොව වටිනාකම්ය. තම නම පසුපසින් එම අකුරු කියවෙන විට ඔවුන් තුළ දැනෙන ආඩම්බරය මම අත්විඳ ඇත්තෙමි.
(ඒවා තමාට අහිමි ආචාර්ය උපාධි මෙන් නොවේ.
ඇත්තම කැප කිරීම්ය)
මේ එවැනි ප්‍රධාන පදක්කම් කිහිපයක් පමණි.
1.වීරත්වයේ පදක්කම්: (උදා: වීර වික්‍රම විභූෂණය – VWV, රණ වික්‍රම පදක්කම – RWP, රණ ශූර පදක්කම – RSP) – සතුරාට එරෙහිව දක්වන අසමසම නිර්භීතකම වෙනුවෙන් පිරිනැමේ.
2.විශිෂ්ට සේවා පදක්කම්: (උදා: විශිෂ්ඨ සේවා විභූෂණය – VSV, උත්තම සේවා පදක්කම – USP) – ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කැපී පෙනෙන හා අඛණ්ඩ සේවය වෙනුවෙන් පිරිනැමේ.
3.සේවා පදක්කම්: (උදා: ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම) – වසර 12 ක අඛණ්ඩ හා විශිෂ්ට සේවයක් සම්පූර්ණ කිරීමෙන් පසු ලබා දේ.
4. ක්‍රියාන්විත සහ මෙහෙයුම් පදක්කම්: (උදා: උතුරු සහ නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම) – යුද සමයේ සේවය කළ පිරිස් වෙත පිරිනැමේ.
මට මෙම පදක්කම් කිසිවක් කිසිම ලෙසකින් මිල කළ නොහැකි ය. ඒවා අද මමත් මගේ පවුලේ සියලු දෙනාත් අද ගත කරන යම් නිදහසක් සතුටක් ඇත්නම් ඒවා මට හිමිකර දීමට ඒ ලාංකික රණවිරුවන් ලද තුටු පඬුරුය.
එදා යුධ බිමේදී අහිමි වූ සියලු රණවිරුවන්ට මෙන්ම ආබාධිතව අද අසරණ වූ සියල්ලටත් අප රකින්නට යුධ බිමට හොඳම කාලය වැය කර විශ්‍රාම සිටින සියල්ලටත් මම සදා ණය ගැතිය.
ඔබ සියල්ලට බුදුන් වඳිනා දෑතින් වන්දනා කරමි.
ඔබ සියළු දෙනාට අපහාස කරන ඒ පාපතරයින් පව්කාරයින් යැයි නම් කරමි.
ඔවුන් නිසි කල සෙබාදහම විසින් බලාගනු ඇතැයි තරයේ අදහමි.
මනෝරි ගමගේ
03.07.2026
13 Viewers





