• Home »
  • Articles »
  • ඓතිහාසික කුසලානකන්ද විහාරස්ථානය අද කෝවිලක්. ඒක දිග කතාවක් …

ඓතිහාසික කුසලානකන්ද විහාරස්ථානය අද කෝවිලක්. ඒක දිග කතාවක් …

මඩකළපුවේ පදිංචිව සිට LTTE කලබල නිසා ගම්බිම් අතහැර ගිය කෙනෙක් මට දවසක් කිව්වා එයාලා හිටපු ගමේ පන්සලක් තිබුණලු. ඒකට මොකද උනේ කියල හොයල බලන්ඩ කියල.

ඒ මාමා කිව්ව විස්තරවල හැටියට පන්සල ගැන හොයල බලන්ඩ මම මඩකළපුව බස් එකේ නැගල ගිහින් පෙරිය පිල්ලුමලේ යුධ හමුදා මාර්ග බාධකය අසලින් බැස මාමා ලබාදුන් තොරතුරුවලට අනුව පන්සලක් තිබුන තැනක් හොයන්ඩ පටන්ගත්තා.

නමුත් අද ඒ ගමේ කිසිදු සිංහලයෙකු නැත. යමක් දැනගැනීමට සිංහල දන්නා කෙනෙක්ද නැත. ඒ නිසා මහත් අසරණවු මා මාර්ග බාධකය අසලට පැමිණ නැවත ගෙදර යෑමට බසයක් එන තුරු මග බලා සිටියේදි රජකාරියේ නිරතව සිටි පොලිස් සැරයෙන්වරයෙක් මා සමග සමීපව සාකඡා කරන්නට විය.

එම අවස්ථාවේ එතුමන්ට මගේ අරමුණ, කැපවීම අවබෝධ වන්නට ඇතැයි කියා මට හිතුණේ එතුමා මට ලබාදුන් තොරතුර නිසයි.

“නාමල් මහත්තයා ඔයා හොයන විදිහේ පන්සලක් ගැන අපි දන්නෙත් නෑ. සමහරවිට මුන් ඕවා කඩල විනාස කරල ඇති. ඒත් මට පුළුවන් එක දෙයක් කරන්ඩ. කරඩියනාරු අපේ පොලිසිය පිටිපස්සේ පාරෙන් යනකොට තියෙනවා කුසලානමලේ කියල කන්දක්. ඒකේ තිබිල තියෙන්නේ ලස්සන පන්සලක්. දැන් ඒක රාමානික්කම් අල්ලගෙන කෝවිලක් හදවල තියෙන්නේ. පුරාවිද්‍යා එකෙන් මනින්ඩ ආවම රාසමානික්කම් දාහක විතර සෙනඟක් ගෙනත් නිළධාරින්ව වටකරා. ඒ නිළධාරින්ව බොහොම අමාරුවෙන් අපි බේර ගත්තේ. මම පස්සේ දැක්කා ඒ පුරාවිද්‍ය නිළධාරිතුමියට විරුද්ධව රාසමානික්කම් පාර්ලිමේන්තුවෙත් කතා කලා. පව්, තව පොඩ්ඩෙන් ජොබ් එක කරන්ඩ ගිහින් ඒ මිස්ට මුන්ගේ බලපම් නිසා රස්සාව නැතිවෙනවා. ඊයේ පෙරේදා ඒ පන්සලේ ලොකු උත්සවයකුත් තිබුණා. ගිහින් බලන්ඩකෝ විනාශ කරල තියෙන තරම්”

එහෙම කියපු එතුමා පාරේ යන වාහනයක් නවත්වා මව නංවා නැවත පිටත් කරවීමට තරම් කාරුණික විය. අදටත් නමක් ගමක් නොදන්නා ආදරණීය හදවතක් ඇති ඒ පොලිස් නිළදරුවට මම සදා ගෞරව කරමි.

ඒ අනුව සතියකට පමන පසුව මගේ කල්‍යාණ මිත්‍ර කසුන් මල්ලිත් එක්ක ඓතිහාසික කුසලානකන්ද විහාර භූමියට පා තැබුවද හදවත මොහොතකට නතරවන්නට ඇත්තේ රාසමානික්කම්ලා සිදුකර තිබූ විනාශය දුටු නිසා විය හැක.

අක්කර 10ට වැඩි භූමි ප්‍රමාණයක පිහිටා අති සුන්දර කූරගලට නොදෙවෙනි පරිසරයකට හිමිකම් කියන එම පිංබිමේ වත්මන් තත්වය ඉතා කණගාටුදායකය. කඳු මුදුනේ පැය දෙකකට වැඩි කාලයක් අනෝරා වැස්සේ තෙම් තෙමී අවට කුඹුරු සහ සතර දෙස වැව් මෙන්ම වනඅලි සැරිසැරීම් දෙස බලමින් කාලය ගෙවන්නට අපට හැකිවිය. ගල් කණු, සෙල් ලිපි, කටාරම්, ගල් ගුහා සහ විනාශ කල විහාර නිර්මාණ රැසක් එහිදි දැකගත හැකවිය.

එදින සවස කළුවර වැටීමට මත්තෙන් පිංබිමෙන් සමුගත් අප එහි ඇති වටිනාකම නිසාම පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කරන ලදි. එහිදි දැනගැනීමට හැකිවු කරුණු මෙසේ කෙටියෙන් සටහන් තබමි.

“මහත්මයා මම හිතන විදිහට පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ නැගෙනහිර කාර්‍යාලය තියෙන්ඩ ඕන කුසලානකන්ද භූමියේ කියලයි මම යෝජනා කරන්නේ. ඒත් මහත්තයා මඩකළපුව දැනට තියෙන පුරාවිද්‍ය කාර්‍යාලයේවත් එක සිංහල බෞද්ධ නිළධාරියෙක් නැති එකේ ඕවා හීන විතරයි මහත්තයා. මටනම් පුදුම දුකක් තියෙන්නේ ඒ ගැන. ඔයාලට පුළුවන්නම් කුසලානකන්ද රැකගන්ඩ. අපි දන්න දේවල් කිව්වොත් ඒක ලොකු ජාතිවාදි ගැටුමක් වෙන්ඩ පුළුවන්”

පුරාවිද්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු එසේ පවසද්දි අපි මේවා ගැන ලියනකොට රාසමානික්කම්ලා, ඩෝබිලා එකතුවී අපට කියනවා ජාතිවාදය අවුස්සන්ඩ එපාලු.

උපුටා ගැනීමක් ????

එරාවුර්, කරදියන් ආරු, කුසලාන්කන්ද නටඹුන් විහාරය

====================

මෙම ස්ථානයට කුංචනාමලය ලෙසටද ව්‍යවහාර කෙරෙයි. නමුත් මේ ස්ථානය ගැන මුලින්ම සටහන් කොට ඇති සී. ඩ්බ්. නිකලස් මහතා කුසලාන් කන්ද නමින් මේ ස්ථානය නම් කොට ඇත. තොප්පිගල සිට මීයන්කොල්ල ඇලෙන් එගොඩ වී මෙම ස්ථානයට පැමිණීමට දුර කි. මී. 20 පමණ වෙයි. එසේත් නොමැති නම් මහඔය චෙන්කල්අඩි මාර්ගයේ, චෙන්කලඩි දෙසට ගමන් කරනවිට හමුවන් කරදියන් ආරු මංසන්දිය පසුකොට ගියවිට හමුවන වම් අතට දිවෙන මගෙහි කි.මී. 3 ක් පමණ ගියවිටද මෙම පුදබිමට පහසුවෙන් ලඟාවියහැක.

කුසලාන් කන්ද ගල් පර්වත සහිත තනි කඳුගැටයකි. මේ අවට වැව් කීපයම ඇත. මේ වැව් පුරන්ව ඇතත් සුළුවෙන් හෝ ජලය රැඳී පවතී. මෙහි නිසැකවම අතීතයේදී වෙල්යායවල් වලින් සපිරුණු සාරවත් භූමිභාගයක් ව පවතින්නට ඇත.

ක්‍රි. පූ. 2 වන සියවසේ පමණ සිටම මෙම ස්ථානය විහාරස්ථානයක් ව පවතින්නට ඇත. කටාරම් කොටන ලද ලෙන් කීපයක්ම මෙහි පවතී. ඒ යුගයේ සිටම වරින්වර මෙම ස්ථානය සංවර්ධනය වී පැවත ඇත.ගල් ලෙන් කටාරම් කොටා බිත්ති බැඳ මහා සංඝයාගේ වාසය සඳහා වෙන්කර ඇති අතර ඒවා කරවූ අයගේ තොරතුරු කටාරමට යටින් කොටා ඇති බ්‍රාහ්මීය අක්ෂර ලිපි වලින් පැහැදිළි වෙයි.

පර්වතය මත ස්ථුඵ 3 ක ගඩොළු දක්නට ලැබෙයි. පැරණි ගඩොළු පර්වතය මුලටද පෙරලී තිබෙයි. එක් ස්ථූඵයක වලක් හාරා ත්‍රස්ථවාදීන් බර අවියක් සවිකොට තිබී ඇත. මෙම ස්තූපයේ ගඩොල් හෑම එකකම වාගේ අක්ෂර සටහන් දක්නට පුළුවන. තුන්වන ස්ථූඵය අසල පර්වත් බෑවුමේ පද්මාසමයක් දක්නට ලැබිණි. එය බුදු පිලිමයක් සවිකර තිබූ එකක් විය. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මෙම ස්ථානය මෑතකදී ගවේශණය කරන විට පර්වත බෑවුමේ රැඳී තිබූ පිළිමයේ කොටස් දෙකක් සොයාගෙන ඇත. සාහසිකයන් මෙම දර්ශණීය පිළිමය හිතාමතාම කඩාබිඳ දමන්නට ඇතුවාට සැක නැත. පිළිමයේ සිරස සොයාගැනීමට නොමැත.

පර්වතය තැන්න කොටසේ ඇති පොකුණ නියං සමයකදී පවා නොසිඳේ. එයවටා බැම්මක් බැඳ තිබූ බව පෙනේ. එයට බැසීමට අත්වැලක් ද කරවා ඇති බව මෙහි ඇති ගලේ කරවන ලද තවු පෙන්වා දෙයි. සමහරවිට අත්වැලට ලී කණු සවිකොට තිබෙන්නට ඇත. එහි දොරටුව මෙන්ම පියගැටපෙලද පෙරලා දමා ඇත. සමහර ගල්කණු පෙරලී ඇති අතර ඇතැම් කණු සිටවූ ලෙසටම පවතී. ඒ අසලම ඇති දර්ශණීය ගල් ලෙණ කටාරම් කොටවා සෙල්ලිපියක් පිහිටුවා බිත්ති බැඳ සකස්කොට මහා සංඝයාට පුජාකොට ඇත. මේ ලිපිය කරවා ඇත්තේ රාජ්‍ය වර්ෂයෙන් පළමු වන සියවසට අයත් අක්ෂර වලිනි. කන්දේ තැන තැන සවිකර ඇති කණු හා පාදම් ගල් අනුව පෙනී යන්නේ එහි තවත් ගොඩනැගිළි ඉදීරීම් තිබූ බවයි. කුසලාන් කන්දේ පවතින් නටඹුන් ගොඩනැගිළි 4 වන සියවසට පෙර ඉදි කොට ඇතුවාට සැක නැත. පිළිමය නෙලා ඇත්තේ මෙරට බොහෝ පිලිම නෙලා ඇති තිරුවාන මිශ්‍ර කලු ගලිනි. මෙහි කෝවිලක් ගොඩනගා ඇති බැවින නටඹුන් වලට තරමක් හානි වී ඇත.

මෙහි ලෙන් ලිපි 8 ක් දක්නට ලැබෙයි. එයින් පළමු ලිපිය උප රාජ නාග ගේ පුත්‍රයෙකු වූ අභය නම් රජෙකුගේ පුත්‍රයෙකු වන ගාමිණී තිස්ස විසින් කරවන ලද ලෙණක් බව සඳහන් වෙයි. මේ ලිපිය ඉතා වැදගත් වෙයි. උපනාග රජු රුහුණ්ට පලා ආ දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයෙක් වූ මහානාග හැටියට හඳුනාගත හැක. අභය රජු මහානාග ගේ පුත්‍රයෙක් වූ ගෝඨාභය හැටියටත්, ගාමිණී තිස්ස කාවන්තිස්ස රජු ලෙසටත් හඳුනාගත හැක. මෙහිදී මහා වංශයේ තොරතුරු තරමක් සංශෝධනය කරගත යුතු වෙයි. මහා වංශයේ දැක්වෙන්නේ ගෝඨාභය යටාලතිස්ස රජුගේ පුත්‍රයෙක් හැටියටයි. තවත් ප්‍රදේෂවල සොයාගෙන් ඇති ලිපිවල දැක්වෙන පරිදි ගෝඨාභය මහානාග උපරජුගේ පුත්‍රයෙක් බව පැහැදිලිය. අනෙකුත් ලෙන් පූජා කළ අය අතර තිස්සභූතී, ගුත්ත, දේවගුත්ත, සමණ, අශිතිස, සුදින්න යන අය ගැන සෙල්ලිපිවල සඳහන් වෙයි. සමහර ලෙන්වලට සුදස්සන, මනොරම්‍ය වැන් නම් ද තබා ඇත. මේ සියළු කරුණු ඒකරාශී කොට බලන විට කුසලාන්කන්ද ප්‍රදේෂයේ වූ දර්ශනීය ආරාමයක් වූවාට සැක නැත.

වර්ථමානය වන විට මෙම පුදබිම ද්‍රවිඩයන් විනාශ කරමින් ඇත.

ගවේෂණ තුල ගවේෂණ – පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි.
උපුටා ගැනීම අවසන්.

සටහන
නාමල් කුමාර
2025/11/19



5 Viewers