• Home »
  • Articles »
  • ගලහ හන්දියේ වෙසක් කූඩුව නොසැදීමේ ලැබීම මෙක්ෂිරපථයටම ද..!?

ගලහ හන්දියේ වෙසක් කූඩුව නොසැදීමේ ලැබීම මෙක්ෂිරපථයටම ද..!?

බෞද්ධයන් යනු හේතු-ඵල, කර්ම-කර්මඵල, ධර්ම-ධර්මතා ආදිය විශ්වාසය මතින් ජීවත්වන්නන්ය.
පැවැත්මේ ඇත්තේ ‘දුක්ඛය’,
එනම් ‘තුච්ඡ වූ හිස් බව’ යැයි
තම දහමින් ඉගෙන ගන්නන්ය ;
පැවැත්මේ මෙසියලු දුක්ඛයන්ගෙන් මිදීමට නම්
මහත් උත්සාහයෙන් තම උපත නවතා නිවීම ශාක්ෂාත් කරගත යුතු බව දන්නවුන්ය.

එහෙයින් බෞද්ධයන් තමා සහ ලෝකය දෙස බලන්නේ බුදුදහමෙහි ඒ දෑට අනුගතවයි.

බුදුදහමට අනුව ඵලයක් ඇතිවන්නේ ඊට අදාළ හේතු සකස් කළ විට හෝ සකස් වූ විටයි.

අයකු වෙසක් කූඩුවක් (ඵලය) සෑදීමට ඊට අදාළ හේතු සැකසිය යුතුයි.
හේතු සැකසෙන්නේ කූඩුව නොසෑදීමට නම් එය නොසෑදෙයි.
එනොසෑදීමේ හේතු සකසන්නේ හෝ සකස් නොකරන්නේ තමන් විසින් හෝ අනුන් විසින්‍.

පේරාදෙණි වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් වාර්ෂිකව ගලහ හන්දියේ සාදන වෙසක් කූඩුව මෙවර ඔවුන් නොසෑදුවේ, එය බාගෙට සාදා සම්පූර්ණ නොකළේ ඒ අයගේ හේතු නිසා නොව විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියේ තහනමක් හේතුවෙන්.
එනම් එපාලනාධිකාරිය ඊට අදාළ හේතු සම්පාදනය කිරීම තහනම් කිරීම නිසායැයි කියැවෙන පෝස්ටුවක් අද මුහුණු පොතේ සංසරණය වෙයි.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, ජේෂ්ඨ කථිකාචාර්ය කුමාර කළුආරච්චි මහතා ඒ අදාළ ලියකියවිලි සමග ලිපියක් එහි බහා තියෙනවා.

2002 දී ඔවුන් ගලහ හන්දියේ වෙසක් කූඩුවක් සාදන්නට පටන් ගත් අයුරු එහි පැහැදිලි කරනවා.
එතැන් පටන් වාර්ෂිකව මෙවෙසක් කූඩුව වෙසක් නිමිත්තෙන් ඉදිවුණා.
ගිය 2024 අවුරුද්දේත් ඉදිවුණා.
එහෙත් මේ 2025 අවුරුද්දේ එය ඉදිකිරීම තහනම් වුණා.

අද වෙසක් පුන් පොහෝ දවසයි.
අද දවසේ පමණක් නොව හැකි සැමවිටම ද්වේශය, කෝපය, වෛරය, මානය, කළකිරීම වැනි ක්ලේෂ දුරුකිරීම උදෙසා ක්‍රියා කිරීමට බෞද්ධයන් වෙහෙසිය යුතුයි ;
එය බුදුන්වහන්සේගේ අනුශාසනාවයි.
ඒ සංසාරගාමියකු තම යළි උපත නවතා නිවීම ශාක්ෂාත් කරගැනීම සඳහායි ;
එනම් සසර තම පැවැත්ම නවතා නැවත්ම උදෙසායි.

එහෙත් බෞද්ධයකු තම සසර පැවැත්මෙහිලා යහපත උදෙසා කළ යුතු දේ තියෙනවා.
ඒ යහපත් දෑ තමා සහ අන්‍යයන් උදෙසායි.
බුදුදහම සාමුහිකත්වයේ දහමක් වන්නේ එහෙයින්.

වෙසක් කූඩුවක් සෑදීම ආමිස පූජාවක්.
එය බුදුදහමට අනුගත පූජාවක්.
අන්‍යන්ට බාධාවක්, කරදරයක්, අන්‍යයන්ගේ අයිතීන් උල්ලංඝනය නොකරමින් ඒ දෑ කිරීමට බෞද්ධයන්ට අයිතියක් තිබෙනවා.
බෞද්ධ වෛද්‍ය ශිෂ්‍යයන්ට ද ඊට අයිතියක් තිබෙනවා.

වෛද්‍යවරුන් යනු වෛද්‍ය දැනුම පමණක් ඇති කම්පියුටර් හෝ ගූගල් පිටු බඳු අද්‍රව්‍ය, අචේතනික දෑ නොවෙයි.

වෙසක් කූඩු සෑදීම මෙරට බෞද්ධ සංස්කෘතියෙහි චිරාත් කාලයක් සිදුවන්නක් ;
එය සාමූහික ක්‍රියාවක්.
බහුතරයක් වෛද්‍ය ශිෂ්‍යයන් ද සංස්කෘතික පුද්ගලයන්‍ ;
ඔවුන් වෛද්‍ය පීඨයට පැමිණෙන්නේ මේ රටේ සංස්කෘතික පවුල්වලින් ;
වෛද්‍යවරුන් ලෙස අනාගතයේ දී ඔවුන්ගෙන් බහුතරයක් ප්‍රතිකාර කරන්නට යන්නේ ද මේ රටේ සංස්කෘතික මිනිසුන්ටයි.

පේරාදෙණි විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය මෙවර තහනම් කර ඇත්තේ මෙරට බෞද්ධ සංස්කෘතියට අනුගත පේරාදෙණි වෛද්‍ය ශිෂ්‍යයන් සාමූහිකත්වයෙන් එක් වී සිදුකරන්නට සැදූ බුදුදහමට අනුගත ආමිස පූජාවයි.

ඒ ඇයි !?

මෙතෙක් කල් ගලහා හන්දියේ වාර්ෂිකව සැදූ වෙසක් කූඩුව මෙවර ද සෑදීමෙන් එපාලනාධිකාරියට, මේ රටට, ලෝකයට, විශ්වයට සිදුවන අගතිය කුමක් ද?
ඉන් උල්ලංඝනය වන අන්‍යයන්ගේ අයිතිවාසිකම කුමක් ද?

මිනිසුන් කරගෙන යන දෙයක් කරගෙන යාමෙන් නොව,
එය නොකිරීමෙන් එමිනිසුනට වැඩි වාසියක්, ලාභයක්, ප්‍රගමනයක් ඇති වෙයි නම් එය නතර කිරීම කම් නැත.
ගලහ හන්දියේ මෙවෙසක් කූඩුව නොසෑදීමෙන්
එවෛද්‍ය පීඨයට, එවෛද්‍ය ශිෂ්‍යයන්ට, මෙරටට, ආණ්ඩුවට, ලෝකයට, විශ්වයට, මෙක්ෂිරපථයට ලැබෙන වැඩිමනත් ලැබීම කුමක් ද…!?

උද්දච්චකම, හීනමානය, නිහීනත්වය, අධිමානය, තම දේශපාලනික මතවාදයේ වහල්බව, නිරාගමික බව, ද්‍රව්‍යවාදීබව,
තම මූලයට සහ සංස්කෘතියට ගැරහීම ආදිය ඇතැම් උගතුන්ට වැළඳෙන සුවකළ නොහැකි ව්‍යාධි.

ඒවා ව්‍යාධි වුව තම උගත්කමට, තනතුරට, පැවැත්මට මහාභරණයක් යැයි ඔවුන් සවිඥානිකව හෝ අවිඥානිකව හෝ සිතනවා.
ඒ ආභරණය පැළඳ ඔවුන් මේ රූකඩ නැටුම් නටනවා,
නටනවා නොව නැටවෙනවා.

නලින් ද සිල්වා වියතාණන් මෙලෙස ක්‍රියාකරන උගතුන් හැඳින්වූයේ කෙසේ ද?
තමා සියල්ල දත් සහ තමාට සියල්ල තේරෙනවා යැයි සිතන මෙසම්ම ජාතියේ දී අලුතින් දෙයක් සිතීමට නොහැකි, නිරවුල්ව සිතීමට නොහැකි අනුකාරකත්වයේ උපරිම අයවලුන් හෙවත් ‘අනුකාරක උගතුන්’ ලෙසයි.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය මෙවෙසක් කූඩුව සෑදීම තහනම් කිරීමේ තීරණයේ දී ඔවුන් ගුවනේ පියඹන්නට බොහෝ කැමැත්තක් දක්වනවා.

ඒ කාගේ
‘බෞද්ධ විරෝධී අත්තටුවලින්’ ද?
ඒ කාගේ, කවර නිහීන අත්තටු වුව එතාවකාලිකයි.
නිත්‍ය වූ අත්තටු මෙවිශ්වයේ කවර කලෙකවත් කොතැනකවත් නැහැ.

එසේ නම්
සදාකාලික ගුවනේ පියෑඹීමක්
කොයි වෙ ද…!?

සියල්ල අනිත්‍යය යි….!

? ලලිත් විජේසිංහ

2025 මැයි 12 වෙසක් පොහෝ දින,
ස්නේහප්‍රදාවේ දී



10 Viewers