• Home »
  • Sinhala »
  • ජනපති කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

ජනපති කොරෝනා මර්ධනයට දේශීය වෙදුන්ද කැදවයි..

රජය වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග ලොව සියලු රටවල් අභිබවා ඉදිරියෙන් ඇති බව වසංගත රෝග පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ප්‍රවීණයෙකු වන හොංකොංහි වෙසෙන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මලික් පීරිස් මහතා පෙන්වා දී ඇතැයි වෛද්‍යවරු පැවසූහ.

ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් පවත්වා ගත යුතු බව සඳහන් කළේය. වෛරසය මර්දනයේදී ජනතාව කණ්ඩායම් වශයෙන් ජීවත්වන ප්‍රදේශ සහ විශේෂිත වූ පිරිස් පිළිබඳව පොදු ක්‍රමයෙන් බැහැරව සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නාවික හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

දේශීය වෛද්‍යවරුන්ගේ සහ බටහිර වෛද්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. වෛරසය මර්දනයට එන්නතක් සොයාගන්නා තෙක් ඉන් මිදීමට මෙහි ඇති වැදගත්කම ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පෙන්වා දුන්හ.

දැනටමත් වෛද්‍යවරු මෙන්ම වෛරසය මර්දනයට දායක වී සිටින ආරක්ෂක අංශ ඖෂධ දූමායනය මෙන්ම කැඳ පානය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බවද සාකච්ඡාවේදී සඳහන් කෙරිණ.

ඇඳිරි නීති කාලසීමාවේදී ළමයින්ගේ මානසික සුවතාවය ආරක්ෂා වන අයුරින් වැඩිහිටියන් ක්‍රියාකිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දීර්ඝ ලෙස පෙන්වා දුන්නේය.

වෙ‍ෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැයි ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.



116 Viewers