• Home »
  • Sinhala »
  • ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ‘ස්විස්’ කකුල් මාට්ටුවක්… ස්විට්සර්ලන්තය කාගේ බළල් අතක්ද?…. ශ‍්‍රී ලංකා විරෝධී බටහිර මෙහෙයුම නව මුහුණුවරකින්…..

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට ‘ස්විස්’ කකුල් මාට්ටුවක්… ස්විට්සර්ලන්තය කාගේ බළල් අතක්ද?…. ශ‍්‍රී ලංකා විරෝධී බටහිර මෙහෙයුම නව මුහුණුවරකින්…..

ශමින්‍ද්‍ර ෆර්ඩිනැන්ඩු
(Courtesy of Diwaina)

කිසිවකුත් බලාපොරොත්තු නොවූ අවස්ථාවක ගෝඨාභය රාජපක්‍ෂ රජයට එරෙහි පළමු වෙඩිමුරය ස්විට්සර්ලන්තය එල්ල කළේය. බහුතර සිංහල ඡුන්දයෙන් 2019 ජනපතිවරණය ඉතාමත් පහසුවෙන් ජය ගත් ගෝඨාභය රාජපක්‍ෂ පළමුවෙන්ම මුහුණ දුන්නේ තීරණාත්මක ජාත්‍යන්තර අභියෝගයකටය. බටහිර ප‍්‍රජාව වෙනුවෙන් ස්විට්සර්ලන්තය ශ‍්‍රී ලංකාවට එරෙහි මෙහෙයුමකට නායකත්වය දීම පිළිබඳව විශේෂයෙන් විමසා බැලිය යුතුව ඇත.

ස්විට්සර්ලන්තය කිසිදා පැවැති රජයක් සමඟ ප‍්‍රබල ප‍්‍රශ්නයක් ඇති කරගෙන නැත. එවැනි පසුබිමක් තුළ ගෝඨාභය රාජපක්‍ෂ ජනපතිවරයා ලෙස දිවුරුම් දී සතියක් ඉක්මවන අවස්ථාවේ ස්විට්සර්ලන්තය මීට පෙර කිසිදු බටහිර බලවතෙක් අත නොගැසූ මෙහෙයුමකට අවතීර්ණ වී ඇත.

රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනාට දේශපාලන රැුකවරණ දීමත් සමඟ දෙරට අතර තානාපති සබඳතා ගිනියම් විය. රහස් පොලිස් නිලධාරියා ඇතුළු පවුලේ සාමාජිකයන් නොවැම්බර් 24 රටින් පිටවිය. පසුදින ස්විට්සර්ලන්තය තවත් බෝම්බයක් පත්තු කළේය. තම තානාපති කාර්යාලයේ සේවය කළ ශ‍්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගෙන ලිංගික අඩන්තේට්ටම් කර පැය දෙකකට පසුව නිදහස් කළ බවට චෝදනා කළේය. රජය ස්විට්සර්ලන්ත චෝදනා අභියෝගයට ලක් කළේය.

යහපාලන රජය යටතේ සිදුකළ ප‍්‍රධාන පෙළේ පොලිස් විමර්ශන කළ නිලධාරියෙකු රටින් පිටවීම සහ තානාපති කාර්යාලයේ සේවයේ නියුතු කාන්තාවක පැහැර ගැනීම පිළිබඳව පූර්ණ පරීක්‍ෂණයක් අවශ්‍යය. නමුත් රජය ස්විට්සර්ලන්ත මැදිහත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුය. ස්විට්සර්ලන්තය මෙවැනි ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම බරපතළ ගැටලූවකි.

ගෝඨාභය රාජපක්‍ෂ රජය චෝදනාවට ලක් වූයේ රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා රටින් පිටවීම සම්බන්ධයෙන් තොරතුරු තානාපති කාර්යාලයේ සේවිකාවකගෙන් බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමට එරෙහිවය.

පවතින දේශපාලන වාතාවරණය හේතුවෙන් බටහිර බලවතුන් ස්විට්සර්ලන්තය නිශාන්ත සිල්වා පිටකිරීමේ මෙහෙයුමට යොදා ගත් බව පැහැදිලිය. කොළඹ ස්ථාපිත බටහිර තානාපති කාර්යාල ස්විට්සර්ලන්ත මෙහෙයුම සම්බන්ධයෙන් දැනුවත් වී සිටි බවට කිසිදු සැකයක් නැත.

නව රජයට එරෙහි මෙහෙයුමට කර ගැසීමට ස්විට්සර්ලන්තයට සිදුවීම ඇත්ත වශයෙන් ම කනගාටුදායකය. ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් බටහිර මෙහෙයුම වෙනුවෙන් බිලිදුන් බව පැහැදිලිය. ස්විට්සර්ලන්ත මැදිහත්වීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට බලපෑම් කරන බව තේරුම් ගත යුතුය. ඇමරිකාව, මහා බි‍්‍රතාන්‍යය හෝ බරපතළ ලෙස රාජපක්‍ෂ විරෝධී ස්ථාවරයක් ගන්නා අනෙකුත් රටවල් ජනපතිවරණයෙන් පසු ක‍්‍රියාත්මක කළ පළමුවන මෙහෙයුමට එළිපිට සහභාගි නොවීම සම්බන්ධයෙන් රජය විමසිලිමත් විය යුතුය.

ශ‍්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර තානාපති සබඳතා බරපතළ ලෙස පුළුදු වී ඇත. එම තත්ත්වය නව රජයට අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත. බටහිර බලවතුන්, විදේශ අරමුදල් මත යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ එජාපය ගෝඨාභය රාජපක්‍ෂ රජයට පහර දීම ආරම්භ කර ඇත. ආර්. ජී. සේනානායක මාවතේ සිදු වූ පැහැර ගැනීම සම්බන්ධයෙන් සත්‍ය හෙළිකර ගැනීම රජයේ වගකීමයි. එම වගකීමෙන් බැහැර වීමට රජයට නොහැකි ය. චෝදනා බරපතළය. මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් පලක් නැ.

රජයේ පළමු වන වගකීම වර්ධනය වෙමින් පවතින තර්ජනය තේරුම් ගැනීමයි. ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු වැඩ බාර ගැනීම, ජනාධිපතිවරයාට සමරු තිළිණ ප‍්‍රදානය කිරීම පසෙක ලා ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක වන බටහිර මෙහෙයුම ව්‍යර්ථ කිරීමට කටයුතු කළ යුතුය. ස්ටිට්සර්ලන්තය එල්ල කර ඇත්තේ ‘ක්ලේමෝ’ බෝම්බ ප‍්‍රහාරයකි. ඉතාමත් කල්පනාකාරීව ක‍්‍රියා කළ යුතුය.

ස්විට්සර්ලන්තය ඉදිරියට දමා බටහිර බලවේග උත්සාහ කරන්නේ රජය බලවත් අපහසුතාවකට ලක් කිරීමට බව තේරුම් ගත යුතුය. මෙම ක‍්‍රියාදාමය 2020 වසරේදී තීව‍්‍ර කරනු ඇත. 2020 මාර්තු පැවැත්වීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉලක්ක කරගෙන තව ක‍්‍රියාදාමයන් සිදුවිය හැක.

නව රජය මුහුණ දෙන අභියෝගය සැබවින්ම බරපතළය. පොලිස් නිලධාරියකු රටින් පිට කිරීම ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක නව ජාත්‍යන්තර මෙහෙයුමක ආරම්භය පමණි.

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත් වීම බටහිර බලවේගවලට බරපතළ අභියෝගයකි. 2009 මැයි 19 දින කොටි ත‍්‍රස්තවාදි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් මරා දැමූ දින සිට බටහිරට අවශ්‍ය වූයේ රාජපක්‍ෂ පාලනය වෙනස් කිරීමටය. යුද්ධය අවසන් වීමෙන් පසු 2010, 2015 සහ 2019 පැවැති ජනාධිපතිවරණවලදී රාජපක්‍ෂවරුන්ට එරෙහිව විශාල ආයෝජනයක් කළේය. 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ බලයට පත්වීම බටහිරට බලවත් හිසරදයක් බව පැහැදිලිය. ස්විට්සර්ලන්ත මෙහෙයුම තේරුම් ගත යුත්තේ බටහිර බලවේග ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමෙනි.

ස්විට්සර්ලන්තය බටහිර හාම්පුතුන් වෙනුවෙන් තමන්ට බාරදුන් වගකීම ඉහළින්ම කර ඇත. තමන් කළ චෝදනාව අභියෝගයට ලක්වීම ස්විට්සර්ලන්ත තානාපතිවරයාට ලැජ්ජාවකි. ශ‍්‍රී ලංකා – ස්විට්සර්ලන්ත තානාපති සබඳතාවලට මරු පහරකි. නමුත් බටහිර අවශ්‍යතාව ඉටු වී ඇත. චෝදනාව ඔප්පු කිරීම අවශ්‍ය නැත. චෝදනා කිරීම සහ උපරිම ප‍්‍රචාරණය හරහා බටහිර අවශ්‍යතාව ඉටු වේ. නොවැම්බර් 27 නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයේ වැඩ ආරම්භ කිරීමත් සමගම විරුද්ධවාදීන් දඩයම් කිරීම ආරම්භකර ඇති බවට චෝදනා කළේය. පුද්ගලයන් රට හැරදා යෑමට පටන්ගෙන ඇති බවට ද එම වාර්තාව සඳහන් කළේය. අල් ජසීරා නාලිකාව ද ජාත්‍යන්තර මාධ්‍ය මෙහෙයුමට එක්විය. ජාත්‍යන්තර මාධ්‍ය එල්ල කරන අභියෝගය ජය ගැනීම පහසු කටයුත්තක් නොවේ.

වර්තමාන අර්බුදය ස්විට්සර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර ගැටුමක් ලෙස තේරුම් නොගත යුතුය. ස්විට්සර්ලස්තය බටහිර බළල් අතක් පමණි. එක්තරා ආකාරයකට ස්විට්සර්ලන්තය ද අසරණය. ස්විට්සර්ලන්තයේ ඕනෑ එපාකම් සලකා බලා බටහිර බලවත්තු ක‍්‍රියා නොකරති. ඇමරිකා එක්සත් ජනපදය ක‍්‍රියාකරන ආකාරය පිළිඳව නිසියාකාර අවබෝධයක් අප හට තිබේද? නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයේ දේශපාලන රැුකවරණ ලබා ගත්තේ ඇමරිකාවට හෝ මහා බි‍්‍රතාන්‍යයට ගෝඨාභය රාජපක්‍ෂ රජය සමග අනවශ්‍ය ගැටුමක් ඇති කර ගැනීම මෙම අවස්ථාවේ අවශ්‍යතාවක් නොමැති නිසා ය.

බටහිර අවශ්‍යතාවන් තේරුම් ගැනීමේදී ඇමරිකා එක්සත් ජනපදය, ජපානය සහ ඉන්දියාව අතර පවතින ඉතාමත් ශක්තිමත් දේශපාලන, ආරක්‍ෂක, ආර්ථික සබඳතා තේරුම් ගත යුතුය. මෙම තුන් හවුල ලෝකයේ නැගී එන බලවතා වන චීනය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුව ශ‍්‍රී ලංකාව පිළිබඳව ප‍්‍රතිපත්තිය තීරණය වන බව පැහැදිලිය.

2015 ඔක්තෝබර් මස 01 දින ශ‍්‍රී ලංකාවේ සහයෝගයෙන් ඡුන්දයක් නොමැතිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට බටහිර ප‍්‍රජාව බලපෑම් කරනු ඇත. රහස් පොලිස් නිලධාරියා රටින් පිට කිරීම බටහිර මෙහෙයුමේ කොටසකි. 2019 ජනාධිපතිවරණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස පරාජය වීම බටහිර බලවතුන්ගේ පරාජයකි. සජිත් පේ‍්‍රමදාස ද්‍රවිඩ ජාතික සංධානයේ ද සහාය ඇතිව ගෝඨාභය රාජපක්‍ෂ පරාජය කළා නම් නිශාන්ත සිල්වාට තම බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ රටින් පිටවීමට සිදුවන්නේ නැත. බටහිර බලවතුන් සජිත් පේ‍්‍රමදාස ජයග‍්‍රහණය කරන බවට විශ්වාස කර ඇත. ස්විට්සර්ලන්තය නිශාන්ත සිල්වා බාර ගැනීමට තීරණය කළේ කවදාද? එම තීරණය ගත්තේ නොවැම්බර් 16 ජනාධිපතිවරණයෙන් පසුවද? නිශාන්ත සිල්වා දේශපාලන රැුකවරණය පැතුවාද? එසේත් නැතහොත් බටහිර බලවේග එම පොලිස් නිලධාරියාට දේශපාලන රැුකවරණය ලබා දීමට ඉදිරිපත් වූවාද? දෙසැම්බර් 02 දින පැවැති මාධ්‍ය හමුවකදී රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා පැවසුවේ සුදු වෑන් මෙහෙයුම් නැවතත් ආරම්භ කර ඇති බවයි. රාජිත සේනාරත්න පවසන ආකාරයට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව පැහැරගත් කණ්ඩායමේ පුද්ගලයකු ඇයගේ කට තුළට පිස්තෝලයක් දමා මරණීය තර්ජන කර ඇත. සේනාරත්න මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශය අනුව ඔහුට අතවරයට පත්වූ සේවිකාව පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය දී ඇත. නැතහොත් හිටපු ඇමැතිවරයා එම සේවිකාව දැක ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව මුහුණ දුන්නා යැයි කියන සිද්ධිය පිළිබඳව පූර්ණ හෙළිදරව්වක් කළ යුතුමය. මෙහිදී රජය සැලකිල්ලට ගත යුතු කරුණු කාරණා ගණනාවක් ඇත. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව පැහැර ගැනීමකට ලක් වූවාද? එම පැහැර ගැනීම කළ කණ්ඩායම රජයේ නිලධාරීන්ද? එසේත් නැතහොත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ අනුදැනුම ඇතිව එම මෙහෙයුම කළාද? එසේත් නැතහොත් එවැනි පැහැර ගැනීමක් සිදුවූයේ නැද්ද? රජය පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුය.

පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගෝඨාභය රාජපක්‍ෂ රජය එජාපයෙන් මුහුණ දෙන තර්ජනයට වඩා ප‍්‍රබල අභියෝගයක් බටහිර බලවේග එල්ල කරන බව රජය වටහා ගත යුතුය. මැති ඇමැතිවරු සැබෑ තර්ජනය පිළිබඳව දැනුවත් විය යුතුය. ශ‍්‍රී ලංකාවේ ඉරණම 2015 ජිනීවා ගිවිසුම මත තීරණය වන බව තේරුම් ගත යුතුය. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වූ පමණින් ජිනීවා ‘ගිවිසුම’ අහෝසි වන්නේ නැත. අවාසනාවකට මෙම රජය සැබෑ තත්ත්වය තේරුම් ගෙන නැත. ස්විට්සර්ලන්ත තානාපති සේවිකාව පැහැර ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු පිළිබඳව රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්තගෙන් විමසා සිටිය විට තමන් ඒ පිළිබඳව නොදන්නා බව ඔහු පැවැසීය. මාධ්‍ය

අමාත්‍යවරයාගෙන් එම සිද්ධිය පිළිබඳව විමසුවේ නොවැම්බර් 28 දින ය. ස්විට්සර්ලන්ත තානාපතිවරයා පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා කළේ ඊට පෙර දිනය. අගමැති මහින්ද රාජපක්‍ෂ, එතුමාගේ විදේශ කටයුතු උපදේශක හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, වැඩබලන පොලිස්පති සහ රහස් පොලිසිය බාර නිලධාරියා ස්විට්සර්ලන්ත තානාපතිවරයා මුණගැසුනේ අගමැතිවරයාගේ විජයරාම මාවතේ තිබෙන නිවසේදී ය. විදේශ කටයුතු පිළිබඳව රාජ්‍ය ඇමැති ලෙස වැඩබාර ගැනීමට ප‍්‍රථම ස්විට්සර්ලන්ත චෝදනාව පිළිබඳව සුසිල් පේ‍්‍රමජයන්ත දැනුවත් විය යුතුව තිබිණි. කැබිනට් ප‍්‍රකාශක බන්දුල ගුණවර්ධනගෙන් මාධ්‍ය ස්විට්සර්ලන්ත චෝදනාව ගැන විමසීය. කැබිනට් ප‍්‍රකාශකවරයා ද එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බව පැවසීය. ඇමැතිවරුන් වගකීමෙන් ක‍්‍රියා කළ යුතුය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය රජයට එරෙහිව කළ චෝදනා 2015 ජිනීවා යෝජනාවලිය සම්මත කර ගැනීමට මූලික වූ කරුණු කාරණා සමඟ බැඳී පවතී.

සුසිල් පේ‍්‍රමජයන්ත අමාත්‍යවරයාගෙන් ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් නොවැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ වැඩ බාර ගත් අවස්ථාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප‍්‍රශ්නයකට එතුමා අපූරු උත්තරයක් දුන්නේය. පැවැති රජය එම ගිවිසුම 2015 අත්සන් කරන අවස්ථාවේදී පැවතුන දේශපාලන වාතාවරණය හාත්පසින්ම වෙනස් බවත්, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ලැබී තිබෙන ජනවරම අනුව තවදුරටත් ජිනීවා ගිවිසුම ශ‍්‍රී ලංකාවට අදාළ නොවන බවත් පැවසීය. මෙම ප‍්‍රකාශයේ කිසිදු වලංගුභාවයක් නැත. ඇත්ත වශයෙන් ම ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මෑතකදී කළ පැහැරගැනීමේ චෝදනාවත් සමග ජිනීවා යෝජනාවලිය නැවතත් ප‍්‍රබල ලෙස ඉදිරියට ගෙන ඇත. ජිනීවා යෝජනාවලිය ශ‍්‍රී ලංකාවට මහත් අභියෝගයකි. ජිනීවා යෝජනාවලිය තේරුම්ගත යුතුය. අවාසනාවකට ජිනීවා උගුල පිළිබඳව බොහෝ මහජන නියෝජිතයන්ට පැහැදිලි අවබෝධයක් නැත. නව ජනාධිපතිවරයකු පත් වූ පමණින් ජාත්‍යන්තරයට රජයක් ලබා දුන් පොරොන්දුවක් අහෝසි වන්නේ නැත.

ගෝඨාභය රාජපක්‍ෂ රජය 2020 මාර්තු ජිනීවා සැසිවාරයට සහභාගි වනු ඇත. ජිනීවා සැසිවාරය මඟහැරීමට ශ‍්‍රී ලංකාවට නොහැකිය. 2019 ජනාධිපතිවරණය ජිනීවා ක‍්‍රියාදාමයට අදාළ නොවේ. 2015 ඔක්තෝබර් 01 දින ජිනීවා යෝජනාවලිය ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පිළිගත් එවකට ජිනීවා නුවර නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ අද විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. ශ‍්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ බරපතළ අර්බුදයකටය. එම තර්ජනයෙන් පැන යෑමට නොහැකිය. ස්විට්සර්ලන්තය ඇතිකළ ප‍්‍රශ්නයෙන් නැවත නැවතත් පෙන්නා දෙන්නේ 2019 ජනාධිපතිවරණයත් සමගම ශ‍්‍රී ලංකාව නැවතත් අවිචාරවත් දේශයක් වූ බවය. නව ජනාධිපතිවරයා පත්වීම පිළිබඳව සමහර විදේශ මාධ්‍ය කළ වාර්තා අධ්‍යනය කිරීමේදී එම තත්ත්වය පැහැදිලිය. ස්විට්සර්ලන්ත චෝදනාව පිළිබඳව අධ්‍යනය කළ යුත්තේ යුද්ධය ජයග‍්‍රහණය කළ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ සිද්ධීන් ද සැලකිල්ලට ගැනීමෙනි. එම සිද්ධීන් සියල්ල බටහිර බලවේග තම මෙහෙයුමට යොදා ගත්තේය. 2015 ඔක්තෝබර් 01 දින අත්සන් කළ ජිනීවා යෝජනාවලිය එම මෙහෙයුමේ ප‍්‍රතිඵලයක් බව ගෝඨාභය රාජපක්‍ෂ රජය සිහියේ තබා ගත යුතුය.

ස්විට්සර්ලන්ත චෝදනාව ගෝඨාභය රාජපක්‍ෂ රජය මහත් අපහසුතාවකට ලක් කළේය. රජය ඇඹුරුනේය. අසරණ විය. ස්විට්සර්ලන්ත චෝදනාව මහින්ද රාජපක්‍ෂ රජය සමයේ සිදු වූ ආන්දෝලාත්මක සිද්ධීන් මතක් කර දුන්නේය. එම සිද්ධීන් සඳහන් කිරීම අවශ්‍යය. ස්විට්සර්ලන්තය තම සහෝදර බටහිර බලවේග වෙනුවෙන් ලෝකයට මතක් කර දුන්නේ පසුගිය රාජපක්‍ෂ සමයේ බරපතළ සිද්ධීන් සිදු වූ බවත් එවැනි සිදුවීම් නැවත සිදුවන බවත් ය. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයකි.

නාවික හමුදා නිලධාරීන් විසින් සිදුකළ පැහැර ගැනීම් 11 (2008*, ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන පහරදීම (මැයි 2008*, ද සන්ඬේ ලීඩර් පුවත්පතේ ආරම්භක කතෘ නීතිඥ ලසන්ත වික‍්‍රමතුංග මරා දැමීම (ජනවාරි 2009*, රිවිර පුවත්පතේ කර්තෘ උපාලි තෙන්නකෝන් මරා දැමීමට උත්සාහ කිරීම (ජනවාරි 2009*, මාධ්‍යවේදී පෝද්දල ජයන්ත පැහැර ගෙන පහරදීම (ජුනි 2009*, සහ මාධ්‍ය ක‍්‍රියාකාරී ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම (ජනවාරි 2010* රාජපක්‍ෂ රජය මහත් අපකීර්තියට පත් කළේය. සුප‍්‍රසිද්ධ රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් අනතුරකින් මියයෑම (2012* මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය. අදටත් එම සිද්ධීන් පිළිබඳව විමර්ශන අවසන් නැත. එවැනි තත්ත්වයක් යටතේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා කළ චෝදනාව ඉතාමත් බරපතළය. අතීත සිද්ධීන් මතක් කර දීම බටහිර මෙහෙයුමේ කොටසකි. 2013 අගෝස්තු මස රතුපස්වල සිද්ධිය අමතක කළ නොහැක. බීමට පිරිසිදු වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම කිසිසේත් මොනයම් තත්ත්වයක් යටතේදීවත් අනුමත කළ නොහැක. නව රජය අපහසුතාවට පත් කිරීමට බටහිර බලවේග තෝරාගෙන ඇති ක‍්‍රියාමාර්ග පැහැදිලිය.

තවමත් විසඳා නොමැති ඉහත සඳහන් අපරාධ සමඟ යුද අපරාධ චෝදනා ද සලකා බැලූ විට තත්ත්වය බරපතළය. ජිනීවා යෝජනාවලිය සම්මත වීමට බලපාන ප‍්‍රධාන හේතුව වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 යුද හමුදාව මරා දැමුවා යැයි කියන චෝදනාවය. එවකට එක්සත් ජාතීන්ගේ මහා ලේකම් දකුණු කොරියානු ජාතික බැන් කී මූන් පත්කළ තුන්දෙනකුගෙන් සමන්විත කමිටුව 2011 මාර්තු 31 තම වාර්තාව ඉදිරිපත් කළේය. එම වාර්තාවේ 137 වන ෙඡ්දය ශ‍්‍රී ලංකා යුද හමුදාව 40,000 මරා දැමූ බවට සඳහන් කර ඇත.

අප නාස්තිකාර පාර්ලිමේන්තුව මෙම වාර්තාව සම්බන්ධයෙන් අද වන තුරුත් දැනුවත් වී නැත. මෙම ප‍්‍රධාන චෝදනාව ඇතුළු අනෙකුත් සිදුකළා යැයි කියන අපරාධ පිළිබඳව පූර්ණ විමර්ශනයක් කළ යුතුව ඇත. එලෙස නැවත විමර්ශනයක් කිරීමට අවශ්‍ය වන්නේ ඇයි? එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුව මරා දැමූ සංඛ්‍යාව 40,000 ලෙස තීරණය වන්නේ පුද්ගලයන් 2,300 අධික ප‍්‍රමාණයක් ලබාදුන් තොරතුරු 4,000 මතය (වාර්තාවේ 17 වන ෙඡ්දය* එක්සත් ජාතීන් බරපතළ කොන්දේසියක් දමා ඇත. වාර්තාවේ 23 ෙඡ්දය අනුව වසර 20 යනතුරු ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ කිසිදු පුද්ගලයකු පොලිස් හෝ අධිකරණමය ක‍්‍රියාවලියකට භාජන වන්නේ නැත. වාර්තාව 2011 ඉදිරිපත් කළ නිසා 2031 වනතුරු කිසිදු ආකාරයකට චෝදනා විමර්ශනය කළ නොහැක. වසර 20 පසුවත් චෝදනා කළ පුද්ගලයන් හෙළිදරව් කළ හැක්කේ එක්සත් ජාතීන්ගේ අවසරය මත පමණි.

එක්තරා ආකාරයකට එක්සත් ජාතීන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ස්විට්සර්ලන්තය තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගැනීම සම්බන්ධයෙන් ක‍්‍රියා කළ ආකාරයට සමානය. සිවිල් වැසියන් 40,000 මරා දමා සිය දහස් ගණනක් අතුරුදන් කළ බවට එක්සත් ජාතීන් චෝදනා කරයි. නමුත් චෝදනා කරනු ලබන කිසිවෙකුගේ අනන්‍යතාවය අදටත් රහසකි. ස්විට්සර්ලන්ත චෝදනාවද එසේමය. ශ‍්‍රී ලාංකික කාන්තාව නොවැම්බර් 25 හවස මුහුණ දුන් අතවරය සම්බන්ධයෙන්, ස්විට්සර්ලන්ත තානාපතිවරයා අගමැතිවරයාට පැමිණිලි කරන්නේ නොවැම්බර් 27 දහවල් ය.

ලිඛිත දැනුම්දීමක් කරන්නේ නොවැම්බර් 29 සිකුරාදා ය. නමුත් චෝදනාව කරන පුද්ගලයාගේ නම නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පෞද්ගලිකවම යම් පැහැර ගැනීම් කළ බවට ද චෝදනා කළ හැක. අනන්‍යතාව තහවුරු නොකර මෙවැනි චෝදනා කරන්නේ කෙලෙසද?

සිවිල් ජනතාව 40,000 මරා දැමීමේ චෝදනාව කිසිදු ආකාරයක අධිකරණ ක‍්‍රියාදාමයක් තුළ ඔප්පු කර නැත. නමුත් එම චෝදනාව පදනම් කරගෙන ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවලිය ශ‍්‍රී ලංකාව පිළිගත්තේය. ඔප්පු නොවූ චෝදනාවකට වගකීම බාරගත් ලොව එකම රට බවට ශ‍්‍රී ලංකාව පත්විය. එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිිරිසේන – අගමැති රනිල් වික‍්‍රමසිංහ රජය ජිනීවා යෝජනාවලිය පිළිගත්තේය. විදේශ කටයුතු පිළිබඳව රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත ජිනීවා යෝජනාවලිය තවදුරටත් අදාළ නොවන බව පවසයි. සත්‍යය එය නොවේ. ජිනීවා යෝජනාවලිය අදටත් වලංගුය. ස්විට්සර්ලන්ත මෙහෙයුම ජිනීවා යෝජනාවලිය නැවත මතක් කර දී ඇත. සිරිසේන – වික‍්‍රමසිංහ රජය 2015 ඔක්තෝබර් 01 දින ජිනීවාහිදී ශ‍්‍රී ලංකාව අසරණ කළේය. එතැනින් නැවතුනේ නැත. 2016 ජුනි මස ද්‍රවිඩ ජාතික සංධානයේ එම්. ඒ. සුමන්තිරන් එවකට ඇමරිකාවේ සේවය කළ ප‍්‍රසාද් කාරියවසම් තානාපතිවරයා පසෙකින් තබාගෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශීය විනිසුරුවන් පත් කිරීමට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන් බාධාවක් නැති බව පැවසීය. අදටත් එම ප‍්‍රකාශය වලංගුය. පාර්ලිමේන්තුව තුළ සුමන්තිරන් කළ ප‍්‍රකාශය අභියෝගයට ලක් නොවීය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ 8 වන පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන තුරුම වොෂින්ටන් නුවර කළ එම ප‍්‍රකාශය මැති සබයේදී කිසිවෙකු ප‍්‍රශ්න කළේ නැත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ මැදිහත්වීම නොවන්නට ස්විට්සර්ලන්ත චෝදනාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සුපුරුදු ලෙසම ක‍්‍රියා කරනු ඇත. යහපාලන රජය බටහිර බලවතුන්ට ශ‍්‍රී ලංකාව සෙල්ලම් පිට්ටනියක් කර ගැනීමට අවස්ථාව දුන්නේය.

සිවිල් ජනතාව 40,000 මරා දැමීමේ චෝදනාව ලෝකය ඉදිරියේ ප‍්‍රතික්‍ෂේප කිරීමේ අවස්ථාව 2017 ඔක්තෝබර් 12 දින එවකට රජයට ලැබිණි. එම එම අවස්ථාව සිරිසේන – වික‍්‍රමසිංහ රජය ශ‍්‍රී ලංකාවට අහිමි කළේය.

මහා බි‍්‍රතාන්‍යයේ සාමි මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ* සාමාජික නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් 12 දා හෙළි කළේ එක්සත් ජාතීන් පවසන පරිදි 40,000 මිය නොගිය බවත්, තමන් සතු බි‍්‍රතාන්‍ය හමුදා වාර්තා අනුව මරණයට පත් වූ මුළු සංඛ්‍යාව 7,000 – 8,000 වන බවත් ය. එම සංඛ්‍යාවෙන් හතරෙන් එකක් සිවිල් ඇඳුමෙන් සටන් කර මියගිය කොටි සංවිධානයේ සාමාජිකයන් ලෙස හැඳින්විය. එලෙසම එවකට රජය කිසිදු අවස්ථාවක ද්‍රවිඩ ජනතාව ඉලක්ක කර හමුදා මෙහෙයුම් සිදු නොකළ බවත් පැවැසීය. සිරිසේන – වික‍්‍රමසිංහ රජය මෙම හෙළිදරව්ව ශ‍්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ ජිනීවා යෝජනාවලිය අභියෝගයට ලක් කිරීමට යොදා ගත්තේ නැත. මිලියන 6.9 ජනතාවක් එජාප ඉදිරිපත් කළ අපේක්‍ෂකයා ප‍්‍රතික්‍ෂේප කිරීමට හේතුවක් වූයේ බලයේ සිටි පක්‍ෂයේ ඉතාමත් අසාධාරණ හැසිරීම. එජාපය තවමත් සුපුරුදු ක‍්‍රියාවලියේම යෙදේ. ස්විට්සර්ලන්තය චෝදනා කළ සැණින් රජයට චෝදනා කිරීමට එජාපය පෙළඹිනි.

නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව අදටත් ශ‍්‍රී ලංකාව ප‍්‍රයෝජනයට ගෙන නොමැත. විදේශ අමාත්‍යාංශය

පසුගිය වසර 5 දීම ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැක. නේස්බි සාමිවරයා ශ‍්‍රී ලංකාව ජිනීවා උගුලෙන් ගලවා ගැනීමට කළ හෙළිදරව්ව පිළිබඳව විදේශ අමාත්‍යාංශයේ එවකට සිටි ප‍්‍රකාශිකාවකගෙන් විමසීමක් මෙම ලියුම්කරු කළ විට ඇය නේස්බිව කුණු කූඩයට දැම්මේය. ස්විට්සර්ලන්තය සමස්ත බටහිර බලවේග වෙනුවෙන් ශ‍්‍රී ලංකාව එල්ල කළ චෝදනා නැවතත් අප හට මතක් කර දෙන්නේ නේස්බි කළ හෙළිදරව්වේ වටිනාකමයි. ගෝඨාභය රාජපක්‍ෂ රජය ජිනීවා යෝජනාවලිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කළ යුත්තේ නේස්බි ඉදිරිපත් කළ සාක්‍ෂි සැලකිල්ලට ගනිමිනි

රටට එරෙහි බලවේග ශ‍්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් ලෙස නම් කිරීමට සූදානම්ය. එය වැළක්වීම ගෝඨාභය රාජපක්‍ෂ රජයේ පරම වගකීමයි. ජනාධිපතිවරයාට ප‍්‍රබල අභියෝගයක් ඇත. එතුමාට එම අභියෝගවලට මුහුණ දීමට සිදුවන්නේ ලංකාව මෙම තත්ත්වයට පත් කිරීමට අඩුවැඩි ලෙස දායක වූ පුද්ගලයන් සමගය. එය සැබෑම අභියෝගයකි.



326 Viewers