• Home »
  • Sinhala News »
  • ජාත්‍යන්තර මැදිහත්වීමක් වහාම ඉල්ලා ද්‍රවිඩ පක්ෂ ජිනීවාහීදී ක්‍රියාත්මක කරන්නේ බටහිර න්‍යාය පත්‍රයද?

ජාත්‍යන්තර මැදිහත්වීමක් වහාම ඉල්ලා ද්‍රවිඩ පක්ෂ ජිනීවාහීදී ක්‍රියාත්මක කරන්නේ බටහිර න්‍යාය පත්‍රයද?

උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයින්ට ශ‍්‍රී ලංකාවට අපහාස කිරීමේ විශේෂ වරප‍්‍රසාදයක් තිබේද? වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ තුනක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 න් වහාම මැදිහත්වීමක් බලාපොරොත්තුවෙන් ඒකාබද්ධ ලිපියක් අදාළ තානාපති කාර්යාලවලට යවා ඇත. ද්‍රවිඩ ජාතික සංධානය, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සහ තමිල් මක්කල් තේසිය කූටානි එම පක්ෂ තුනයි. ආර්. සම්පන්තන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ විශ‍්‍රාමික ඉහළ උසාවියේ විනිසුරු සී. වී. විග්නේශ්වරන්, පිළිවෙළින් එම පක්ෂ තුන වෙනුවෙන් අදාළ ලිපියට අනුමැතිය ලබාදී ඇත. මහජන නියෝජිතයින් 13 දෙනෙකු එම පක්ෂ තුන වර්තමාන පාර්ලිමේන්තුන නියෝජනය කරයි.

ශ‍්‍රී ලංකාව මිනීමරු රාජ්‍යයක් ලෙස පෙන්වා දෙමින් එම පක්ෂ ජාත්‍යන්තර මැදිහත්වීමක වැදගත්කම අවධාරණය කර ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු අනෙකුත් ආයතන ශ‍්‍රී ලංකාවේ මැදිහත්වීම එම මහජන නියෝජිතයින්ගේ අවශ්‍යතාවයයි. ජිනීවා කවුන්සිලය තම කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු බවට ද බල කර ඇත්තේ දුරටත් බරපතල මානව හිමිකම් කඩකිරීම් සිදුවන බවට චෝදනා කරමින්ය. සිරියාව සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට පත්කළ ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමක අවශ්‍යතාව ද එම මන්ත‍්‍රීවරු පෙන්වා දී ඇත.

සමගි ජන බලවේගය නියෝජනය කරන ගම්පහ දිස්ත‍්‍රික්ක මන්ත‍්‍රීවරයා මෑතකදී වසර හතරක බරපතල වැඩ ඇතිව සිරගත කළේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ බැවිනි. රාමනායකට මන්ත‍්‍රී ධුරය පමණක් නොව ප‍්‍රජා අයිතිය ද අහිමි විය හැක. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමයේදී එස්. බී. දිසානායක මන්ත‍්‍රීවරයා ද අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු විය.

අධිකරණයට අපහාස කිරීමේ වරදට නිසි දඬුවම් නීති පොතේ ඇත. එලෙසම ජනාධිපති සහ ව්‍යවස්ථාදායක ආරක්ෂිතය. නමුත් ත‍්‍රස්තවාදය පරාජය කර සාමය ස්ථාපිත කළ ආරක්ෂක හමුදා හට තවදුරටත් ‘සමූල ඝාතන’ ලේබලය අලවා ඇත.

ද්‍රවිඩ මන්ත‍්‍රීවරු කරන චෝදනා අනුව උතුරේ ත‍්‍රස්තවාදයක් තිබී නැත. ආරක්ෂක හමුදා මෙහෙයුම් කර තිබෙන්නේ සිවිල් වැසියන්ට එරෙහිවය. පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ආරක්ෂක හමුදා යුද අපරාධ චෝදනාවට ලක්වේ. ද්‍රවිඩ ජනතාව සමූල සංහාරයකට ලක් කළ බවට ද්‍රවිඩ පක්ෂ වර්තමාන පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදීම චෝදනා කළේය. සමගි ජන බලවේගය නියෝජිත මනුෂ නානායක්කාර ඊට එරෙහි විය. කථානායකවරයාගේ තීරණය වූයේ මහජන නියෝජිතයින්ට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බවයි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සමගි ජන බලවේගය) සහ රියර් අද්මිරාල් සරත් විරසේකර ආරක්ෂක හමුදා වෙනුවෙන් පෙනී සිටියේය. ඔවුහු අසාධාරණ චෝදනා නගන මන්ත‍්‍රීවරු සමග පාර්ලිමේන්තුවේදී ගැටිණි.

ජනරාල් සරත් ෆොන්සේකාට 2010 ජනාධිපතිවරණයේදී ඡුන්දය දුන් ද්‍රවිඩ ජාතික සංධානය තවමත් යුද අපරාධ චෝදනා නැගීම විහිළුවකි. ද්‍රවිඩ ත‍්‍රස්තවාදය විනාශ කර දැමීමේ මෙහෙයුමට නායකත්වය දුන් එවකට හමුදාපතිවරයා ජනාධිපති අපේක්ෂක ලෙස ද්‍රවිඩ ජාතික සංධානය පිළිගත්තේය. ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සහ තමිල් මක්කල් තේසිය කූටානි යන පක්ෂ දෙක පාර්ලිමේන්තුව නියෝජනය කළේ නැත. ද්‍රවිඩ ජාතික සංධානයේ සහයෝගයෙන් ජනරාල් ෆොන්සේකා ද්‍රවිඩ කතාකරන බහුතර ජනතාවක් වෙසෙන දිගාමඩුල්ල ඇතුළුව සියලූම උතුරු – නැගෙනහිර දිස්ත‍්‍රික්ක ඉහළින්ම ජයග‍්‍රහණය කළේය. නමුත් වැඩි ඡුන්ද මිලියන 1.8 කින් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම මැතිවරණය ජය ගත්තේය.

තමන්ව සමූල ඝාතනය කිරීමට හමුදාව මෙහෙය වූ සෙනෙවියකුට ඡුන්දය දෙන ජනතාවක් සිටිය හැකිද? යුද සමයේදී උතුරු නැගෙනහිර ජීවත්වූ ජනතාව එජාප-ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය-මක්කල් කොංග‍්‍රසය-ජවිපෙ-ද්‍රවිඩ ජාතික සංධානය ඉදිරිපත් කළ ෆොන්සේකාට ඡුන්දය දුන්නේ ඇයි? යුද සමයේ විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රෝහිත බෝගොල්ලාගම පවසන්නේ යුද අපරාධ චෝදනා කිසිදු පදනමකින් තොර බවයි. බෝගොල්ලාගම පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවාවී මහජන නියෝජිතයින්ට මෙලෙස කටයුතු කළ නොහැකි බවයි. එජාප සහ එක්සත් ජනතා නිදහස් සංධානය පාර්ලිමේන්තුවේ නියෝජනය කර ඇති බෝගොල්ලාගම මහජන නියෝජිතයින් මැති සබය තුළ සහ පිටත ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු බවත් මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් විදේශීය මැදිහත් මැදිහත්වීමක් සඳහා කටයුතු කිරීම පිළිකුල් සහගත බවත් පැවසීය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට මෑතකදී ශ‍්‍රී ලංකාව යොමුකළ විග්නේශ්වරන් යහපාලන සමයේදී ‘අපූරු’ චෝදනාවක් කළේය. රජයේ ආරක්ෂක හමුදා අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 104 දෙනෙකු විෂ එන්නත් කර මරා දැමූ බවට යුද හමුදාවට එවකට උතුරු පළාතේ මහ ඇමැතිවරයා වූ විග්නේශ්වරන් චෝදනා කළේය. දෙස් විදෙස් මාධ්‍ය හරහා හමුදාව අත්අඩංගුවේ සිටින ද්‍රවිඩ තරුණයන්ට වස දී මරා දැමූ බවට බොරු චෝදනා නැගු විග්නේශ්වරන් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකි. එදා ද්‍රවිඩ ජාතික සංධානයෙන් උතුරු පළාත් සභාවට තරඟ කළ විශ‍්‍රාමික විනිසුරුවරයා අද මැතිවරණ කොමිසම පිළිගත් පක්ෂයක නායකයෙකි. විග්නේශ්වරන් එවකට ඇමෙරිකානු තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ විෂ එන්නත් කර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මරා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමටයි. එදා ද්‍රවිඩ ජාතික සංධානය පත් කළ මහ ඇමැතිවරයා ලෙස ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක කළ මෙහෙයුම අද පිළිගත් දේශපාලන පක්ෂයක නායකයකු සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස ක‍්‍රියා කිරීමේ අවස්ථාව ඔහුට ඇත. දෙස් විදෙස් මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා නැගූ විග්නේශ්වරන් කිසිදු බාධාවකින් තොරව තම දුෂ්ට ව්‍යාපාරය ක‍්‍රියාත්මක කරයි. හතරවන ඊළාම් සටනේදී 58 වැනි සේනාංකය මෙහෙයවූ වර්තමාන යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක මෙහෙයුමේ වින්දිතයකු බව පාර්ලිමේන්තු නියෝජිතයින්ට මතක නැත. යුද හමුදාපතිවරයාට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කළේ 2020 පෙබරවාරි මාසයේදීය. යුද හමුදාපතිවරයා ඇමෙරිකාවේ ඉලක්කයක් වන්නේ ශ‍්‍රී ලංකාවට එරෙහිව නැගෙන සමස්ත යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් බව අමුතුවෙන් පෙන්වා දීමට අවශ්‍ය නැත. ගජබා රෙජිමේන්තුවේ තවත් විශිෂ්ට සෙන්පතියකු වූ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ ඔස්ටේ‍්‍රලියාවට යෑමට විසා දිය නොහැකි බවට එම මහ කොමසාරිස් කාර්යාලය යහපාලන සමයේදී තීරණය කළේ ඔප්පු නොවූ චෝදනා සඳහන් කරමිනි. ජනරාල් ෆොන්සේකාට ද ඇමෙරිකාවට යෑමට නොහැක.

යහපාලන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හමුදා නිලධාරීන්හට වීසා නිකුත් නොකිරීම සම්බන්ධයෙන් කටයුතු කරන බවට පොරොන්දු විය. ඒ 2017 නොවැම්බර් මාසයේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දීය. නමුත් පැවති රජය ඒ සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ජනාධිපතිවරයා දුන් පොරොන්දුවක් පමණක් විය. අද යහපාලන ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුව නියෝජනය කරයි. එදා යුද අපරාධ චෝදනා එල්ල කළේ ද්‍රවිඩ ජාතික සංධානයයි. අද සම්පන්දන් -සුමන්තිරන් නායකත්වය දෙන එම පක්ෂයට අමතරව විග්නේශ්වරන් සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මෙහෙයවන කණ්ඩායම් ද මැතිසබයේ ක‍්‍රියාත්මකය.

එම පක්ෂ තුන පසුගිය ජනවාරි 15 දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත් වීම ඉල්ලා යැවූ බරපතල ලිපියට සතියක් ගතවනතුරු පිළිතුරු දීමට රජයට හෝ ඒ පිළිබඳව උනන්දුවක් දක්වන කිසිදු පාර්ශ්වයකට අවශ්‍යතාවයක් නොවීය. මාධ්‍ය එම ලිපිය පළ කළ පසු පාර්ලිමේන්තුව පළමුවරට රැස් වූයේ ජනවාරි 19 දිනය. ඒ පිළිබඳව ආසන 145 කට හිමිකම් කියන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, ආසන 54 නියෝජනය කරන සමගි ජන බලවේගය හෝ මන්ත‍්‍රීධුර තුනක් පමණක් හිමි ජවිපෙ ජිනීවා තර්ජනය සම්බන්ධයෙන් ස්ථාවරයක් නොගැනීම කනගාටුදායකය. ද්‍රවිඩ ජාතික සංධානය එල්.ටී.ටී.ඊ. ය ද්‍රවිඩ කතාකරන ජනතාවගේ එකම නියෝජිතයා ලෙස 2001 දී පිළිගත්තේය. එතැන් පටන් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ත‍්‍රිකුණාමලය නියෝජනය කරන ආර්. සම්පන්දන් මන්ත‍්‍රීවරයාගේ කණ්ඩායම පෙනී සිටියේය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් 2009 මැයි මාසයේ නන්දිකඩාල් කලපුවේදී වෙඩිකන තුරුම එම කණ්ඩායම ත‍්‍රස්තවාදයට කැපවිය. ත‍්‍රස්තවාදය පරාජය කළ පසු මානව හිමිකම් පිළිබඳව හඬ නගන කිසිදු හිටපු හෝ වර්තමාන පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත‍්‍රීවරයකු එල්.ටී.ටී.ඊ. ය සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් ලෙස යොදා ගැනීමට එරෙහි වූයේ නැත. අවම වශයෙන් ජනතාවට සටන් භූමියෙන් ඉවත් වීමට අවස්ථාව ලබා දෙන ලෙස කීමට ද්‍රවිඩ ජාතික සංධානයට වුවමනාවක් නොවීය. ඔවුන්ට මානව හිමිකම් මතක් වූයේ ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ මරණයට පත්වීමෙන් පසුවය.

එතැන් සිට ත‍්‍රස්තවාදයෙන් ලබා ගැනීමට නොහැකි වූ ඊළාම් රාජ්‍ය බටහිර මැදිහත්වීමක් හරහා ලබාගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ උත්සහා කරමින් සිටී. එක්තරා ආකාරයකට ත‍්‍රස්තවාදයේ අභාවය එම කණ්ඩායමේ කාර්ය පහසු කර ඇත. ද්‍රවිඩ ජාතික සංවිධානය 2004 දී යුරෝපීය සංගමයේ බරපතල චෝදනාවට ලක්විය. ඒ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයේ පිහිටෙන් 2004 මහා මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් දෙකේ ආසන 22 ක් ජයග‍්‍රහණය කිරීමයි. ද්‍රවිඩ ජාතික සංධානය නිරුත්තර විය. එවකට ක‍්‍රියාත්මක මැතිවරණ දෙපාර්තමේන්තුව යුරෝපිය සංගමයේ චෝදනාව සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. පාර්ලිමේන්තුව ද නිශ්ශබ්ද විය. සිවිල් සංවිධාන ද ඒ එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදී සංවිධානය සහ ද්‍රවිඩ ජාතික සංධානයේ ‘මැතිවරණ මෙහෙයුම’ අනුමත කළේය. ඒ යුරෝපීීය සංගමයේ වාර්තාව සම්බන්ධයෙන් නිහඬතාවය රැකීමෙනි.

2005 දී ද්‍රවිඩ ජාතික සංධානය එල්.ටී.ටී. ඊ ය වෙනුවෙන් උතුරේ ජනතාවට ජනාධිපතිවරණයේදී ඡුන්දය නොදෙන්නැයි නියෝග කළේය. මැතිවරණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව සහ ආචාර්ය සරවනමුත්තු නායකත්වය දෙන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය හැර අන් සියලූම සිවිල් සංවිධාන සහ මැතිවරණ නිරීක්ෂකයින් නිශ්ශබ්ද විය. අද වනතුරු යුරෝපීය සංගමය ද්‍රවිඩ ජාතික සංධානයට කළ චෝදනාව හෝ ජනාධිපතිවරණය උතුරේ කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය තම ස්ථාවරය හෙළි කර නැත. බටහිර න්‍යාය පත‍්‍රයට අනුව ජිනීවාහිදී යුද අපරාධ චෝදනා නගමින් ශ‍්‍රී ලංකාව අසරණ කිරීමට කටයුතු කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල සැබෑ මුහුණුවර හෙළි කළ යුතුයි.

යුද අපරාධ චෝදනා බටහිර න්‍යාය පත‍්‍රයේ කොටසක් බව පැහැදිලිය. පාර්ලිමේන්තුව ද එම මෙහෙයුමේ ප‍්‍රධාන කාර්යභාරයක් ඉෂ්ට කරයි. යහපාලන රජය 2016 දී ක‍්‍රියාත්මක කළ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක‍්‍රියාවලිය බටහිර න්‍යාය පත‍්‍රයේ ප‍්‍රධාන අංගයක් බව නොවේයැයි විශ්වාසයෙන් කිව හැක්කේ කාටද? ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා මෙන්ම එවකට දේශපාලන නායකත්වය යුද අපරාධ කළ බවට අපකීර්තියට පත්කිරීම එම මෙහෙයුමේ ප‍්‍රබල අංගයක් නොවන්නේද? නමුත් පාර්ලිමේන්තුව යොදාගෙන එළිපිට ක‍්‍රියාත්මක එම මෙහෙයුම වර්තමාන රජයේ නිසි අවධානයට යොමු වී තිබේද? ඒ සම්බන්ධයෙන් රජය දැනට ගත් ක‍්‍රියාමාර්ග සෑහේද? ද්‍රවිඩ පක්ෂ ක‍්‍රියාත්මක කර තිබෙන මෙහෙයුම පෙබරවාරි-මාර්තු පැවැත්වෙන 46 වැනි ජිනීවා සැසිය ඉලක්ක කරගෙන බව පැහැදිලිය. ද්‍රවිඩ පක්ෂ අත්සන් කළ පෙත්සමට ත‍්‍රිකුණාමලය පදවිය භාරව කටයුතු කරන අති උතුම් ආචාර්ය සී. නොයෙල් එම්මානුවෙල් ද සම්බන්ධ වී ඇත. ශ‍්‍රී ලංකාව කතෝලික සභාව පදවි 12 කට බෙදා ඇත. ත‍්‍රිකුණාමලයට අමතරව උතුරු නැගෙනහිර ක‍්‍රියාත්මක පදවි ඇත. එවැනි තත්ත්වයක් තුළ ත‍්‍රිකුණාමලය පදවිය පමණක් ජිනීවා මෙහෙයුමට එක්වීම විශේෂ තත්ත්වයකි. රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කළ යුතුය.

බි‍්‍රතාන්‍ය සාමි මණ්ඩලයේ සාමාජික නෙස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් මාසයේ ශ‍්‍රී ලංකාවට එරෙහිව නැගෙන යුද අපරාධ චෝදනා නිශේධනය කළ හැකි ඉතාමත් වටිනා රහස්‍ය ලිපි හෙළි කළේය. බි‍්‍රතාන්‍ය රජය සමග වසර දෙකකට වැඩි කලක් ගැටී එම රටේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පනත යටතේ ලබාගත් රහස්‍ය වාර්තා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප‍්‍රධානතම චෝදනාව වන 40,000 මරා දැමූ බව ස්ථිර ලෙසම අභියෝගයට ලක් කළේය. එලෙසම ශ‍්‍රී ලංකාවේ එවකට දේශපාලන නායකත්වය ද්‍රවිඩ ජනතාව ඉල්ක්ක කර හතරවන ඊලාම් යුද්ධය මෙහෙයුවේ නැති බවට ද අදාළ රහස්‍ය වාර්තා පදනම් කරගෙන නේස්බි සාමිවරයා පැවසීය. අවාසනාවකට එම හෙළිදරව්ව නිසි ලෙස අද වනතුරු ශ‍්‍රී ලංකාව ප‍්‍රයෝජනයට ගෙන නොමැත. බලයේ සිටින රජයේ අසමත් බවට ද්‍රවිඩ පක්ෂවලට සහ බටහිර බලවේගවලට දොස් පවරා පලක් නැත. නේස්බි කළ හෙළිදරව්වට අමතරව විකිලීක්ස් හෙළි කළ රහස්‍ය අමෙරිකානු තානාපති වාර්තා මෙන්ම 2011 දී කොළඹ පැවති ප‍්‍රථම ආරක්ෂක සමුළුවේදී එවකට ඇමෙරිකානු ආරක්ෂක උපදේශක ලූතිනල් කර්නල් ලෝරන්ස් ස්මිත් (ත‍්‍රස්තවාදය පරාජය කර වසර දෙකකට පසුව) යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීම පවා අදවනතුරු ශ‍්‍රී ලංකාව ජිනීවාහිදී සඳහන් කර නැත. මෙම තත්ත්වය තේරුම් ගැනීමට පවා අපහසුය. චෝදනාවලට මල්ටි බැරල් රොකට් ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඇති අවස්ථාව දිගින් දිගටම ශ‍්‍රී ලංකාව මගහැර ඇත.

ඇත්තවශයෙන්ම ශ‍්‍රී ලංකාව ජිනීවා අභියෝගය වර්ධනය වීමට ඉඩදී ඇති බවට සැකයක් ඇතිවීම පිළිබඳව ගැඹුරින් සිත බැලිය යුතුද. යහපාලන සමයේදී ඔප්පු නොවූ යුද අපරාධ චෝදනාවලට අපූරු ප‍්‍රතිකර්මයක් ජිනීවා කවුන්සිලය හරහා බටහිර බලවේග යෝජනා කළේය. ඇමෙරිකාව 2015 දී ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවලියට තම සහයෝගය දුන් යහපාලන රජය නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පොරොන්දු විය. මෙහිදී විශේෂයෙන්ම පෙන්වා දිය යුතු වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂය ද එම නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක‍්‍රියාවලියට සම්බන්ධ වූ බවයි. පසුව විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ එම ක‍්‍රියාවලියෙන් ඉවත් විය. මෙහෙයුම රහසක් නොවේ. එය තේරුම් ගැනීමට ද අපහසු නැත. අසත්‍ය යුද අපරාධ චෝදනාවලට පිළිතුර රටේ ඒකීයභාවය අහිමි කරන නව ව්‍යවස්ථාවක්ද ?

ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන වේගයෙන් වර්ධනය වෙමින් පවතින සැබැ තර්ජනය විමසා බැලිය යුත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ ජපානය, ඉන්දියාව සහ ඔස්ටේ‍්‍රලියාව නැගී එන සුපිරි බලවතා වන චීනය සමග ගැටීම අවධානයට ගැනීමෙනි. කොළඹ වරායේ නැගෙනහිර ජැටියට ඉන්දියානු ආයෝජනය එම මෙහෙයුමේ එක කොටසකි. ජිනීවා තර්ජනය නැවත නැවතත් අවධාරණය කරන්නේ බටහිර න්‍යාය පත‍්‍රය අනුව ශ‍්‍රී ලංකාව නම්මවා ගැනීමේ උත්සහයයි.

අවාසනාවකට එවැනි මෙහෙයුමක් ව්‍යර්ථ කිරීමට වග විය යුතු පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් මන්ත‍්‍රීවරු බටහිර න්‍යාය පත‍්‍රයේ කොටස්කරුවන් වී ඇත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ



92 Viewers